‘ටක් ගානවා ටික් ගානවා’ ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති නෙමේ, මමයි!
‘ටක් ගානවා ටික් ගානවා’
ගීතය ලිව්වේ
ප්‍රේමකීර්ති නෙමේ, මමයි!
ඇ. ලයනල් ද සිල්වා
ටක් ගානවා ටික් ගානවා - ටිකක් කනවා දොර වහනවා
හුණු කිල්ලොටයක් අරගෙන - සීයා බුලත්විට හපනවා
අනේ සීයෙ අමල් බිසෝ - කතන්දරේ කියන්නකෝ...!
(ගායනය - පේෂලා මෙන්ඩිස්)
දශක තුනකටත් වැඩි කාලයක සිට අප අසා පුරුදු ජනප්‍රිය ළමා ගීතයක් වන "ටක් ගානවා
ටික් ගානවා" ගීතයේ පද රචකයා පොත් ප්‍රකාශකයකු ද වන මල්පියලි ප්‍රකාශකයෝ
(පෞද්) සමාගමේ අධිපති ඇ. ලයනල් ද සිල්වා ය. මෙරට දරුවන් වෙනුවෙන් ග්‍රන්ථ
ගණනාවක් පළකර ඇතුවා සේම කලකට ඉහත ලයනල් දරුවන්ට සුදුසු ළමා ගීත කිහිපයක් ද
පද රචනය කළේ ය. එහෙත් එක්තරා ගී පට සහ තැටි නිෂ්පාදන ආයතනයකින් එළිදැක්වූ
"ටක් ගානවා" ගීතය ඇතුළත් කැසට් පටයක, තැටියක සහ ගී පොතක මෙම ගීතයේ පද රචකයාගේ
නම වරදවා එය ප්‍රේමකීර්ති
ද අල්විස් යනුවෙන් සඳහන් කිරීම හේතුවෙන් මේ වනවිට
ලයනල් ට සිය ජනප්‍රියම ගී පද රචනයේ හිමිකම අහිමි වී යාමේ තර්ජනයකට මුහුණ
පෑමට සිදු වී ඇත. ඒ පිළිබඳ "රසඳුන" සමඟ ලයනල් කළ කෙටි කතාබහකි මේ.
මෙම 'ටක් ගානවා' ගීතය මෙන්ම 'රැල්ල නැගෙන්නා හෝ ගා රැල්ල නැගෙන්නා' (ශිරෝමාලා
ප්‍රනාන්දු) - 'රංචු රංචු තාරකා දිලෙන්නෙ අම්බරේ' (ශිරෝමාලා) - 'නිරන්තරේ හුළං
සැරේ' - 'පුංචි අපට රටක් ඇතේ' (ක්ලෝඩියා ප්‍රනාන්දු) - 'කං කං බූරු - සිං සිං නෝරූ'
(රේමන් පොන්සේකා සමඟ මානෙල් වඩුගේ) - 'උඩින් යන්න රන් තැටියක්' (මානෙල් වඩුගේ)
'සරුංගලේ සරුංගලේ හුළං බදයි හෙමින් සැරේ' (කොරින් අල්මේදා) - 'රන් රඹුටන් ගස්
දෙක යට වළි කුකුලන් පස් දෙනයි' (මානෙල් කුමාරි) - 'ලස්සන පාටකි ඇඳුම මගේ' (ඇන්ජලා
සිල්වා) වැනි ගීත ලිව්වෙත් මමයි. ළමා ගීත ක්ෂේත්‍රයේ විශේෂ ප්‍රබෝධයක් ඇති වූ
හැත්තෑව දශකයේ මුල් භාගයේදී මමත් ළමා ගී තිහකට පමණ නිර්මාණෙය් දී පද රචනයෙන්
දායක වුණා
මම පේෂලා මෙන්ඩිස් ළමා ගායන ශිල්පිනියට 'ටක් ගානවා' ගීතය ලිව්වේ 70 දශකයේ මුල්
භාගයේදීයි. මට මතකයි, එතකොට පේෂලා පාසල් යනවා. මමත් ගුරු වෘත්තියේ නියැළුණේ.
පේෂලාගේ මවුපියනුත් ගුරු වෘත්තියෙයි නියැළී උන්නේ. මේ ගී පද රචනයට තනුව
නිර්මාණය කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. පේෂලයි, පේෂලාගේ තාත්තයි, අම්මයි,
මමයි මේ පදමාලාව අරගෙන තනුව යොදා ගන්න වික්ටර් රත්නායකයන්ගේ ගෙදරට ගිය දවසේ
ඔහු අසනීපයෙනුයි උන්නේ. ඒත් එදාම පැයක් ඇතුළත මගේ පදමාලාවට තනුව සාදා
දුන්නා. ඔහුගේ තනුව හා සංගීතය නිසා තමයි මේ ගීතය ජනප්‍රිය වුණේ.
* ඉතින් මෙම ගීතයේ පද රචනයට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ නම සම්බන්ධ වුණේ කෙසේ ද..?
මෙහෙමයි. 'ර න්සිළු' එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන් මීට අවුරුදු දහයකට පමණ ඉහත
'මගෙ පොඩි යාළු' නමින් ළමා ගීත කැසට් පටියක් සහ සංයුක්ත තැටියක් සමඟ ස්වර
ප්‍රස්ථාර සහිත ගී පොතක් නිකුත් කළා. එහි ප්‍රස්ථාර සැකසුම කළේ සංගීතඥ අසෝක
පීරිස්. එහිදී තමයි මේ වරද ප්‍රථම වරට සිදු කළේ. එම අවස්ථාවේදී අප පළ කළ
'මල්පියලි' ගීත සඟරාවෙන් ද (රන්සිළු වෙතින් බලවත් වරදක් යන මැයෙන්) මේ වරද
පෙන්වා දුන්නා. එහෙත් ඔවුන් එය නොතකා හරිමින් දිගින් දිගටම එම වරද සමාජ ගත කළා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ වනවිට ප්‍රේම් වැනි ප්‍රවීණ ගී පද රචකයකුට
අගෞරවයක් වන ලෙස මෙවැනි බාල ගීත පදමාලාවකට ඔහුගේ නම ඈඳුණේ.
ඔබ එලෙස පවසන්නේ ඇයි..?
මං වැඩිපුර ළමා ගී ලිවීමේදී ජන ගී සහ කවි ආදියේ තිබුණු යෙදුම් ඇසුරෙන් තමයි ඒවා
ලිව්වේ. උදාහරණ වශයෙන් කියනවා නම් 'ටක් ගානවා ටික් ගානවා' - 'රන් රඹුටන් ගස්
දෙක යට වළි කුකුලන් පස් දෙනයි' සහ 'කං කං බූරූ සිං සිං නෝරූ' වැනි යෙදුම් මා යොදා
ගත්තේ ජන ගී සහ කවි ආදිය ඇසුරෙනුයි. ප්‍රේම් එලෙස බාල සින්දු ලියන්නේ නැහැ. ඔහු
ප්‍රතිභාපූර්ණ ගී පද රචකයෙක්. ප්‍රේම්ගේ නිර්මාණශීලි ගී පදමාලා අපි වැනි ගී
පද රචකයින්ගේ පදමාලා වලට කිට්ටු කරන්නවත් බැහැ. ඒකයි මේ පදමාලාව ප්‍රේම්ගෙයි
කීම, ඔහුට කරන අගෞරවයක් කියා මං කිව්වේ.
* ගුවන් විදුලියේ මේ ගීතය පවතින්නේ ඔබේ නමින් නේද..?
ඔව්. ගුවන් විදුලි ගී තැටියේ මේ ගීතයේ පද රචකයා ලෙස මගේ නම සඳහන් වී තිබුණා.
(හැබැයි මේ වනවිට එය වෙනස් කරලද දන්නේ නැහැ. එහෙමත් වෙනවනේ යි උපහාසයෙන්
හිනැහෙමින්...) කෙසේ වුවත් මේ ගීතයේ පදමාලාව සහ සංකල්පනාව මගේ බවට මෙහි තනුව
නිර්මාණය කළ වික්ටර් රත්නායකයන් සහ මුලින්ම මේ ගීතය ගායනා කළ පේෂලා මෙන්ඩිස්
ගායිකාව සාක්ෂි වෙයි. එම නිසා තවදුරටත් මේ ගීතය ප්‍රචාරයේ දී සහ විවිධ
වැඩසටහන් වලට ගායනා කිරීමේ දී මෙහි පද රචකයා ලෙස මගේ නම යොදා ගන්නා ලෙස මම
සියලු විද්‍යුත් නාළිකා වලින් මෙන්ම මේ රටේ ගීතලෝලී දරු දැරියන්ගෙන් ඉල්ලා
සිටිනවා. එසේම ගීත පට සහ තැටි ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයින්ගෙන් මා ඉල්ලා
සිටින්නේ සැබෑ නිර්මාණකරුවන් දැනගෙන ඔවුන්ගේ අවසර ඇතුව වගකීමෙන් යුතුව මේ
ක්ෂේත්‍රයේ නියැළෙන ලෙසයි. එවිට මෙවැනි වැරදි සමාජ ගත නොවන අතර කලාකරුවන්ගේ
ආත්ම තෘප්තියට ද හානියක් නොවනු නිසැකය.
ජෝජ් රොබ්සන් ද සිල්වා
|