හරි වහර
හරි වහර
නිතර යෙදෙන වැරැදි වහර කීපයක් විමසා
බලමු
1. අනභිබවනීය - මේ වදන මෙ සේ ලිවීම වරදෙකි. තව ද, අනබිබවනීය,
අනබිභවනීය ආදි වශයෙන් ලිවීම ද වරදෙකි. සංස්කෘත භාෂාවෙහි ‘භූ’ ධාතුවට
(ක්‍රියා මූලයට) ‘අනීය’ ප්‍රත්‍යයය එක් වීමෙන් ‘භවනීය’ යන පදය සෑදේ. එයට ‘අභි’
උපසර්ගය එක් වූ කල්හි ‘අභිභවනීය’ යන පදය සෑදේ. අභිභවනය කළ හැකි (යට පත් කළ
හැකි, පැරැදැවිය හැකි) යන අරුත ඉන් ලැබේ. එ සේ නො කළ හැකි යන අරුත දීම පිණිස ‘න’
එක් කළ විට (‘අන්’ ආදේශයෙන්) ‘අනභිභවනීය’ යනු සෑදේ. එහෙයින් මෙහි
(මහාප්‍රාණ) ‘භි’, ‘භ’ ම යෙදිය යුතු වේ.
2. අනාකූල - ‘අවුල් නොවන’ යන අරුත දීම පිණිස (දීර්ඝ ‘කූ’ සහිත වැ) මේ වදන බොහෝ විට
යොදනු ලැබේ. එය වරදෙකි. ආ කුල (අවුල්) යන්නට ‘න’ එක් වූ කල (‘අන්’ ආදේශයෙන්)
අනාකුල වේ. එහි යෙදෙනු (කෙටි) ‘කු’ යනු යි. ‘නිරාකුල’ යන්නෙහි ද මෙසේ ම ය.
3. අනිෂ්ඨ - ඉෂ්ට නොවනුයේ අනිෂ්ට වේ. න + ඉෂ්ට අන් + ඉෂ්ට = අනිෂ්ට යි.
(මහාප්‍රාණ) ‘ඨ’ මෙහි යෙදීම වරදෙකි. (‘ඉෂ්ට’ යටතේ තව ද දුරට විමසමු) මූර්ධජ ‘ෂ’
අක්ෂරයට පසු වැ යෙදෙන ‘ට’ ශබ්දය අනිවාර්යයෙන් මහාප්‍රාණ (ඨ) විය යුතු යැ යන
සාවද්‍ය මතය මෙ බඳු යෙදුම් සඳහා බෙහෙවින් හේතු වෙයි.
4. අනුවර්ථන - මෙහි (මහාප්‍රාණ) ‘ථ’ යෙදීම වරදෙකි. නිවැරැදි වදන ‘අනුවර්තන’
යනු යි. ආවර්තන, පරිවර්තන ආදිය ද ඇතැම්හු මෙසේ (මහාප්‍රාණ) ‘ථ’ යොදා වරදවා
ලියති. ‘ර්’ පෙරටු කොට යෙදෙන ‘ත’ අනිවාර්යයෙන් මහාප්‍රාණ (ථ) විය යුතු ය යන
සාවද්‍ය මතය නිසා මෙ බඳු වැරැදි සිදු කැරෙන බව පෙනී යයි.
5. අනිච්ඡ - ‘අනිච්ඡ’ යනුවෙන් (මහාප්‍රාණ) ‘ඡ’ සහිත වැ යෙදෙන වදනේ අරුත ආශාවක්
නැති, කැමැත්තක් නැති යනු යි. ඉච්ඡ (ඉච්ඡා) යන්නෙහි අරුත ආශාව යි, කැමැත්ත යි එය
නොවනුයේ න + ඉච්ඡ = අන් + ඉච්ඡ = අනිච්ඡ වෙයි ‘ඉබේ කැරෙන’ යන අරුතින් ද වහරෙහි
මේ වදන යෙදෙනු දැකිය හැකි ය. සාවද්‍ය වනුයේ ‘අනිත්‍ය’ අර්ථයෙහි මෙය යෙදීම යි.
අනිත්‍ය යනු සංස්කෘතයෙහි යෙදෙන වදනෙකි. එහි පාලි රූපය ‘අනිච්ච’ වේ. මෙහි අග
(අල්පප්‍රාණ) ‘ච’ යෙදීමට වෙසෙසින් සැලකිලිමත් විය යුතු ය. ඒ අනුව,
‘අනිච්ඡාවත සංඛාරා’ වැනි යෙදුම් සාවද්‍ය බව සැලැකිය යුතු ය.
අනුබද්ධිත - නිතර නිතර වෙළෙඳ දැන්වීම් ආදියෙහි යෙදෙන වැරැදි වදනෙකි.
අනුබද්ධිත ආයතන ගැන පුවත්පත්හි නිතර දැන්වීම් පළ වේ. මෙය වැරැදි යෙදුමක් වන්නේ
කෙසේ දැයි විමසමු.
සංස්කෘත භාෂාවේ ‘ත’ අතීත කෘදන්ත ප්‍රත්‍යය යි. එය ධාතුව (ක්‍රියා පදයේ මූලය) හා එක්
වන විට ‘ඉ’ යන්න (බොහෝ විට) ආගම වේ. ඒ අනුව ලිඛි + ත = ලිඛි + ඉ + ත = ලිඛිත; රච් +
ත = රච් + ඉ + ත = රචිත වැනි අතීත කෘදන්ත පද සෑදේ. ‘බද්ධ’ යනු ‘බන්ධ්’ ධාතුවෙන්
සෑදුණු අතීත කෘදන්ත පදයෙනි. එ හෙයින් එයට නැවැත ‘ත’ ප්‍රත්‍යයය එක්කොට ‘බද්ධිත’
යැයි අතීත කෘදන්ත පදයක් සෑදිය යුතු නො වේ. ‘අනුබද්ධ’ යනු ම මෙහි ලා නිවැරැදි
යෙදුම වේ.
ශාබ්දික
|