දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»

යොවුන් පුරය 2016 - සීගිරිය
“කොහෙද නගේ... කොහෙද මලේ... හනිකට යන්නේ
යෞවනයේ යොවුන් පුරය වෙතටයි යන්නේ...”

යොවුන් පුරය 2016 - සීගිරිය

අද සමාජ ජාලවල කාර්ය එදා කළේ යොවුන් පුරයෙන්

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සහකාර අධ්‍යක්ෂ (ප්‍රචාරක) රංජිත් හේවාබටගේ

යොවුන් පුර වැඩසටහන පිළිබඳ අතීතාවර්ජනයන් හි යෙදෙන්නේ අපූරු මතක රැසක කිමිදෙමිනි. යොවුන්පුර වැඩසටහන් මාලාවේ තරුණ සේවා සභාවේ සහකාර ප්‍රචාරක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රංජිත් හේවාබට ගේ මහතා ද යොවුන් පුර වැඩසටහන පිළිබඳ බොහෝ මතක ඇත්තෙකි.

තරුණ සේවා සභාව කියන්නේ 80 දශකයේ රාජ්‍ය ආයතන සමඟ සන්සන්දනය කරන විට ජනතාව අතර ඉතාම ප්‍රසිද්ධියට පත් වූ ආයතනයක්. එයට හේතු වුණේ එහි තිබූ ප්‍රචාරක කටයුතු සහ වැඩසටහන් කියල කියන්න පුළුවන්. ඒ කාලෙ සභාව කිව්වට තරුණ සේවා සභාව තමයි ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ. අදටත් කියන්නේ සමහර ප්‍රදේශවල පාරවල්වලට සභාවේ පාර කියලා. ඒ තරමට දැවැන්ත වැඩසටහන් රැසක් සිදු කළ ආයතනයක් තමයි ජාතික තරුණ සේවා සභාව. මම එහි ප්‍රචාරක කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ලෙස තමයි කටයුතු කළේ. ඒ කාලෙ හැටියට දැවැන්ත ප්‍රචාරක වැඩපිළ‍ිවෙළක් අපි ක්‍රියාත්මක කළා. මේ නිසා ම ඒ කාලෙ ප්‍රධානතම ප්‍රචාරක සමාගම් ග්‍රාන්ස්, වෝල්ටර් තොම්සන් වැනි ආයතන මට කතා කරලා අපගේ ප්‍රචාරක කටයුතු අගය කළා මතකයි.

කොහොම හරි යොවුන් පුරය කියන්නේ තරුණ සේවා සභාවේ උත්කෘෂ්ටත ම ඵලය කිව්වොත් මම නිවැරැදියි. ඒ කාලෙ ලංකාවේ දැවැන්ත වැඩසටහන් ලෙස කැපී පෙනුණේ මහපොළ, ගම්උදාව වගේ වැඩසටහන්. නමුත් ඒ දෙකට ම වෙනස්. ඒ දෙකට අබිබවා ගිය වැඩසටහනක් තමයි යොවුන් පුරය කියන්නේ.

එය තරුණ තරුණියන් වෙනුවෙන් වෙන්වූ වැඩසටහනක් වුණා. තරුණ හැකියාව, දක්ෂතාව, කළමනාකරණය, නායකත්වය වෙලාවට පෙන්වන තැනක් වුණා. අනෙක් පොදුවේ මහජනතාවගේ ඇසට ලක් නොවුණත් ප්‍රචාරක වැඩපිළිවෙළ නිසා මහජනතාව අතර ‘යොවුන් පුරය’ කතාබහට ලක්වුණා.

යොවුන්පුර වැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම මෙරට තරුණ පරම්පරාව වෙනුවෙන් ලබා දුන් හොඳ අවස්ථාවක් ලෙස මම දකිනවා. අපි ඒ වැඩසටහනට ප්‍රචාරය ලබා දුන් අයුරු දකින විට අද අපි කතා කරන ඇඩ්වර්ටයිසින් මෙතඩ් වල‍ට ඉතාම ආසන්නව තමයි අපි එදා ප්‍රචාරක කටයුතු සිදුකළේ. අද ආකෘතිය, ප්‍රවිෂ්ටය වෙනස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අද තිබෙන ප්‍රචාරණ කලාවට එදා අප ගෙන ගිය ප්‍රචාරණ පිළිවෙත් ඍජුව බලපෑවා කියා කියන්න පුළුවන්. මට මතකයි යොවුන් පුරය ප්‍රචාරයට අපි තේමා පාඨයක් මුල්කොට ගත්තා. තරුණ තරුණියන් අතර එය නිතර රැව්පිළිරැව් දෙන ගීතයක් වූවා.

“කොහෙද නගේ... කොහෙද මලේ... හනිකට යන්නේ... යෞවනයේ යොවුන් පුරය වෙතටයි යන්නේ....”

මෙයට සංගීතය නිර්මාණය කළේත් ගායනා කළේත් ෂර්ලි වෛජයන්ත මහත්මයා. මෙයත් යොවුන් පුරයේ අපූරු තේමා පාඨයක් බවට පත් වුණා. ඒ වගේ ම යොවුන් පුරය වෙනුවෙන් ‘බදාදා පිළිසඳර’, ‘වසන්ත සමය’ පුවත්පත් වගේ ම යෞවන සඟරාවත් නිර්මාණය වුණා. මේ හැම එකකින් ම යොවුන් පුරයේ තේමා ගීය නිතර නිතර කියවුණා.

මේ වැඩසටන පවත්වන්න නියමිත ස්ථාන තෝරාගනිත්දී මමත් ඒ සයිට් විසිට් එකට අනිවාර්යයෙන් ම සහභාගි වෙනවා. මොකද මම තමයි ප්‍රවෘත්ති මධ්‍යස්ථානය පිහිටුවිය යුතු තැන බලා ගන්නේ. ඒ වගේ ම මාධ්‍යවේදීන්ට සුදුසු තැන් සොයා බලන්නේ. යොවුන් පුරය ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට මට මතක හැටියට පුවත්පත්වල, රූපවාහිනියේ, රජයේ චිත්‍රපට අංශයේ, තරුණ සේවා සභාවේ නිස‍්කෝ වීඩියෝ ආයතනයේ මාධ්‍යවේදීන් සිය‍ දෙනෙක් පමණ සම්බන්ධ වෙනවා. පුවත්පත් කලාවේදීන්ට නිතර නිතර විවිධ ප්‍රවෘත්ති මෙතැනින් ලබා ගන්න පුළුවන්. තරුණ මන්ත්‍රීවරු, නිතරම මෙතැන ගැවසුණා. මට මතකයි අපේ තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්තේ මහතා නිතර ම ප්‍රවෘත්ති මැදිරියේ හිටියා. තරුණ ඇමැතිවරු නිතර ම යොවුන් පුරයේත් ප්‍රවෘත්ති මැදිරියේත් සිටියා. මිය ගිය දයානන්ද වික්‍රමසිංහ, ගාමිණී අතුකෝරාල, ඩොක්ටර් ගාමිණී විජේසේකර, ගාමිණී දිසානායක, රේණුකා හේරත් වගේ ඒ කාලෙ තරුණ මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් හැමවෙලාවෙ ම වගේ ප්‍රවෘත්ති මැදිරියට ආවා. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්තේ මහතා හැමදාම රාත්‍රියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ කාලෙ අද වගේ තාක්ෂණය දියුණු නැහැ. රූපවාහිනියට තිබුනෙත් එකම එකයි. ඒ කාලෙ පෙරමුණේ ම හිටිය මාධ්‍යය තමයි ගුවන්විදුලි මාධ්‍ය. මට හිතෙන්නේ අද අපේ තරුණ පිරිස් අන්තර්ජාලය, ෆේස් බුක් ඔස්සේ ඇති කරගෙන තිබෙන සන්නිවේදනය එදා රට පුරාමත් ලොව පුරාමත් ගෙන යන්න මූලික අඩිතාල ම දැමුවේ යොවුන් පුරයි. මේ ඔස්සේ ලංකාවේ සතර දිග් භාගයෙන් ම එන තරුණ තරුණියන් දැන හඳුනාගත්තා. ඔවුන් මිතුරන් බවට පත් වුණා. නායකත්වය, පෞරුෂය, දක්ෂතාවයන් වර්ධනය කර ගත්තා. අද ෆේස් බුක් ඔස්සේ සිදු කෙරෙන තරුණ සම්බන්ධතාවට වඩා වැඩි දෙයක් යොවුන් පුරය ඔස්සේ සිදුවුණා කියලා මට කියන්න පුළුවන්.

මේ යොවුන් පුර වැඩසටහනේදී විවිධ සිදුවීම් සිදුවෙනවා. මට මතකයි අපි ෂූට් කරන වැඩසටහන් රැගෙන යන්න රූපවාහිනියෙන් හැන්දෑවට කොළඹ සිට යොවුන්පුරය පැවැත්වෙන තැනට වාහනයක් එවනවා. මොකද රාත්‍රී 8.00 ප්‍රවෘත්තිවලට පෙන්විය යුතු නිසා. ඒ වගේ ම ඡායාරූප ශිල්පීන්ට අවශ්‍ය ඩාක් රූම් පහසුකම් පවා ප්‍රවෘත්ති මැදිරියේ තිබුණා. ඔවුන් ගේ දල සේයාපට මුද්‍රණය කර ගැනීම කඩිනම් වුණා. හැමදාම වගේ ප්‍රවෘත්ති මුද්‍රණය කළා.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා දිගම කතාව කළේ 1999 දි මයියංගනයේ ගිරාදුරුකෝට්ටේ පැවැත්වූ යොවුන් පුරය වැඩසටහනේ දීය. මොකද ඒ දවස්වල කේ.ඩබ්. තොටිගල තමයි ‍ටේප් ගෙනත් ජනාධිපතිතුමාගේ කතා රෙකෝඩ් කරන්නේ. එකපාරටම කතාව මොනතරම් දිග ද කියනවා නම් රෙකෝඩ් කරන ‍ෙට්ප් ඉවර වුණා. තොටිගල හති දාගෙන ප්‍රවෘත්ති මැදිරියට දුවගෙන ආවා. මම ඉක්මනට අපි ළඟ තිබුණු ටේප් වගයක් ඔහුට ලබා දුන්නා. මේ වගේ පැරැණි මතක රැසක් මා සතුයි. යළිත් වරක් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් යොවුන්පුරය පටන්ගැනීම හෙට දවසේ සුභ ලකුණක් ලෙස මම දකිනවා.


 

යොවුන් පුරය මාධ්‍ය මධ්‍යස්ථානයට රනිල් මහත්තයා රෑ දොළහට ආවා

වසර 5ක් යොවුන් පුරේ මාධ්‍ය කටයුතු කළ විජේරත්න අතුරුපාන රසවත් දේ විස්තර කරයි

ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කළ යොවුන්පුර වැඩසටහන යළිත් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. එවකට අධ්‍යාපන, යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය වූ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ කළ ‘යොවුන් පුරය’ නමින් හැඳින්වුණ තරුණ කඳවුරු ආරම්භයේදී එය තරුණ සේවා සභාවට අලුත්ම අත්දැකීමක් විය.

හැම යොවුන්පුරයකම ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් පිහිටුවා තිබිණි. 1954 දී මහ රැජනිය ලංකාවට පැමිණි අවස්ථාවේ තොරතුරු ආවරණය සඳහා මහනුවර ‘රැජින’ හෝටලයේ පිහිටුවූ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයෙන් පසු රජයේ වැඩසටහනකට ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් පිහිටුවූයේ යොවුන්පුර වැඩසටහනටය. යොවුන්පුර ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට පැවැරුණු කාර්ය භාරය අතිවිශාලය. ප්‍රධාන වශයෙන් යොවුන්පුරය පිළිබඳ සියලු ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් මඟින් ඒ ඒ මාධ්‍යයන් ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය කිරීම එයට පැවැරුණු ප්‍රධාන කාර්යයයි. මේ හැර යොවුන්පුරට සහභාගි වී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව යොවුන්පුරය තුළ ප්‍රචාරය සඳහා ‘යොවුන්පුර පුවත්’ නමින් දිනපතා පුවත්පතක් නිකුත් කිරීම ද එයට පැවැරුණු කාර්යයකි. දිවයිනේ සියලුම පුවත්පත් ආයතනවලින් ද රූපවාහිනිය, රජයේ චිත්‍රපට අංශය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආදි සියලු මාධ්‍ය ආයතනවලින් මාධ්‍යවේදීන් කැඳවාගෙන ගොස් යොවුන්පුරය තුළ නේවාසික කරවාගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රවෘත්ති ලබාගෙන සිය මාධ්‍ය ආයතනවලට යැවීමේ පහසුකම් සලසා දීම ද ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට පැවැරුණු තවත් කාර්යයකි. එදා දුරකථනය හැර අද පවතින සන්නිවේදන පහසුකම් එකක්වත් නොතිබුණු බැවින් මාධ්‍යවේදීන්ට අවශ්‍ය ඡායාරූප ලබාදීම සඳහා ඡායාරූප ශාලාවක් පිහිටුවා මාධ්‍යවේදීන්ට අවශ්‍ය ඡායාරූප ක්ෂණිකව මුද්‍රණය කර දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනු ලැබිණි.

1984 ජනවාරියේ මා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක අංශයට අනුයුක්ත කළ සභාපති චරිත රත්වත්ත මහතා මට කියා සිටියේ ජාතික තරුණ සේවා සභාව ‘යොවුන් පුරය’ නමින් තරුණ කඳවුරක් සංවිධානය කරන බැවින් එයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු ප්‍රචාරක අංශය බාර රංජිත් හේවාබටගේ මහතාත් සමඟ එක්ව සංවිධානය කරන ලෙසයි. ඒ වන විටත් පුවත්පත් ආයතන සමඟ මගේ සම්බන්ධතාවක් පැවැතියෙන් මේ වැඩසටහන හැඳින්වීමට යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වූ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වන ලෙස සියලු පුවත්පත් කර්තෘවරුන් හමුවී පෞද්ගලිකවම ආරාධනා කළෙමි. සාකච්ඡාව පැවැති දිනට පෙර දින මම යළිත් පුවත්පත් ආයතනවලට ගොස් පුවත්පත් සාකච්ඡාව ගැන මතක් කොට සවස 7ට පමණ නුගේගොඩට පැමිණ මා නැවැති සිටි බෝඩිම පිහිටි පන්නිපිටියට යෑමට කොට්ටාව බස් රියකට නැග්ගෙමි. කොන්දොස්තර මහතා මා ළඟට පැමිණ යන්නේ කොහාටදැයි ඇසු විට මට එකවරම කියැවුණේ ‘යොවුන්පුර’ කියාය. කොන්දොස්තර මහතා විමතියෙන් ‘කොහාට? යයි කී විටය මට කාරණය වැටහුණේ වහාම ‘පන්නිපිටිය’ට කියා ටිකට් එක ලබා ගතිමි. අලුත් වැඩසටහන අපට කා වැදී තිබුණේ එසේය.

හැම යොවුන්පුරයක්ම ආරම්භ කිරීමට දින කීපයකට පෙර ඒ ඒ වැඩසටහන් බාර තරුණ සේවා සභාවේ නිලධාරීන් හා විවිධ වැඩසටහන් සඳහා පිටස්තරව සම්බන්ධ කරගන්නා අයත් කඳවුරු භූමියේ නවාතැන් ගැනීම සිරිතය. යොවුන්පුර කඳවුරට යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් පැමිණෙන විට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සංවිධානය කර හමාරය. අනතුරුව ඒ ඒ දිස්ත්‍රික්කවලින් පෙර ගමන් කණ්ඩායම් එන්නේ කඳවුර ඇරැඹෙන දිනයට දින 5කට පෙරය. ඔවුන් පැමිණ තම තමාගේ දිස්ත්‍රික්කවලින් සහභාගි වන පිරිසට අවශ්‍ය සියලු දේ පිළියෙල කළ යුතුය.

කඳවුරු දිනවල අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය අමාත්‍ය ගාමිණි අතුකෝරල මහතාත් සභාපති චරිත රත්වත්තේ මහතාත් කඳවුරු භූමියේ නේවාසික වී යෞවන සමාජ පිරිස් සමඟ උරෙන්උර ගැටී කඳවුරු ජීවිතයක් ගෙවීම විශේෂ කරුණකි. ඔව්හු ද ක්‍රීඩා කරති; කඳවුරු සිසාරා ගොස් තරුණ පිරිස් සමඟ කෑම බීම ගනිති; අනෙකුත් වැඩසටහන්වලට ද, විශේෂයෙන් ගවේෂණ වැඩසටහන් ආදියට සහභාගි වෙති. එපමණක් නොව මතු වන ගැටලුවලට විසඳුම් ද ඒ මොහොතේම ලබා දෙති.

කඳවුරු පැවැත්වෙන දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් භික්ෂුන් ද, කලාකරුවන් ද, ක්‍රීඩකයන් ද, දේශපාලකයන් ද, හමුදා නායකයන් ද වශයෙන් සියලු තරාතිරම්වල අය පැමිණ කඳවුරු නරඹා තරුණ පිරිස් හමුවී සුහදතා ගොඩනඟා ගැනීම අපූරු කරුණක් විය. මාතලේ යොවුන්පුර අවස්ථාවේදී එය නැරැඹීමට බ්‍රිගේඩියර් විජය විමලරත්න මහතා පැමිණියේය. සභාපති චරිත රත්වත්ත මහතා මට පණිවිඩයක් එවමින් ඔහු හමු වන ලෙස දැන්වීය. මා ඔහු හමුවූ විට මා ඒ අවස්ථාවේ බෙල්වුඩ් පුහුණු මධ්‍යස්ථානය බාරව සිටි නිසා ගජබා රෙජිමේන්තුවට තේමා ගීතයක් සකස් කර දෙන ලෙස ඉල්ලීය. ගජබා තේමා ගීතය වන

“පෙරමුණේ සිට හෙළය රකිනා අපියි ගජබා බළඇණී... එදා හෙළ රජ යුගය සිහි කර මෙදා බුජ බල පෙන්වමු” යන ගීතය සකස් වූයේ ඒ ඉල්ලීම අනුවය.

යොවුන්පුර වැඩසටහන නිසා මතු වූ වැඩසටහන් පසුව ජාතික වැඩසටහන් බවට පත් විය. යොවුන්පුර පාර්ලිමේන්තුව දැන් ‘යොවුන් පාර්ලිමේන්තුව’ ලෙස වෙනම වැඩසටහනකි. යොවුන්පුර ක්‍රීඩා තරග දැන් ‘ජාතික යෞවන ක්‍රීඩා’ ලෙස වර්ධනය වී ඇත.

යොවුන්පුර ප්‍රවෘත්ති මධ්‍යස්ථානය ඉතාම කාර්යබහුල ස්ථානයකි. කොළඹින් කැඳවාගෙන යන මාධ්‍යවේදීන්ට අමතරව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද සමඟ 150ක පමණ මාධ්‍යවේදීන් පිරිසකගේ අවශ්‍යතා සපුරන අතර ‘යොවුන්පුර පුවත්’ නමින් පුවත්පතක් කඳවුරු දිනවල කඳවුරු අතර බෙදා හැරීමට මුද්‍රණය කිරීමට ද ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට අයත් කාර්යයකි. අප රාත්‍රියේ පත්‍රයේ වැඩ කරන විට රනිල් වික්‍රමසිංහ මහතාත් චරිත රත්වත්ත මහතාත් රාත්‍රී 12ට පමණ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට පැමිණ අපේ සුවදුක් විමසා යෑම සිරිතක් විය. ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේ වැඩ කොතරම් කාර්යක්ෂම ලෙස ඉටු කළේ ද කිවහොත් දිනමිණ මාධ්‍යවේදී තිලක් සේනානායක මහතා ‘කඩි ගුලක් සේ වැඩ කළ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය’ යනුවෙන් මේ සම්බන්ධයෙන් වෙනම ප්‍රවෘත්තියක් ලියා තිබිණි. මම එකල ජාතික තරුණ සේවා සභා ප්‍රචාරක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වීමි.

තරුණ කඳවුරු කොතෙකුත් පැවැත්වෙති. ඒවා වැඩි හරියක් පුහුණු අයගේ කඳවුරුය. නිදසුනක් ලෙස බාලදක්ෂ කඳවුරු ගත හැකිය. එහෙත් යොවුන්පුරයට එන්නේ එසේ පුහුණු වූ පිරිසක් නොවේ. එබැවින් යොවුන්පුරය තුළ දැඩි විනය නීති මාලාවක් ක්‍රියාත්මක කළ යුතුය. මෙනිසාම හැම යොවුන්පුරයකටම මඟ පෙන්වන “යොවුන්පුරට අත්වැලක්” නම් පොත් පිංචක් පළ කරනු ලැබිණි. උදේ 4.00 ට අවදි වීමේ සිට රාත්‍රී 11ට නින්දට යන මොහොත දක්වාම පිළිපැදිය යුතු කරුණු ගැන උපදෙස් එහි අඩංගු විය. එබැවින් යෞවනයනට තරුණ සංවිධාන කටයුතු පුහුණු කිරීමේ වැඩසටහනක් ලෙස යොවුන්පුර වැඩසටහන මහෝපකාරී බව සඳහන් කළ හැකිය.


යොවුන් පුරය දිගටම තිබුණා නම් ජාතික සංහිඳියාව මීට වඩා තහවුරු වෙනවා

මුල් ම යොවුන් පුරපති අමරසේන ඒකනායක

එදා 1984 සිට 1989 දක්වා රටේ විවිධ ස්ථානවල පැවැති යොවුන් පුරය අපේ රටේ සියලුම ජාතීන්ගේ තරුණ තරුණියන්ගේ දස්කම් පෙන්වීමට මිතුදම් දියුණු තියුණු කිරීමට සමඟම නිර්මාණාත්මක කුසලතා විදහා පෙන්වීමට තෝතැන්නක් විය. ඒ හැම යොවුන් පුරයක්ම පාලනය කළේ එක් එක් දිස්ත්‍රික්කවලින් පත් කළ නගර සභාවක් විසිනි. 1989 ප්‍රථම යොවුන් පුරයේ නගර සභාවේ පුරපති වූයේ ගාල්ලේ අමරසේන ඒකනායක මහතාය. එදා ක්‍රියාශීලි තරුණ නායකයකු වූ අමරසේන මහතා අද රටේම තරුණ පරපුරේ හදවත් හා ජීවිත ඔපවත් කරන තරුණ ප්‍රජා පුහුණු උපදේශකයෙකි. ඒ මහතා දැන් සිළුමිණ කතු මඬුල්ලේ මා ඉදිරියේ සිටී. ඒ අන් කිසිවකුම නොවේ යොවුන් පුර 6ක අත්දැකීම් ඔබට පවසන්නටය. මුලින්ම ඔහු පවසන්නේ තරුණ සේවා සභාවේ අතීතය පිළිබඳව තොරතුරුය.

“1967 අප්‍රේල් 7 වැනිදා නිකුත් වූ අංක 11 දරන ස්වේච්ඡා ජාතික තරුණ සේවා පනත යටතේ ජාතික තරුණ සේවා සභාව පිහිටුවනු ලැබුවා. ඊට පස්සෙ 1983 මාර්තු 27 වැනිදා යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමු. 1977 සිට තරුණ සේවා සභාවේ සභාපති වූයේ චරිත රත්වත්ත මහතායි. එවකට යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමැති වූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. මේ දෙදෙනාගේ සුසංයෝගය ඇතිව තරුණ සේවා සභාව රටේ හැම පළාතකින්ම යෞවන සමාජ ඇති කළා. ගමේ ඉදිරියට එන තරුණ පරපුරේ ක්ෂේම භූමිය වුණේ මේ ගමේ යෞවන සමාජය. අද අපේ රටේ ඉහළ තැන්වල ඉන්නා ගොඩක් අය මේ යෞවන සමාජ නායකත්වය මඟින් ඉදිරියට ආපු අය. මමත් එහෙමයි.” 1993 මාර්තු 31 වැනිදා මම ගාල්ල ගිනිමැල්ලගහ ගමේ යෞවන සමාජයේ සභාපති වුණා. ඒ ගමන තමයි 1984 ගාල්ලේ දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩලයේ සභාපතිකම් ගන්න මට පුළුවන් වුණේ.“

1989 යොවුන් පුරයට අමරසේන ඒකනායක මහතා එක්වන්නේ ගාල්ලේ තරුණ පරපුරේ තරුණ නායකයා ලෙසයි. ඒ අනුව ඔහු තවත් 22 දෙනෙක් පමණ යොවුන්පුර පෙරගමන් කණ්ඩාය ලෙස ගාල්ලේ සිට පොලොන්නරුවට පැමිණියේය.

“අපි එනකොට අනෙක් දිස්ත්‍රික්කවල පෙර ගමන් කණ්ඩායම් පැමිණ හිටියා. ඒ ඒ දිස්ත්‍රික්කවලට අයිති ඉඩකඩ වෙන් කරලා දුන්නා. තරුණ සේවා සභාවේ නිලධාරීන් ඒ අනුව හැමෝටම තම යොවුන් කඳවුර තම දිස්ත්‍රික්කයේ අනන්‍යතාව නිරූපණය වන අයුරින් නිර්මාණය කළ යුතුයි කියලා අපිට උපදෙස් ලැබුණා. ඒ අනුව අප විසින් ගාල්ලට ආවේණික ගාලු කොටුව, ගාලු වරාය, උණවටුන මුහුදු තීරය ඇතුළත් වන අයුරින් අපේ කඳවුර ඉදි කරනු ලැබුවා. මාතර අය දෙවුන්දර දේවාලයත් මාතර කොටුවත්, මහනුවර අය දළදා මාලිගයත් ඒ අවටත් ඇති තම දිස්ත්‍රික්කයේ අනන්‍යතා ලක්ෂණ අනුව තමයි තම දිස්ත්‍රික් කඳවුරු හදාගත්තේ. යාපනයේ හා මඩකළපුවේ දිස්ත්‍රික්ක කඳවුරුත් ඉතා මනරම්ම තිබුණා මතකයි. තල් අතු හා පොල් අතු මේ අනුව උතුරේත් දකුණේත් කඳවුරුවල දක්නට ලැබුණා. සමහර දේවල් අපි හුවමාරු කරගත් අවස්ථාත් තිබුණා.”

අමරසේන ඒකනායක මහතා පවසන පරිදි මුල්ම යොවුන් පුරයේ පුරපති වීමට අමරසේන ඒකනායක මහතාගේ කිසිම සූදානමක් නොතිබිණි.

ඔහු 1984 යොවුන් පුරයේ ගාල්ල දිස්ත්‍රික් කඳවුර ඉදිකිරීමේ ප්‍රමුඛ කටයුතුවල ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටින අතර යොවුන්පුර ප්‍රථම නගර සභා රැස්වීම පවත්වන බවට නිවේදනයක් කෙරිණ. ඒ අනුව ගාල්ල නගර සභා නියෝජිතයා ලෙස වහාම ඒ නගර සභාවට යා යුතුය. ඉන්පසු වූ සිදුවීම ඔහුම මෙසේ ඉදිරිපත් කරයි.

අන්තිම මොහොත දක්වා වැඩ කර දූවිලි තවරාගෙන දුවගෙන මම ඇවිත් කූඩාරමට පැමිණි විට, එහි බෑග් ගබඩාවේ යතුර භාර නායකයා හදිසියකට ඉවතට ගොස් තිබිණි. ඇඳුම් ඒ ඇතුළේය. දැන් කෙසේ ගාල්ල නගර සභිකයා ලෙස යන්න ද? අභියෝගයකි.

“...මට හරියන සුදු ෂර්ට් එකක් සුදු සරමක් තියෙනවදැයි හනික හොයන්න මම උස් හඬින් කීවා. ප්‍රාදේශීය තරුණ නායක නායිකාවන් නිමේෂයකින් එය දිස්ත්‍රික්කය පුරාම පැතිරවූවා. විනාඩියක් දෙකක් ඇතුළත ෂර්ට්, සරොම් රැගත් බොහෝ පිරිස් මගේ ඇඟට තියා මිමි බැලුවා. හරි ගිය දෙකක් ඇඳ ගත්තා. ෂර්ට් එක හිනිදුමිනි. සරම රත්ගම කූඩාරමේ සහෝදරයෙකුගේ. මම ඔළුව පීර පීරා ඇඳ ඇඳ දුව ගොස් හති දමමින් නගර සභා ශාලාවේ නියමිත පුටුවේ අසුන් ගත්තා. පැයක් ඇතුළත සහයෝගීතාවේ ඇඳුම් සහිත මම පුරපති ධුරයට ද තේරුණා. 1984 දී අනුන්ගේ ඇඳුම් ඇඳගෙන ගිහින් තරුණ ප්‍රජාවගේ නායක වූ අයුරු අමතක වෙන්නේ නෑ” යැයි ඔහු පවසයි.

ගිනිමැල්ලගහ යෞවන සමාජයේ ලේකම් ලෙස යෞවන සමාජ ව්‍යාපාරයට එක්වුණු මට ප්‍රථම යොවුන් පුරයේම පුරපති වීමට ලැබීම මට ලොකු සතුටක්. ආපසු කඳවුරට එන විට අපේ අය ජය ඝෝෂා කරලයි මාව පිළිගත්තේ. යොවුන්පුරේ නගර සභාව සෑම දිනකම උදේ හවස රැස්වුණා. ඒ ඒ දිනවල පසුදා කෙරෙන වැඩපිළිවෙළ සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තා.”

ඔහු පවසන පරිදි යොවුන් පුරය යනු එම යොවුන් පුරය තිබෙන දින වකවානුවල කරන ක්‍රියාකාරකම පමණක්ම නොවේ. ඔවුන් එකල යොවුන් පුරයට එක්වී ඇත්තේ දිගුකාලීන සැලසුම්කරණයක් හා මෙහෙයවීමක් හා පුහුණුවක් ඇතිවය. “‘යොවුන් පුරේ’ට මාස 3 - 4 කට පෙර සිටම අපි එහේ ගිහිල්ලා කරන්නේ මොනව ද කියා සැලසුම් කරනවා. කවුද ඉදිරිපත් වෙන්නේ. යොවුන් පුර ක්‍රීඩා තරගවලට, සංස්කෘතික තරගවලට, යොවුන්පුර කුමර කුමරිය තේරීමේ තරගවලට, කවුද තම දිස්ත්‍රික්කයෙන් නම් කරන්නේ, මේ සියලු තරගවලට අදාළ ප්‍රාදේශීය බල මණ්ඩලවල තරග පවත්වා සුදුස්සන් තෝරා ගැනීම කරන්නේ යොවුන්පුරේම මාස 2 - 3කට පෙර සිටම.

සමහරු හිතනවා නම් යොවුන් පුරේ කියන්නේ තරුණ තරුණියන් ඒ දින පහේ එකතු වෙලා කරන ප්‍රදර්ශනයක් කියලා ඒක සම්පූර්ණ වැරැදි අදහසක්. වසර 6ක යොවුන් පුරයට එක්වූ පුරපතිවරයෙක් දිස්ත්‍රික් නායකයකු ලෙස මට කියන්න තියෙන්නේ යොවුන් පු‍රය කියන්නේ මෙරට තරුණ යම් යම් ගැටලුවලට විසඳුම් දෙන තරුණ පරපුරේ දක්ෂතා ඔප් නංවන තරුණ ජවයට තරුණ දැනුමට මෙන්ම තරුණ ජීවයට අතහිත දෙන තාරුණ්‍යයට නව ජීවයක් දෙන වැඩසටහනක්.

යොවුන් පුරයට එක්වීම තරුණ ජීවිතයක වැදගත්ම අත්දැකීමක් වනු ඇතැයි ඒකනායක මහතා එලෙස පෙන්වා දෙයි. ඊට අමතරව යොවුන් පුරය ආගමික, අධ්‍යාපනික, සන්නිවේදන වැනි ක්ෂේත්‍රවලින් තරුණ පරපුරට මනා පුහුණුවක් දෙන තැනක් බව ද අමරසේන මහතා පෙන්නුම් කරයි.

“සරලව කියතොත් යොවුන් පුරයක හැමදේම තිබෙනවා. ඒක හැම දෙයක්ම උගන්වන හැම දෙයකටම ඉදිරිපත් වීමට හැකි ‘අලුත්ම යොවුන් සරසවියක්’ කිව්වත් වරදක් නැහැ කියලයි මම සිතන්නේ.

1984 දී යොවුන් පුරයක් පිළිබඳව කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. එවන් අත්දැකීම් නැතිව 1984 දී සාර්ථක යොවුන් පුරයක් පැවැත්වීමෙන් එකල යොවුන් ඇමැති අද අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, එවකට තරුණ සේවා සභාපති අද අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්ත මහතාත් කළේ මහ විස්කමක් කැපවීමක්.

යොවුන් පුරය පැවැත්වූ හැම දිස්ත්‍රික් කඳවුරකටම හැම දිනකම මේ දෙදෙනාම ඇවිත් අපේ සුවදුක් බැලුවා. එය සියලු යොවුන් පුර සාමාජිකයන්ට ලොකු ධෛර්යයක් වුණා. මුල්ම යොවුන් පුරයේදී අපිට මුහුණ දීමට සිදුවුණු ලොකුම ප්‍රශ්නය තමයි අධික වැස්ස. ඒත් තරුණ ජවය තරුණ ක්‍රියාශිලිත්වය මඟින් අපි ඒ අභියෝගයට එකාවන්ව එක්සිත්ව, ඒකාබද්ධව නැඟී සිට අපි ඒ අභියෝගය ජයගත්තා. යම් සමහර කඳවුරු කැඩිලා ගියා. කඳවුරුවලට වතුර ආවා. මේ වැස්ස දවසක්ම තිබුණා.

මේ වෙලාවේ යෝජනාවක් ආවා වැස්ස අඩුවන්නට කියා පඬුරක් බඳිමු කියලා. ඒ අනුව අපි පඬුරක් සෝදලා යොවුන් පුර නගර සභික පිරිස අතින් අත ගෙනගිහින් මම ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයට දුන්නා. එතුමා පඬුර බැඳලා අපිත් එක්ක එකතු වෙලා ආගමික ආශිර්වාදය කළාට පසුව වැස්ස ටික වේලාවකින් තුරල් කළා. පුංචි වැහි පොදක් තිබුණත් අවසන් විසිර යාමේ උත්සවය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අවසන් සමාප්ති රැළිය පවත්වන්නට හැකිවුණා. ඒක අපිට ලොකු සතුටක් වුණා.”

මේ අනුව යොවුන් පුරය වනාහි ජීවිත අභියෝග ජය ගැනීමට හොඳ පන්නරයක් පවා දෙන ස්ථානයක්. එකල යොවුන් පුරයක් පැවැත්වීමට පෙර තරුණ සේවා සභාවේ මාධ්‍ය කණ්ඩායමක් පුවත්පත් මාධ්‍යවේදිනුත් සමඟ එහි ගියා. ප්‍රදේශයේ සංස්කෘතික අනන්‍යතාව හොඳහිත පිහිටීම හා ප්‍රදේශයේ උප සංස්කෘතිය හා ජන විඥානය පිළිබඳව අධ්‍යයනයක් කරනු ලැබේ.

අමරසේන ඒකනායක මහතා පවසන පරිදි යොවුන් පුරය වනාහි ජාති ආගම් භේදවලින් තොරව ලංකාවම එක තැනකට ආ කඳවුරකි.

“අපිට යාපනය කඳවුරට මඩකළපුව කඳවුරට වවුනියාව කඳවුරට යන්න පුළුවන් වුණා. කැඩෙන සිංහලෙන් කැඩෙන දෙමළෙන් අපි ඒ තරුණ තරුණියන් එක්ක අදහස් හුවමාරු කරගත්තා. අපි ඒ අයගේ විවිධ කෑම රස වින්දා. ඒ අය අපේ කෑම රස වින්දා. එයයි මම හිතන්නේ ජාතික සංහිඳියාවට අදත් අවශ්‍ය වන්නේ. නමුත් 1989න් පස්සේ උතුරු නැ‍ඟෙනහිර ගිනිදැල් ඇවිලීමටත් එක් හේතුවක් තමයි යොවුන් පුරය නොපැවැත්වීම. උතුරේ තරුණ නායකයන් ඉදිරියට එන්න ප්‍රධාන තැනක් වුණේ යොවුන් පුරය හා යෞවන සමාජ ඒක නැවැත්වීම ඔවුන්ට විතරක් නෙමේ ඉදිරියට එන්න ආසාවෙන් හිටි ශ්‍රී ලාංකික සමස්ත තරුණ පරපුරටම ලොකු පාඩුවක්. මමනම් කියන්නේ අපේ ජාතික ආදායම වඩා වැඩි කෝටි ගණනක පාඩුවක් තමයි යොවුන් පුරය අවුරුදු 27ක් නොපැවැත්වීම.

තරුණ පරපුර අතර පීඩනය හා විවිධ ගැටලු ඇතිවුණා. යෞවන සමාජ ව්‍යාපාරය කඩාකප්පල් වුණා. තරුණයන්ට නැඟී සිටීමට තිබුණු තෝතැන්න යොවුන් පුරය යෞවන සමාජ වැඩපිළිවෙළ අක්‍රිය වුණා. උතුරේ තරුණ නැගිටිම් උග්‍ර වුණා.

මෙවන් තත්ත්ව යටතේ වත්මන් රජය මෙවර යොවුන් පුරය මඟින් ජාතික සංහිඳියාවට හොඳ පරිසරයක් අද නිර්මාණය කරමින් පවතිනවා. මේ අනුව මෙවර යොවුන් පුරයට යාපනයේ දෙමළ සොයුරනුත් මඩකළපුවේ ත්‍රිකුණාමලයේ මුස්ලිම් සොහොයුරොත් අපිත් සමඟ එක්වෙනවා. යොවුන් පුරය ජාතික සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය මේ වසරේ මෙන්ම ලබන වසරේත් පැවැත්විය යුතුයි.”

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්