ආනන්ද කුමාරස්වාමි සහ අද අප
ආනන්ද
කුමාරස්වාමි සහ
අද අප
වසර දෙදහස් පන්සියයකට එහා ගිය ශ්‍රේෂ්ඨ අතීතයක් ඇතැයිද තමන් එවන් දීර්ඝ
ශිෂ්ටාචාරයක දිවි ගෙවන ශිෂ්ටාචාරගත පුරවැසියන් යැයිද පුන පුනා කියන සිංහල
සමාජයේ තවමත් පුද්ගලයා මනින්නේ උපතින්, තනතුරින්, රැකියාවෙන් වීම ඉතාම
කනගාටුදායක කාරණයකි. මනුෂ්‍යත්වය මත මිනිසා මනින කාලයක් එන තෙක් අපෙන්
අනෙකාට වන හිංසනය නවතින්නේ නැත. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්මක් කරා අප
තවමත් එළඹ නැත. උත්තර මානුෂීය ගුණ දහම් ප්‍රගුණ කළ කැසිකිලි සෝදන්නා කුහක
බුද්ධිමතාට වඩා අගය කෙරෙන තැනකට සමාජය පත් විය යුතු ම ය.
උත්පත්ති-රැකියා තත්ව නිර්ණායක ලෙස ගෙන මැනෙන සමාජයක වසන අප පවතින බලවත්
පන්තියකට, ලිංගිකත්වයකට, ජනවර්ගයකට, සංස්කෘතිකත්වයකට අදාළ නොවුණායි
කියා, පවතින සමාජයක සුළුතර නියෝජනයක් හෝ නොපිළිගත් තත්වයක සිටින්නෙක්
කියා බිඳ නොවැටීම මේ ප්‍රජාතන්ත්‍රිකත්වය කරා ළඟා විය හැකි එක් පිළියමක් ලෙස
මම දකිමි. සරල ව කිවහොත්, ඔබ සිංහල සමාජයේ මුස්ලිම් පියකුට දාව සිංහල මවක
ප්‍රසූත කළ අයකු යැයි සිතන්න. නැති නම්, ඔබ උපදින මොහොතේ පෙන්විය හැකි පියකු
නොමැති ව අවජාතකයකු සේ ඉපදුණායි සිතන්න. සමාජය ඔබට කොතෙකුත් ගල් මුල් එල්ල
කිරීමට එය හේතුවක් කර ගන්නවා නොඅනුමානය. එහෙත් ඔබ හොඳින් මතක තබා ගන්න; ඒ
ඉපදීම ම තමා ඔබගේ විශේෂත්වය යන්න. අනෙක් බහුතරයට නැති ඔබ සතු වටිනා ම දෙය එය
බව. ඒ ඉපදීමේ අමුත්ත ඔබ අනෙකුන්ගෙන් වෙන් ෙකාට, අනෙක් බහුතරයට නොහිතෙ දේවල්
සිතීමට, අනෙක් අයට නොපෙනෙන දේවල් දැකීමට ඔබව මෙහෙයවන බව.
ආනන්ද කුමාරස්වාමි නම් ඒ පුදුම මිනිසා එවැන්නෙකි. ඔහු එසේ කලවම් උත්පත්තියක
අපූර්වත්වය විඳි, එතුළින් ම සමස්ත ලෝක මනුෂ්‍ය සමාජයට ම උත්කෘෂ්ට සේවයක් කළ
උත්තමයෙකි. අප චරිත කතා ආශ්‍රයෙන් උගත යුත්තේ එවැනි දේවල් ය. එහෙත් අද අප
වැඩිපුර කරනුයේ ඔවුන්ගේ දර්ශනයන්ගෙන්, ජීවිත හැසිරීම්වලින් ආදර්ශ සපයා
ගැනීම පසෙක තබා බොරු කෘතගුණ සැලකීම්, ප්‍රශස්ති වර්ණනා කිරීම්වලින් ඔවුන්ගේ
දර්ශනයන්ගේ මූලික ආස්ථානවලට ම අපහාස කිරීමක් පමණකි. අප අදටත්
කුමාරස්වාමිගේ නියම දර්ශනය හඳුනා ගෙන ඇතැයි මම නොසිතමි. මන්ද අදටත් අපට
කුමාරස්වාමි වීරයකු වනුයේ විදේශීය ආධිපත්‍යයට එරෙහි ව ලාංකිකයා
මෙහෙයවීමට පුරෝගාමී වූවකු ලෙස පමණක් වන හෙයිනි. ඒ හඳුනා ගැනීම එදා යුගයට
සාධාරණය. එහෙත් අප අද ඔහුගේ දර්ශනය එවන් පටු තැනකට සීමා වන්නක් නොවන බව අවබෝධ
කොට ගත යුතුය.
දෛවය ඔහුට උපතින් ම විවිධතාව උරුම කොට දී තිබුණේ ය. 1877 අගෝස්තු 22 වැනි දා
ඔහු කොල්ලුපිටයේදී උපත ලබන්නේ ද්‍රවිඩ පියකුට (මුතු කුමාරස්වාමි) දාව ය. මව
ඉංග්‍රීසි ජාතික එලිසබෙත් ක්ලේ බීබිය. ඔහු වැඩී වර්ධනය වනුයේ එංගලන්ත සමාජයේ
ය. එනම්, ඒ අප සමාජවල අවනම්බු විඳින කලවම් සම්භවයකි. ආනන්ද කෙන්ටිශ්
කුමාරස්වාමි යන නාමය ඔහුගේ එම කලවම්භාවය හඟවන්නකි. එහි එන කෙන්ටිශ් කොටස
ඉංග්‍රීසිභාවය හැඟවීමක්ද (ඔහුගේ මවගේ උපන් ස්ථානය) කුමාරස්වාමි කොටස පිය
පාර්ශ්වයේ වාසගම හැඟවීමද වෙයි. ඔහු ඔබ-අප මෙන් තමන්ගේ උත්පත්තිය වසන් කිරීමට,
ඒ අනන්‍යතාව වෙනස් කිරීමට දැඟළුවේ නැත. ඔහු ඒ දෙකම ගැන ආඩම්බර වෙමින් සතුටින්
සිටියේ ය. ආනන්ද යනු ප්‍රීතිය හා සතුටයි.
එසේම ඒ කලවම් සම්භවය ඔහුට දුන් ත්‍යාග බලන්න. ඒ කලවම් බව ඔහුට විවිධ ජාතීන්ට ආලය
කිරීමේ මනසක් තනා දුන්නේ ය. විවිධ දේශීයත්වයන්ට ගරු කළ හැකි මනසක් දුන්නේ ය.
විවිධ විෂයීකව පුළුල් වන බුද්ධි ප්‍රභාවක් දුන්නේ ය.
කුමාරස්වාමිගේ දර්ශනයේ එන දේශීයත්වය, සංස්කෘතිකත්වය ගැන සිතන්න. එය අපූරු
ය. ඔහුගේ දේශීයත්වය රටකින් රටකට අනන්‍ය ය. කුමාරස්වාමි රෝමයේදී
රෝමන්කාරයෙක් වූයේ ය. වෙනත් ජාතියකට යටත් ව සිටින ඉන්දියානුවා, ශ්‍රී
ලාංකිකයා තම දේශීයත්වය, සංස්කෘතිකත්වය යළි දිනා ගත යුතු බව කීවේ ඒ
දේශීයත්වය හෝ සංස්කෘතිකත්වය ලොව ශ්‍රේෂ්ඨතම දේශීයත්වය හෝ සංස්කෘතිකත්වය
වන නිසා නොවේ. ඒ දේශයේ පැවැත්ම තීරණය කරන අක් මුල් ඇත්තේ ඒ දේශීයත්වය /
සංස්කෘතිකත්වය, අතීත ස්මාරක තුළ පමණක් වන හෙයිනි. ඔහුගේ ඒ අපට කළ සේවය
යටත්විජිතවාදයට නොහොත් ඔහුෙග් රට වන වන එංගලන්තයට විරුද්ධ වීමකි. එහෙත්
මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණයේ පැත්ත ගැනීමකි. සිංහල සමාජයේ එවැන්නෙක්
සිටියේ නම් සිංහලයා කරනුයේ කුමක්ද?
ඔහුගේ ඒ සාධාරණ විශ්වීය දෘෂ්ටිය දේශද්‍රෝහී,
පරගැති වූවක් බවත් ඔහුට එන්.ජී.ඕ. සම්බන්ධතා ඇතැයි හංවඩු ගැසීමක් මිස අන්
කවරක්ද? ඕල්ෙකාට්තුමා අපට වීරයකු වූයේ අප වෙනුවෙන් කතා කළ නිසා ය. අප වෙනුවෙන්
පෙනී සිටි නිසා ය. බැරි වෙලාවත් ඔහු අප සමාජයේ සිට වෙනත් සමාජයකට අපෙන් වන
අසාධාරණයක් පෙන්වා දුන්නේ නම් (උදා:- සිංහලයාගෙන් සුළු ජාතීන්ට වන පීඩනය
පෙන්වා දීම වැනි) ඔහු දේශද්‍රෝහියකු ලෙස ලේබල් වනවා සිකුරු ය. සිංහලයාගේ එම
දෘෂ්ටිකෝණයෙන් බැලුවහොත් අපේ වීරයන් වන ඕල්ෙකාට්, බ්ලැවැට්ස්කි, ටිබෙට් ජාතික
එස්. මහින්ද හිමි, කුමාරස්වාමි වැනි අය දේශද්‍රෝහී පැරගැතිෙයා් ය. මන්ද ඔවුන්
කළේ තම ජාතිය වුව අනෙක් ජාතියකට කළ අසාධාරණය නැවැත්වීමට සටන් කිරීම ය. එසේ ම
වෙනත් ජාතිකයක ස්වාධීනතා, අනන්‍යතා වෙනුවෙන් සටන් කිරීම ය.
විශ්වය මෙතරම් සමීප ව ඇති වර්තමාන සමාජයේ පවා ඇතැම් උගතුන් සිංහල භාෂාව ලොව
ශ්‍රේෂ්ඨතම භාෂාවයි කියනු මා අසා තිබේ. එහෙත් ඒ කිසිවෙකුත් වෙනත් කිසිම
භාෂාවක් උගත්තෝ නොවී ම ය, හාස්‍යයට කාරණය. කුමාරතුංග මුනිදාස, ජේම්ස් ද
අල්විස් වැනි දේශීය අනන්‍යතා සෙවූ සුධීමතුන් පවා අවශ්‍යතාවද සමඟ සිංහල භාෂාව
ගොඩනැවීමට කතා කළේ එසේ අගතිගාමී වීමකින් නොවේ. ඔවුහු ඉංග්‍රීසිය හොඳින්
හදාළෝ ය. කුමාරස්වාමි ඉංග්‍රීසි, ප්‍රංස, ලතින්, ග්‍රීක්, සංස්කෘත හා පාළි
භාෂාවන්හි හසළ වූ අතර සිංහල, දෙමළ, හින්දි, පර්සියන්, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද
භාෂා පිළිබඳ යම් දැනුමකින් ද යුක්ත වූයේ ය. ඔහුට ඒ නිසා ඒ ඒ සංස්කෘතීන් ඒවාට
අදාළ භාෂා - සංස්කෘතීන් තුළ ම බහා කියැවීමට හැකි විය. ඔහුට එහිදී ඒ කිසිවක්
තවෙකකුට සාපේක්ෂ ව ශ්‍රේෂ්ඨ සේ පෙනුණේ නැත. එහෙත් ඒ ඒ සංස්කෘතීන් තුළ එම
සංස්කෘතික ආම්පන්න තද් ජාතියේ පැවැත්මට අවශ්‍ය බව දුටුවේ ය. ඔහුට ඒ හැකියාව
ලැබුණේ පුහු මාන්නක්කාරකම් නොමැති හිසකින් අනෙකුත් භාෂාවන්ට, සංස්කෘතීන්ට
ගරු කළ හැකි වූ හෙයිනි. ඔහු සිය උත්පත්තිය ගැන හීනමානයකින් නොපෙළුණ හෙයිනි.
ඉන්දීය මෙන්ම සිංහල ගැමි දිවි පෙවෙත, ආගම දහම, කලා ශිල්ප, ඇදහිලි, සාරධර්ම සියල්ල
ඔහු ගැඹුරු ලෙස අධ්‍යයනය කළේ ය. ‘ඉන්දීය හා ඉන්දුනීසියානු කලා ඉතිහාසය’
කෘතියේදී පකිස්තානය, නේපාලය, ටිබෙට්, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය,
ජාවා, සුමත්‍රා, වියට්නාමය වැනි රටවල කලා ශිල්පයන්ගේ අනන්‍යතා ස්වදේශිකයාට
සොයා දෙමින් බටහිරට ඒ ජාතීන්ගේ අනන්‍යතා තහවුරු කොට දුන්නේ ය.
කුමාරස්වාමි වැනි උගතුන්ගේ නිරීක්ෂණය කෙදිනකවත් කොදිව් සංස්කෘතියකට සීමා
වූයේ නැත. එවිට ඔහුගේ විවිධ සංස්කෘතීන්ගේ කලවමකින් ලද උත්පත්තිය නිසැක
බලපෑමක් කරන්නට ඇත. ඔහු ඕනෑම සමාජයක් - සාහිත්‍යයක් අදාළ සමාජ රටාව තුළ ම
තබා කියැවීමේ වැදගත්කම කීවේ ය. සාපේක්ෂ කියවීම් නොකොට එකක් ආධාරයෙන් අනෙක
කියවීම මිස එකකට වඩා අනෙක උසස් හෝ පහත් කියා සැලකීමක් කළේ නැත. කුමාරස්වාමි
සිය ‘උගත්කම නමැති බිල්ලා’ (Bugbear of Literacy) කෘතියේ නිබන්ධ හතෙන් හතරක් ම
නූගත් ගැමියාගේ සංස්කෘතිය විවරණය කිරීමට යොදා ගනියි. එහි එක් ලිපියක ‘නූගත්
මිනිසුන්ගේ සංස්කෘතිය මැනීමට උගත්කම මිනුමක් කරගැනීම හේතු කොට ඉතා
අන්තරායකර ප්‍රතිඵල ඇති විය හැකි බව’ කියමින් යටත් වැසියාගේ සංස්කෘතික
අනන්‍යතාව සුරැකීමට කටයුතු කළ බව අපි එදා තේරුම් ගත්තෙමු. එසේ ම එහි තවද
අර්ථයක් ඇති බව අපි අද තේරුම් ගත යුත්තෙමු. එනම්, අප අද චූල කලාවක් යැයි ලේබල්
කරන කලාව විදග්ධ කලාව ඉදිරියේ දෙවැනි නොවිය යුතු බවද කුමාරස්වාමි බොහෝ කලකට
ඉහත පෙන්වා දී ඇති බව ය.
ජනවර්ග දෙකක් හෝ ජාතිකවාද දෙකක් හෝ අතර තරගකාරීත්වයක් උද්ගත වන අවස්ථාවක
බොහෝ විට සිදු වන්නක් නම් තමන් අනෙකාට වඩා ‘උසස් ය’ යන්න ස්ඵුට කිරීමට හේතු සාධක
සෙවීමය. ඒ සඳහා තත් පාර්ශ්වයන්ට තමන්ගේ උසස්භාවය පෙන්වීමට අගනා මූලාශ්‍රයක්
වනුයේ ඉතිහාසයයි. පුරාවිද්‍යාත්මක ව සොයා ගන්නා සාක්ෂි පෙරටු කොටගෙන තමන්
අනෙකුත් ජාතීන්ට, විශේෂයෙන් තමන්ට තර්ජනය එල්ල වී ඇති ජාතියට, වඩා ශ්‍රේෂ්ඨ
ඉතිහාසයකට, කලා සම්ප්‍රදායකට, ගෘහ නිර්මාණ හා තාක්ෂණික ශිල්පයකට
උරුමකම් කියන බව පෙන්වමින් ජාතිකාභිමානයෙන් කුප්පා ජනතාව ඒකරාශී කොට
ගැනීමට වෙහෙසෙති. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනයෙන් පෝෂණය ලබා ලංකාවට පැමිණි
ආනන්ද කුමාරස්වාමි සිංහල කලාව ගැන පොත පත පළ කරමින් ඒ යුගයට අවශ්‍ය ජාතික
පිබිදීමට උර දුන්නේ එලෙසිනි.
1908 ආනන්ද කුමාරස්වාමි විසින් ඉංග්‍රීසියෙන් පළ කළ ‘Medieval Sinhalese Art -
මධ්‍යකාලීන සිංහල කලා’ යන ග්‍රන්ථය දේශීය සංස්කෘතික ප්‍රබෝධනයේ සුවිශාල
වගකීමක් ඉෂ්ට කළේ ය. ඔහු ඒ ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවේ දක්වන පරිදි එම කෘතිය
කිරීමේ අභිලාෂය වී ඇත්තේ ද එකී සංස්කෘතික ප්‍රබෝධන පරමාර්ථය මුඳුන් පමුණුවා
ගැනීමයි.
‘මෙය ලියන ලද්දේ සිංහල ජනතාව මෙකල අවබෝධ කරගැනීමට අකමැති කාල පරිච්ඡේදයක
සිහිවටනයක් වශයෙන් ඔවුන් උදෙසා ම ය. එක් අතකින් ශත වර්ෂයක් විදේශීය
ආධිපත්‍යයට යටත් ව විසීමෙන් හා ජාතික සංස්කෘතිය නොසලකා හරින ලද
අධ්‍යාපනයක් ලැබීමෙන්ද අනික් අතින් එපමණ ම කාලයක් නිවට නියාලු ලෙස පරසිරිත්
අනුකරණය කිරීමෙන්ද තමන් දිනා ගත් ජීවන කලාව සම්බන්ධයෙන් වර්තමාන උගත්
සිංහලයාට ආඩම්බර වීමට කිසිදු හේතුවක් නැත. එසේ වුවද, සිහල ජනතාවගේ ජාතික ජීවන
ක්‍රමයේ නියම පුනරුත්ථාපනය හා නවජීවනය ලබා ගත හැක්කේ මේ අතීතය හා භාරතයේ
අතීතය පිළිබඳ විශිෂ්ටාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට දරන ලද ප්‍රයත්නයෙන්
පමණි. එසේ හෙයින් මේ අතීතය වටහා ගැනීම් වස් සහාය වීම මේ පොත ලිවීමේ
පරමාර්ථයයි.’ (ආනන්ද කුමාරස්වාමි, මධ්‍යකාලීන සිංහල කලා, ප්‍රස්තාවනාව).
ලංකාවේ කලා ශිල්ප සහ දහ අටවැනි සියවසේ ලංකාවේ සමාජ ක්‍රමය පිළිබඳ මධ්‍යකාලීන
සිංහල කලා කෘතිය සුවිශේෂී විග්‍රහයන් සපයයි. ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පය,
ප්‍රතිමා විද්‍යාව, ලී කැටයම්, එම්බ්‍රොයිඩර්, විවීම වැනි විවිධ දේශීය කලා
පිළිබඳ ඉංග්‍රීසි ලෝකයට හෙළිදරව් කිරීමට එම කෘතිය මහඟු සහායයක් දුන්නේ ය. ඒ
ලාංකේය යටත්විජිතවාදයට එරෙහි ව කළ ප්‍රකාශනයක් ලෙස කියවිය හැකිය. අප එදා
කළ කියවීම එය ය.
1908 දී ‘ඉන්දියානු චිත්‍ර කලාවේ පරමාර්ථ’ යන හිසින් ලියූ ලිපිය එතෙක් පිළිගෙන
තිබූ ‘ඉන්දියානු චිත්‍ර කලාවට ග්‍රීක ආභාසය ලැබී ඇත’ යි යන මතය අභියෝගයට ලක්
කළේ ය. මෙය යුරෝපීය පුරාවිද්‍යාඥයන් ඉන්දියානු කලාව පිළිබඳ ඇති කොටගෙන තිබූ
දුර්බෝධ බොහෝමයක් සුබෝධ කළේ ය. 1927 ලියූ ‘බුදු පිළිමයේ උපත’ සහ 1934 ලියූ
‘බෞද්ධ ප්‍රතිමා විද්‍යාවේ ප්‍රාරම්භ කරුණු’ යන ග්‍රන්ථද්වය බෞද්ධ ප්‍රතිමාව
සැකසුණේ ග්‍රීක ප්‍රතිමා කලාවෙන් බවය යන මතය සහේතුකව ප්‍රතික්ෂේප කළේ ය. එය
ඉන්දීය යටත්විජිත යුගයේ සිය අනන්‍යතාව ප්‍රකට කිරීමට පිටුවහල් වූයේ ය.
ඉංග්‍රීසි සමාජයේ හැදී වැඩී, ඉංග්‍රීසි උගෙන, ඉංග්‍රීසි සමාජයේ ක්‍රියාත්මක වූ
ප්‍රජාතන්ත්‍රික ලක්ෂණ හැඳිනගෙන, (කුමාරස්වාමිගේ කලවම් උත්පත්තිය
නොතිබෙන්නට ඔහුට මේ අධ්‍යාපනයවත් සමාජ ආශ්‍රයවත් ලැබෙන්නේ නැත), ඒවා ඒ හා
සමාන ව ම ලෝකයේ අනෙකුත් සමාජයනටත් ආරෝපණය කිරීමට උත්සාහ ගත් කුමාරස්වාමි
වැනි වියතුන් ජාතිකාභිමානය නැංවීමේ අරමුණින් කෙසේ වතුදු සංස්කෘතික
අනන්‍යතා සොයා කළ මෙවන් ව්‍යාපාරයන් යුගයේ ජාතිකාවාදී ව්‍යාපාරයට සුවිශාල
දායකත්වයක් සැපයුවේ ය. කුමාරස්වාමි හෙළි කොට දුන් මූලයන් ජාතිකවාදී
ව්‍යාපාරිකයෝ නොපැකිළව භාවිතයට ගත්තෝ ය.
කුමාරස්වාමි මේ සංස්කෘතිය සොයා දීම් කළේ එම සංස්කෘතිකත්වයන්ගෙන් උදම් වීමට
නොවන බව අප අද තේරුම් ගත යුතුය. ඔහු පැහැදිලි ලෙසම සිය ප්‍රකාශන ඔස්සේ නිතරම
විවිධ සංස්කෘතීන්ට ආවේණික ලක්ෂණ විග්‍රහ කරමින් ඒවා තුලනාත්මක ව අධ්‍යයනය
කළේ ය. කිසිදු විටෙක එකක් අනෙකට වඩා උසස් යැයි සැලකුෙව් නැත. බටහිර
අධිරාජ්‍යවාදී දෘෂ්ටිවාදයන්ට මෙනිසා තදබල පහරක් ඔහුගෙන් එල්ල වූ බව
සත්‍යයකි. එහෙත් එතැනදීද සිතා බලන්න. බ්‍රිතාන්‍යය අදටත් ඔහු දේශද්‍රෝහියකු
කොට අවමන් කරන්නේ නැත. ඔහුගේ පළ-නොපළ ග්‍රන්ථ-අත්පිටපත්, සටහන් පොත්, ඡායාරූප,
මතක සටහන් ආදි සියල්ල අදත් නිව් ජර්සිහි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල
පුස්තකාලයේ සුරක්ෂිතව තබාගෙන සිටියි. එහෙත් අපේ නායකයන් කළේ කුමක්ද? ඔහු
වෙනුවෙන් නම් කොට තිබුණ පාර පවා වෙනස් කිරීමය. වාසනාවකට එය නැවත එනමින් අපට
අද උරුම ව ඇත. එයට වර්තමාන රජයට ස්තුති කළ යුතුය. එසේම කුමාරස්වාමිගේ දර්ශනය
වර්තමාන සමාජයට උරුම කර දීමට, යථා අර්ථයෙන්ම අවබෝධ කොට දීමට උත්සව සංවිධානය
කොට, සුදුස්සන් ලවා අනුස්මරණ දේශන සංවිධානය කොට දෙන්නේ නම් තවද වටිනා බව කිව
යුතුය.
“පෙර අපර දෙදිග සංස්කෘතීන්හි ඇති වෙනස හෝ, මේ අතින් සලකන කල උතුරේ හා දකුණේ ඇති
වෙනස, ඒ ඒ ප්‍රදේශවල භාවිත වන භාෂාවලට සමාන කළ හැකිය. එක ම භාෂාවක් භාවිත කරන
ඒ සියල්ලම, වෙනස් වචන යොදා, බොහෝ විට, සමාජ වාග් සම්ප්‍රදායන් මඟින් නමුත්, එක ම
අදහස් දක්වයි.” අප අවබෝධ කොට ගත යුත්තේ කුමාරස්වාමිගේ මේ වචනවල ඇති
දර්ශනයයි. ඔහු භාෂාවක සංස්කෘතික වටිනාකම අගය කරනවා සේම ඒ භාෂාව තවත් භාෂාවක
එන අදහස්ම ප්‍රකාශ කරනවා මිස වෙනත් අද්භූතයක් නොකරන බව කියමින් අප තුළ වන
පුහු මාන්නක්කාරකම් සහ අසංවේදීකම් පලවා හැරීමට යත්න දරයි. ඔහුගේ සංස්කෘතික
අනන්‍යතා සෙවීමේ ව්‍යාපාරයද එවැනිම විග්‍රහයක් දරන බව මතු ප්‍රකාශයෙන්
තහවුරු වේ.
“පැහැදිලි විවිධත්වයකින් යුත් මනුෂ්‍ය සංස්කෘති දක්නට ලැබුණේ වී නමුත්, ඒ
සියල්ල ආධ්‍යාත්මය පිළිබඳ එකම භාෂාවේ ප්‍රාදේශීය වෙනස්කම් ය. තවද, ප්‍රාදේශීය
වෙනස්කම් අබිබවා පවතින පොදු විශ්ව ධර්මයක් වෙයි.”
ඔහුගේ බුද්ධිය හා පෘථුල නිරීක්ෂණය විවිධ විෂයයන් අරඹයා ඔහු විසින් ලියන පොත පත
තුළින් ම ප්‍රකට වෙයි. ඔහුගේ විචාර - විවරණ බලන්න. ඔහුගේ විවිධ විෂයීක දැනුම අප
පුදුම කරවයි. සාහිත්‍ය කලා විචාරය, ජෛන කලාව - මූගල් කලාව - ඉන්දීය කලාව - සිංහල
කලාව, දර්ශනය, පාරභෞතිකවාදය, භූ විද්‍යාව, මිථ්‍යාවේදය, ආධ්‍යාත්මික
විද්‍යාව, ආගම, ප්‍රතිමා විද්‍යාව, සංගීතය ලෙසින් ඔහුට හසු නොවූ විෂයයක් නොවූ
තරම්ය. එම බහුව්‍යාප්තී දැනුම ලැබීමට ඔහුට ඔහුගේ දෛවීය උත්පත්තිය හා
සමාජානුයෝජනය හේතු වූවා නිසැකය.
ඔහු බෞද්ධ ධර්ම ග්‍රන්ථ මෙන් ම හින්දු ධර්ම ග්‍රන්ථ ද එක සමාන හැඟීමකින්
ඉංග්‍රීසියට හරවා ඒවායේ අඩංගු දර්ශනවාදයන් ප්‍රකට කරවයි. ඒ
නිහතමානීත්වය, ඒ ආගමික ඉවසීම ඔහුට ලැබුණේ කෙසේද?
ඔහුෙග් ලේඛන පෙරදිග අයට තම උරුමය සොයා ගැනීමට මෙන්ම අපරදිග ජනයාට පෙරදිග
අවබෝධ කර ගැනීමට සහාය වූ බව කිව යුතුය. කුමාරස්වාමි සිය නිබන්ධ මඟින් නිතරම
කළේ විවිධ සංස්කෘති, විවිධ සමාජයනට අයත් අනන්‍යතා ප්‍රකට කරවීමයි. එසේම එහිදී
කිසිවක් අනෙකට වඩා උසස් හෝ පහත් ලෙස සැලකීමක් ඔහුගේ විචාරයෙහි නොවීය.
යටත්වජිතවාදය නිසා ලෝකයේ භාගයක් පමණ පීඩා විඳි මේ කාලය තුළ ගොඩනැඟෙන
කුමාරස්වාමිගේ මේ අරුම පුදුම අවබෝධය ඇස්.ජී. සමරසිංහ හඳුනා ගනුයේ මෙලෙසිනි.
‘කුමාරස්වාමි දර්ශනය අනුව ඔහු පෙරදිගටවත් අපරදිගටවත් අයත් නොවූවෙකි.
ඔහු අයත් වූයේ ලෝකෝත්තර තත්ත්ව ගවේෂක සනාතන ධර්මයටයි (philosophia Perennis).
ඔහු ඒ ලෝකයේ හුදෙකලාව, උපේක්ෂාවෙන් යුතුව තමා විසින් ම තෝරා ගත් ශ්‍රේෂ්ඨතම
ගුරුන්-එනම් ගෞතම බුද්ධ, ශංකර, ප්ලේටෝ, ප්ලොටිනස්, බොහිමි සහ මෙයිස්ටර් එක්හාර්ට්
සමඟ ගැවසෙයි.’ (සංස්කෘති, ආනන්ද කුමාරස්වාමි අංකය, 138-152)
ඉංග්‍රීසියෙන් උගත් කුමාරස්වාමි ‘ජාතික පරමාර්ථ’ යන හිසින් පළ කළ නිබන්ධය
ලංකාවේ මෙන් ම ඉන්දියාවේ මුල් බැස ගත් බටහිර අධ්‍යාපන ක්‍රමය දැඩි ලෙස දෝෂ
දර්ශනයට ලක් කළේ ය. පෙරදිග රටවලට බටහිර අධ්‍යාපනය ගෙන ගොස් ගොඩ බෑම ආයුධ
වෙෙළඳාමටත් වඩා අනර්ථකර බව ඔහු කීවේය. එහෙත් ඒ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ගැන
වෛරයකින් කළ දෙයක් නොවේ. ඒ රටවල ඇති ක්‍රමවේද ගෙඩිය පිටින් නොගෙන හොඳ දේ පමණක්
ගැනීමට දේශීයයාට කළ ආරාධනයක්ම පමණකි. එසේම යටත්විජිතවාදියා තම
අධ්‍යාපන ක්‍රමවේද එසේ පැතිර වූයේ යටත් වැසියා කෙරේ උපන් ආලයකින් නොවන බව
පෙන්වා එහි ගැබ්ව තිබූ යටි අරමුණු හෙළිදරව් කිරීමට ගත් වෑයමක් පමණකි.
තම කෘතියක අයිරිෂ් ජාතිකයන්ගේ සාහිත්‍ය වංශය පිළිබඳ පොතකින් ගත් ‘තමන්ගේ
මවුපියන් ගැන ලැජ්ජාවීමටත්. තමන්ගේ ජාතිය ගැන ලැජ්ජාවීමටත්, තමන්ගේ නම ගැන
ලැජ්ජාවීමටත් දරුවන්ට උගන්වන ලදි. එය අපූරු අධ්‍යාපන ක්‍රමයකි’ යි කියමින්
එම ඉගැන්වීම, ඇතැම් බටහිර උගතුන්ම කී පරිදි ‘සිය සමය පිළිගැන්වීමේ උමතුව’
කියා කුමාරස්වාමි විවේචනය කළ බව මාර්ටින් වික්‍රමසිංහ දක්වයි. (අපේ වියත්
ලේඛක පරපුර, 98)
සැබවින්ම සම්පත් බණඩාර දැක්වූ පරිදි ‘ආනන්ද කෙන්ටිශ් කුමාරස්වාමි යනු විශ්වීය
වීරයෙකි; රටකට, ජාතියකට, කුල ගෝත්‍රයකට හෝ මහද්වීපයකට අයත් නොවූ
විශ්වයටම පොදු මිනිසෙකි.’ (ආනන්ද කුමාරස්වාමි - විශ්වීය මිනිසෙකුගේ ජීවිතය
හා නිර්මාණ, හැඳින්වීම) ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් අප ඒ බව තහවුරු
කොට ගත යුත්තේ ඔහුගේ ප්‍රකාශනයන්ගෙන් ම, ලේඛනයන්ගෙන් ම පමණක් නොවේ. ඒ විශ්ව
මිනිසාගේ පෞද්ගලික ජීවිතයද අපට අලුත් ඇසක් ලබා දෙන බව අවධානයට ගන්න. ඔහු
බිහි වූ වටපිටාව, සංස්කෘතිකත්වය ඒ අපූරු මිනිසා නිර්මාණය කළ බව පිළිගත
යුතුය. අප ජීවිත ඒ ආදර්ශයනට ගෝචර වුවහොත් වර්තමාන සමාජයට අමුතු
ප්‍රජාතන්ත්‍රවාද කැඳවීමක් අවශ්‍ය නොවනු ඇත.
ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය
මහින්ද රත්නායක
|