මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

මනාපය

මනාපය

මනාපය, කැමැත්ත, ඡන්දය, රිසිබව, ළැදියාව, හඟවන ‘මනාප’ නම් වූ පදය මේ දිනවල අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ම කතා කරන මාතෘකාවකි. මනාප පොරය නිසා හොඳ හිත පලුදු වනවා පමණක් නොව, කල කෝලාහල, ගහ බැණ ගැනීම් ආදිය පවා සිදුවන තැනට වැඩ සිදුවෙයි. මෙහි වඩාම අයහපත් පැත්ත නම් එකම පක්ෂයේ, එකම ප්‍රතිපත්ති ඇති, එකම දේශපාලන දර්ශනයක් ඇති පාක්ෂිකයන් පවා මනාප සොයන්නට යන්නේ උගුරට හොරා බෙහෙත් කන්නාක් මෙනි. අනෙකාට වඩා මනාප ලබා ගන්නට උත්සාහ කරන මේ ක්‍රමය ඉක්මනින් නිමා විය යුතුය.

දූ දරු මවුපිය මනාපය නම් කිසි දාක වෙනස් නො වන්නකි. අම්මාගෙන්, තාත්තාගෙන් දරුවන් පතන මනාපය මෙන් ම දරුවන්ගෙන් ද මවුපියන් ලබන මනාපය නිසා දූ දරු සබඳතාව ශක්තිමත් වෙයි. එය අපේ බෞද්ධ හැදියාවේ ලක්ෂණයකි. අපේ මවුපියන්, දූ දරුවන් අතර මේ මනාපය ස්ථාවරව තිබේ නම් ළමා නිවාස සහ වැඩිහිටි නිවාස වැසී යනු ඇත.

සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ පසු මනාපය සොයන්නේ උසස් පෙළට හදාරන විෂය ක්ෂේත්‍රය ගැනය. සමහර වෙලාවට දරුවන්ගේ මනාපය විද්‍යාව, කලා වාණිජ, සෞන්දර්යය, තාක්ෂණ අංශයන්ගෙන් කවර එකකටදැයි ඔවුහු තෝරා ගනිති. එහෙත් මේ මනාපයට මවුපියන් ද අදහස් ඉදිරිපත් කරන විට මත ගැටුම් ඇතිවිය හැක. ඒ නිසා පාසල් වල ‘උපදේශනය’ භාර ගුරු භවතා විසින් මේ ප්‍රශ්න නිරාකරණය කර දීමට දෙමාපිය දූ දරුවන් වෙනුවෙන් දායක වනු ඇත.

ඡන්දෙ කාලයට මනාප දෙන්නේ හොර රහසේ ය. ඒ නිසා එය රහස් ඡන්දයකි. මනාපය දක්වන්නට ‘X’ ලකුණ යොදන්නට හැකි ය. එහෙත් පාසලේ දී නම් අපි ‘X’ යෙදුවේ වැරැදි හෙවත් අනුමත කරන්නට නොහැකි බව කීමට ය. කොහොම වුණත් මනාපය රහසේම දෙන එක හොඳ දෙයකි. අද දක්නට ලැබුණ මනාපය එළි පිට දෙන්නට ක්‍රමවේදයක් වූවා නම් මොන තරම් ප්‍රශ්න ඇති වෙයිද? සමහර අයට මනාපයට ‘X’ ලකුණු කරන්නට ගියාම වැරදුණු බවක් කියන්නේ එහි ඇති සරල බව තරමක් අඩු බැවිනි.

මනාපය මුහුණේ දෑස් වලින්, ඉරියවු වලින් ද ප්‍රකාශ වෙයි. කලකින් නොදුටු නෑයෙක් මිතුරෙක් අහම්බෙන් හමු වූ විට මනාපය දක්වන්නේ වැලඳ සතුට උතුරා යන පරිදිය. උදේට හමු වන කාටවුවද ‘හලෝ’ යයි අමතන සිරිතක් ඇතැම් රටවල ඇත.

‘මහා පණ්ඩිතයාගේ බකුසු මුහුණට වඩා කවටයාගේ සිනහව මට මනාප’ යයි වරක් කීවේ රැ. තෙන්නකෝනුන් විසිනි.‍

කොහොමත් හැම තිස්සෙම සිනහ වෙවී, මනාපකම් නොපෙන්විය යුතු රාජකාරි ද ඇත. ඒ වෙලාවට අදාළ රාජකාරි භූමිකාවට පිවිසෙන විධායක හෝ ඉහළ නිලධාරීන් විසින් මවා ගන්නා ආදේශක අමනාප මුහුණ ඔවුන්ගේ රැකියාව කරන්නට වඩා පහසු ය.

කුඩා දරුවන්ට බත් කවන්නට ආහාරයට මනාප කර ගන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු වෙයි. රටේ නැති කතන්දර කියමින්, පොරොන්දු දෙමින් දරුවන්ට කැවීමට මවුපියන් හා ආච්චිලා සීයලා ට හොඳට පුරුදු ය.

විභාගයක දී බහු වරණ ප්‍රශ්න පත්තරයට උත්තර ලිවීමත් එක්තරා මනාප ක්‍රමයකි. නිවැරැදි පිළිතුර තෝරා කොටුව තුළ ‘X’ යොදන්නේ වරණය කිරීමේ කුසලතා ද විදහා දක්වමිනි. ඒ නිසා මනාපයක් දක්වන්නට නම් හොඳට හේතු සාධක, න්‍යාය මූලධර්ම පාදක කරගත් විෂයබද්ධ දැනුම අවබෝධය ප්‍රමුඛ වෙයි.

කුසජාතකයේ පබාවතී කුමරියට මනාලයකු තෝරා ගැනීමට රන් රුවක් හැදූ කතාවක් ඇත. පබාවතී කුමරියගේ ගෘහ සේවිකාව වූ ‘කුදී’ විසින් රන් රුවට පහරක් දුන්නේ බලවත් අමනාපයෙනි. කුස රජ තුමා පබාවතීගේ මනාපය ගන්නට ගත් වෙහෙස කොතෙක් දැයි අපූරුවට දක්වා ඇත.

මනාපයක් නැති වූ විට ඇති වන්නේ අමනාපයයි. සමහරු නොමනාපය යයි ද කියති. එහෙම අමනාපය ඇති වූ විට වෛරය, ක්‍රෝධය, තරහ ව, ඉරිසියාව ඇති වන්නේ නිරායාසයෙනි. ඒ නිසා අමනාපය නම් කොහොමටත් හොඳ නැත.

මනාපයෙන් ගජ මිතුරන් සේ සිටි පසුව අමනාප වූ විට පහර ගැහීමත් සත් පුරුෂ ලක්ෂණයක් නොවේ. ඇතැම්හු අමනාප වූ පසු ‘මඩ පහරවල්’ එල්ල කරන්නේ විචාරයෙන් තොරව ය. එහෙම මඩ පහරවල් එල්ල කරන්නට ගිය විට තමාගේ අතේ ද මඩ තැවරෙනු ඇත. මොනම හේතුවක් නිසා වත් මනාප කාලයේ කෙරුම් ‍කියුම් වලින් අනෙකාට අමනාප වූ විට හිරිහැර නොකළ යුතු ය.

සාප්පු සවාරියක දී කාන්තාවන්ට නම් මනාප පරිදි රන් භාණ්ඩ, සාරි, රෙදි හැට්ට තේරීම නම් හරිම අසීරු දෙයකි. පළමු සාප්පුවට ගොස් සියල්ල එළියට ගනිමින්, පාට, තරම, මුදල සවි ශක්තිය ආදි දහසක් ගැළපීම් ගැන කරුණු දක්වා එතැනින් තවත් සාප්පුවකට යයි. දෙන මුදලට නොවටිනා භාණ්ඩ රැගෙන එන කාන්තාවෝ ඕනෑතරම් සිටිති. කාන්තාවන්ගේ මනාපය ලබා ගැනීමද එතරම් පහසු නැත.

මනාපයක් නැති විටෙක එපාවීමක් ද ඇත. මනාපයක් නැතත්, රසයක් නැතත් තිත්ත කෂාය බොන්නේ රෝග සුව කර ගැනීමට ය. එහෙම වුණත් මනාපයක් නැතුව බේත් හේත් කරන සිරිතක් ද නැත.

ගුරු දෙගුරුන්, මවුපියන්, වැඩිහිටියන් වැරැදි හැසිරීමක් සඳහා දඬුවමක් දෙන්නේ අද මනාපයකින් නොවේ. අපේ බාල පරපුරට වරදට අවවාදයක්, දඬුවමක් දෙන්නටත් බැරි විදියට ගොඩනැඟී ඇති වාතාවරණය නිසා පාසල් ප්‍රධානීන්, ගුරුවරුන් හා වැඩිහිටියන් බලවත් අසීරුතාවකට පත් වී ඇත.

මනාප සංස්කෘතියේ එස්.එම්.එස් (කෙටි පණිවුඩ) මනාප පළ කරන්නේ විවිධ විද්යුත් මාධ්‍යවල සෞන්දර්ය නර්තන, ගායන තරගවල දී ය. මේ නිසා ඔවුන් ද දේශපාලනඥයන් මෙන් මනාප ඉල්ලා දැවැන්ත ප්‍රදර්ශන පුවරු හන්දියක් ගානේ සවිකරති. බොහොම අමාරුවෙන් හති වැටෙන තුරු වේදිකාව මත නටන, උඩ පනින, මේ තරුණ තරුණියන් මනාපය ඉල්ලන සංඛ්‍යාව පෙන්වන්නේ ද අතේ ඇඟිලි වලිනි.

බොරු මනාප කාරයන් චාටු බස්, චාටු හිනා, චාටු ඇසුරකින් ළං වන්නේ තම ප්‍රයෝජනය සඳහා ය. ඡන්දෙ කාලෙට නම් මෙහෙම චාටු බස් දොඩන්නෝ අපමණ වෙති. එහෙත් චාටු බසින්, චාටු හිනාවෙන් ඇතැම් අය මුරුංගා අත්තටම නංවන්නටත් හැකි ය. මනාපය ඇත්තටම මනාපයක් ද, ඇත්තටම හිතවත්කමක් ද යන්න ගැන සොයා බලන්නට සිදු වෙයි.

අපේ ගම්වල එදා ආරවුලක්, ගැටුමක්, නොහොඳක්, නෝක්කාඩුවක් වූ විට එය සමනය කොට මනාපකම් යළි ඇති කිරීමට ඉදිරිපත් වන්නේ ගමේ නායකයන් ය. ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ, විදුහල්පතිතුමා වැනි ගමේ සැලකිය යුතු අයයි. ඔවුන්ගේ බසට අවනත වන ගැමියෝ සියලු භේද ඔවුන් ඉදිරියේ දී අත් හරිති. එමෙන්ම ඔවුන්ද ආදර්ශවත් සාධාරණ ගැමි නායකත්වයේ ප්‍රතිමූර්ති විය. ඒ එදා ගමේ පොලිසියට, උසාවියට නඩු හබ අවම විය.

හෙට පැවැත්වෙන මැතිවරණයේ දී මනාපකම් අමනාපකම් වලටත්, හොඳ හිත දූෂ්‍ය වීමටත් ඉඩ නොතබා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වේවායි පතමු.

ඔබ පිරිසිදු සිතකින් අනෙකා සමඟ මනාප වෙයිද? අනෙකා ද ඔබට පවිත්‍ර හිතකින් මනාප වනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්