වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!
වැඩිම වැස්ස වෙනුවට
මාලිබොඩටත් දැන් පෑවිල්ල!
ලංකාෙව් වැඩිම වර්ෂාපතනය ලබන ගමේ දිය ඇලි
දහයක්ම හිඳිලා

“ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන්නේ කොහෙටද?” නියං අහස දෙස බලාගෙන මේ දවස්වල
වැස්ස ගැන බලාපොරොත්තු ඇතිව ඉන්න අපිට මේ ප්‍රශ්නය නැඟුණේ ඉබේටම වගෙයි.
“කලකට ඉස්සර නම් වැඩියෙන්ම වැස්සේ වටවලට...” කෙනෙක් එහෙම කිව්වා.
“නැහැ දැන් ඒක වෙනස් වෙලා” තවත් කෙනෙක් එහෙම කිව්වා.
ඉතිං නිවැරැදි උත්තරය දැනගන්න අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කතා
කළෙමු.
“දැන් වැඩියෙන්ම වහින්නේ මාලිබොඩට”
ඒ අපට ලැබුණ පිළිතුරයි.
අපි මාලිබොඩට යන්නට පිටත්වූයෙමු.
“වැඩියෙන්ම වහින්නේ මාලිබොඩට නම් මේ දවස්වලත් එහෙට හොඳට වහිනවා ඇති නේද?”
ඡායාරූප ශිල්පී විමල් කීවේය.
අවිස්සාවේල්ල දැරණියගල හරහා ගමනේ යන අපිට ඒ පරිසරය තුළින් වැසිබර ගතියක්
නම් කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි විය. බරලන්තොට හන්දියෙන් පහළට යන
පාරේ හැරී නක්කාවිට හරහා අපි මාලිබොඩට යන මඟ දිගේ ගියෙමු. බරලන්තොට හන්දිය
පසු කරන විට ඇත්තේ පාලමකි. අතීතයේ වැසි වසින දිනෙක අපි මේ මඟෙහි ගොස් ඇත්තෙමු.
එවිට මේ පාලම යටින් ගලන ගඟ එදා දුටුවාට වඩා වෙනස්ය. ගඟ යට ඇති විශාල ගල් තලා
සියල්ල පෙනෙන තරමට දැන් ගඟේ වතුර සිඳී ෙගාසිනි.
දැරණියගල සිට මාලිබොඩට ඇති දුර කිලෝමීටර දාහතරම යාමට ඇත්තේ දුෂ්කර මඟකය.
මේ යන අතරමඟදී බදුල්ලකැටිය, ඩබාරේ, ආදී ගම්මාන ද හමුවේ.
“අන්න බලන්න ඔය තියෙන්නේ තලාව හරහා එන ඇල්ල. පේනවා නේද හිඳිලා තියෙන හැටි.
දැරණියගල පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්නගේ අනුදැනුම මත අපට සහායට
පැමිණි පොලිස් ආරක්ෂක ගාමිණී ඈත කඳු මුදුනකින් ගලා හැලෙන සිහින් දිය පහරක්
පෙන්වමින් පවසන්නේය.
මඟ දෙපස ඇති තේවතු දුහුවිල්ලෙන් වැසී ගොසිනි. එමෙන්ම කඳු ළඳුවල ඇති බර කොකු
පදුරු, හීන් බෝවිටියා, මහ බෝවිටියා ගස් ද වියළී ගිය ස්වරූපයක් ගනී. මාස
ගණනාවකින් වැසි නොලැබූ මාලිබොඩ ගම්මානය ද දිගු නියං කාලයකට හසුවී ඇති සේය.
“ඊයේ අපිට හොඳට වැස්සා. සමහර විටඅදත් වහීවි.
මඟපෙන්වීමට යන රංජනී බෝකන්ද පවසන්නේ සතුටිනි.
එහෙත් ඊයේ මහ වැස්සක් ඇද හැළුණු බවට අපට නම් කිසිදු සලකුණක් මහ පොළවේ හෝ
පරිසරයේ දැකිය නොහැකි විය.
“මේ පාර පෑවිල්ල ඇල්ලුවේ දෙසැම්බර් මාසේ ඉඳලා. ඊයේ තමයි මහ වැස්සක් වැස්සේ.
පෑවිල්ලේ තරම හිතාගන්න පුළුවන් නේද? වැටුණ වැහි වතුර ඔක්කෝම පොළවට උරාගෙන. මේ
පාර පෑවිල්ල නිසා අපිට තේ දළු කඩන්නත් බැහැ. වැස්ස තියෙනවා නම් දවස් හයෙන් හතෙන්
වගේ දළු කඩනවා. ඒත් දැන් එහෙම බැහැ. පේනවා නේද මේ තේ ගස් වේළිලා තියෙන හැටි.”
රංජනී වැඩි දුරටත් පවසන්නීය.
පොත්දෙනිකන්ද මහා විද්‍යාලය ද පසුකර අපි මාලිබොඩ නගරයට පිවිසියෙමු.
නගයක් යැයි කියූ විට ඔබේ සිතේ මැවෙනු ඇත්තේ නගරබද මෙන් කඩසාප්පු වලින් පිරි
නගරයක් විය හැක. එහෙත් එදා තිබූ ගමට වඩා අද ගමට ප්‍රවාහන පහසුකම් ලැබීම නිසා
මාලිබොඩ ගැමියෝ වැඩිපුරම යන්නේ දැරණියගල නගරයටය. ඒ නිසා මාලිබොඩ ටවුම
දැන් ඉස්සර මෙන් සරුසාර නැත. ටවුමේ එක් පැත්තකට ගිය විට ඇත්තේ එල්ලෙන පාලමකි.
එදා ලෑලි තිබූ අඩියට අද තහඩු දමා අලුතෙන් ඉදිකර ඇත. ඒ යටින් ගලන්නේ සීත ගඟුලෙන්
එන ගංගාවකි. පාලමෙන් එගොඩ වූ විට උඩ මාලිබොඩ දික්ඇල්ල කන්ද ආදී ගම්මානවලට යාම
පහසුය.
“මේ හරියට කියන්නේ මාලිබොඩ නින්දගම කොටස කියලා. මේ එහායින් තියෙන්නේ ජනවසමට
අයිති වෙලා තිබුණ තේ වතු. ඉස්සර මේ ටවුම මීට වඩා දියුණුයි. මේක ඇවිල්ලා සමන්
දෙවිහාමුදුරුවන්ගේ අඩවිය. ඉස්සර නම් කිතුල්මල් කපලා, කිතුල් හකුරු පැණි හදලා
ඒවා නගරයට විකුණලා තමයි මිනිස්සු ජීවත් වුණේ. නමුත් දැන් මේ ගමේ කිතුල්ගස්
ඇත්තේ නැහැ. ඒ කාලේ ලයිට් තිබුණේ නැහැ. ගමට ලයිට් ඇවිල්ල අවුරුදු අටක් නමයක් විතර
ඇති. ගමට බස් තිබුණෙත් නැහැ. ඩබ්ලිව්.ජී.පී.පුංචිසිංඤෝ මුදලාලිට අයිති ලොරියක්
තිබුණා. ඒ ලොරියේ තමයි ගමේ අය නගරයට ගියේ ආවේ.
එක් කෙනකුගෙන් සත 50ක් අය කරනවා. ඒ කාලේ මට අවුරුදු දාසයක් දාහතක් විතර ඇති.
මම යනවා දැරණියගල ටවුමට බයිස්කෝප් බලන්න. එක්කෙනකුගෙන් සත පනස්පහයි ගන්නේ
ටිකට් එකට. ටෙන්ට් එක ගහලා ඒක ඇතුළේ තමයි බයිස්කෝප් පෙන්නන්නේ. දුප්පතාගේ දුක,
රදළ පිළිරුව, ඩිංගිරි මැණිකා වගේ චිත්‍රපට මං තුන් හතර පාර බලලා තියෙනවා. ඒ කාලේ
අපේ මේ කඩේ රෑ වනතුරු වහන්නේ නැහැ. රෑ බස් එකේ එන අය ගමට යන්න බැරි වුණොත් නතර
වෙන්නේ මෙහෙ.
ලෙඩක් හැදිලා ආවොත් බලාගන්නේ අපි. බස් එක එනතුරු අපි මෙහෙට එන අය
බලාගන්නවා කන්න බොන්න දීලා. දැන් නම් මෙහෙට වැස්ස අඩුයි. ඒ කාලේ හොඳට වහිනවා.
දවස් තුන හතර පැල්බැඳගෙන වහිනවා. ගෙදරින් එළියට බහින්න බැරි තරමට වැස්සත් මේ
ගම්වල අය තේ දළු කඩන එක නම් නතර කරන්නේ නැහැ. දැන් මෙහෙම පාළුවට ගිහිල්ලා තිබුණට
ඉස්සර ගම් ගණනාවකටම තිබුණෙ කඩමණ්ඩිය තමයි අද මේ විදිහට පාළුවට ගිහින්
තියෙන්නේ.”
හැත්තෑහය හැවිරිදි වෙල්ආරච්චිලාගේ සෝමරත්න ගම පිළිබඳව තමන්ට මතක ඇති
තොරතුරු පවසන්නේ එසේය. ඔහු පවසන්නේ ඔහුට මතක ඇති මීට දශක හය හතකට පෙර
අතීතයයි. (එදා පමණක් නොව මාලිබොඩ සෝමේ අයියාගේ කඩේ අදට ද මහ රාත්‍රිය
වනතුරුත් එක් දොර ලෑල්ලක් හෝ විවෘතව පවතී. ඒ මඟ වැරදුණු කවුරුන් හෝ උදව්
පතාගෙන පැමිණේවී යන විශ්වාසය ඇති නිසාය.
"ඉස්සර ඔය පාලමෙන් එගොඩවෙලා මහ පාන්දර දික්ඇල්ල කන්දේ ඉඳලා එන උදවිය මෙහෙට
ඇවිත් තමයි ඇඳගෙන මුහුණකට හෝදාගෙන නගරයට යන්නේ. ඉස්සර නම් උදේ ගිය බස් එක
හවසට එනවද කියන විශ්වාසය නැහැ. අද නම් උදේ 5.30 ඉඳලා බස් එක තියෙනවා. නමුත්
තවමත් රෑ අටෙන් පස්සෙ නම් ගමට එන්න බස් එකක් නැහැ".
අවුරුදු පනස්තුනක් තිස්සේ සෝමරත්න මාමා සමඟ දිවි ගෙවන ඔහුගේ බිරිය හීන්මැණිකේ
පවසන්නීය.
අපි මාලිබොඩට ආවේ වැස්ස ගැන ලියන්නටය. එහෙත් අප ගියදාට පෙරදා රාත්‍රියේ ඇද
හැලුණු වැස්ස ද වැටී ඇත්තේ මාස ගණනකට පසුවය. මීට වසර දෙකකට පමණ පෙර අපි
දික්ඇල්ල ගමට යන්නට මේ වගේම ගියෙමු. ඒ මාලිබොඩ ටවුමෙන් පහළට ඇති පාරේ පාලම
පසුකර උඩ මාලිබොඩ හරහාය. “සෑම වැසි කාලයකම මේ පාලමෙන් ගඟට එක් වාහනයක් හෝ
බිලිගන්නවා.”
ගඟ ඇතුළෙ තියෙනවලු උමඟක්. මීට කලින් වාහන හය හතක් විතර ගඟට වැටිලා තියෙනවා.
වතුර තියෙන කාලෙට ගඟේ වතුර පාර සැරයි. ගඟට වැටෙන වාහන ගොඩගන්නේ කෑලි ගලවලා. ඒවා
ගල් අස්සේ හිරවෙනවා. මෙතැනින් යන්න එන්නෙ හරිම පරිස්සමෙන්. මඟ පෙන්වීමට යන
රංජනී පාලම ඈත තියාම රියදුරු චමින්ද දැනුවත් කළේය.
වැඩිම වර්ෂාපතනය ලැබෙන්නේ මාලිබොඩට නම් මේ පරිසරය කෙතරම් නම් සිසිල් විය
යුතුද? එහෙත් කඳු මුදුන් හරහා පිස එන සුළඟ ගත වැදෙන්නේ සිසිල නොව රස්නයක් ද
සමඟිනි. ඉහින් කනින් දහදිය පෙරමින් අපි උඩ මාලිබොඩ දක්වා යන්නට වීමු.
“අන්න තියෙනවා ඇලි හත. ඔය පේන්නේ ඇලි තුනක් විතර බඹරගලින් ගලනවා. ඇලි හත
දිස්ත්‍රික්ක දෙකකට අයිතියි. එකක් කෑගල්ල දිස්ත්‍රික්කය. අනික නුවරඑළිය
දිස්ත්‍රික්කය.”
පොලිස් ආරක්ෂක නිලධාරි ගාමිණී අපට පැහැදිලි කර දෙයි. ඈතින් ඈත කඳු මුදුනකට
පහළින් ඇදහැලෙන ඇලි හත පහළට ගලන්නේ සෙමෙනි. එහි ජලය සිඳී ගොස්ය. වැසි සමයට නම්
මේ ඇලි කොතරම් නම් සොඳුරු දසුනක් වනු ඇද්දැයි අපි සිතින් මවා ගන්නට උත්සාහ
කෙරුවෙමු. ඇලි පසුකර තවත් බොහෝ දුරක් ගිය විට හමුවන්නේ උඩ මාලිබොඩ දේවගිරි
ආරණ්‍ය සේනාසනයයි.
එක් භික්ෂූන් වහන්සේ නමක් පමණක් වැඩ වාසය කරන මේ ආරණ්‍ය
සේනාසනය පාළුවට ගිය සෙයකි. මහ දහවලේ වුවද අතොරක් නැතිව ඇසෙන රැහැයි නාදය
මැද්දෙන් අපි පුවක්මල් ඇල්ල බලන්නට ගියෙමු. ආරම්භයේ දිය පහර සැඬ නැත. එහෙත්
වටිනා තුරුලතා මැද නිසලව ගලා හැලෙන පුවක්මල් ඇල්ලේ දිය පහර නම් තද සීතලය. මේ
ඇල්ලේ දිය ගලා හැලෙන්නේ පුවක් මල් විසිරෙන්නා සේය.
ගම දෙපසින්, කඳු මුදුන් මතින්, ඇද හැලෙන සිහින් දිය පහර පවා දැඩි නියඟයට සිදී
ෙගාස්ය. වියළි බව නිසා කොළ රොඩු මතින් දෙපා නඟමින් යන අපට කූඩැල්ලන් ගැන ද
බියවීමට උවමනාවක් නැත.
“මෙන්න මෙතැන තමයි වැසිමානය සවිකරලා තියෙන්නේ”
ආපසු එන ගමනේ දී අපි මාලිබොඩ තේ කර්මාන්තශාලාවට ගොඩ වුණෙමු. එබිම පසෙක
වැසිමානය සවිකර ඇත.
 |
සීත ගළෙන් ගලන ගංඟාවක්
සිඳීගොස් ඇති අයුරු |
“මෙහෙට ඇදහැලෙන්නේ නිරිත දිග මෝසම් වැස්ස. ඒ වුණාට ඒ අතරතුර කාලයෙත් වැස්ස
තියෙනවා. නමුත් මේ වගේ පෑවිල්ලක් නම් මෑතකදී තිබුණේ නැහැ. මේක වතු ජනාවාසයත්
ගමත් එකට එකතු වුණු තැනක්. රටට හොඳම තේ දෙන්නේ මේ ප්‍රදේශයෙන්. ඒ වගේම තමයි
සිංහරාජ වනාන්තරයේ තිබෙනවා වගේම බොහෝම වටිනා ගස් මේ ගමේ තියෙනවා. ඒත් ඉතිං
ගමට එන්න යන්න තියෙන පාර කැඩිලා බිඳිලා තියෙන්නේ. මේ පාර හැදෙනවා නම් ඒක ගමට ලොකු
සෙතක්.
අතරමඟදී අපට හමුවූ විදුහල්පති පියරත්න මහතා පැවසුවේය.
රටේ බොහෝ ප්‍රදේශවල මෙන්ම වැස්ස නැතිව පීඩා විඳින මාලිබොඩ ගැමියෝ ද අහස දෙස
බලමින් ප්‍රාර්ථනා කරන්නේ මහා වැස්සක් ඇදහැලේවා කියාය.
“අද නම් අහස ටිකක් අඳුරු කරලා වගේ. සමහර විට රෑ වෙනකොට වහින්න තියාගනීවි.”
ගැමියකු පවසන්නේ බලාපොරොත්තු සහගතවය. අවුරුද්දේ වැඩිම වර්ෂාපතනය ලබන
මාලිබොඩ පරිසරය දැන් නම් උණුසුම්ය. ගහකොළ පිස හමන සුළඟ ද උණුසුම්ය.
සිරිපාදයට ආසන්නව පිහිටි මාලිබොඩ ගම්මානයේ සොඳුරු බව වඩ වඩාත් දැනෙන්නේ වැස්ස
ඇද හැලී ඇළ දොළ උතුරා ගහකොළ නව පණක් ලැබූ විටය. ඒ සොඳුරු පරිසරය දකින්න අපි
වැස්ස වැටෙන දිනෙක එහි යන එන අරමුණින් ගමට සමු දුනිමු.
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - විමල් කරුණාතිලක
|