මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

තාජුඩීන් දෙහිවලින් යයි; ඊළගට . . . . .

තාජුඩීන් දෙහිවලින් යයි; ඊළගට . . . . .

මෙරට රගර් ක්‍රීඩාපිටියේ නමක් රැන්දූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් නිසා සිදු වූ බව කියැවෙන පුවත යළි කරළියට ආ මාතෘකාවක් වූයේ මෑතකදීය. මේ වන විට එය දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි ආන්දෝලනයකට හේතු වී ඇත. අධිකරණ නියෝගයකට අනුව තාජුඩීන්ගේ සිරුර යළි ගොඩගනු ලැබුවේ පසුගිය සඳුදා (10) ය. තාජුඩීන්ගේ සිරුර බහා තිබූ පොලිතින් උරයෙන් එය ඔහුගේ බව ඔහුගේ මාමා කෙනකු වන ෆයාස් ලතීෆ් මහතා විසින් හඳුනාගනු ලැබූ අතර, සහෝදරයා සහ සහෝදරිය විසින්ද එය සනාථ කරන ලදී.

එසේ වුවත් ශරීරයේ අස්ථි කොටස් පමණක් ඇති හෙයින් එම සිරුරේ කොටස් ඔහුගේමද යන්න ප්‍රථමයෙන් පරීක්ෂා කළ යුතු බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙරට තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. එසේම දේහය ඉටි කොළවල ඔතා තිබූ නිසා ශරීර කොටස් පහසුවෙන් ගොඩගැනීමට හැකි විය. තාජුඩීන්ගේ සිරුර ගොඩගන්නා ලද දෙහිවල පල්ලිය අවට එදින අතිවිශාල පිරිසක් රැස්ව සිටි අතර, බොහෝ දෙනා අතර පසුගිය රජයේ ප්‍රබලයන්ට එරෙහි බැනර් හා කටවුට්ද විය. එය එක් අතකින් දේශපාලන රැලියක සමනාත්වයක්ද ඉසිලීය.

සාමාන්‍යයෙන් මුස්ලිම් ආගමික නීතිය අනුව භූමදාන කරන ලද සිරුරක් යළි ගොඩගත නොහැකිය. එසේ වුවත් මේ අවස්ථාවේදී ඒ සඳහා ආගමික හෝ තාජුඩීන්ගේ පවුලේ කිසියකුගෙන් හෝ වෙනත් පුද්ගල විරෝධයක් හෝ මතු නොවිණි. කෙසේ වුවත් තාජුඩීන් ඝාතනය සැක සහිත බවට පැමිණිල්ලක් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධ පරීක්ෂණ ඇරැඹී වසර 3ක් යන තුරුත් කිසිදු ප්‍රගතියක් ඒ පිළිබඳව නොලැබුණද මේ වන විට දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

තාජුඩීන්ගේ මරණය සාමාන්‍ය රිය අනතුරක් මෙන්ම පිලිස්සුම් නිසා සිදු වූ මරණයක් බව එකල තීන්දු වූ නමුත්, එය ඝාතනයක් බවට දැඩි ලෙසම විවිධ අංශ මඟින් වාර්තා වුණි. එහෙත් අඩුම වශයෙන් රස පරීක්ෂක වාර්තාව හෝ එළියට ආවේ වසර තුනකට පසුව වීම මේ පරීක්ෂණ යට ගිය බවට හොඳම උදාහරණය වේ.

දේශපාලන කරළියේ කතාබහ වෙද්දී තාජුඩීන්ට අමානුෂික වධ දී ඝාතනය කර ඇති බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රසිද්ධියේම පවසමින් සිටී. ඒ සම්බන්ධව තමන් සතුව සාක්ෂි පවතින බව ඔහු පවසමින් සිටී. තාජුඩීන්ගේ දත් ගලවා ඔහුගේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ඇන ඇති බවත් , ඊට අමතරව තවත් අමානුෂික වධ දී ඔහු ඝාතනය කර ඇති බවත් මේ දිනවල පැතිර යමින් පවතින කතාන්දර අතර වේ. එහෙත් තාජුඩීන් මියගිය අවස්ථාවේදී ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමේදී මේ කිසිදු කරුණක් එළි වූයේ නැත. එහෙත් ගිනි ගෙන දැවුණු මෝටර් රථයේ සිටි ඔහුට කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය නොවූ බවට වාර්තා වී තිබිණි. විශාලම ගැටලුව මතු වන්නේ එතැනදීය. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව කරනු ලබන පරීක්ෂණවලදී ඒ සම්බන්ධවද දැඩි ලෙසින්ම අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට ඇත.

ගිනි ගෙන දැවුණු මෝටර් රථය අනතුරට පත් වෙද්දී ඔහු සිහිසුන් වී ගිනි ගෙන දැවුණා නම් අනිවාර්යයෙන්ම ඔහු‍ට කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය විය යුතුය. එසේ නැතිව ඔහු සිහි ලබා සිටියේ නම් අනිවාර්යෙන්ම අනතුරට පත් වාහනයෙන් එළියට පැනගැනීමට උත්සාහ ගනු ඇත. එහෙත් එවැන්නක් උදෙසා ඔහු කටයුතු කර තිබූ බවක් දේහය මෝටර් රථයේ තිබූ ආකාරයෙන් පැහැදිලි නැත.

එමෙන්ම මෝටර් රථය ගිනි ගෙන විනාශ වන තෙක්ම, රාත්‍රියේ වුවද වාහන ගමන් කරන මේ මාර්ගයේ කිසිවකු හෝ නොදැකීමද එක් අතකින් පුදුම උපදවනසුලුය. මේ සියලු අංශ කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දැඩි අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම මේ වන විට නිල නොලත් ආරංචි මාර්ග අනුව වාර්තා වී ඇත්තේ රතු කුරුස සමාජයට අයත් වාහනයක් හිටපු ජනාධිපති ආර්යාවට ලබා දී තිබූ බවත්, තාජුඩීන් පැහැරගෙන ගොස් ඇත්තේ ඒ වාහනයෙන් බවත්ය. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අඟහරුවාදා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා රහස් පොලිසියට කැඳවා පැය 6ක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. රතු කුරුසයේ වාහනයක් ලබා දුන් හේතුව, පසුව එම වාහනයේ වර්ණය වෙනස් කර ඇති බවට පැතිර ඇති කරුණු යනාදී සියලු අංශ කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇත.

රතු කුරුසයේ අදාළ වාහනය බාරව සිටි නිලධාරියා මෙන්ම එහි රියැදුරුගෙන්ද මේ සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් දැනගැන්මට හැකි වනු ඇත. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රතු කුරුස නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳව තියුණු ඇස යොමු කර ඇත.

තාජුඩීන්ගේ මරණය ඝාතනයක්ද - නැද්ද යන්න මේ වන තුරු මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් ඔප්පු වී නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ සිරුර ගොඩගැනීමෙන් පසු යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බවත්, ඇතැම් විට ඩීඑන්ඒ පරීක්ෂණයක් පවා සිදු කිරීමට ඉඩ ඇති බවත්ය. එසේ වුව හොත් මේ සම්බන්ධව තීරණයක් ගැනීමට බොහෝ කාලයක් ගත වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

එසේම තාජුඩීන්ගේ මරණය පිළිබඳව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන්ද ප්‍රශ්න කිරීමට සැරසෙන බව වාර්තා වේ. මේ වන විට මාධ්‍ය හා දේශපාලන වේදිකාවන්හි නම් වසීම් තාජුඩීන් නම් රගර් ක්‍රීඩකයා පැහැදිලිවම ඝාතනය කර ඇති බව පෙන්වා දෙමින් තිබේ. එය සක්සුදක් සේ දන්නා බවද පෙර කීවාක් මෙන් ඇතැමුන්ගේ ස්ථාවරය වී ඇත. එම ස්ථාවරය කෙසේ වුවත් සත්‍යය සැමදා වසන් කළ නොහැකිය. සැකයට භාජන වූ කරුණු ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සියල්ල එළි වනු ඇත.

තාජුඩීන් යනු තවත් අතීතයට එක් කළ යුතු මිය යෑමක් නොවේ. ඩීඑන්ඒ පරීක්ෂණ මඟින් හෝ මේ සම්බන්ධ සිදුවීම් රටට හෙළි විය යුතුය. ඝාතනයක් නම් ඒ හා සම්බන්ධ සියලු දෙනා සොයා බලා දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතු වේ. යළිත් එවන් සිදුවීම් වළක්වාගත හැකි වන්නේ එසේ වුව හොත් පමණි. එහෙත් කිසිවකු මෙය දේශපාලන වාසියකටද හරවා නොගත යුතුය. ‘මුස්ලිම් හඬ’ සංවිධානය පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේද මෙය කිසිදු ආකාරයක දේශපාලනයකට හරවා නොගත යතු බවත්, සත්‍යය හෙළි කිරීම පමණක් ප්‍රමාණවත් බවත්ය. අපට කීමට ඇත්තේද එයමය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්