මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


ඉතිහාසයේ පරිසරය

ඉතිහාසයේ පරිසරය

අපේ රටේ ඉතිහාසය ගැන මෙතෙක් අප තුළ තිබුණු ඇතැම් විශ්වාස වෙනස් කර ගැනීමට දැන් කාලය එළැඹ ඇති බව පෙන්වා දෙන අන්දමේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සැලකිය යුතු ප්‍රමාණයක් පසුගිය කාල වකවානුවලදී හෙළිදරව් කිරීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙනවා. අලුතින් නොයෙක් දේ සොයා ගන්නා සේම පවතින ඇතැම් අදහස් දෙස නව දැක්මකින් බලා ඒවා අලුතින් අර්ථකථනය කිරීමත් එහිදී සිදු වී තිබෙනවා. ඒ අනුව අපේ රටේ සිටින කීර්තිමත් ඉතිහාසඥයන්ටත් මේ රටේ ඉතිහාසය දෙස වඩාත් නිවැරදි ව බලා ඒ බව ඉතිහාසය අයත් රටේ පොදු පුරවැසියන්ට පැහැදිලි කර දීමේ ගෞරවය නිතැතින් ම හිමි වෙනවා.

ඉතාමත් දිගු අතීතයක පටන් අපේ රටේ මිනිසුන් ජීවත් වූ බව මීට පෙර මේ ලිපි මාලාවේ දී අවධාරණය කර පෙන්වා දී තිබෙනවා. එසේ වුවත් විසිවන සියවස පුරා මේ රටේ ඉතිහාසය ඉගෙන ගැනීමේදී අපව පොලඹවා තිබෙන්නේ ඉතිහාසයේ මෑත කාලයක සිදු වූ ජනසංක්‍රමණයක් පදනම් කරගෙන ඉතිහාසය ඉගෙන ගැනීමටයි. එහි වරදක් නොපෙනෙතත් අපේ රටේ ඉතිහාසය සකස් වීමට අවශ්‍ය කරන ඉතාමත් ම වැදගත් ප්‍රතික්‍රියාවන් සිදු දීර්ඝ කාල පරිච්ඡේදයක් මුළුමණින් ම අමතක කර එය සිදු කිරීම කිසිසේත් ම අනුමත කළ හැකි ක්‍රියාවක් ලෙස අපි කවුරුත් පිළි නොගන්නා බව සහතිකයි.

අඩු ම තරමින් මීට අවුරුදු 1 25 000 කට ඉහත දී මෙරටට සංක්‍රමණය වූ ආදි හෝමෝසාපියන්වරුන් මේ රටේ නොයෙක් පළාත්වලට විහිදී ගොස් ඒ ඒ පළාත්වල තිබෙන විවිධ පරිසර තත්ත්වවලට හැඩ ගැසෙමින් ජීවත් වූ ආකාරය පෙන්වා දීමට අපේ රටේ විද්වතුන් කිහිප දෙනකු ම මහත් වෙහෙස වී වැඩ කටයුතු කළ බව අප දන්නවා. ආචාර්ය පී. ඊ. පී. දැරණියගල, ආචාර්ය ශිරාන් දැරණියගල ආදි ප්‍රමුඛ පෙළේ විද්වතුන් ඒ අතරින් ප්‍රධානයි. එතරම් පැරැණි කාලයක මෙරට විසූ මිනිසුන් ගැන පමණක් නොව ඒ කාලයේ මේ රටේ පැවැති පරිසර තත්ත්ව ගැනත් ඔවුන් ඉතා වැදගත් එමෙන් ම රසවත් තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

ඉතිහාසය ගැන අධ්‍යයනය කරන විට අප විසින් කල්පනා නොකරන දෙයක් වන්නේ ඉතිහාස කාලයේ පැවැති පරිසරය කෙබඳු වී ද යන කාරණයයි. ඉතිහාසය ගැන දැන ගැනීමට ආශාවක් ඇති ඕනෑ ම කෙනෙක් පුරාණ කාලයේ පැවැති පරිසරය සහ ඒවාට ඇති වූ බලපෑම් ගැන සොයා බැලීම අත්‍යවශ්‍යයි. ඉතිහාසය කියන්නේ මිනිසුන් ගැන කථාවක්. මිනිසුන් මේ විදියට කටයුතු කළේ ඇයි? ඔවුන් අර විදියට ක්‍රියා කළේ ඇයි? ආදී දේ අපට ඉතිහාසයෙන් අසන්නට පුළුවන් වන ප්‍රශ්නයි. එහිදී අප විසින් හොඳින් දැන ගත යුතු කරුණක් වන්නේ මිනිසුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බලපාන ප්‍රධානතම දෙයක් වන්නේ ඔවුන් ජීවත් වන පරිසරය බවයි.

නිවර්තන කලාපීය රටවල ජීවත් වූ පැරැණියන් තමන්ගේ එදිනෙදා ආහාරය සඳහා කුරක්කන් භාවිත කළේ ඒවා නිවර්තන කලාපීය රටවල වැවෙන ධාන්‍ය වර්ගයක් නිසායි. සීත කාලගුණයක් තිබෙන රටවල මිනිසුන් ඒ වෙනුවට ආහාරය සඳහා තෝරා ගන්නා ලද්දේ බාර්ලි හෝ ඕට්ස් වැනි ශීත රටවලට ආවේණික වූ ධාන්‍ය වර්ගයි. පුරාණ ම කාලයේ අපේ රටේ ජීවත් වූ මිනිසුන් තමන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන මෙවලම් තනා ගැනීමට යොදා ගත්තේ තිරිවාණා හෝ කහඳ යන ගල් වර්ගයි. නමුත් යුරෝපානු රටවල ඒ කාලයේ විසූ මිනිසුන් ඒ සඳහා යොදා ගන්නා ලද්දේ ෆ්ලින්ට් යනුවෙන් හඳුන්වන ස්වාභාවික ගල් වර්ගයි. අපේ රටවල එවැනි ගල් වර්ග ස්වභාවයෙන් ම පිහිටා නැහැ. ඉතිහාසය නිර්මාණය වීමේදී පරිසරය ඒ වෙත ඇති කරන බලපෑම කෙබඳු ද යන කාරණය පෙන්වා දීමට මෙවැනි උදාහරණ රාශියක් වුවත් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා.

මීට අවුරුදු දශලක්ෂ දෙකහමාරකට පමණ පෙර පෘථිවියේ දේශගුණය හදිසි වෙනස් වීමකට ලක් වුණා. එහිදී සිදු වූයේ අධික සිසිල් දේශගුණික තත්ත්වයක් ඇති වීමයි. එය කෙතරම් බලවත් වූවක්දැයි කිවහොත් පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ සැතපුම් ගණන් ඝනකම ඇති හිම තට්ටුවලින් වැසී ගියා. මේ කාලය හැඳින්වෙන්නේ මහා හිම යුගය යන නමිනුයි. මහා හිම යුගය දීර්ඝ කාලීන සිසිල් දේශගුණික අවදි හතරකින් සහ කෙටි කාලීන උණුසුම් දේශගුණ අවදි හතරකින් සමන්විත වුණා. ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න නිවර්තන කලාපීය රටවලට අධික හිමපතනයක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට දීර්ඝ කාලයක් තිස්සේ බලපවත්වන වැසි සහිත දේශගුණ තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

මහා හිම යුගයේ දී අපේ රටට මුහුණ දීමට සිදු වූ අධික වර්ෂා සහගත තත්ත්වය නිසා වෙනස්කම් රාශියක් ඇති වූ බව පෙනෙනවා. ඒ අතරින් අදටත් ජීවමාන ව පෙනෙන දේ නම් ඒ වර්ෂාව නිසා සේදී යාමෙන් හට ගත් භූ විෂමතාවන්. ඔබ මෝටර් රථයකින් රත්නපුර පසුකොට බණ්ඩාරවෙල දක්වා ගමන් කරන්නේ නම් අවට පරිසරයේ එවැනි භූමි දර්ශනයක් පහසුවෙන් දැක ගත හැකියි. මහා කඳු දැඩි ලෙස සෝදාපාළුවට ලක් වීමෙන් සකස් වූ මහා ප්‍රපාත සහ ඇලි කඳුකර භූමි දර්ශනයේ පහසුවෙන් දකින්නට තිබෙනවා. මෙසේ කඳු සෝදා යාමෙන් අනතුරු ව එසේ සේදී ගිය පස් සහ බොරලු තැනිතලා බිම්වල තැන්පත් වුණා.

අධික වර්ෂා සහගත දේශගුණික තත්ත්ව යටතේ තැන්පත් වන්නේ බොරලු සහිත පස් තැන්පතු බව අප අත්දැකීමෙන් දන්නවා. ඒ කාලයේ ඇති වූ අධික සෝදා යාම්වලදීත් එසේ ඝනකම් ඇති බොරලු තට්ටුවක් තැන්පත් වුණා. කඳු මුදුන්වල ස්වභාවිකව නිර්මාණය වූ වර්ණවත් ගල් සෝදා යාම නිසා රවුම් වී ගසා ගෙන විත් ඒ සමඟ ම තැන්පත් වුණා. රත්නපුර ප්‍රදේශයේ මැණික් ගරන අය ඉල්ලම යනුවෙන් හඳුන්වන්නේ මහා හිම යුගයේදී මෙසේ කඳු මුදුන්වලින් සෝදා ගෙන විත් තැනිතලාවල තැන්පත් වූ බොරළු තට්ටුයි. රත්නපුර, පැල්මඬුල්ල ආදි ප්‍රදේශවල තිබෙන මැණික් ඉල්ලම් ගොඩ දැමීමට උපරීම වශයෙන් අඩි 45 ක් පමණ පොළොව සෑරීම කළ යුතුයි. ඉන් අදහස් කරන්නේ මහා හිම යුගයෙන් පසු කාලයේ ඒ ප්‍රදේශවල අඩි 45 ක් පමණ ඝනකමට පස් පිරී ඇති බවයි.

අපේ රටේ ඉතිහාසය ගැන උනන්දු වන කවර අයකුට වුවත් මැණික් පතල්වල තිබෙන පස් තට්ටු වැදගත් වන්නේ ඒවායේ ඉතා පුරාණ කාලයකට අයත් සතුන්ගේ සහ ශාකවලට අයත් සාක්ෂි ඉතිරි වී තිබීම නිසායි. පුරාණ කාලයේ මේ රටේ ජීවත් වූ ආදි මිනිසුන් විසින් භාවිත කරන ලද ගල් මෙවලම් පවා මැණික් පතල්වලින් සොයා ගෙන තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලු ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා මැණික් පතල්වලින් හමුවන ආදි කාලීන ගල් මෙවලම්වලින් හෙළිවන තාක්ෂණය හැඳින්වීමට රත්නපුර කර්මාන්තය (Rathnapura industry) යන යෙදුම භාවිත කළා.

ඒ කාලයේ මේ රටේ ජීවත් වූ සතුන් සමහර දෙනෙක් අද සහමුලින් ම වඳ වී ගොස් තිබෙනවා. වර්තමානයේ ජීවත් වන අලියාගේ මුල් පරම්පරාවට අයත් ඇලිෆාස් මැක්සිමුස් නමින් හඳුන්වන හස්තියා, සිංහයා, හිපපොටේමස්, ගවරා ආදි සතුන් ඒ කාලයේ ජීවත් වී අද වන විට වඳ වී ගොස් තිබෙන දේශීය සතුන්. මේ සියලු සතුන් පහතරට තෙත් කලාපයේ වාසය කළ බව මැණික් පතල්වලින් ලැබෙන සාක්ෂි මඟින් තහවුරු කර තිබෙනවා. මහා හිම යුගය අවසන් වූයේ ක්‍රිස්තු පූර්ව 12 000 දී පමණ වන විටයි. ඉන් පසුව උදා වුණේ උණුසුම් දේශගුණයක්. එය අද අප මුහුණ දෙන දේශගුණික තත්ත්වයට බොහෝ සෙයින් සමාන බව පෙනෙනවා. ඊට පසුවත් නොයෙක් අවස්ථාවල දේශගුණික වෙනස්කම්වලට මුහුණ දීමට අපට සිදුවුණා. ඒත් ඒවා ඉතිහාසයට බලපෑමක් ඇති කරන ලද්දේ කුමන ආකාරයකට ද යන කාරණය වෙත අපි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය බව ස්ථිරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්