දිලිප් දෙස බලාගෙන රඟපෑම මධුබාලා ප්‍රතික්ෂේප කරයි
බොලිවුඩයේ පෙම්හබ
දිලිප් දෙස
බලාගෙන රඟපෑම
මධුබාලා
ප්‍රතික්ෂේප කරයි
ඇය - මධුබාලා හින්දි සිනමාවේ වීනස් දෙවඟන වූවාය. ඔහු දශක කිහිපයක්ම හින්දි
සිනමාවේ රජැයූ නළුවන් ත්‍රිත්වය (රාජ් කපූර්, දේව් ආනන්ද්, දිලිප් කුමාර්)
අතරින් අෙයකු වූයේ ය. මධුබාලා මෙන්ම දිලිප් කුමාර් ද, මුස්ලිම්වරුන් හා පතන්
ගෝත්‍රයට අයත් වූවන් වූහ. මධුබාලාගේ පියා වූයේ අටොල්ලා ඛාන් ය. දිලිප්ගේ මුල් නම
මුහමද් යුසූෆ් ඛාන් බව අප අමතක කළ යුතු නැත. දිලිප් මධුබාලාට වඩා වසර
එකොළහකින් වැඩිමල් තැනැත්තකු වූ අතර මධුබාලාගේ මුල් නම වූයේ මුම්ටාස් ජෙහාන්
බෙගුම් දෙහ්ලාවි ය.
මධුබාලා සිනමාවට පිවිසියේ නව හැවිරිදි දැරියක ලෙස බසාන්ත් (1942)
චිත්‍රපටයෙනි. යුසුෆ් ඛාන් ගේ නම දිලිප් කුමාර් ලෙස වෙනස් කළ හින්දි සිනමාවේ
ප්‍රබල තැනැත්තියක හා ජනප්‍රිය නිළියක වූ දේවිකා රාණි කුඩා මුම්ටාස් - ජෙහාන්ගේ
නම මධුබාලා යනුවෙන් වෙනස් කිරීමට මූලික වූවාය. මධුබාලා ප්‍රධාන චරිතයක් මුල්
වරට රඟපෑවේ 14 හැවිරිදිව සිටියදී කදීර් ෂර්මාගේ නීල් කමාල් (1947) චිත්‍රපටයේ
රාජ් කපූර් සමඟිනි. එය ඉතා ජනප්‍රිය වූ අතර ඊළඟට මධුබාලා රඟපෑ මහල් (1949),
දුලාරි (1949) හා බෙකාසූර් (1950) ද බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ චිත්‍රපට
වූයේය.
දිලිප් කුමාර් ගේ පළමු චිත්‍රපටය වූ 'ජවාර් භටා' හි රඟපෑමට මධුබාලා ද
චිත්රාගාරයට පැමිණියාය. දිලිප් පළමු වරට මධුබාලා දැක ගත්තේ ඒ
අවස්ථාවේදීය. කෙසේ වෙතත් යම් හේතුවක් නිසා මධුබාලා එම චිත්‍රපටයට එක් වූයේ
නැත.
ඊට සත් වසරකට පසු මධුබාලා දිලිප්ට මුණ ගැසුණේ 'තරානා' (1951) චිත්‍රපටයේ රූගත
කිරීම්වලදීය. ඒ වන විට 18 හැවිරිදිව සිටි මධුබාලා දිලිප් මෙන්ම හින්දි
සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළටම ළඟාවී සිටියාය. පද්මිණි කෞශාල්ට බැඳ පෙම නිසා
සිත් බිඳගෙන සිටි දිලිප් කුමාර්ට මධුබාලාගේ ඇසුර යම් සහනයක් වන්නට ඇත.
කෙසේ වෙතත් හින්දි සිනමා ඉතිහාසයේ ලියැවී ඇත්තේ දිලිප් මුලින්ම මධුබාලාට
ප්‍රේමය ප්‍රකාශ කළා කියා නොවේ. 'තරානා' චිත්‍රපටය රූගත කිරීම් සිදුවන අතරතුර
මධුබාලා උර්දු බසින් කෙටි සටහනක් ලියුවාය. එම කෙටි සටහන සමඟ රෝස මල් පොකුරක්
තම හිසකේ සකසන්නාට දුන් මධුබාලා ඔහුට කීවේ ඒවා දිලිප් කුමාර් වෙත ගෙන ගොස්
දෙන්නට කියාය.
දිලිප් කුමාර් තමා වෙත ලැබුණු කෙටි සටහන කියවූයේය.
"මගේ ප්‍රේමය පිළිගන්නේ නම් මේ රෝස මල් පොකුර පිළිගන්න" යනුවෙන් උර්දු බසින්
මධුබාලා එහි සටහන් කොට තිබිණි.
ප්‍රේමයේ වියෝවෙන් තැවෙමින් සිටි දිලිප්ට මධුබාලාගේ ප්‍රේමය බාර ගන්නේ ද යන්න
එකවර තීරණය කිරීමට අපහසු විය. කෙසේ වෙතත් මධුබාලා ගේ සිත රිදවිය යුතු නැතැයි
සිතූ දිලිප් රෝස මල් පොකුර බාර ගත්තේය. එහෙත් ඒ දිනවලම ඔවුනතර පෙම් බස්
හුවමාරු වූයේ නම් නැත.
'තරානා' චිත්‍රපටයේ රූගත වීම් අවසන් වෙද්දී දෙදෙන පෙම්වතුන් බවට පත්ව සිටියහ.
ඒ සමකාලීනව සන්ග්දිල් (1952) හා අමර් (1953) යන චිත්‍රපටවල ද රූගත කිරීම්
ආරම්භ වී තිබිණි. චිත්රාගාර ඇතුළත පසුතලවලදී හැසිරුණු ආකාරය සමඟ දිලිප් -
මධුබාලා ප්‍රේමය තවදුරටත් හින්දි සිනමාවට රහසක් වූයේ නැත. මධුබාලා තම
පෙම්වතා ඇමතුවේ 'යූසූෆ්' යනුවෙන් මිස දිලිප් යන නමින් නොවේ.
දෙදෙනාගේ පෙම් සබඳතාව කූටප්රාප්තියට පැමිණ තිබූ අවධියේ මධුබාලා ගුරු දත්
අධ්‍යක්ෂණය කළ 'මිස්ටර් ඇන්ඩ් මිසිස් 55' චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි
වෙමින් සිටියාය. රූගත කිරීම් සිදුවූයේ 'මෙහෙබුබ් චිත්‍රාගාරයේ' ය. එම
චිත්‍රපටයේ තිර රචකයා වූ අබිරාර් අල්වි රූගත කිරීම් අතර සිදුවූවක් පසු කලෙක
මෙසේ මාධ්‍ය වෙත අනාවරණය කළේය.
"මධුබාලා ඒ චිත්‍රපටයේ රඟපෑවේ විවාහක කාන්තාවකගේ චරිතය. ඇගේ සැමියා අනියම්
සබඳතාවක් පවත්වන බව ආරංචි වී ඇය තම සැමියාගේ සේයාරුවක් දෙස බලා ගෙන පවසන්නේ
තමන් ඔහුගෙන් දික්කසාද වනවා කියායි. එම දර්ශනය රූගත කරන්න කවුදෝ මෙහෙබුබ්ගේ
කාර්යාලයේ තිබූ සේයාරුවක් මධුබාලා අතට ගෙනැවිත් දුන්නා.
"මෙයාගේ පින්තූරෙ දිහාව බලාන මම දික්කසාද වෙනවා. කියන්න? මට කොහෙත්ම ඒක කරන්න බැහැ
කියා මධුබාලා කීවා. බලනකොට ඇගේ අතට ගෙනැවිත් දී තිබුණේ දිලිප් ගේ සේයාරුවක්.
ඇය එම දර්ශනයේ රූගත කිරීම්වලට සහභාගි වුණේ දිලිප් ගේ වෙනුවට වෙනත් අයකුගේ
සේයාරුවක් ගෙනැවිත් දුන්නාට පස්සෙයි."
'මෝගල් - ඉ - අසාම්' චිත්‍රපටයේ සලීම් කුමරු ලෙස දිලිප් කුමාර් ප්‍රධාන චරිත
රඟද්දී ඔහුගේ ප්‍රේමය දිනූ අනර්කලී ලෙස රඟපෑවේ මධුබාලා ය. තමාට රඟපෑමට නැති
දිනවලදී පවා දිලිප් චිත්රාගාරයට පැමිණියේ අනෙක් දර්ශනවල රඟපාමින් සිටි
මධුබාලා දැකගන්නටය. ඔහු කිසි විටෙක මධුබාලාගේ රංගනයන්ට බාධා කළේ නැත.
පසෙකට වී සිටගෙන මධුබාලාගේ රැඟුම් බලා සිටි ඔහු නිහඬවම චිත්රාගාරයෙන්
පිටව ගියේය.
මධුබාලා කාලය ගත කළේ මහත් ප්‍රීතියෙනි. 'මෝගල් - ඉ - අසාම්' සිනමා පටයේ දිලිප් -
මධුබාලා එක්ව රැඟු ජවනිකා සියල්ල ප්‍රේමයෙන් පිරී'තිරී ගියේය. දිනයේ රංගන
කටයුතු අරඹද්දී ඇගේ දෙනෙත් සෙවූයේ දිලිප් ගේ රුවය. ඔහු දුටු පසු ඇය නව ජවයකින්
යුතුව රංගනයේ යෙදුණාය.
'ෆිල්ම් ඉන්දියා' පුවත්පත ඒ සමකාලීනව මෙසේ සඳහන් කළේය.
"මධුබාලා සිය ආත්මීය සහකරු සොයාගෙන අවසන් ය. ඒ අනෙකකු නොව දිලිප් කුමාර් ය."
ලබන සතියේ
මධුබාලාට එරෙහිව දිලිප්ගෙන් සාක්කි
කුමාර සිරිවර්ධන
|