මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

නිදහස් ආර්ථිකය මල් පල ගන්වන්නට නම්....

නිදහස් ආර්ථිකය මල් පල ගන්වන්නට නම්....

1948 දී අපට දේශපාලන නිදහස ලැබුණද ආර්ථික නිදහස සාක්ෂාත් කරගැනීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේ නිදහස ලබා කෙටි කාලයකින් එනම් 1956 දී ඇතිවූ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ආණ්ඩු නිසාය. ජනසතුකරණය සහ රාජ්‍ය ව්‍යවසාය මත මෙහෙයවනු ලැබූ ආර්ථික ක්‍රමයක් තුළ කිසි විටෙකත් නිෂ්පාදන කාර්යක්ෂමතාවක් අත්කරගත නොහැකි බව 1990 ගණන්වල මුලදී ලොව ප්‍රබල සමාජවාදී රටවල ඇති වූ ආර්ථික පෙරැළිවලින් ප්‍රත්‍යක්ෂ වෙයි. 1956 සිට 1964 දක්වා කාලය තුළත් 1970 සිට 1977 දක්වා වකවානුව තුළත් රාජ්‍ය ව්‍යවසාය මත පදනම් වූ ආර්ථික ක්‍රමය වඩා තීව්‍ර වෙමින් පැවතුණේය. මේ කාලය තුළ බොහෝ සංඛ්‍යාවක් රාජ්‍ය සංස්ථා බිහි වූ අතර, එහි පාලනය පැවරුණේ පරාජිත දේශපාලනඥයන්ට හා දේශපාලන හෙංචයියලාටය. 1958 බස් ජනසතු කිරිමත් සමඟ ඇතිවූ ජනසතු ව්‍යාපාරය, බැංකු සහ රක්ෂණ සේවා මෙන්ම මිනිරන් පතල් සහ තේ සහ රබර් වතු දක්වා ම විහිද ගියේය.

විදේශ සමාගම්වලට නතුව තිබූ වතු ජනසතු කිරීම පිළිබඳව ප්‍රශ්නයක් නැතත් සිංහල ව්‍යාපාරිකයන් සතුව තිබූ බස් ජනසතුව කිසිදු වන්දියකින් තොරව සිදු කිරීමෙන් එහි හිමිකරුවන්, හිඟමන්ව වැටෙන තත්ත්වයකට පත් කරන ලදී. එම බස් ජනසතුව ගැන පසු කලෙක මා සමඟ අදහස් දැක්වූ සවුදි ආරාබියේ සිටි ශ්‍රී ලංකා තානාපති මොහමඩ් හාෂිම් මහතා කී දෙයක් සිහි වේ. “සිංහල මිනිසුන්ට පහර ගැහුවේ සුළු ජාතීන් නොවන බවත්, සිංහල ආණ්ඩු විසින්ම බවත්” එතුමා කීවේය. පාඩු පිට පාඩු ලැබූ රාජ්‍ය සංස්ථා‍ මෙන්ම විවිධාකාරයේ විෂම සහගත පාලනයන්ට ගොදුරු වෙමින් පැවැති පෞද්ගලික කර්මාන්තවලින් නිෂ්පාදනය කෙරුණු භාණ්ඩවල ප්‍රමිතීන් නොතිබූ අතර ඒවායේ නිෂ්පාදන පිරිවැය අධික වූයෙන් විදේශ වෙළෙඳ පොළට යැවීමට තරම් සුදුසු නොවීය. 1977 අවසානය වන විටත් අපනයන ආදායමින් 80% ක්ම ලැබුණේ තේ, රබර් සහ පොල් අපනයනයෙනි.

එසේ උපයා ගත් විදේශ වත්කම් අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය. එබැවින් විදේශ විනිමය දැඩි පාලනයකට යටත් විය. ඉතා මන්දගාමී ස්වරූපයක් ගත් සමස්ත ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලය වූයේ දේශීය සම්පත් ප්‍රසාරණය නොවීමත් රැකි රක්ෂා ජනිත නොවීමත් මෙන්ම දිගින් දිගටම පැවැති දිළිඳුකමත්ය. රැකි රක්ෂා ජනිත කිරීමට නම් මනා කළමනාකාරිත්වයක් යටතේ විවිධ කර්මාන්ත ඇති කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආදිය පිටරටින් ගෙන්වාගත යුතු වෙයි. නිරන්තරයෙන් ම ගෙවුම් ශේෂයෙහි පැවැති අවාසිදායි තත්ත්වයන් හේතුවෙන් එවන් තත්ත්වයකට ඉඩක් නොවිණි. 1976 වන විට සේවා වියුක්තිය 25% - 30% දක්වා ප්‍රසාරණය විණි.

1977 උදාවූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් නව ආර්ථික ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දෙනු ලැබීය. ආනයන පාලනය සඳහා පනවා තිබූ තහංචි රැසක් ඉවත් කරන ලද අතර ඉතා ක්‍රමානුකූලව රාජ්‍ය ව්‍යවසාය මත පදනම් වූ ආර්ථික ක්‍රමයෙන් ඉවත්ව පෞද්ගලික අංශය මත විශ්වාසය තබා නිර්බාධ ආර්ථිකයක් සඳහා අඩිතාලම දමන ලදී. යම් ප්‍රමාණයකට විදේශ විනිමය සඳහා තිබූ දැඩිපාලනය ඉවත් කරන ලද බැවින් බොහෝ දෙනකුට විදේශගත වීමේ අවස්ථාව උදා විය. මෙයින් පළමුවෙන්ම වාසි ලද්දෝ වෙළෙඳ ප්‍රජාවයි. ඔවුහු රට රටවල සංචාරය කොට වෙළෙඳ අවස්ථා මෙන්ම දියුණු රටවල ඇති භාණ්ඩ පිළිබඳවත් තාක්ෂණික දියුණුව පිළිබඳවත් අවබෝධයක් ලබා ගත්හ.

රැකියා විරහිත අති විශාල ශ්‍රම හමුදාවක් සඳහා විදේශ රැකියා අවස්ථා සොයා යෑමට අවකාශ ලැබුණේ මින් පසුවය. මීට පෙර වෙනත් ආසියානු රටවලින් මැදපෙරදිග සේවා සඳහා විශාල වශයෙන් ගොස් සිටිය ද එවන් අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමි නොවීය. මවිසින් 1986 දී කරන ලද අධ්‍යයනයකට අනුව 1977ට පෙර සවුදි අරාබියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 50 කටත් අඩු වූ අතර, 1986 වන විට ඒ ගණන 400,000 ඉක්මවීය. 1986 වන විට විදේශ රටවල රැකියා කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද මුදල් ප්‍රමාණය රුපියල් දශලක්ෂ 8251ක් වූ අතර, එය 2009 දී හතළිස් හය ගුණයකින් එනම් රුපියල් දශලක්ෂ 380,000ක් දක්වා වර්ධනය විය.

1977 දක්වා විදේශ ආයෝජන දිරිගැන්වීමක් නොවීය. 1977 පසුව විදේශ ආයෝජනවලට ඉඩ සලස්වා නිදහස් වෙළෙඳ කලාප ඇති කරන ලදී. විදේශ ආයෝජන ව්‍යාපෘති ක්‍රමානුකූලව පරීක්ෂාවට ලක්කොට අනුමත කිරීම සහ ඒවායේ විධිමත් භාවය සුරැකීම පිණිස 1979 දී “මහ කොළඹ ආර්ථික කොමිසම” නමින් නව ආයතනයක් පිහිටුවන ලදී. (එය දැන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නමින් හැඳින්වේ.) එහි ප්‍රථම සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලද්දේ කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ මෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලත් උපාලි විජේවර්ධන මහතාය. නිදහසින් පසුව 1977 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් විදේශ ආයෝජන බැහැරට ගිය ද ඉන් පසුව එළැඹෙන කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වන විදේශ ආයෝජන ධනාත්මක වටිනාකමක් ගත් අතර 2000 වන විට එය ඇමෙරිකානු ඩොලර් දශලක්ෂ 2000ක් ඉක්මවා ගියේය.

1977 පසුව එළැඹෙන කාලච්ඡේදය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ඉතා වැදගත් වෙනස්කම් රැසක් ඇති විය. ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස දේශීය ඉතිරි කිරීම් මේ වකවානුව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය විය. 1977 පෙර එය 12% - 15% අතර පැවැති මුත්, පසුගිය වසර 20 මුළුල්ලේම 22% ක් දක්වා වර්ධනය වූයේය. තව ද 1977 ට පෙර දේශීය ආයෝජනය ජාතික ආදායමෙන් 16% පමණ වූ අතර 1977 පසුව එය 25% - 27% දක්වා වර්ධනය විය. 1977 දක්වා 80% පමණ වූ තේ, රබර් සහ පොල් අපනයන ආදායම සියලු කෘෂි අපනයන ආදායමේ වර්ධනය ද සැලකිය යුතු පරිදි ප්‍රසාරණය වී ඇත. රුපියල්වලින් බලනවාට වඩා ඇමෙරිකානු ඩොලර්වලින් බැලු විට වඩා නිර්වද්‍ය මිනුම් දණ්ඩකින් ගණනය කළ හැකි හෙයින් 1977 දී ඇමෙරිකානු ඩොලර් දශලක්ෂ 767 ක් වූ අපනයන වටිනාකම 2010 වන විට ඇමෙරිකානු ඩොලර් දශලක්ෂ 8307 ක් දක්වා ප්‍රසාරණය වීමෙන් පෙනී යන්නේ අපනයන ක්ෂේත්‍රයේ ලැබී ඇති ප්‍රගතියයි. 1977 වන විට ඉතා අල්ප සංඛ්‍යාවක්ව පැවැති කාර්මික භාණ්ඩ අපනයනය 2000 වන විට ඉතා පුළුල් මට්ටමකින් දියුණු වී ඇත.

ඕනෑම ‍රටක් සංවර්ධනය කරා යන මාවතෙහි සියලුම අංශයන්හි නිෂ්පාදනය ගුණාත්මකව මෙන්ම පරිමාණයෙන් ද වර්ධනය වන අතර, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙහි සංයුතිය දෙස බලන විට ජාතික නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස සේවා අංශයෙහි වටිනාකම වඩා පුළුල් අගයක් ගනී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන විට 1977 දී ජාතික ආදායමෙන් සේවා අංශයෙහි සංයුතිය 40% ක් වූ අතර 2010 වන විට එය 58% ක් දක්වා පුළුල් වී ඇත. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනයක් ළඟාකර ගෙන ඇති බවයි.

මෙවන් තත්ත්වයක් ළඟා කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ වෙළෙඳාමත්, නිෂ්පාදනයත් එසේ ම මූල්‍ය හා බැංකු අංශයත් සමඟ විදේශ ආයෝජනයක් ද සඳහා තිබූ දැඩි පාලනයෙන් එම සියලු ආර්ථික අංශ මුදා හැරීමයි. මෙහි ප්‍රතිඵලයක් වූයේ නව ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවීමත් ඔවුනට නවීන මාදිලියේ ව්‍යාපාරික අදහස් ජනිත වීමත් ය. බැංකු අංශයන්හි දැඩි තරගකාරිත්වයක් ඇති වූ අතර, ආයෝජන දිරිගැන්වීමෙහිලා එය රුකුලක් විය. 1970 ගණන්වල මැද භාගයේ දී ජාතික ආදායමෙන් 15% පමණ ආයෝජනයට යොමු වූ අතර 2010 වන විට මෙහි ප්‍රතිශතය 28% ක් දක්වා වර්ධනය විණි. තව ද කොම්පියුටර් තාක්ෂණයේ ව්‍යාප්තිය ඇති වූයේ ද නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තීන්ට පින්සිදු වන්නටය. වර්තමානයෙහි කොම්පියුටර් මෘදුකාංග අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන වාර්ෂික විදේශ ආදායම රුපියල් දශලක්ෂ 80,000 ඉක්මවයි.

දැන් පාඨක ඔබ සැමගේ අවධානයට යොමු විය යුතු කරුණක් ඇත. එනම් රජයේ ආරක්ෂක වියදම් දිගින් දිගටම වැඩි වුවද ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඍජු හා වක්‍ර බදු ආදායම ප්‍රසාරණය වී ඇති බවයි. මේ බදු පැනවෙන්නේ පෞද්ගලික අංශයෙහි නිෂ්පාදනය සහ පරිභෝජනය මත විනා රාජ්‍ය අංශය මත නොවේ. 1977 ඇති කරන ලද ආර්ථික විප්ලවය සිදු නොවුණා නම්, මේ සා විශාල රාජ්‍ය ආදායමක් දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන ගිය රාජ්‍ය සංස්ථාවලින් සොයා ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵල කාර්යයක් වන්නට ඉඩ තිබිණි. මෙයින් පෙනී යන්නේ රජය හැකිතාක් දුරට නිෂ්පාදන කටයුතුවලින් බැහැර වී, ඒ සඳහා පෞද්ගලික අංශය දිරි ගැන්වීමත් රජයේ සියලු කටයුතු ඉතා විනිවිද භාවයකින් සිදුකළ යුතු බවත්ය. තව ද දූෂණ හා පගා නොගන්නා දේශපාලන සංස්කෘතියකුත් එසේ නොදෙන පෞද්ගලික අංශයකුත් ස්ථාපිත කිරීමට රජයට සහ පෞද්ගලික අංශයට ඇති වගකීමක් වෙයි.

1948 නිදහසින් පසුව ඇතිවූ විවිධ සමාජ සංසිද්ධි අතරින් වඩාත් වැදගත් හා අතිශය තීරණාත්මක සන්ධිස්ථානය ලෙස මා සලකන්නේ 1977 දී ආරම්භ කරන ලද නිදහස් ආර්ථික ක්‍රමයයි. මින් ඇතිකරන ලද ආර්ථික උද්දීපනයේ වාසි වැඩි කරගැනීමට නම් අවංක වූත්, නිර්ව්‍යාජ වූත්, මුදල්වලට ගිජු නොවූත් දේශපාලන පරිසරයක් ඇති කළ යුතු වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්