මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

ස්වයංවරය

ස්වයංවරය

මේ අගෝස්තු මස දාහත් වන සඳුදා ලංකා මාතාව ස්වයංවරයෙහි නිරත වන්නට නියමිතය. “ස්වයංවරය” පෙර සිරිතට ගැහැනියක තම සැමියා තෝරාගන්නා උත්සවයයි. එහිදී ඇය කරන්නේ තමා විවාහ කරගන්නට රැස් වන පිරිමින් ගෙන් තමා වැඩියෙන්ම කැමැති තැනැත්තා තෝරා, ඔහුට මල්මාලයක් පලඳවා, ඔහු හා සමඟ විවාහ වීමයි. පෙර දවස ලංකා මාතාවගේ “ස්වයංවරය” සීමිත විය. ඒ සම්ප්‍රදාය අනුව, ඇගේ අභිමතය සීමා වූ බැවිනි. අවශ්‍යයෙන්ම රටේ රජ පරපුරේ ඊළඟ පුරුක තෝරාගැනීමට ඇයට සිදු වුණි.

ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමෙන් පසු ලක් මවගේ “ස්වයංවරයේ” සීමාව අසීමිත සේ පුළුල් විය. තෝරා ගැනීම සඳහා දැන් ඇයට පක්ෂ රාශියක් ඇත. ඒ මදිවාට “අලි මදිවට හරක්” කීවා සේ ස්වාධීන කණ්ඩායම් දුසිම් ගණන් තිබේ. මේ පොරය නිසා ඇයට අද දක්වා සම්පූර්ණයෙන්ම රටට ගැළපෙන ආණ්ඩු පක්ෂයක් තෝරාගැනීමට නො හැකි වී තිබේ. නිදහස ලැබුණු දා සිට, මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙකකට මල්මාලාව පැලඳුවද, ඒ එක පක්ෂයකටවත් ඇගේ අවශ්‍යතා සපුරා ලන්නට මෙතෙක් හැකි වී නැත. පුරසාරම් කියා, නොයෙක් පොරොන්දු දී, මල්මාලාව කර ලවාගත්තද, එය නො කඩවා දරා සිටින්නට සෑම පක්ෂයක්ම අසමත් විය. එහෙත් පරාජයෙන් පසුබට නොවන ඔවුහු, නැවත නැවතත් එකිනෙකාගේ ලන්සුව දෙගුණ කරමින් මල්මාලාවට පොර කති.

පොරොන්දු

නාමයෝජනා බාර දුන් දා සිට දසතින් ඇසුණේ, ඒ හෙට්ටු පොරයේ දෝංකාරයයි. දෙන පොරොන්දු ඒ වූ පරිදි ඉටු වුවහොත් ලබන මැතිවරණයෙන් පසු මේ රට සුරපුරයක් වනු නොඅනුමානය. රට පුරාම කර්මාන්ත පුරය; පොකුරු ගම්මානය. සංචාරක කේන්ද්‍රය. අගහිඟකම් ඇති අයට බෙදා දෙන්ට පොරොන්දු වෙන භාණ්ඩ, මුදල් හා ණය ආධාර වෙස්සන්තර ජාතකය සිහි ගන්වයි. එක පක්ෂයක් දෙන පොරොන්දුව තවත් පක්ෂයක් දෙගුණයකින් වැඩි කරයි. එහෙත් බලයේ සිටියදී නුදුන්නේ මන්දැයි නොකියයි. දේශපාලන වේදිකාවෙන් තරගෙට ලැබෙන පොරොන්දු ඇසෙන විට, පැරැණි ගැමි කතන්දරයක් මතක් වෙයි. එය මෙසේය.

ගංවතුර ගලන දවසක, දීන් හා පාල ඔරුවකින් ගඟ හරහා යන්නට පටන් ගත්හ. රළ පහර සැඬ වීම නිසා ඔරුව ගඟ මැද පෙරළුණි. පණ බේරා ගැනීම සඳහා, දෙදෙනා ගසා ගෙන යන ඔරු ක‍ඳේ එල්ලුණහ. සිරිත් පරිදි, පාලට කතරගම දෙවියන් සිහි විණි. මේ අනතුරෙන් ගැලවීමට දෙවියන්ගේ පිහිට ලබාගැනීම පිණිස ඔහු මෙසේ යාච්ඤා කරන්නට පටන් ගත්තේය. “අනේ කතරගම දෙවි හාමුදුරුවනේ, තමුන්නාන්සේ මාව මේ ඇබැද්දියෙන් බේරගත්තොත්, මම ඔබ වහන්සේට පාට හතේ මල් වට්ටියකුයි, පලතුරු හතක පූජා වට්ටියකුයි, නෙළුම් ම‍ල් මාලෙකුයි පූජා කරනව.”

මේ අසා සිටි දීන් කතරගම දෙවියන් නොඇදහූ නමුත්, පණ බේරා ගැනීම සඳහා තමනුත් කුමක් හෝ කළ යුතු බැවින්, ඔහු ද යාච්ඤා කරන්නට පටන් ගත්තේය. ඔහු මල් වට්ටි හත්සීයකුයි, පූජ වට්ටි හත්සීයකුයි, රත්තරන් මාල හත්සීයකුයි බාර වන බව ඇසූ, ගිලෙන ඔරු ක‍ඳේ එල්ලී සිටි, පාලට මැරෙන්නට යන මොහොතේවත්, පරම්පරාගත කුතුහලය යටපත් කරගත නො හැකි විය. “ඈ තම්බි, තමුසේ කොහොමද ඕව ඔක්කොම දෙන්නෙ?” ඔහු දීන්ගෙන් ඇසුවේය. “බයවෙන්න එපා, අයියා,” දීන් ඇහැ ඉඟි මරමින් පාලට පිළිතුරු දුන්නේය. “ගොඩට ගිහිල්‍ලනේ බාරෙ ගෙවන්නේ”. පාල කවරදාවත් මැතිවරණ රැලියකට සහභාගි වී නැති බව දීන්ට අවබෝධ වන්නට ඇත.

පදනම කුමක්ද?

දේශපාලන වේදිකාවල දෙන පොරොන්දුවල පදනම කුමක්ද? ඒවා ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය මුදල් කන්දරාව ජාතිය සතුද? නැති නම් එපමණ ණය සම්භාරයක් ලබාගන්නට තරම් අපේ ආර්ථිකය ශක්තිමත්ද? යෝජිත ආයෝජනවලට ප්‍රමාණවත් සහයෝගයක් පිටරටින් ලැබේද? ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තිමත් යටිතල පහසුකම්, ශ්‍රම ශක්තිය අපට තිබේද? මේ විස්තර ලබාගන්නට සෑහෙන කාලයක් ගත වේ. ඒ ගවේෂණය කළ යුත්තේ සියුම් ක්‍රමවේදයකට අනුවය. එබඳු පදනමක් නැතිව වේදිකාවෙන් නැගෙන කයිවාරු මත, ජාතියේ අනාගතය වෙනස් කළ හැකි තීරණයක් ගැනීම අසීරු පියවරකි.

ජාතික සැලැස්මක්

දෙන පොරොන්දු නොවරදවා ලැබෙන්නට නම්, ඒවා ක්‍රමානුකූල ජාතික සැලැස්මක පදනම් විය යුතුය. එබඳු සැලැස්මක් සකස් කිරීම ආවට ගියාට කළ හැක්කක් නොවේ. එබන්දක් සකස් විය යුත්තේ ආර්ථික / සමාජ විද්‍යාඥයන් විසිනි. ඒ සඳහා සමීක්ෂණ, ගවේෂණ හා අධ්‍යයන අනිවාර්යය. එදා මෙදාතුර එබඳු ජාතික සැලැස්මකින් අපේ ගමන්මඟ සලකුණු නො වීය. පැත්තෙන්, පැත්ත, හිතුමතේ පොරොන්දු දෙමින්, අප රැවැට්ටිමට අපේ දේශපාලකයන්ට හැකි වූයේ, එබන්දක් අප සතු නො වූ බැවිනි.

ලෝකයේ දියුණු රටවල දේශපාලකයන්ට එබඳු අසංවිධිත, ඒක පාක්ෂික ප්‍රකාශ කළ නො හැක්කේ කොයි පැත්තෙන් ආවත්, සම්මත ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන් සියලු දෙනාම බැඳී සිටින නිසා ය. ලෝකයේ ඉතාම බලවත් පුද්ගලයායයි කියන ඔබාමාටවත් කොන්ග්‍රස් මණ්ඩලයෙන් සම්මත නො වූ සැලැස්මක් ක්‍රියාත්මක කළ නො හැක. මැතිවරණයෙන් පසු කොයි පක්ෂය බලයට ආවත්, නව රජයේ මංගල පියවර විය යුත්තේ එබඳු ස්ථාවර ජාතික සැලැස්මකට අඩිතාලම දැමීම යයි සිතමි.

මෙතෙක් බලයට පැමිණි සෑම පක්ෂයක්ම ගත් තීරණ අද රට පත් වී ඇති තත්ත්වයට වග කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් වරින් වර ගෙන ආ පනත් මඟින් පියවරෙන් පියවර ඔවුහු රට ඒකාධිපතිත්වයට යොමු කළහ. එහෙත් ඒ සෑම අසම්මත ක්‍රියාවක්ම බැර වුණේ, පුරවැසි අපේ නමටය. හේතුව ඒ තීරකයන් තෝරා පත්කර ගන්නා ලද්දේ පුරවැසියන් වූ අප විසින් බැවිනි. “කාගේ ගෑනි කාට ගියත් ළමයි ලැබුණේ අපේ නමටය.” ඒ අසාධාරණය ඉවත් කිරීම අත්‍යවශ්‍ය පියවරකි. ඒ සඳහා තැබූ මුල් පියවර පසුගිය ජනාධිපති මැතිවරණයේදී තබන ලද බව පෙනේ. මින් පෙර එබඳු උත්සාහයක් නොගත්තා නොවේ. එහෙත් ඒ එකක්වත් සාර්ථක වූයේ නැත.

රටේ ගමන් මඟ වෙනස් කරන්නට රටේ සාමාන්‍ය ජනතාව තැබූ මුල්ම සාර්ථක පියවර මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ යහපාලන පුරවැසි පෙරමුණයි. අලුත් දේශපාලන පරිසරයක් බිහි කිරීමට ඔවුන්ගේ මඟ පෙන්වීම උපයෝගී වූ බව ප්‍රත්‍යක්ෂය. රජය යහමඟට යොමු කරන්නට කැප වූ නොනිල ආයතන රාශියක්ම වරින්වර බිහි වූ නමුත් ඒ එකකටවත් යහපාලන පුරවැසි පෙරමුණ අත්කර ගත් අර්ථ සිද්ධිය ළඟ කර ගන්නට බැරි විය. පසුගිය ජනවාරි 8 වන දා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ යම් විප්ලවයක් සිදු වුණා නම්, එහි නම්බුව ප්‍රමුඛ වශයෙන් යා යුත්තේ ඒ පෙරමුණට ය. ඔවුන් සමාජය තුළ නැඟූ ප්‍රතිරාවය නොවන්නට ඒ විප්ලවය ඇටකුණා වන්නට ඉඩ තිබිණ.

පුරවැසි පෙරමුණේ සහායෙන් බිහි වූ අලුත් අත්දැකීම නව රජය යටතේ පෙරමුණටම ගෙනයෑම යහපාලනයේ මුඛ්‍ය අවශ්‍යතාවකි. අපට ලැබෙන ළමයින් අපේම ළමයින් බවට වග බලාගැනීමට යාන්ත්‍රණයක් අවශ්‍යය. එය පාලන තන්ත්‍රයට ‍සමගාමීව, එය නිරීක්ෂණය කරමින් ඉදිරියට යන, මහජන මණ්ඩලයක් විය යුතුය. ඒ ආයතනය පවතින රජයේ හොඳහිත මත එහි අනුග්‍රහයෙන් යැපෙන්නක් නොවී, ස්වාධීනව, අපක්ෂපාතව, ජනතාව වෙනුවෙන් රජය ගණකාධිකරණයට ලක්කරන ව්‍යවස්ථාගත උපකරණයක් විය යුතු ය. එබඳු සංස්ථාවක්, අලුතෙන් ලියන්නට නියමිත ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම 17 වන දා බලයට එන රජයේ පරම යුතුකමකි. එය උත්තර මන්ත්‍රණ සභාව, සෙනෙට් සභාව හෝ එබඳු සුදුසු පාඨයකින් නම් කළ හැකිය. රටේ නම පතළ විද්‍යාඥයන්ගෙන්, විශාරදයන්ගෙන් හා ඒ ඒ පළාත නියෝජනය කරන, ජන සම්මානය දිනූ ප්‍රභූන්ගෙන් ඒ මණ්ඩලය සමන්විත විය යුතුය.

දැවෙන ප්‍රශ්න

අලුතින් බිහි වන, රජයට රටට දැනෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට වර්ෂ කීපයක් ගත විය හැකි නමුත් මුල් අවුරුද්ද ඇතුළතම නිමා කළ හැකි, නිමා කළ යුතු, වැඩ කීපයක් ඇත. ඉන් පළමුවැන්න, විටින් විට, රාජ්‍ය නායකයන් විසින් තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා අණ්ඩ දමන ලද, මුල සිටම ඒකාධිපති පාලනයකට තුඩු දුන්, ‘බහුබූත ව්‍යවස්ථාව’ ඉරා දමා, ඒ වෙනුවට අත්‍යන්තයෙන්ම ජනහිතකාමී, අනාගතයට ඔරොත්තු දෙන, සංයුක්ත ලේඛනයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සමඟම නුසුදුස්සන්ට, දාමරිකයන්ට, කූට ව්‍යාපාරිකයන්ට හා ජාතිවාදීන්ට මුදල් බලයෙන්, චණ්ඩිකමින්, පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මග පෑදූ මැතිවරණ නීතියද අලුතින්ම ලිවිය යුතුව ඇත.

මේ කටයුතුවල නිරත වීමේදී, අවශ්‍යයෙන්ම සිහි තබාගත යුතු ප්‍රධාන කරුණු කීපයක් තිබේ. අනාගතයේදී වාර්ගික ගැටුමකට ඉඩ නො තබා, ජාතික සමඟිය තහවුරු කිරීම ඉන් පළමු වැන්න යි. දැනට ඒ ප්‍රශ්නය යන්තමින් ගැටගැසී තිබෙන්නේ ඉන්දියානුවන් විසින් බලෙන් අපේ කර මත පැටවූ 13 වන සංශෝධනය නිසා ය. එහෙත් ඒ විසඳුම දෙපැත්තටම තෘප්ති කර නැත. දෙමළ ජනතාව තව තවත් අයිතිවාසිකම් ඉල්ලන අතර, දුන්නා වැඩි යයි සිංහල ප්‍රේමීහු තර්ක කරති. නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී අලුතෙන්ම සිතිය යුතු ප්‍රශ්නයකි මේ. තම තමන්ගේ ප්‍රායෝගික සීමාවන් දෙපක්ෂයම තාත්විකව වටහාගත යුතු අතර, දෙපක්ෂයටම ගැළපෙන විසඳුමක් නිර්මාණය කරගැනීම බලයට පත් වන පක්ෂයේ අභියෝගය වනු ඇත.

ඇති - නැති පරතරය උපරීම මට්ටමට පටු කිරීම නව රජයේ තවත් අභියෝගයකි. ඒ සඳහා රටේ නැති - බැරි පුරවැසියන්ගේ ආදායම් මාර්ග පුළුල් කිරීම අනිවාර්යය. රැකියා අවස්ථා උත්පාදනය ඊට පිළිතුර වේ. එසේ කළ හැක්කේ ගොවිතැන හා කර්මාන්ත දියුණු කිරීමෙනි. ණය පහසුකම් සැලසීම, විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කිරීම හා යටිතල පහසුකම් දියුණු කිරීම ඊට අවශ්‍ය උපාය මාර්ග වේ. මේ අවශ්‍යතා රාජ්‍ය බලය අපේක්ෂා කරන ඇතැමුන් හොඳින් වටහාගෙන ඇති බව පොකුරු පිටින් ඔවුන් දෙන පොරොන්දුවලින් වටහා ගත හැකිය. එපරිද්දෙන්ම ඒවා ඉටු කිරීමට ඔවුන්ට හැකි වුවහොත් රටේ ආර්ථිකය ස්ථාවර වනු ඇත.

මූලික අයිතිවාසිකම් ස්ථාවර කිරීම අලුත් ආණ්ඩුවේ තවත් වැදගත් යුතුකමකි. මෙහිදී ඇති - නැති පරතරය දුරලීම පමණටම ප්‍රමුඛත්වය ලැබිය යුතු කරුණකි. ප්‍රවර්තන පුරුෂාධිපත්‍යය යටතේ ස්ත්‍රින්ට සිදු වන හිරිහැර, පීඩන හා අසාධාරණකම්. ඒවා සොයා සමනය කිරීම. හැදෙන වැඩෙන දරු පරම්පරාවේ අඩුපාඩු සපුරාලීම තරම්ම වැදගත් ය. නිදහස් අධ්‍යාපනයේ ඌනතා සම්පූර්ණ කොට, දැයේ දරුවන්, උගත්, සෞඛ්‍ය සම්පන්න, ශිෂ්ට පුරවැසියන් වශයෙන් සමාජයට ඉදිරිපත් කිරීම හෙට අනිද්දා රට බාර ගන්නා පාර්ශ්වයේ පරම යුතුකමකි. ව්‍යාපාරිකයන්ගේ නොයෙක් බාධක හා විද්‍යාඥයන්ගේ තර්ක විතර්ක මැද කුරෝලු වෙමින් යන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යථාවත් කිරීමද ක්ෂණික අවධානය යොමු විය යුතු ගැටලුවක් බවට පත් වී තිබේ.

මේ ප්‍රශ්න විසඳීම සඳහා අලුත් පාර්ලිමේන්තුව විසින් බිහි කෙරෙන කිරිකැටි ළමයි අපේම ළමයි ද? ඔවුහු අංග සම්පූර්ණව උපදිති ද? යන වග පුරවැසි අප වෙනුවෙන් තහවුරු කිරීම, ස්ථාපිත කරන්නට යෝජිත, පුරවැසි පෙරමුණේ ප්‍රතිබිම්බය වූ, උත්තර මහජන මණ්ඩලයට භාරය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්