මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


මනුස්ස ලෝකය හා ප්‍රේත ලෝකය

මිනිසා සතු ශක්තිය මැනවින් ප්‍රකට කරන ග්‍රන්ථයක්

මනුස්ස ලෝකය හා ප්‍රේත ලෝකය

ප්‍රකාශනය - ප්‍රබුද්ධ සංස්කෘතික කලා පදනම

මිල - රු. 300

කර්තෘ - මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් විසින් ලියා පළ කරන ලද ‘මනුස්ස ලෝකය හා ප්‍රේත ලෝකය’ ග්‍රන්ථය ප්‍රධාන කරුණු දෙකක් යටතේ රචනා වූවකි. එනම්, ‘මනුස්ස ලෝකය’, ‘ප්‍රේත ලෝකය’ හා ‘ආගමික ලෝකය’ යනුවෙනි. එදිනෙදා ජීවිතයේදී පුද්ගලයා මුහුණදෙන ගැටලු හා ඒවා සමනය කරගත යුතු ආකාරය ධර්මානුකූල ලෙස විවරණය කිරීම මේ ග්‍රන්ථයෙහි අපේක්ෂා ව වී තිබේ. බෞද්ධ ජනයා අතර පවතින විවිධ මත, අදහස් උදහස්වලට දෙන පිළිතුරු ලෙසට ද ග්‍රන්ථයේ අන්තර්ගත කරුණු සැලකිය හැකිය. භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනයකදී ධර්ම කරුණු පැහැදිලි කරන ආකාරයෙන් සරල ලෙස තොරතුරු ඉදිරිපත් කිරීම ග්‍රන්ථයේ විශේෂත්වයකි. පුද්ගල ජීවිතය අර්ථවත් කරගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය විවිධ නිදසුන් ඇසුරින් පැහැදිලි කොට තිබේ.

මනුස්ස ලෝකය යන ක්ෂේත්‍රය යටතේ විෂය කරුණු ගණනාවක් ගැන සාකච්ඡා කොට ඇත. දූ දරු මාපිය සම්බන්ධතා පිළිබඳ විග්‍රහ කිරීමේදී දරුවන්ට ආදරය කිරීම, සුහද ව කතාබහ කිරීම කළ යුත්තේ කෙසේ ද යන්න සන්නිවේදන දෘෂ්ටි කෝණයෙන් පැහැදිලි කරයි. ගෘහ ජීවිතයෙහි සතුට, සාමය රඳවා ගත හැකි ක්‍රමයන් ගැන කරුණු ඉදිරිපත් කිරීම ලිපි ගණනාවක අරමුණ වී තිබේ. විවාහ ජීවිතයේදී වැඩිහිටියන්ගෙන් දුරස්ථ වීම නොව ඔවුන් ඇසුරේ සිටීමෙන් ඇතිවන ප්‍රගතිය කතුවරයා පැහැදිලි කරයි. මේ පිළිබඳ ව සමාජයේ පවතින දුරවබෝධය දූරීභූත කරගැනීමට එබඳු අවවාද අනුශාසනා වැදගත් වේ. දරුවන් දෙමාපියන් අතර පවතින බැඳීම ආධ්‍යාත්මික ගුණයෙන් පෝෂිත වූවකි. එසේම එය උතුම් මානවීය ලක්ෂණයක් ලෙස පැහැදිලි කරයි. දූ දරුවන් සමාජයට හුරු පුරුදු කිරීමේදී මහපොළොවේ පය ගසා සිටින ලෙස හුරු කරවීමටත් අහස උසට බලාපොරොත්තු වලින් පුරවා ඔවුන් මංමුළා නොකිරීමත් දෙමාපිය - වැඩිහිටියන්ගේ වගකීමක් බව මේ ලිපි පෙළින් අනාවරණය කොට තිබේ.

ගුරුවරයා සතු කාර්යභාරය හා ඔවුන්ගේ වගකීම මෙන් ම වටිනාකමත් එසේ ම මිත්‍රයා යනු කවුද ඔවුන්ගේ සබැඳියාවේ ස්වරූපයත් විවරණයට ලක් වූ තවත් ක්ෂේත්‍රයකි. තමා රැකියා කරන ස්ථානයේ කටයුතු කළ යුතු ආකාරය හා සමාජ ප්‍රගතිය සඳහා ක්‍රියා කළ යුතු ස්වරූපය පෙන්වා දී ඇත. බෞද්ධ සමාජයේ ගිහි පැවිදි සම්බන්ධතාව පවත්වාගෙන යාම සඳහා ඔවුනොවුන් අතර පැවතිය යුතු නිවැරැදි දෘෂ්ටිය ගැන ද හඳුන්වා දී තිබේ. මේ අනුව ‘මනුස්ස ලෝකය’ යනුවෙන් සඳහන් කොටසෙහි පවුල, කාන්තාව, පුරුෂයා, ගුරුවරයා, ශිෂ්‍යයා, මිත්‍රයා, රැකියාව, සිරිත් විරිත් යනාදී ක්ෂේත්‍රවලට අයත් සමාජ කරුණු පිළිබඳ ව අවබෝධයක් ලබා දී තිබේ.

ප්‍රේත ලෝකය යනුවෙන් නම්කොට ඇති කොටසෙහි මරණයෙන් පසු මිනිසා නැවත උපතක් ලබන බැවින් ගුණවත් ජීවිතයක් ගතකිරීමේ වැදගත්කම දක්වා තිබේ. ‘මවු ගැබක උපත ලැබීම දුෂ්කරය’ යන ලිපියෙහි වර්තමාන සමාජයේ සිදු වූ යම් යම් සිදුවීම් ද පදනම් කරගෙන, දරුවකු උපත ලැබීමේදී මව තුළ පවතින සිතුවිලි බලපාන ආකාරය නිදසුන් ඇසුරින් දක්වා ඇත. අංගුත්තර නිකායේ නිච්ඡවි සූත්‍රය, මනෝරථ පුරණි අටුවාව යනාදී ග්‍රන්ථ මූලාශ්‍රය ඇසුරෙන් මේ විවරණය සිදු වී තිබේ. ප්‍රේත ආත්මයක් ලැබීමට හේතු වන පාපකාරී සිතුවිලි ගැන හා ඉන් මිදීමට පුද්ගල ක්‍රියාකාරකම්වලට ඇති හැකියාව පැහැදිලි කොට ඇත.

ආගමික ලෝකය යන කොටස තුළදී බෝධි පූජාවෙන් ලබාගත හැකි මානසික තෘප්තිය හා ශක්තිය විස්තර වේ. කාලීන වශයෙන් වැදගත් වන සමාජ කරුණු මෙහි විග්‍රහ වේ. බොහෝ බෞද්ධ ජනයා බෝධි පූජාව අගය කරති. බෝධි වෘක්ෂයේ පත්‍රවල පවතින බලය කලබලකාරී සිත් සන්සුන් කිරීම සඳහා ශක්තියක් පවතින ආකාරය ‍පාතේගම හිමියෝ මැනවින් පෙන්වා දෙති. බෝධි පූජාව විශ්වාසයකින් සිදු කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මෙහි අඩංගු ලිපි කීපයකින් ම පෙන්වා දී ඇත.

කුසට අහර මෙන් ම මනසට ද ආහාර අවශ්‍ය වේ. මනසට ලබාදෙන ආහාර වන්නේ උතුම් සිතුවිලි ය. මවකගේ සිත තුළ ඇතිවන සිතුවිලි ‘කුස’ තුළ සිටින දරුවාට බලපායි. එය දරුවාගේ පෞරුෂයට බලපායි. එසේම අනවශ්‍ය ලෙස සිදුකරන පූජා විධි වලින් සිදුවන අනිටු විපාක ගැන ද ග්‍රන්ථයේ සඳහන් වේ. මේ අනුව පාතේගම ඤාණිස්සර හිමියන් විසින් පළ කරන ලද ‘මනුස්ස ලෝකය හා ප්‍රේත ලෝකය’ ග්‍රන්ථය පොදු ජනයාගේ සමාජ විඥානය පුළුල් කරනු ලබන යහපත් සමාජයක් ගොඩනඟා ගැනීම සඳහා මිනිසා සතු ශක්තිය මැනවින් ප්‍රකට කරන ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකි ය. එම නිසා බාල මහලු කාටත් ධර්ම ග්‍රන්ථයක් ලෙස පරිශීලනය කිරීම වැදගත් වන බව සඳහන් කළ හැකි ය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්