මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


කිටී

කිටී

මල් ඉහිරුණ ගවුම් සාය සුළ‍ඟේ දැවටෙද්දි සුභානි කඩිනම් ගමනින් මිදුල හරහා ගියාය. ඇගේ කඩිනම ඇස් කොනට අල්ලා ගත්තද සුමනසේකර හිස නොඔසවාම පුවත්පත කියවීමේ යෙදුණේ එයටම ඇලුන සිතිනි. සැඳෑ අඳුරු සළු පොරවා ගන්නට අහස්කුස සූදානම්ව සිටී.

“චටස්” සුමනසේකරගේ බාහුවේ වසා සිටි මදුරුවා මරු වැලඳ ගත්තේය. පසුගිය දින කීපය ඔරවා ගෙන නොකඩවා වැසි දුන් අහස සිනාසෙන්නට පටන් ගත් පසු මදුරුවන් හිස ඔසවා ඇතී. උදැල්ලේ වැඩක් කළ විට දැනෙන තුනටියේ අපහසුතාව නිසා සුමනසේකර අතින් මගහැරුණ වටපිටාව නිල්ල පුරවාගෙන සිටී. ඝන සැරේට වැඩුණ වල් පඳුරු යට එක් රැස්වුණු වතුර පිරි කොළ රොඩු මදුරුවන්හට පාරාදීසයක් මවා දී වැන්න. තමා නැවත රැකියාවට ගිය පසු කුලිකරුවකු සොයාගෙන සුභා කැලය එළිපෙහෙළි කරගන්නා බව සුමනසේකර දනී. බල්ලාගේ වැඩේ බූරුවාට තල්ලු වෙයි. තමන් ගැන ලැජ්ජාවකුත් බිරිඳ ගැන දුකකුත් දැනුණ ඔහු පුවත්පත හකුළා දණහිස උඩ තබාගෙන අවට පිරික්සා බැලුවේය. මිදුලේ වැලිතලාව ද වල් පඳුරු සොරාගෙන ඇත. සවස් යාමයේ පඳුරු අතර සැඟවෙමින් නටන බැළලි පැටික්කියට නම් මිදුල සෙල්ලම් පිටියකි.

“හෙටවත් වත්ත සුද්ද කර දාන්න ඕනා” තමාටම කියා ගත්තේය.

සුම‍නසේකර පුවත්පත බලන්නට පටන්ගෙන පැයක් විතර වෙයි. පුවත්පතේ වූ දේශපාලන තොරතුරුවලට ඇලුණ සිත් ඇති ඔහු සියලුම දේශපාලන ලිපි ටික කියවයි. රටේ දේශපාලන පෙරළියක් වෙන ලකුණු කියැවෙයි. ඉන්දියාවේ දේශපාලනයේ විශාල පෙරළියක් වුණේ පසුගිය සතියේය. ඉන්දියාවේ සිදුවන වෙනස්කම් ලංකාවට ඍජුවම බලපාන බව දේශපාලනය කෙරෙහි අවබෝධයක් ඇති ඔහු දනියි. තමා තරුණ කළ දේශපාලනය වෙනුවෙන් වෙන්වී සිටි අයුරු සුමනසේකරගේ සිහියට නැගිණි. ඡන්දය කාලයට නම් ඉවරයක් නැතිය. උදේම ඉණට හිරවෙන කලිසම ගැලවෙන්නේ දවස ද අවසන් වූ පසුවය. දේශපාලන පෙරළියක් වී තමා ඡන්දය දෙන පක්ෂය බලයට එනු සුමනසේකර දකින සිහිනයකි. සුභා නම් කියන්නේ ඒවායින් අපට වැඩක් නොමැති බවයි. තමන් උනන්දු වී උපයා සපයා ගත්තොත් කරදරයක් නැතිව සිටීමට හැකි බවට සුභා අදහස් කරයි.

නමුත් ඇය නොදන්නා බොහෝ දේ ඇත. තමා විසින් උපයා ගන්නා දේ වුවත් හොඳින් හැසිර වීමට රටේ හොඳ පාලනයක් තිබිය යුතුය. “රාජා භවතු ධම්මිකෝ” තමන්ගේ විවාහයත් සුභාගේ රැකියාවත් තමාගේ දේශපාලන උණට බෙහෙත් සැපයූ බව ඔහු සිහිපත් කළේය. සුභා දේශපාලන පවුලකට අයත් කෙනකු වුවත් ඇය දේශපාලනයට කැමති නැත. ඇයගේ පියාගේ පියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකුව සිට ඇත. ඉන් අනතුරුව අවදියෙන් අවදියට පවුලේ ඥාතීන් මැති ඇමැති තනතුරු දරමින් රාජ සභාව හැඩකර ඇත. දැනුදු ඇයගේ සනු‍හරේ බොහෝ පිරිස් ඒ ඒ තැන්වල යෙහෙන් වැජඹෙන නමුදු ඇගේ පවුලේ සාමාජිකයින් ඔවුන්ගෙන් දුරස්තරව සිටින්නේ ඉහළ පෙළේ අයට තමන් නොකැමැති බවත් ඔවුන්ව තමන්ට ලොකු නැති බවත් කියමින් වුවත් ඔවුන් තරමට ශක්තිමත් ආර්ථියක් තමන්ට නැති බැවින් බව සුමනසේකර නම් දනී. “තුට්ටු අස්සේ අලුක්කාල් ගහන්න බැහැනේ” සුමනසේකර සිතුවේය. කඩාගන්න බැරි මිදි සුභාලාටත් තිත්තය. සුම‍නසේකරගේ මුහුණට සිනාවක් නැංගේය.

තමා රෑ කාලයේ රූපවාහිනියේ එවැනි වැඩසටහන්වල පොරොත්තු වෙන විට පුපුර පුපුරා නින්දට වැටෙන ඇගේ වත උදේට මැලවී ඇති අයුරු නොබලා සිටීමට සුමනසේකර පුරුදුව සිටියේය. දෙන්න දෙමහල්ලන්ගේ තරහ බත ඉදෙන තුරු බවට සාක්ෂි දෙමින් සුභාගේ තරහත් පවතින්නේ සුළු වේලාවකි. එය බත ඉදෙන කාලයවත් නොගන්නේ කුස්සියටත් තමාගේ අත දිගු වෙන නිසාද විය හැකිය. වෙනදාට නම් මේ වනවිට කිරි කහට එකක් ලැබෙයි. අද එය තාම නැත. සුභානි උදේ වරුවේ සිට අමනාප මුහුණකින් සිටින්නීය. තමා දැනුවත්ව නම් වරදක් වී නැති බව සුමනසේකර සිහි කෙරුවේය.

“දඩස් දඩස්” සුභානි හිතට එන තරහා ජනෙල් පිටින් යවන්නට මෙන් ජනෙල් පෙළ වසන්නට පටන් ගත්තාය.

“ජනේලයක් වහන්නවත් උඹලට බැරිද ටී වී එකේම එල්ලිලා හිටපල්ලා මම දාසිනේ. ඒකත් මමම කරන්නම්.”

රූපවාහිනිය ළඟ පොරොත්තු වෙන දරුවන්ට මවගේ ආඩපළි කනට නොවැටේ. රූපවාහිනියේ දිග ඇරෙන හින්දි සිතුවම උන්ගේ සවන් වසා ඇත. විවෘත ආර්ථිකයත් සමඟ නිවෙස්වල අයිතිය දිනා ගත් රූපවාහිනිය දරුවන්ගේ රස අයිතිය ද උදුරාගෙන ඇත. ඔවුන්ට කොතෙක් කිව්වද රූපවාහිනියට ඇලී සිටිති. විෂය පරිබාහිර පොතපතකට ඇලුම් නොකරති. මෙය ජාතියේ අවාසනාවක්යැයි සුමනසේකරට සිතෙයි.

“මදුරු වසන්ගතෙත් ඉවරයක් නෑ කොහෙද මේ කැලේ ඩිංගක් සුද්ද කරාගන්න මිනිහෙක් නැති හැටි.”

ඇගේ වචන සුමනසේකරගේ කනට යවුල් අනියි. “යක්කු ගස් නගින වේලාව”, දවසේ කටයුතු හමාර කර විඩා නිවා ගන්න නවාතැනට යන යකෙක් සුභානි සමඟ හවුල් ගිවිසුමකට අත්සන් තබා වත්ද! කොහොමටත් සුභාගේ කට සැරය. “අප්පාගේ පුතා නොවේ නම් ඒකා නොට්ටිගේ පුතා” කියා කියමනක් ඇතද, අම්මාගේ දුවට එවැනි කියමනක් ජනවහරේ පවතින බවට සුමනසේකරට මතකයක් නැත. මේකට කියමනක් තමා හැදුවොත් තමාගේ නම ලොව පවතිනු ඇත. ඒ තරමට මවගේ ගතිගුණ උරුම කරගෙන එන දූවරුන් ඔහු දැක ඇති බවට මෙනෙහි කළේය. ඇයට ද මේ දායාදය ලැබී ඇත්තේ ඇගේ මවගෙන් බව සුමනසේකර දනී.

ඇගේ මවද නිතර බෙලිකටු මල්ල සොලවයි. නමුත් ඒ බෙලිකටු මල්ලත් නැත්නම් ඒ නිවසේ ජීවත් වී හමාරය. හැටවිය පැන්නද දහඅටේ ජීවත් වීමට වෙර දරන සුභාගේ පියා සමඟ මේ තරමින් හෝ පෑහීම දක්ෂකමකි. “යා දෙක නොරත රත” නමුත් තමාගෙන් එවැනි අකටයුතුකම් සුභාට සිදු නොවෙයි. විදේශගත රැකියාවක නිරත තමා නිවසේ ගතකරන කාලයේදී ඇයගේ බොහෝ කටයුතුවලට උපකාර වෙයි. තමා නැති නිවස අඳුරු කර නොගෙන දරුවන් ද බැඳිවලට යන මං අහුරා ඈ විශාල මෙහෙයක් කරන බව දන්නා ඔහු ඇයට උපරිම ආකාරයෙන් ගරු සත්කාර කරයි. මොකක් නමුත් වරදක් සිදුවී ඇති නැත්නම් ගේදොර වැඩවලින් තෙහෙට්ටු වී ඇතියි සිතට නැගුණ සිතිවිලිල්ල ඇතිව සුමනසේකර පුවත්පත හකුළා ගෙන පුටුවෙන් නැගිට්ටේය. ඉස්තෝප්පුවෙන් සාලයට ගොඩවන තම සැමියා නුදුටු නිසා සුභා මුළුතැන්ගෙට ඇදුණාය.

“මෙයත් හොර බළලා වගේ හිටියට මොනවා කරනවද කවුද දන්නේ.”

සුභා තමන්ගේම සිත සමඟ පොරයකට වැටුණාය. එක අතකට තමා රැවටුණා යැයි සුභාට සිතෙයි. පාසල් ජීවිතෙන් සමුගත් මුල් අවදියේම සුම‍‍නසේකර සමඟ පෙමින් බැඳී විවාහ දිවියට ඇතුළත් වූවාය. ලෝකයේ තතු හරිහැටි නොදැන සිටි තමා මෙන් නොව සුමනසේකර සතුව ප්‍රේම කතන්දර කිහිපයක්ම තිබී ඇත. අද දින ඔහුගේ ජංගම දුරකථනයෙන් දැක්කේ තවත් එවැනි පෙම් කතාවක්දැයි එවේලේ සිට ඇගේ සිත කියයි.

“ඉලන්දාරි දරුවොත් දෙන්නෙක්ම සිටිද්දිත් මේ මිනිහට පිස්සුද මන්ද. නාකි විසේ ගෙටත් උසේ කියනවනේ.”

තමාගේත් සැමියාගේත් උරහිස පැන ගිය දරුවන් සිටියදී මෙවැන්නක් සිදුවේ යැයි සිතිය නොහැකි මුත් මෙකල සිදුවන විපරීත සිදුවීම් සමඟ සමපාත කරද්දී ඇගේ සිතට බියක් දැනේ. තම කොට්ඨාසයට අලුතින් කුලී නිවැසිව පැමිණ සිටින යුවළ වයස අවුරුදු හැට ඉක්මවා ඇත. ඔවුන් හා කතා කරද්දී ඇතිවූ සැකය නිවැරදි කරමින් අනියම් පෙමක රසයක් සොයා මෙහි පැමිණ ඇති බව සොයා ගැනීමට හැකිවිය. “කිට්” නමින් ඥාති කාන්තාවක් ගැන තම සැමියා පෙර කාලයේ නිතර කියා ඇත. ඔහුගේ ගම වන ගම්පල පවුලේ මංගල අවස්ථාවෙකදී හමුවී ඇති මෙම කාන්තාව සුකොමළ රුවකට හිමිකම් ඇති අයෙක් බව සුභාට මතකය.

“මේකිගේ මොකක් හරි හොරයක් තිබුණා. ඒක තමා මේ මිනිහ එක්ක කොමළ කරකර කතා කළේ. “චිංචි මානවිකාව”.

“මේ මිනිහටත් අගේ ඒ වගේ එවුන් තමා.”

තමා නම් පාසල් අවදියේ හෝ පෙම් හසුනක්වත් ලියා නැත. පාඩම් පොතට ලොබ බැඳි තමා පාසල් අවදියේ සුන්දර ආදරයක් වින්දේත් නැත. නමුත් බලාපොරොත්තු තැනට යන්න ලැබුණේත් නැත. තමාගේ පියා‍ගේ බීමත්කම නොවෙන්න තමාද අද පියාගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ කරට කර සිටිනු ඇත. දරුවන්ට නොව බෝතලයට ඇලුම් කළ පියෙකුට දා වූ තමන්ට ගොඩනගාගත් සිහින විජිතයට සමුදෙන්න සිදුවූ අයුරු සිහිව සුසුමක් ‍පිටවිය. සුමනසේකර තමාට හොඳට සලකයි. අඩුපාඩුවක් දැනෙන්න තියන්නේ ද නැත. නමුත් බොහෝ විට පුවත්පතටත් රූපවාහිනි දේශපාලන වැඩසටහන්වලටත් මුවා වී තමාට නින්ද යනතුරු සයනය මගහරින බව සුභාට දැනෙයි.

“මේ කිටී සුමනෙගෙ හිත අවුල් කරලද?”

සුභාගේ සිතට භීතියක් ඇතිවිය. තවත් ගැහැනියක් ළඟට නොයන තරමට තමා සුමනේව බැඳගෙන සිටීමට තරම් කරුණු කාරණා දන්නා බවට සුභා විශ්වාස කළාය. කාලයෙන් කාලෙට මිනිස් හිත් වෙනස් වීමේ සත්‍ය සුමනෙටත් පොදුය. උඩරට දේශගුණයේ හැදුණු කිටී කොහොමටත් තමාට වඩා රූමත්ය. “අපිත් ගමේ හිටිය නම් ලස්සන වෙලා හැදෙනවනේ කොහෙද අපට හරි හමන් තාත්තා කෙනෙක් හිටිය එකක්යැ” සුභාගේ මුවින් බර සුසුමක් පිටවිය. ඇයට පපුව රිදෙන ගතියක් දැනිණ. සුමනෙගේ ජංගම දුරකථනයේ “කිටී” නම දුටු මතින් පපුව ගිනිගත් සෙයක් ඇයට දැනිණි. ගතවූ වසර විස්ස පුරාවට මෙවැනි ගැටලුවකට තමන්ට මුහුණ දීමට සිදුවී නැති බව සුභා සිහි කළාය. නමුත් මෑතක සිට ඔහුගේ ආලිංගනයන්ගේ ද වෙනසක් දක්නට ඇත. සුමනේ කුස්සියට එන හඬ ඇසී කේතලය ළිප උඩින් තබමින් ඔහුගෙන් මුහුණ වසන් කර ගත්තාය.

“මොකද මේ කරුවලේ ඉන්නේ.”

සුමනේ විදුලි බුබුළ දැල්වූවේය. මුළුතැන්ගේ පුරාම විසිරී සිටි අඳුර අහුමුලුවල ඉඩ සොයා ගොස් සැඟව ගත්හ. අඳුරෙන් කොටසක් සුභාගේ මුහුණේ ද ලැගුම් ගෙන සිටී.

“මොකද අම්ම මූණ එල්ලගෙන සෙම් කෝප වෙලාද”

සුභා නිතර සෙම් කෝපවීම නිසා රෝගී වන්නීය. බෙහෙත් බීමට මැළි ඇය රෝගය උත්සන්න වෙනතුරු සිටින්නීය. ඉන්පසු තමාගේ උරහිසේ හිස හොවා වෛද්‍යවරයා වෙත යන ඇය නැවත සුවය ලබන්නේ දින දෙකක් තමාගේ සත්කාර විඳිමින් යහන් ගතව සිටීමෙන් පසුවය. නමුත් අදදින ඇය සෙම් කෝප වූ ගතියක් පෙනෙන්නට ද නැත.

“අද රෑට විශේෂ දෙයක්ද? ඔයාට අමාරු නම් මොනවා හරි කඩෙන් ගෙනෙමු.”

“මට මොන අමාරුවක්ද ඊටත් කඩවලින් කන්න ඔය හැටි කොහෙ තියෙන සල්ලියක්ද? කට තියෙනවට කියවන්න එපා. චුට්ටට ඇහුණොත් කන ඇහිල ඉන්න නෑ.”

සුභා කෝප වී සිටියි. කතාවත් ඇත්තය, පවුලේ බඩපිස්සා රස නහර පිනවන්න ඉතාමත් රුචියක් දක්වන්නේය. මේ කතාව ඇසුණා නම් එවේලේ සිට කෑමට පිටතට යෑමට ඇවිටිලි කරයි.

“හෙට මට කොළඹ යන්න වෙයිද දන්නෑ”

සුම‍නසේකර තමාගේ විගමනය ගැන සිහිපත් කළේය. තමා ඇයගේ ඇසුරින් මිදී විදේශගතව වීම ඈ සිතට දුකකි. ඒ දුක හේතු කරගෙන ඇගේ සිතේ තමා කෙරෙහි තිබෙන දෝසයක් වේනම් දුරු කරගන්නීය.

ළිපේ ගිනි සැර දරා ගත නොහැකි කේතලය සියුම් හඬක් නගමින් වේදනාව පිට කරයි. තමාගේ හිතට ඇතුළුව වධ දෙන සැකය හේතුවෙන් වන වේදනාව පිට කරගත නොහැකි සුභා දිගු සුසුමක් පිට කළාය. හෙට අනිද්දා නි‍ෙවසින් මතු නොව රටින්ද පිටව යාමට නියමිත තම සැමියාගේ සිත රිදවිය නොහැකිය. මෙතුවක් කලක් මතු නොවුණු කරුණක් කතා කිරීමටද සුභාට ලැජ්ජාවක් මදිකමක් දැනෙයි.

“ගියාට පස්සේ ලියුමකින් අහනව”

සුභා සිත තද කර ගත්තාය.

නෑ දැන්මම අහනව නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්න වෙනකල් තියා ගන්න හොඳ නෑ.”

ඇගේ සිත දෙපැත්තට වැනෙයි.

“ආ චූටි නෝනා නටල ඇති වුණාද”

හවස් වරුවේ මිදුලේ නටමින් සිටි බැළලිය කුස්සියට එනු දුටු සුමනසේකර ඇය වඩා ගත්තේය. බැළලිය දුටු සුභාගේ මුහුණ මොළොක් විය. තමා මෙන්ම සුමනේද සතුන්ට ආදරේ කරයි. මේ බැළලියද මෙම නි‍ෙවසේ හැදෙන අනිකුත් බළලුන්ට වඩා සුරතල් වෙන්නේ ඇය ගැහැනු සතෙක් නිසා වෙන්න ඇතැයි සුභා නිතර සිතයි. මින් පෙර ගැහැනු සතුන් මෙම නි‍ෙවසේ ඇති දැඩි වී නැත. මේ බැළලියද යාබද ගෙදරක හැදුණ බැළලියක් තම නි‍ෙවස දරුවන් බිහිකිරීමට මාතෘ නිවාසය කරගත් බැවින් මෙම නි‍ෙවසට බිළිඳි බැළලිය සින්න වී ඇත. මාස තුනකට වරක් පැටව් නොලැබෙන්නට බෙහෙත් විදිමින් බැළලිය රැක ගැනීමට තීරණය ගත්තේ ද සුභා වුවද ඒ කාරිය මෙතෙක් කෙරුණේ සුමනේ අතිනි. ඊළඟ බෙහෙත විදීමට ඇත්තේ සුමනේ ගියාට පසුවය.

“පූසිට බේත් විදින ඩොක්ටර්ගේ නම්බර් එක අමතක‍ නොකර මට දීල යන්න.”

සුභානි සුමනේ දෙස නොබලාම තේ කෝප්පය සඳහා වතුර ජෝගුවට වත් කළාය.

“අර මගෙ පෝන් එකේ ‘කිටී’ කියල නම්බර් එකක් ඇති. ඒක අරන් සේව් කරගන්න.”

සුමනේ පූසියගේ හිස ආදරයෙන් අතගෑවේය. සුමනේ දෙස මොහොතක් ඇසිපිය නොගසා බලා සිටි සුභාට සිනා පහළ විය. සිනාව මුහුණේ ලැගුම් ගන්නට ඉඩදුන් ඇය කිරිපිටි හැඳි දෙකක් එකතු කළ තේ කෝප්පය සුමනේ අත තැබුවාය.

සුභාගේ ගවුම් සායේ මල් මුහුණ පුරා විසිරුණ කාරණා නොදත් සුමනසේකර මඳ සිනා පළ කරමින් සුභා දුන් තේ කෝප්පය තොල ගෑවේය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්