ජනතා ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් දෙන ජනපතිට කියන්න
රජයට
වසරක් පිරුණු
2016 ජනවාරි 8
ආරම්භ කළ
1919 අමතා
ජනපතිට කියන්න
ජනතා ප්‍රශ්නවලට
ක්ෂණික විසඳුම් දෙන
ජනපතිට කියන්න
රාජ්‍ය සේවය යනු රටේ ජනතාව වෙනුවෙන් සුබසාධන අරමුණකින් යුක්තව ලාබ
අපේක්ෂාවෙන් තොරව ලබා දෙන්නා වූ සේවාවකි. ඒ නිසාම ඇතැම් රාජ්‍ය ආයතනවලින්
යම් කාර්යයක් ඉටු කර ගැනීම පවා දැඩි දුක් ගැහැට සහිත විය. තම කාර්යයක් ඉටු කර
ගන්නට යන පුරවැසියන්ට ඇතැම් විට එම කාර්යයන් ඉටු කර ගැන්මට හැකියාව නොලැබෙනු
ඇත. එවිට තමන්ට අසාධාරණයක් වූවා යන හැඟීම ඇති වෙනු ඇත. එවිට එම ආයතනයේ ඉහළ
නිලධාරීන් වෙත පැමිණිලි කිරීමට එම සේවාදායකයන් කටයුතු කරනු ලැබේ.
එතැනින්ද සහනයක් නොලැබුණු විට තව තවත් ඉහළ අංශවලට පැමිණිලි කිරීමට
සේවාදායකයා උත්සාහ දරයි. එහි අවසානයේ පැමිණිල්ල යොමු වන්නේ රටේ ප්‍රධාන
පුරවැසියා වන ජනාධිපතිවරයාටය. ඇතැම් විට තමන්ට සිදුවන අසාධාරණකම්
වෙනත් අංශවලට යොමු නොකර ඍජුවම ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට ඇතැම්හු
පෙලඹී සිටිති.
මේ හේතුව නිසා මාසයකට ජනාධිපතිවරයාට පැමිණිලි හා යෝජනා 8000ක් 9000ක් පමණ
ලිඛිතව පැමිණෙන්නට විය. එහෙත් එම පැමිණිලි යෝජනා සියල්ලම කෙරෙහි
ජනාධිපතිවරයාට හෝ කාර්ය මණ්ඩලයට ඍජුවම ඉදිරිපත්ව අධීක්ෂණය කරන්නට
නොහැකි වූයේ පැමිණිලි අධික සංඛ්‍යාවක් වූ නිසාය. එමෙන්ම පැමිණිල්ල අදාළ අංශය වෙත
යොමු කිරීමෙන් පසු පැමිණිල්ලට අදාළ අංශ විසින් දක්වනු ලබන ප්‍රතිචාරය කෙසේද ඒ
සඳහා කෙතරම් කාලයක් ගත කරන්නේද යන්න හෝ අධීක්ෂණය කිරීම අසීරු කාර්යයක් විය. ඒ
ආකාරයේ සමීප අධීක්ෂණයක් කළ හැකි වූයේ පැමිණිලි 100කට පමණ සංඛ්‍යාවකටය. මේ
නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව යොමු කරනු ලබන ගැටලු හා යෝජනා
සඳහා රාජ්‍ය ආයතන නිලධාරීන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියා කිරීම මෙන්ම ඒ බව
අධීක්ෂණය කිරීම අවශ්‍ය විය.
ඒ සඳහා ජනාධිපති අතිරේක ලේකම් එස්.ටී. කොඩිකාර මහතා මහජන සම්බන්ධතා අංශයේ
‘ජනපතිට කියන්න‘ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී ඒ මහතාගේ සහායට ජනාධිපති
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මියද පත් කරන ලදී
මේ ක්‍රියාදාමය ආරම්භ කරන ලද්දේ යහපාලන රජයට වසරක් සපිරුණු පසුගිය ජනවාරි
8 වැනිදාය. එදා මෙදා තුරු කාර්ය පටිපාටිය ගැන කොඩිකාර මහතා දැක්වූයේ මෙවැනි
අදහස් ය.
‘ජනපතිට කියන්න නමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් වන සියලු පැමිණිලි හා
යෝජනා විධිමත් ලෙසින් විමර්ශනය කිරීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ කළා. ඒ සඳහා
ලිපි ගනුදෙනු කිරීම වෙනුවට නූතන තාක්ෂණය උපයෝගී කර ගැනීමයි අපේ අපේක්ෂාව
වුණේ. ඒ වන විටත් රාජ්‍ය සේවයේ මහජන දුක් ගැනවිලි කළමනාකරණය කිරීමේ
අන්තර්ජාල වෙබ් අඩවියක් තිබුණා. එහි දත්ත පද්ධතිය හරහා තමුන්ගේ ඕනෑම දුක්
ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න හැකියාව තිබුණා. මේ දත්ත පද්ධතියම ‘ජනපතිට
කියන්න‘ ව්‍යාපෘතිය සඳහා භාවිතා කළා. අපි ඒ දත්ත පද්ධතිය උපයෝගී කරගෙන අදාළ
අමාත්‍යාංශ හා සම්බන්ධව කටයුතු කිරීමට සම්බන්ධ වුණා. ඒ දත්ත පද්ධතියෙන්ම අදාළ
පිළිතුරු අප විසින් ලබා ගන්නවා. මෙතෙක් කාලයක් ලිපි ගනුදෙනු පමණක් හුවමාරු වූ
ක්‍රමය වෙනුවට කාර්ය පටිපාටිය කඩිනම් කරන්න නූතන තාක්ෂණය අප යොදා ගත්තා‘
‘ජනපතිට කියන්න‘ ජනතා සේවාව ආරම්භ කිරීමෙන් පසුව ජනතාවට තම ගැටලු යොමු කිරීමේ
මාර්ග 4ක් විවෘත වුණා. එයින් පළමු වැන්න ලෙසින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා
සම්බන්ධ වීමට හැකි 1919 දුරකථන සේවාව අපි බලාත්මක කළා. දෙවැන්න ලෙසින්
අන්තර්ජාල වෙබ් අඩවියක් හදුන්වා දුන්නා. ඒ අනුව www.tell.president.gov.lk
අඩවිය හරහා තම ගැටලු ඉදිරිපත් කළ හැකියි. තුන්වැනි මාර්ගය ලෙසින් හඳුන්වා දුන්නේ
[email protected] විද්‍යුත් තැපැල් (ඊ මේල්) ලිපිනයයි. ඊට අමතරව මේ සඳහා
විශේෂිත තැපැල් සේවාවක් ආරම්භ කළා. ඒ අනුව තැ.පෙ. 123, කොළඹ යනුවෙන් යොමු කරනු
ලබන ලිපියක් අනිවාර්යෙන්ම මේ සඳහා යොමු වනවා.
මේ ක්‍රම 4 ඔස්සේම ජනතාවට ‘ජනපතිට කියන්න‘ සේවාව හා සම්බන්ධ වීමට හැකියාව
තිබෙනවා. විශේෂයෙන්ම 1919 ඔස්සේ මේ හා සම්බන්ධ වන අයගේ පැමිණිල්ල සටහන් කර
ගැනීමට අමතරව නවීන තාක්ෂණය භාවිතා කරමින් ඒ පැමිණිලි පටිගත කිරීමක් සිදු කර
ගනු ලබනවා. 1919 ට පැමිණිල්ල යොමු කිරීමත් සමඟම ඒ සඳහා යොමු අංකයක්
ස්වයංක්‍රීයවම ලැබෙනවා. පැමිණිල්ලට අදාළ එම හඬ පටයට සවන්දීමෙන් පසු හඬ
පටයම අදාළ අමාත්‍යාංශ වෙත යොමු කරනු ලබනවා. ඒ ක්ෂණයකින් අදාළ පුද්ගලයාගේ
ජංගම දුරකථන අංකයක් ලබා දී ඇත්නම් එයට එස් එම් එස් පණිවුඩයක් මඟින් ගැටලුව
යොමු වූයේ කුමන අමාත්‍යාංශයටද යන්න පිළිබඳව දැනුම් දෙනවා. අමාත්‍යාංශය
විසින් දින 3ක් ඇතුළතදී ඊට අදාළ ආයතනය වෙත එම ගැටලුව යොමු වනවා එයද ක්ෂණිකව
එස්එම්එස් පණිවුඩයක් මගින් සේවාදායකයාට ලැබෙනවා. එම ස්ථානයෙන්ද දින 3ක
ඇතුළතදී ඒ සඳහා ප්‍රතිචාර ලැබිය යුතුයි. ඒ ආකාරයෙන් රජයේ තුන්දා නීතිය සියලු
රාජ්‍ය ස්ථානවලදී ක්‍රියාත්මක විය යුතුයි.
උදාහරණයක් ලෙසින් අදාළ ගැටලුව මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හා
සම්බන්ධ වන්නේ නම් එම ගැටලුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ස්වදේශීය
කටයුතු අමාත්‍යාංශය මඟින් හැකි ඉක්මනින් යොමු වනවා. අදාළ අංශයන්ට ගැටලුව යොමු
වීමත් සමගම ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වන්නේ නම් ඒ බවද සේවා දායකයාට දැනුම්
දෙනවා. එමෙන්ම වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳවද දැනුම් දෙනු ලබනවා. මේ
අයුරින් සේවාදායකයා සමඟ ගැටලුව විසඳෙන තෙක් සම්බන්ධවීමක් සිදු වෙනවා. අදාළ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එයට දින 3ක් අැතුළත පිළිතුරක් නොලැබුණහොත්
එය යළි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු වෙන අතර ඒ සියල්ල ජනාධිපති
කාර්යාලයේ සිටම පරීක්ෂා කර බැලිය හැකි ආකාරයෙන් මේ දත්ත පද්ධතිය නිර්මාණය කර
තිබෙනවා‘
මේ දත්ත පද්ධතිය කිසිවකුට වෙනස් කළ නොහැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. දැනට මේ
කාර්යයන් සඳහා භාවිත තරනු ලබන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පැමිණිලි සම්බන්ධව
ඉට්කා ආයතනයේ සහායෙන් සකස් කරන ලද දත්ත පද්ධතියකි. එසේ වුවත් එම පද්ධතිය මේ
කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන හෙයින් ඉදිරි මාස දෙකක පමණ කාලයකදී මේ
සඳහා නව දත්ත පද්ධතියක් සකස් කරනු ඇත.
සේවාදායකයා විසින් විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දී ඇත්නම් ජංගම දුරකථනයට
මෙන් එයට පිළිතුරු යොමු වනු ඇත. මේ ආකාරයට යොමු කරන්නාට තමන්ගේ ගැටලුවට
විසදුම ලැබෙන පියවරෙන් පියවර ගැන විස්තර දැන ගැන්මට හැකි වනු ඇත. එසේම අවශ්‍ය
වන්නේ නම් 1919 අංකයට කතා කරමින් යොමු අංකය ඉදිරිපත් කිරීමෙන්ද වත්මන් තත්ත්වය
ගැන දැන ගැන්මට හැකියාව උදාවනු ඇත. එසේම www.complains.gov.lk
අඩවියට
පිවිසීමෙන් පසුව තම යොමු අංකය ඊට ඇතුළත් කර තම ගැටලුවෙහි වත්මන් තත්ත්වය ගැන
විස්තර දැන ගැන්මට හැකි වේ.
මේ කාර්යය ඍජුවම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධීක්ෂණය කළ යුත්තක් වුවත්
ලේකම්වරුන්ට ඇති අධික රාජකාරි ස්වභාවය නිසා ඒ සඳහා අතිරේක ලේකම් වරයා නිල
බලයෙන්ම පත් කර ඇත. එපමණක් නොව ජනපතිට කියන්න ව්‍යාපෘතිය සඳහා සියලුම රාජ්‍ය
ආයතනවල නිසි බලධාරියකු පත් කර ඇත. ඔහු එම සේවාව සඳහා පිළිතුරු සැපයීමට
අනිවාර්යෙන්ම බැදි සිටිය යුතුය.
මේ ක්‍රමය ක්‍රියාවට නැංවීම පිණිස කිසිදු අමතර පරිගණකයක් හෝ ලබා ගෙන නොමැති
බව සමන්ති රණසිංහ මහත්මිය පවසයි. රජයේ සියලුම කාර්යාලවල ඇති පරිගණක මඟින්
හා අන්තර්ජාල පහසුකම් හරහා මේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම පහසු වී ඇත.
විශේෂයෙන්ම ජනපතිට කියන්න ව්‍යාපෘතියට ලැබෙන දුරකථන ඇමතුම් හඩ පට අදාළ
අංශවලට යොමු වන්නා සේම සියලුම ලිපි ද ස්කෑන් යන්ත්‍ර මඟින් පරිගණක ගත කර අදාළ
අංශ වෙත යොමු වෙනු ඇත. මේ ආකාරයට පළමු මාස දෙක තුළදී පැමිණිලි 32421ක් යොමු වී
ඇත. මෙයින් 20%ක් පමණ කිසිදු අපහසුවකින් තොරව විසඳුම් ලබා දිය හැකි ඒවා බව ද
පෙනෙන්නට ඇත. පැමිණිලි වලින් 923ක් විසඳුම් ලබා දීමට අපහසු ඒවා බව හඳුනාගෙන
ඇත.
මේ කාර්යයන් සඳහා අමතර පරිගණක ආදිය මිලදී නොගත්තා සේම කාර්ය මණ්ඩලයේ 30දෙනකු
පමණ විශේෂ කාර්යයන් සඳහා යොදවා ඇත. අවශ්‍ය වුවහොත් සති අන්තයේ පවා සේවයට ඔවුන්
කැප වී සිටී. සැම විටම මහජන පැමිණිලි සඳහා අවශ්‍ය භාෂාවකින් කටයුතු කිරීමට
ඔවුන් කටයුතු කර ඇත.
ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ ජනතාවට බොරු මවා පෑම් පෙන්වීම නොවන බවත්
ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වා දී විසඳිය හැකි ගැටලු ඇත්නම් විසඳා දීමත් විසඳීමට
නොහැකි නම් ඒ බව හේතු සහිතව පෙන්වා දීම බවත් කොඩිකාර මහතා පෙන්වා දෙයි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - මහින්ද විතානාච්චි
|