පැකේජ් ක්‍රමයට සින්දු දමා ගන්න මගේ ළඟ සල්ලි නැහැ
“ප්‍රථම වසන්තේ”
පූර්ව ගීත ප්‍රසංගය11 වැනිදා
ඇඹිලිපිටියේ දී
පැකේජ් ක්‍රමයට
සින්දු දමා ගන්න
මගේ ළඟ සල්ලි නැහැ
- මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි
අඩ සියවසකට ආසන්න කාලයක් පුරා ඔහුගේ භාවපූර්ණ හඬින් ජීවය ලද ඒ ගීතයෙන් අපේ
සවන් සැනහුණි. “ඇවිළුණු ගිනිදැල් නිවි නිවි යද්දී” ගීතය ගායන ශිල්පියකු ලෙස ඔහු
අප අතරට රැගෙන ආ ප්‍රථම ගීතයයි. ශාස්ත්‍රීය සහ සරල ගායනය, තබ්ලා වාදනය පිළිබඳ
විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පියකු මෙන්ම ගී තනු සහ පද රචකයකු ලෙස සිය
සෞන්දර්ය චාර්කාවේ දී විවිධ ඉසව් ගණනාවක්ම ස්පර්ශ කළ ඔහු කලෙක සෞන්දර්ය කලා විශ්ව
විද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති ද විය. එපමණකින්ම සිය මෙහෙවරෙහි විරාමය
නොතබා සංගීත විෂයට අදාළ ග්‍රන්ථ කතුවරයකු ද වූ ඔහු මෙරට සුභාවිත ගීත
ශ්‍රාවකයින්ගේ මනදොළ පිනවීම උදෙසා වසන්තය රැගෙන එන්නට මේ දිනවල සිය ඒක පුද්ගල
ගීත ප්‍රසංගය වන “ප්‍රථම වසන්තේ” සඳහා සූදානම් වෙමින් සිටියි. රුවගුණ සපිරි
අපූර්ව ගීතාවලියක හිමිකරු වන ඔහු - මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ය.
(අප සෙනෙහ සිතින් අමතන අයුරු නම් ඔහු - සනත් අයියා ය.)
මෙවර “ස්වර වර්ණ” සනත් අයියාෙග් සිතුවිලි සමඟින් වර්ණ ගන්වන්නට අපි ඔහුට
ආරාධනා කළෙමු. මේ ඔහුගේ සිතුවිලි අකුරු වූ අයුරුයි.
“මගේ ‘ස්වර්ණ කුණ්ඩල’ ඒක පුද්ගල ගීත ප්‍රසංගයෙන් පසුව ඒක පුද්ගල ගීත ප්‍රසංග නොකර
උන්නේ. මොකද මට රාජකාරි බහුලයි. ප්‍රසංගයක් පටන් ගත්තොත් දිගටම කරගෙන යන්නත්
වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රසංග පැවැත්වෙන්නේ සෙනසුරාදා, ඉරිදා වගේ දිනවලනේ.
මගේ ගෙදර සංගීත පන්ති පැවැත්වෙන්නෙත් එම දිනවලනේ. ඉතින් සිය ගණනක් ශිෂ්‍ය
ශිෂ්‍යාවෝ මගේ ගාවට ඉගෙන ගන්නත් එනවා. ඒ සේරම ගැන කල්පනා කරද්දී මගේ ඒක පුද්ගල ගීත
ප්‍රසංගයක් කරන්න මං බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් මගේ දුව (අනුරාධා) හරහා තමයි
මේ ඉල්ලීම වැඩිපුරම ආවේ. දුවට වගේම මල්කාන්තිටත් වුවමනාව තිබුණා මගේ ගීත
ප්‍රසංගයකට. ඒක තමයි මේ සාක්ෂාත් වෙන්න යන්නේ.”
“දැන් මටත් හිතෙනවා මගේ ගීත ශ්‍රාවකයින් වෙනුවෙන් දිගටම මෙවැනි ගීත
ප්‍රසංගයක් කරගෙන යාමට හැකි නම් හොඳයි කියලා. විශේෂයෙන්ම අපේ ගීත දැන් මේ රටේ
විද්‍යුත් මාධ්‍ය වලින් ශ්‍රාවකයින්ට අහන්න ලැබෙන්නේ නැති නිසා වගේම
සාමාන්‍යයෙන් සංගීත සංදර්ශනයකට ගියාම වේදිකාවේ ඉඳගෙන ගයන්නෙත් ගීත දෙක
තුනක් වන නිසාත් මෙවැනි ඒක පුද්ගල ගීත ප්‍රසංගයකින් මගේ ගීත ශ්‍රාවකයින්ට
සාධාරණයක් ඉටු කරන්නට හැකියාව ලැබෙනවානේ. ඇතැම් ශාලාවල පවත්වන ප්‍රසංග
වලදී වුණත් මගේම ගීත වැඩිපුර ගයන්න ලැබෙන අවස්ථා අඩුයි. ඒකට එක්තරා පිළියමක්
විදිහට තමයි මගේ මේ ‘ප්‍රථම වසන්තේ’ ගීත ප්‍රසංගය සූදානම් කෙරුණේ.”
* “ප්‍රථම වසන්තේ” පළමු ප්‍රසංගය අගනුවරින් බැහැරව ඇඹිලිපිටියේ දී
පවත්වන්නේ ඇයි...?
“අපි 11 වැනිදා ඇඹිලිපිටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ රඟහලේ දී පවත්වන්නේ මගේ
‘ප්‍රථම වසන්තේ’ ඒක පුද්ගල ගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගය නෙමේ. එදිනට අපි එය
පවත්වන්නේ පූර්ව ප්‍රසංගක් වශයෙනුයි. තවත් විදිහකට කියනවා නම්
ඇඹිලිපිටියේ දී අපි පවත්වන මේ ‘ප්‍රථම වසන්තේ’ ගීත ප්‍රසංගය පර්යේෂණාත්මක
නැත්නම් අත්හදා බැලීමක් වැනි පූර්ව ප්‍රසංගයක්. ‘ප්‍රථම වසන්තේ’ ගීත ප්‍රසංගයේ
පළමු ප්‍රසංගය නුදුරු දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු යොදනවා.”
* කෙසේ හෝ “ප්‍රථම වසන්තේ” පූර්ව ප්‍රසංගය වුවද ඇඹිලිපිටිය වැනි පළාතකදී
පැවැත්වීමට හේතු වූ විශේෂ කාරණා ඔබට ඇති නේද...?
“ඔව්. පළමු කාරණය තමයි මගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයකට මං සූදානම් වෙන බව
දැනගත් වහාම ඇඹිලිපිටියේ ශාලාව වෙන් කරවා ගෙන ප්‍රසංගය පවත්වන්න ‘මිනිසා
උදෙසා මධ්‍යස්ථ මිනිසා’ කියලා මාධ්‍යවේදීන් එකතු වෙලා පිහිටුවා ගත් පදනමක්
සූදානම් වීම. අපට විදේශ ගීත ප්‍රසංග කිහිපයකට සහභාගි වීමට යාමට සිදු වූ
නිසාවෙන් කොළඹදී පැවැත්වීමට බලාපොරොත්තු වූ ‘ප්‍රථම වසන්තේ’ පළමු ප්‍රසංගය
කල් දැමීමට සිදු වූ අතරවාරයේ දී තමයි ඇඹිලිපිටියේ ප්‍රසංගය සූදානම්
කෙරුණේ. තවත් විශේෂ කාරණයක් තමයි මෙය ඇඹිලිපිටියේ දී පවත්වන්න කොළඹින් බැහැර
දුර පළාත්වල මම ගී ගයන්න ගියාම අවුරුදු ගාණක් තිස්සේම මගේ ශ්‍රාවක හිතවතුන්
මෙන්ම ප්‍රසංග සංවිධායකයින් ද මගෙන් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පවත්වන ලෙස කළ
ඉල්ලීම්. මගේ ‘ස්වර්ණ කුණ්ඩල’ රස විඳපු රසික ජනතාවත් බලාපොරොත්තුවෙන් උන්නා
මගේ ගීත ප්‍රසංගයක්. ‘ප්‍රථම වසන්තෙන්’ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු මම ඉටු කරනවා.”
* “ප්‍රථම වසන්තේ” ප්‍රසංගයේ දී ඔබට දායක වෙන අනිකුත් ශිල්පීන් කවුරුන් ද...?
“මේ ඇඹිලිපිටියේ පවත්වන පූර්ව ප්‍රසංගය මාධ්‍යවේදීන්ගේ පදනමකින් කරන
හින්දා අපි ඔවුන්ට අවස්ථාව දුන්නා නිවේදන ආදි කටයුතු සඳහා දායක වීමට. ගායනයෙන්
මල්කාන්ති, අනුරාධා සමඟ මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සංගීතයෙන් මනෝජ් පීරිස් ඇතුළු
වාද්‍ය වෘන්දය ද ‘ප්‍රථම වසන්තේ’ ප්‍රසංගයට දායක වෙනවා.”
* විදග්ධ ඉවුරේ ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ ඒක පුද්ගල ගීත ප්‍රසංග රැල්ලට “ප්‍රථම
වසන්තේ” සමඟ ඔබත් එක්වීම නොවේ ද මේ සිදුවෙන්නේ...?
“ඒක පුද්ගල ප්‍රසංග කියලා රැල්ලක් මේ රටේ තියෙනවා. අතීතයේදීත් තිබුණානේ.
හැබැයි ඒ රැල්ලට එක පාරටම වැටෙන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ රටේ
විද්‍යුත් මාධ්‍ය මඟින් අපේ ගීත, ශ්‍රාවකයින්ට ශ්‍රවණය කරන්න නොදීම නිසාම
ශ්‍රාවකයින්ගේ බලවත් ඉල්ලීම ඉටු කිරීම සඳහායි මම මේ ප්‍රසංග රැල්ලට එක්වන්නේ.
‘ප්‍රථම වසන්තෙන්’ මගේ ගීත ප්‍රිය කරන ශ්‍රාවකයින්ට සාධාරණය ඉටු කරන්න මට
පුළුවන්කම ලැබෙනවා. මේ සිදුවෙන්නේ ඒ වැදගත් කාරණයයි.”
* ඉන්දියාවට ගිහින් රාගධාරි ශාස්ත්‍රීය සංගීතය හදාරා ආවත් මෙරට ශාස්ත්‍රීය
සංගීත ක්ෂේත්‍රයට සේවය නොකර සරල ගී ගායනා කර කර ඉන්නා බවට ඔබට නගන චෝදනාව පිළිබඳ
ඔබ පවසන්නේ කුමක් ද..?
“නැහැ, මං ඒ චෝදනාව පිළිගන්නේ නැහැ. මං ශාස්ත්‍රීය සංගීත ක්ෂේත්‍රයට සේවයක් කළේ
නැත්නම් විශ්ව විද්‍යාලයේ දී මං කළේ මොනවද? අවුරුදු 40 ක් තිස්සේ එහිදී මං
ඉගැන්නුවේ ශාස්ත්‍රීය සංගීතයනේ. එක සරල ගීතයක් වත් මං අවුරුදු 40 තුළදී විශ්ව
විද්‍යාලයේ උගන්වලා නැහැ. ඒ වගේම සෙනසුරාදා, ඉරිදා මගේ ගෙදරට එන සිය ගණනක්
ළමයින්ට මං සරල ගීත උගන්වන්නේ නැහැ. මං ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීතය
පිළිබඳ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියෙක්. ඒ වගේම තබ්ලා වාදනය පිළිබඳ විශේෂ
තබ්ලා වාදන ශිල්පියෙක්. ශාස්ත්‍රීය සංගීත වැඩසටහන්වල ගායනා සහ තබ්ලා වාදන
ඉදිරිපත් කරලා තිබෙනවා. මං නිශ්ශබ්දව අවුරුදු 40 ක් තිස්සේ කළේ විශ්ව
විද්‍යාලයේ ශාස්ත්‍රීය සංගීතය උගන්වපු එක තමයි.
ඕක ඉගෙන ගෙන තමයි දහස් ගාණක් ගෝල
බාලයෝ අද මේ රටේ බඩ වියත ආරක්ෂා කර ගන්නේ. (“මල්ලී, මේ ටික නොවරදවාම ලියන්න” යි
ඉල්ලමින්...) ශාස්ත්‍රීය සංගීතයෙන් මං විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ
අංශාධිපති වුණා. පීඨාධිපතිවරයා වුණා. අන්තිමට මහාචාර්ය වෙලා තමයි විශ්‍රාම
ගියේ. ඔය ප්‍රශ්නයට ලංකාවේ ඉන්න දහස් ගණනක් වන මගේ ගෝල බාලයෝ උත්තර ලියයි. චෝදනා
කරන්න පුළුවන් වුණාට ශාස්ත්‍රීය සංගීතය ඉගෙන නොගෙන කරන්න පුළුවන් ශිල්පයක්
නෙමේ. රාගයක් දෙකක් අහගත්තා කියලා හෝ රාග දෙක තුනකින් සින්දුවක් හැදුවා කියලා
හෝ එය ශාස්ත්‍රීය සංගීතය නෙමේනේ. එය හරි හැටි හදාරන්න ඕනේ. මොකද රාගධාරී
සංගීතයේ එක් එක් රාග වෙනස්වීම් තියෙනවා. ඒ වෙනස් වීම් තේරුම් ගත්තේ නැත්නම්
කවදාවත් එයින් සරල ගීතයක් හදන්න බැහැ.”
* ශ්‍රාවක ජනතාවගේ රසඥතාව පිරිහී ඇති බවට කසු කුසුවක් පවතිනවා. එය ඇත්තක්
ද...?
“මෙහෙමයි, අද ජනගහනය අනුව බලන කොට තරුණ පරපුරනේ වැඩි. ඉතින් අපිට හිතෙනවා
ඔවුන්ගේ ගීත වැඩිපුර ඇහෙන කොට ඒවා රසවිඳිනවා කියලා. එහෙම එකක් නැහැ. පණ්ඩිත්
අමරදේවයන්, ආචාර්ය වික්ටර් රත්නායකයන්, විශාරද නන්දා මාලිනිය සහ මම ගැයූ
ගීත රසවිඳි ශ්‍රාවක පිරිස් තවමත් ඒවා රස විඳිනවා. ඔවුන් මැරිලා නැහැ.
* සනත් අයියේ, ඔබ සංගීතය සලකන්නේ “ධර්මයක්” (ආගමක්) ලෙසින් නේද...?
“ඔව් මල්ලී... මම සංගීතය ධර්මයක් විදිහට සලකපු නිසානේ ඉන්දියාවට ගියේ ඉගෙන
ගන්න. මට සංගීතය පෙනුණේ සම්භාව්‍ය ආගමක් ලෙසයි. පොඩි කාලේ ඉඳලම ඒ විදිහට තමයි
සංගීතය මගේ හදවතේ රැඳුණේ. ඒක සොයා ගන්න තමයි මං භාරතයට ගියේ. ඉන්පසු ලංකාවට
ඇවිත් සරල සංගීත ක්ෂේත්‍රයට යොමු වුණා. ධර්මයක් කියන්නේ මල්ලී, අභිරහසකටයි.
නැත්නම් ගුප්තාර්ථයකටයි. දවසක් පණ්ඩිත් රතන්ජංකර් අපිට උගන්වන කොට කිව්වා
‘සංගීතයේ තියෙන ගුප්තාර්ථය මට ලියන්න බැරි වුණා කිසිම පොතක. උත්තර භාරතීය
රාගධාර සංගීතයේ හෝ දක්ෂිණ භාරතීය රාගධාරී සංගීතයේ හෝ කුමන සංගීතයක
ගුප්තාර්ථයක් තියෙනවා. ඒ අර්ථය පුළුවන් නම් හොයා ගෙන උඹලා ලියපල්ලා’ කියලා.
එතුමා ග්‍රන්ථ සිය ගණනක් ලියූ පණ්ඩිතයෙක්නේ. එතුමා නොකියා කිව්වේ - ‘මං ඔක්කොම
ලිව්වා. මේ ගුප්තාර්ථය ලියන්න බැරි වුණා’ කියලනේ. එතුමාට වගේම අදටත් අපිට
තියෙනවා ඒ සොයා ගන්න බැරි වෙච්ච ගුප්තාර්ථය. අපි ඉගෙන ගත්ත සංගීතයේ ස්වර සප්තක
මත රාගධාරී සංගීතයේ තියෙන ඒ අභිරහස, ගුප්තාර්ථය සොයා ගන්න මම නම් තාම
වෙහෙසෙනවා. ඒ ගුප්තාර්ථය මට ආගමක්, ධර්මයක් ලෙස හැඟෙනවා.”
* ඔෙබ් නව නිර්මාණ ගී නැත්තේ ඇයි...?
“නව නිර්මාණ ගී කාටද, කොහේටද කරන්නේ අපි. දැන් අපි නව නිර්මාණ ඉදිරිපත් කළාට ඒවා
ප්‍රචාරය කරන්නේ නැහැනේ මේ රටේ විද්‍යුත් මාධ්‍ය වලින්. මේ ළඟදී මමයි දුවයි කාර්
එකේ රේඩියෝ එක දාගෙන යනකොට එක්තරා චැනල් එකකින් පැය භාගයක් ඇතුළත එකම ගීතය
තුන්වරක් ඇසුණා. ඇයි එහෙම කරන්නේ. තුන් දෙනෙකුට දෙන්න පුළුවන් අවස්ථාව එක්
අයෙකුගෙන් එකම ගීතයකට පමණක් ලබා දීම කොතරම් අසාධාරණ ද? එම විද්‍යුත් මාධ්‍ය
වල ඉන්න රසභාවයක් නොමැති පරිපාලකවරුන්ට සහ නිවේදක නිවේදිකාවන්ට මං මේ
චෝදනාව කෙළින්ම පිළිගන්නවා. අරුත් සුන් පදමාලා සහ භාවයක් නැති තනු ඇතුළත් ගීත
තමයි වැඩිපුර ඔවුන් ප්‍රචාරය කරන්නේ. අද විද්‍යුත් මාධ්‍ය දුවන්නේ තරුණ පරපුර සහ
මුදල් පසුපසමනේ. ඒ නිසා ඔවුන් මංමුලා වෙලා.”
* ඔබේ දියණිය අනුරාධාත් තරුණ පරපුරේ ගායන ශිල්පිනියක් නේ. විද්‍යුත් මාධ්‍ය
වලින් ඇයට ලැබෙන අනුග්‍රහය කෙසේ ද..?
“කියන්නත් කනගාටුයි. අපේ දුවට කිසිඳු අනුග්‍රහයක් කිසිඳු විද්‍යුත්
මාධ්‍යකින් ලැබෙන්නේ නැහැ. ඒක හරිම දුකක්. මටයි මල්කාන්තිටයි හරි වේදනාවක්
තියෙනවා ඒ ගැන. අපි මෙච්චර සේවයක් කරපු උදවිය හින්දා අපේ දරුවොත් ඉන්න ඕනෑනේ
කිසියම් තැනක. අනික මගේ දුව විශාරදවරියක්. ගැයුමේ හැකියාව, දක්ෂතාව මෙන්ම
අවබෝධයත් අනුරාධාට තියෙනවා. ඒත් ඉතින් අපේ දුවගේ ගී නිර්මාණ ප්‍රචාරය
වෙන්නේම නැති තරම් මේ රටේ විද්‍යුත් මාධ්‍ය වලින්.”
* විද්‍යුත් මාධ්‍ය වල පැකේජ ක්‍රමයට මුදල් ගෙවා ගීත ප්‍රචාරය කරවා ගත හැකි බව
ඔබලා දන්නේ නැද්ද...?
“දන්නවා, දන්නවා. දැන් තියෙන ඔය පැකේජ ක්‍රම හදා ගන්න අපිට සල්ලි නැහැ. අපි තාම
දුප්පත්. සනත් නන්දසිරි ගෙයක් හදාගෙන ඉන්න එක ඇත්ත. ඒ මිසක බැංකුවල තැන්පත් කරපු
සල්ලි අපිට නැහැ. මගේ ගීත අරගෙන ඇතැම් ගායක ගායිකාවන් ලවා ගායනා කරවලා
රිංගින්ටෝන්ස් වලට දීලා තියෙන අවස්ථා තිබෙනවා. ඒවායින් ලාභ ප්‍රයෝජන බොහෝ
දෙනෙකුට ලැබිලත් තියෙනවා. ඒත් අපිට නම් එහෙම ලැබිලා නැහැ. නීතිමය පියවර
අරගත්තා නම් විශාල වශයෙන් වන්දි මුදල් ලබා ගන්නත් තිබුණා. ඒත් ඒ තරම් පහත්
තත්වයට මං වැටෙන්නේ නැහැ. මං නිර්මාණකරුවෙක් මිස නඩු කියන මිනිහෙක් නෙමෙයි.”
ජෝජ් රොබ්සන් ද සිල්වා
|