මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

එක්නැලිගොඩගේ අතුරුදන් වීම තවදුරටත් සඟවන්නට බැරිවෙයි!

එක්නැලිගොඩගේ අතුරුදන් වීම තවදුරටත් සඟවන්නට බැරිවෙයි!

ප්‍රගීත් එක්නැලිගොඩ” යළිත් වතාවක් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව තිබේ. ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවට අදාළව නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් වන මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක ක්‍රියාවලිය, එහි අවසාන දින කිහිපයට පැමිණ ඇති තත්ත්වයකදී පවා එහි උණුසුම අබිබවමින් ප්‍රගීත් එක්නැලිගොඩ රටේ දේශපාල න්‍යාය පත්‍රයේ පෙරට පැමිණ තිබේ. දේශපාලන වේදිකාවේ පමණක් නොව ඈත එපිට කඩපොළෙත් මේ දිනවල ප්‍රධාන සංවාදය ප්‍රගීත් ගේ අතුරුදන් වීම පිළිබඳවය. කවුද මේ ප්‍රගීත්? ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම පිළිබඳ විමසා බැලීමට මත්තෙන් ඒ පිළිබඳ කෙටියෙන් හෝ විමසා බැලුම වැදගත් ය.

දක්ෂ ලේඛකයකු, දේශපාලන විශ්ලේෂකයකු වූවාට අමතරව ප්‍රගීත් තුළින් දක්ෂ කාටුන් ශිල්පියෙක් ද දැකගත හැකි විය. ප්‍රගීත් රටේ නාමධාරී කථාබහට ලක්වූ මාධ්‍යකරුවකු බවට පත්වූයේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවට පැමිණීමෙන් පසු ය කියා පැවසුවහොත් එය බොහෝ දුරට නිවැරදිය. නිල හා නොනිල මට්ටමින් මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වූ ඒ යුගයේ, ජනතාව වැඩි වශයෙන් විකල්ප මාධ්‍ය කෙරෙහි ආකර්ෂණය වන්නට විය. සමාජ ජාල වෙබ් අඩවි එසේ ජනතා ආකර්ෂණය යොමුවූ ප්‍රධානතම මාධ්‍යයක් විය. රාජපක්ෂ විරෝධි විකල්ප දහරාවේ වෙබ් අඩවිහි නිදහස් ලේඛකයකු වූ ප්‍රගීත්ට සෑහෙන ඉඩක් ලැබුණි.

ඒ අතරිනුත් ප්‍රගීත්ගේ නිර්මාණ වැඩි වශයෙන් දැකගත හැකි වූයේ ඒවාට වැඩි ඉඩක් ලැබුණේ සඳරුවන් සේනාධීර ගේ “ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවියේ ය. ප්‍රගීත් ඊට ලිපි සම්පාදනය කළාට අමතරව, කාටුන් ද ඇන්දේය. දේශපාලන කාටුන් නිර්මාණය කිරීමේදී, ප්‍රගීත්ට ඔහුටම අනන්‍ය වූ ශෛලියක් විය. උපහාසයට අමතරව දේශපාලනිකව දැඩි ප්‍රහාරයක් ඒවාහි නිරතුරුවම ගැබ්ව තිබුණි. ඒ නිසාම ප්‍රගීත්ට තර්ජන එල්ල වූයේ වරක් දෙවරක් නොවේ. නමුත් කෙතරම් තර්ජන ගර්ජන කළ ද නිහඬ වූයේ ප්‍රගීත් නොවේ. පාලකයන් හමුවේ යටත්වීම වෙනුවට සටන් වැදීම ඔහු තම මාර්ගය ලෙස තෝරා ගත්තේය.

2009 වසරේ අගෝස්තුවේදී ප්‍රගීත් සොයා “සුදු වෑන්” රියක් පැමිණියේය. ප්‍රගීත් ව එම සුදු වෑන්කරුවන් පැහැර ගත්ත ද රට තුළින් මතු වූ ප්‍රබල සමාජ තෙරපුම ඔස්සේ පැය විසිහතරක් යන්නට මත්තෙන් ඔහුව නිදහස් කෙරුමට සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘවරුන්ට සිදුවුණි. එලොව ගිහින් මෙලොව පැමිණිය ද, ප්‍රගීත් තම “රාජකාරිය” දශමයකින් හෝ ලිහිල් නොකළේය. ඔහුගේ ලේඛන ශෛලිය පෙරටත් වඩා ප්‍රහාරාත්මක විය. අඳින ලද කාටුන් ඊට දෙවැනි නොවීය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ප්‍රගීත් හිටපු හමුදාපතිවරයාට කොන්දේසි විරහිතව සහාය පළ කළේ ය. ඒ නොනවත්වා එල්ල වුණු තර්ජන ගර්ජන මධ්‍යයේය.

මේ අතර, තීරණාත්මක ජනාධිපතිවරණයට දින දෙකක් ඉතුරුව තිබියදී ප්‍රගීත්ව යළි පැහැර ගන්නා ලදී. රට ජනාධිපතිවරණය පිළිබඳ දැඩි උනන්දුවෙන් යුතුව බලා සිටි මොහොතකදී සිදු වූ එම පැහැර ගැනීම, පිළිබඳ අපේක්ෂා කළ යුතු ආකාරයටම ඒ හැටි උනන්දුවක් සමාජයෙන් මතු නොවීය. එදින රාජගිරියේ පිහිටි “ලංකා ඊ නිව්ස්” කාර්යාලයෙන් පිටතට පැමිණෙද්දි ප්‍රගීත් තම මාධ්‍ය මිතුරන්ට පවසා ඇත්තේ තමන් තම පැරැණි මිත්‍රයෙකුව මුණගැසීමට යන බව පමණකි. ඒ ගිය ප්‍රගීත් යළි ආපසු පැමිණියේ නැත.

ඔහුගේ අතුරුදන් වීම පිටුපස ඇති කථා බොහෝය. ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, රසායනික අවි භාවිත කළ බවට ඔහු ලියු සටහන් ඊට හේතු වූ බව සමහරු තර්ක කරද්දි තවත් පිරිසක් පවසනුයේ ප්‍රබල දේශපාලනඥයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ හෙළිදරව් කරමින් ඔහු ලියු ආන්දෝලනාත්මක ලිපියක් ඊට හේතු වූ බවය. මේවායේ ඇත්ත නැත්ත තවම අනාවරණය වී නොමැත. අනිවාර්යයෙන්ම ඉදිරි පරීක්ෂණයකදී එය හෙළි වනු ඇත.

ප්‍රගීත්ගේ අතුරුදන් වීම එකල රාජපක්ෂ විරෝධී කඳවුරට ‍හොඳ සටන්පාඨයක් නිර්මාණය කරන දෙන ලදී. මේ පැහැර ගැනීම පිළිබඳ එවකට පැවැති විපක්ෂය රජයට ඇඟිල්ල දිගු කරන්නට විය. විපක්ෂය පමණක් නොව, ප්‍රගීත්ගේ බිරිය සන්ධ්‍යා අතුළු ඔහුගේ දරුවන් ද ප්‍රගීත්ව පැහැර ගැනීමේ වගකීම රජයේ ගිණුමට බැර කරන්නට විය. ඒ තත්ත්වය තුළ වඩාත් වගකීම් සහගතව මේ කාරණය දෙස රජය බැලිය යුතු වුව ද ඔවුන් මුල සිටම මීට ප්‍රතිචාර දැක්වූයේ අතිශය දුර්වල ආකාරයටය.

වරක් එවකට සිටි නීතිපති මොහාන් පීරිස් පැවසුවේ මේ අතුරුදන් වීම ව්‍යාජයක් බවත් ප්‍රගීත් විදේශයක දේශපාලන රැකවරණ ලබමින් සිටින බවත්ය. නමුත් පසුව අධිකරණය ඒ පිළිබඳ කරුණු විමසීමේදී තමන්ට ඒ තොරතුරු හෙළි කළ මූලාශ්‍රය උගත් නීතිපතිවරයාට අමතක වී තිබුණි. සමාජයෙන්, ක්‍රමයෙන් ඈත්ව යමින් තිබු ප්‍රගීත් පිළිබඳ මතකය 2013 ජුනි 05 දා, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු යළි අවදි කළේය. ඒ එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවත්, තම මිතුරෙකු වන මංජුල වෙඩිවර්ධන හරහා තමන් ඔහුව මුණගැසුණු බවත් පැවසීම සමඟ ය. පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පුත්තලමේ මන්ත්‍රීවරයා කළ එම ප්‍රකාශය, මංජුල වෙඩිවර්ධන දැඩිව ප්‍රතික්ෂේප කළ අතර කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය විසින් ද එය තරයේ ප්‍රතික්ෂේප කරන ලද්දේ එක්නැලිගොඩ තම රටෙහි නොසිටින බව ප්‍රකාශ කරමිනි.

මේ ආකාරයට වරින්වර දේශපාලන වේදිකාවේ හා රටේ දේශපාලනය තුළ තොරොම්බොල් වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ පිළිගත හැකි විධිමත්, පරීක්ෂණයක් ඇරැඹුණේ 2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගැනීමෙන් පසුව ය. ඒ අනුව යළි අරැඹුණු මේ පිළිබඳ පරීක්ෂණ තුළදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පරීක්ෂකයෝ දැන් සමත් ව සිටිති. එම කථාව සැබැවින්ම ලොමු ඩැහැගන්වන සුලුය.

ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර එල් ටී ටී ඊ යේ දේශපාලන ප්‍රධානියකු ලෙස කටයුතු කළ සුරේෂ් කුමාර් හා ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කළ මුතු බණ්ඩා නම් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ද සිටිති. එක්නැලිගොඩ පැහැර ගැනීම ඇතුළු පසුගියකාලයේ සිදුවූ තවත් පුද්ගල අතුරුදන් කිහිපයක් සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් මොවුන්ගෙන් අනාවරණය වී තිබේ. සුරේෂ් හා අනෙක් තැනැත්තා පළමුව අත්අඩංගුවට ගත් අතර ඔහු ද එල්.ටී.ටී.ඊ ය නියෝජනය කළ පසුව හමුදා බුද්ධි අංශයේ සේවය කළ තැනැත්තෙක් විය. මේ අතර සැරයන් මේජර් මුතු බණ්ඩා අත්අඩංගුවට ගත්තේ කුරුණෑගලදීය.

සුමතිපාල සුරේෂ් කුමාර්ගේ පියා සිංහල ජාතිකයකු වූ අතර මව දෙමළ තැනැත්තියක වූවාය. පියා සිංහල වීම නිසා සුරේෂ්ට සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි විය. සුරේෂ් එල් ටී ටී ඊ යට සම්බන්ධ වී ඇත්තේ 1985 දී ය. ඒ වන විට ඔහුට යන්තම් අවු. 16 ක් වූවා පමණි. ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණි පසු එම හමුදාව විසින් අටවන ලද බිම් බෝම්බයකට හසු වී සුරේෂ්ගේ පාදයක් අහිමි වූ අතර එතැන් පටන් ඔහුව එල් ටී ටී ඊ දේශපාලන අංශයට අනුයුක්ත කරන ලදී. පසුගිය යුද සමයේදී ත්‍රිකුණාමල එල් ටී ටී ඊ දේශපාලන අංශය භාරව සිටියේ තවේන්ද්‍රන් ලෙස හැඳින්වූ සුරේෂ් ය. යුද්ධය අසාර්ථකව අවසන් වූ පසු 2009 වසරේදී හමුදාවට භාර වූ සුරේෂ් පුනරුත්ථාපනය ලබමින් වසර 2 1/2 කට ආසන්න කාලයක් යුද හමුදා බුද්ධි අංශ සමඟ හමුදා කඳවුරු තුළ සේවය කර තිබේ.

හමුදා අත්අඩංගුවට පත් වද්දී සුරේෂ් සතුව වෙනම දුරකතන නාමාවලියක් තිබී ඇත. ගිරිතලේ කඳවුරේ සුරේෂ් පුනරුත්ථාපනය ලබද්දී යුද හමුදා නිලධාරින් ඔහු සතුව පැවැති දුරකතන නාමාවලිය තමන් භාරයට ගෙන ඇත. එහි තිබූ දුරකතන අංක අතර දකුණේ ප්‍රකට පුද්ගලයන් රැසකගේ දුරකතන අංක තිබී ඇත. ඒ අතර ප්‍රගීත් එක්නැලිගොඩගේ ජංගම දුරකතන අංකය ද විය. ඒ පිළිබඳ ප්‍රශ්න කරද්දී සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ කාලයේ හිටපු මන්ත්‍රී ජයලත් ජයවර්ධන හරහා තමන් එක්නැලිගොඩ හඳුනාගත් බව හා එතැන් සිට ඔහු සමඟ මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය බව සුරේෂ් පවසා තිබේ. ඒ මොහොතේම ප්‍රගීත්ට දුරකතන ඇමතුමක් ගන්නා ලෙස සුරේෂ් කුමාර්ට ආරක්ෂක අංශ පවසා ඇති අතර එහිදී සුරේෂ් හා ප්‍රගීත් අතර දුරකතන සංවාදයක් සිදුව තිබේ. ආරක්ෂක අංශ එම දුරකතන සංවාදයට සවන් දී ඇත.

අනතුරුව ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ලෙස එවකට සේවය කළ කර්නල් ශම්මි කුමරරත්නගේ නියෝග මත කෝප්‍රල් ප්‍රියන්ත නමැති බුද්ධි අංශ නිලධාරියා සීගිරියේ පිහිටි එක්නැලිගොඩගේ ඉඩමකදී ඔහුව හමුව තිබේ. එහිදී ප්‍රියන්ත එක්නැලිගොඩට ප්‍රකාශ කර ඇත්තේ තමන් සුරේෂ්ගේ සොහොයුරා බවයි. තමන්ට රටින් පිට වීම සඳහා උදව් උපකාර කළ හැකි දැයි එහිදී ප්‍රියන්ත, එක්නැලිගොඩගෙන් විමසා ඇත.එය කළ හැකි බව පැවසු එක්නැලිගොඩ ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි තමන්ට ලබා දෙන ලෙස පවසා ඇත. ගෙන එන ලෙස පැවසූ එම ලියකියවිලි රැගෙන ආ බව කියමින් 2010 ජනවාරි 24 වැනිදා ප්‍රියන්ත එක්නැලිගොඩට දුරකතන ඇමතුමක් ලබා දී ඇත. තමන් රාජගිරියේ සිටින බවත් පැමිණ මුණගැසෙන ලෙසත් එහිදී ප්‍රියන්ත එක්නැලිගොඩට දැනුම් දී ඇත. තම පැරැණි මිතුරකු මුණ ගැසීමට යනවා ය කියා එක්නැලිගොඩ කාර්යාලයෙන් පිට වූයේ එම දුරකතන ඇමතුමෙන් පසුවය.

පැහැර ගත් එක්නැලිගොඩව අනතුරුව ගිරිතලේ හමුදා කඳවුරට ‍රැගෙන ගොස් තිබේ. දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික හමුදා නිලධාරියා ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමන් භාරයේ සිටි ප්‍රගීත්ගෙන් පවුල් ගස නමැති පොත ලිවීම පිළිබඳව හා සරත් ෆොන්සේකා සමඟ ඔහුට තිබූ සම්බන්ධතා ගැන ප්‍රශ්න කළ බවය. ගිරිතලේ කඳවුරේ දින 3 ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කළ ප්‍රගීත්ව පසුව කර්නල් සිරිවර්ධන නම් එම කඳවුරේ දෙවැන්නා වශයෙන් කටයුතු කළ නිලධාරියා පිටතට රැගෙන ගිය බව ඔහු කියා ඇත. ඉන් අනතුරුව ඔහු දක්නට නොලැබුණු බව මුතු බණ්ඩා කියයි.

මේ ආකාරයට ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව හෙළි නොවූ වැදගත් තොරතුරු රැසක් දැන් දැන් අනාවරණය වෙමින් පවතී. ඒ අනුව පරීක්ෂණ සිදු කර මේ සිදු වීමේ සුලමුල සොයා ගැනීම පරීක්ෂකයන් හමුවේ ඇති රාජකාරියකි. එසේ නොකර හුදු දේශපාලන වාසි තකා මේ සිදුවීම උත්කර්ෂයට නැංවීමට උත්සාහ කරන්නේ නම් එය බලවත් කනගාටුවක්මය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්