මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


ටිකිරිලියා තරු මැද්දෙ ගියා

ටිකිරිලියා තරු මැද්දෙ ගියා

සමාජයේ බෙහෙවින් ම විමැසිල්ලට ලක් වන, ජනප්‍රිය මාතෘකාවක් ව සැම සිත් කලඹන, එහෙත් නිර්මාණකරණයට සුලබ නො වූ මාතෘකාවක් ගැන ලියැවුණු අපූර්ව නවකතාවක් පසුගිය දා කියවන්නට ලැබිණි.

කලාකරුවකුට කලා නිර්මාණයක් බිහි කිරීම සඳහා කුමන සාධක, කුමන දේ හේතු වන්නේ දැයි අප කිසිවකුට කිව නොහැකි ය. නිර්මාණාවේශය අවුළුවන යම් යම් දෑ තිබෙන්නට පුළුවන. එහෙත් අවසන නිමවන කලා කෘතිය ආශ්චර්යයක් ම ය.

“ටිකිරි ලියා තරු මැද්දෙ ගියා” නම්, පරාක්‍රම ඒකනායකගේ මේ නවකතාව ද එක්තරා අන්දමක ආශ්චර්යයකි. ඔහු ඒ ඔස්සේ හෘදය සාක්ෂ්‍යය සොයා යන අතර ම ඒ ගමනට පූර්වාපර සන්ධි සේ ගළපන්නේ ජනශ්‍රැති වියමනකි. මේ ජනශ්‍රැති වියමන අපූරු ය. අතීතයත් වර්තමානයත්, වර්තමානයෙන් අතීතයටත් ක්ෂණයෙන් ගමන් කරන හේ අපගේ හෘදය සාක්ෂ්‍යය ද විමසන මෙන් වක්‍රාකාරව ඇරියුම් කරයි.

පරාක්‍රම මේ අපූර්ව කතාව මඟින් සොයා යන්නේ ටිකිරිලියා ය. ටිකිරිලියා අප කිසිවකුට ආගන්තුක කතක් නො වේ. එහෙත් හෙට උපදින පරම්පරාවට නම් ටිකිරිලියා අමුත්තියක සේ පෙනෙන්නට ඉඩ තිබේ. ඒ ටිකෙන් ටික අපේ මුල් සිඳී යන බැවිනි. අප දන්නා ටිකිරිලියා සිය ජීවිතයට, පැවැත්මට එන බාධක, කෙනෙහිලිකම් ගැන දැනුම්වත් ය. එනිසා ම ඇය ඒ බාධක කෙරෙහි සවිඥානක ය. එහෙත් අද ටිකිරිලියා? ඇය ඒ බාධක ගැන සවිඥානික වුවත් ඒ බාධකවලට යටත් වන්නේ නැත. එදා ටිකිරිලියාට ජීවිතේ සේ වටිනා දේ අද ටිකිරිලියාට නොවැදගත් වටිනා නොවන දේ බවට පත් වී ඇත. අද එදා නොවටිනා දේට වටිනාකමක් කෙසේ වෙතත් වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. පරාක්‍රම ‘ටිකිරිලියා තරු මැද්දේ ගියා’ මඟින් ස්පර්ශ කරන්නේ මේ යථාර්ථය නො වේ ද?

මට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “ඇහිපියන් ඇහැරිලා” කාව්‍ය සංග්‍රහයේ “සීගිරි ළඳකගේ මවක්” නම් කවි පන්තිය සිහි වේ. මහින්ද අපූරුවට වත්මන් ඛේදවාචකය නිරූපණය කරන අයුරු බලන්න.

මගේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙ ම සිහි වුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට
තෑගි බෝගත් හිමි වුණා
සිහිල් ජල කෙළි - දුහුල් සළු පිළි
දුවට හිමි බව සැල වුණා

මහා සීගිරි ගලේ මුදුනත
උඹේ රුව සිත්තම් වුණා
උඹ බලන්න ම හොරෙන් හවසක
මාත් එතැනට ගොඩ වුණා
කරඬුවක් වගෙ උඹේ උඩුකය
අනෙක් උන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළුගල සෙලවුණා....

පපුව ටික ටික මෙළෙක් වෙන කොට
එන්න වෙයි මම දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නව පෙනෙනවා
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංගාගන්නවා...

පපුව මෙළෙක් වනවිට එන්න සිදු වන්නේත්, අක්කා ගෙදර එන විට අම්මා නංගී හංගා ගන්නේත් මේ ඛේදවාචකයේ ඵල වශයෙන් නො වේ ද?

ස්ත්‍රියගේ රූපකායට කෙටි පාරවල් රැසක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙන බව පරාක්‍රම ටිකිරිලියාගේ රූපකාය ගැන කරන විග්‍රහයෙන් අපූරුවට සනාථ වේ. මේ කෙටිපාරවල් ඔස්සේ යන ටිකිරිලියාගේ අම්මාවරුන් විඳින වේදනාව මේ නිර්මාණකරුවන් දෙදෙනාට ම එක සේ විෂයය වේ. එය සදාතනික සත්‍යයක් ව අප ඉදිරියේ විද්‍යමාන වේ.

ඇනා කැරනිනා, ඊවා ලූනා, එමා බෝවාරි, වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි... ආදි විශ්ව සම්භාවනාවට ලක් වූ සියලු කෘති ඔස්සේ විශද වන මේ පොදු සත්‍යය ජනශ්‍රැති වියමනක අපූරුවට ඔතමින් පරාක්‍රම ඉදිරිපත් කරන විලාසය විනිවිඳින සිතිවිල්ල බොහෝ දුර ගෙනයන්න සමත් වූවා නො වේ ද?

පරාක්‍රමට විෂය වන මේ ඉසව්ව ජනප්‍රිය විෂයයක් වන නිසා ම එහි එන චරිත මුහුණ දෙන සිදුවීම්වලට අනෙක් සියලු මේ සමාජයේ ජීවත් වන චරිතත් මුහුණ දෙන බැව් කටුක යථාර්ථයක් ව ම සිතේ රඟදෙනු දැනේ. අකුරුවලින් ඔබ්බට ගිය දෘශ්‍ය රූප මනසේ ඉදිරියේ රැඟුම් පාන භාෂාවක් පරාක්‍රම භාවිත කිරීම නිසා ම මේ කෘතියේ යටිපෙළ පිළිබඳ ව නැවත නැවතත් ම සිත වදවෙයි. පරාක්‍රම ගේ හෘදය සාක්ෂ්‍යයත් මගේ හෘදය සාක්ෂ්‍යයත් අතර තිෙයන සාම්‍යය “ටිකිරිලියා තරු මැද්දේ ගියා” මඟින් පොදු හෘදය සාක්ෂ්‍යයේ කතාවක් බවට පත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

“ටිකිරිලියා තරු මැද්දෙ ගියා” අතට ගෙන බලනු මැනවි.

ඔබට ඔබේ හෘදය සාක්ෂ්‍යය කතා කරනු ඇසෙන්නට පටන් ගනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්