දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ටෙස්ට් තරග 50ක හීනය සැබෑ කරගත්තා

ටෙස්ට් තරග 50ක හීනය සැබෑ කරගත්තා

ප්‍රසන්න ජයවර්ධන

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා මෙන්ම අංක 07 පිතිකරුවා ලෙස සිය ස්ථාවරය ගොඩනඟාගෙන සිටින හේවාසන්දච්චිගේ ආසිරි ප්‍රසන්න විශ්වනාත් ජයවර්ධන ක්‍රිකට් ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රියව සිටින්නේ ප්‍රසන්න ජයවර්ධන නමින්.

2000 වසරේ ජූනි 28 සිට ජූලි 02 දක්වා පැවැති වර්ෂාවට සේදී ගිය තරගයේ දී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී 83 වැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් ඔහු එදා මෙදා තුර වසර 14 පුරාවට ටෙස්ට් තරග 55කට ක්‍රීඩා කර තිබේ.

එහිදී ඉනිම් 77කදී නොදැවීම් 11ක් සමඟ ලකුණු 2061ක් ලබා ඇති ප්‍රසන්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අර්ධ ශතක 05 සහ ශතක 04ක් රැස් කරගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වැනිදා බංගලාදේශය සමඟ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සුදානමින් සිටිය දී පියාගේ හදිසි අභාවය නිසා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රසන්නට එම තරග මාලාවම ක්‍රීඩා කිරීමට නොහැකි විය.

මේ වන විට යළිත් පුහුණුවීම් කටයුතු අරඹා ඇති ප්‍රසන්න කොළඹ සීසීසී පිටියේ පුහුණුවීම් අතරතුරදී මා හා කතාබහට එක්වුණේ මෙවර රසඳුන 'කෙළිබිමේ තරුව' වෙමින්.

* ඔබේ ආදරණීය පියා පිළිබඳ මතකයෙන්ම කතාව ආරම්භ කරමු.

"මගේ පියා සිසිර ටෙරන්ස් ජයවර්ධන. අම්මා පුෂ්පා ජයවර්ධන. මගේ අයියා මනෝජ් සංජය. නංගී ආශ්චර්යයා. මගේ පියා අපි හැමෝටම හරිම ආදරෙයි.

මම අද මෙතැන ඉන්නෙ මගේ තාත්තා නිසා. මම පුංචි කාලෙ ඉඳල ක්‍රිකට් ක්‍රීඩා කරල ජාතික කණ්ඩායමට පළමු තරගයට සෙල්ලම් කරන තෙක්ම තාත්තා හෙවණැල්ල වගේ ම‍ගේ පස්සෙන් හිටියා.

13න් පහළ කණ්ඩායමේ ඉඳල පළමු ටෙස්ට් තරගය තෙක් ස්කූල් මැචස්, ක්ලබ් මැචස්, A ටීම් එකේ මැචස් මේ හැම එකක්ම බලන්න තාත්තා එනවා. එයාගෙ එකම බලාපාරොත්තුව වුණේ මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා දකින්නයි. මම තාත්තිගේ ඒ බලාපොරොත්තුව ඉටු කළා."

* පියා වියෝ වුණේ ඔබ බංගලාදේශයේ ඉන්න විට?

"ඔව්, අපි කිසිකෙනෙක් නොසිතූ වෙලාවක තමයි තාත්ති අපිව හැර ගියේ. ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හොඳ මානසික මට්ටමකින් හිටියෙ. එයා නැති වෙනකොට වයස 58යි. ඩුබායි සංචාරය අවසන් වෙලා බංගලාදේශයට ගිහින් පළමු ටෙස්ට් තරගයට යන්න සූදානම් වෙනකොට උදේ තමයි මේ ආරංචිය ආවෙ."

* අවසන් වරට පියා ඔබ සමඟ කතා කළ දේ මතකද?

"තාත්තා හැමදාම කිව්වෙ මට තරගාවලියක් පටන්ගත්තම පළමු තරගයම හොඳට කරන්න උත්සාහ ගන්න කියලයි. බැට් කරන්න හම්බවුණොත් පළමු ඉනිම හොඳට කරන්නත්, ෆීල්ඩ් වලට ගියොත් කීපිං හොඳට කරන්න කියල තමයි ටුවර් එකකට පෙර එයා කියන්නේ.

මම ඩුබායි සංචාරයේ දී පාකිස්තානයට එරෙහිව හොඳට ක්‍රීඩා කරලා තිබුණ නිසා එයා‍ෙග ලොකු විශ්වාසයක් තිබුණා මම බංගලාදේශ සංචාරය ඊටත් වඩා හොඳට කරයි කියලා.

තාත්තා නැතිවෙන්න පෙරදා රාත්‍රියේ "හෙට උදේ අයියගෙ මැච් එක බලන්න ඕන කියල" නංගිත් එක්ක කියල තමයි නින්දට ගිහින් තිබුණෙ. ඒ තරගය බලන්න පහුවදා තාත්තා හිටියෙ නෑ. මට මේ අඩුව මගේ මුළු ජීවිත කාලය පුරාවටම දැනේවි"

* ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ?

"මම පුංචි කාලෙ හිටියෙ සොයිසා පුර මහල් නිවාසයේ. යාළුවො හවසට ක්‍රිකට් ගහනවා. ඒ තමයි මගේ ආරම්භය. මම පාසල් ගියේ මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට. පාසලේ මම 13න් පහළ පුහුණු සංචිතයට බැඳුණා. එතැනදී මුලින්ම මාව 13න් පහළ B කණ්ඩායමේ නායකයා ලෙසත් කඩුලු රකින්නා ලෙසත් තෝරා ගත්තා. ඉන්පස්සෙ 15න් පහළ 17න් පහළ සහ 19න් පහළ සෑම කණ්ඩායමකම ක්‍රීඩා කළා. කඩුලු රකින්නා සහ අංක 03 පිතිකරු ලෙස තමයි කටයුතු කළේ."

* 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ඔබට සුවිශේෂී එකක්.

"පාසල් මට්ටමින් දැක්වූ දක්ෂතා නිසා මම 19න් පහළ ජාතික පාසල් කණ්ඩායමට තෝරා ගත් අතර 1998 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියට කඩුලු රකින්නා ලෙස මට සහභාගි වෙන්නට හැකියාව ලැබුණා. එම තරගාවලියේ දී මම දක්ෂතම කඩුලු රකින්නා සම්මානය දිනාගත්තා. එය මගේ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්.

* ඔබට ජාතික කණ්ඩායමේ දොරටුව විවර වන්නේ?

"ඔව්, මම දැක්වූ දස්කම් හේතුවෙන් මාව ශ්‍රී ලංකා A සංචිතයට කැ‍ඳෙව්වා. 1999 අවුරුද්දේ එංගලන්තයේ පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වුණු ටෙස්ට් කණ්ඩායමට එවකට කඩුලු රකින්නා ලෙස කටයුතු කළ රොමේෂ් කළුවිතාරණ ගේ දෙවැනියා ලෙස මාව සංචිතයට තෝරාගත්තා.

* ඔබේ මංගල ටෙස්ට් තරගය යළි සිහි‍කළොත්?

"2000 වසරේ මහනුවර අස්ගිරියේ දී පාකිස්තානය සමඟ පැවැත්වුණු තරගයේ දී තමයි මට ටෙස්ට් වරම් ලැබුණේ. එදා අපි ඉස්සෙල්ලම පිටියට ගිහින් දවස් 2ක් බැට් කළා. අතපත්තු නොදැවී 208ක්, සනත් ජයසූරිය ලකුණු 188ක් ගත්තා. එහෙත් වර්ෂාව නිසා ඉතිරි දවස් තුනම තරගය පැවැත්වුණේ නෑ. මේ නිසා මට බැට් කරන්නවත් කඩුලු රකින්නවත් පිටියට යන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඒත් ඊළඟ ටෙස්ට් තරගයට මාව දැම්මෙ නෑ. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයකුට මේ වගේ දෙයක් වෙලා නෑ.

* ඉන්පසුව ඔබ පළමු ශතකය තෙක් එන්නේ දුෂ්කර ගමනක්?

"ඔව්. මම පළමු ශතකය ලබාගන්නෙ 2007 ජූනි 25 වැනිදා බංගලාදේශයට එරෙහිව. එහිදී අංක 07 පිතිකරු ලෙස පිටියට පැමිණ මම නොදැවී ලකුණු 120ක් ලබාගත්තා. එය මගේ 10 වැනි තරගය. පළමු ටෙස්ට් තරගය 2000 වසරේ ගහල අවුරුදු 7ක් පුරාවට මට ලැබිල තිබුණෙ තරග 10යි. එයිනුත් මට ක්‍රීඩා කරන්න ලැබුණෙ තරග 7කට විතරයි. මේ වෙනකොට මම කොයි තරම් දස්කම් දැක්වුවත් මගේ ස්ථානය අවිනිශ්චිත තත්ත්වයක තිබුණෙ. ඒ නිසා මට අංක 07 ස්ථානයේ වුණත් ඇවිත් 100ක් වුණත් ගහන්න පුළුවන් කියන දේ එදා මම පෙන්නුවා. ඒක මට සතුටක්."

* ඔබේ හොඳම ඉනිම ලෙස වාර්තා වන්නේ නොදැවී ලබාගත් ලකුණු 154.

" ඒ මම ලබාගත් දෙවැනි ශතකය. 2009 ‍නොවැ. 16 වැනිදා ඉන්දියාවට එරෙහිව ලබාගත්තෙ. ඒ වන විට ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයේ සිටි ලොව හොඳම කණ්ඩායම. ඒ වන විට අපේ කණ්ඩායමේ මගේ ස්ථානයත් අවිනිශ්චිත තැනක තිබුණෙ.

අපේ කණ්ඩායමට ලකුණු අවශ්‍යම මොහොතක මම මහේල ජයවර්ධන සමඟ එක්ව ලකුණු 354ක සම්බන්ධතාවක් තිබ්බා. එය ලෝක වාර්තාවක් බවටත් පත්වුණා. ඉතාම මෑතදී තමයි ඒ වාර්තාව බිඳ වැටු‍ෙණ.

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔබේ බලාපොරොත්තු?

"මගේ එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මුලින්ම මට ඕන වුණේ ටෙස්ට් තරග 50ක් සෙල්ලම් කරන්න. දැන් මම තරග 55කට ක්‍රීඩා කරලා ඒ ඉලක්කය සපුරාගෙන තිබෙනවා. මම ඒ දස්කම කළ අපේ රටේ 13 වැනියා.

දැනට මම ස්ටම්ප් 32ක් කරල තිබෙනවා. තව මට ටෙස්ට් ස්ටම්ප් කිරිම් 7ක් ලබා ගත්තොත් ක්‍රිකට් ඉතිහා‍සයේ අඩුම තරග ගණනකින් එම දස්කම කළ ලොව තුන්වැනි ක්‍රීඩකයා බවට පත්වනවා. දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි තරග 83 කදී ස්ටම්ප් 37ක් ලබාගෙන මට ඉදිරියෙන් ඉන්නවා. මේ ලයිස්තුවේ පළමුවැනියා බර්ට් ඕල්ෆීල්ඩ් තරග 54 ස්ටම්ප් 52, දෙවැන්නා ගොඩ්ෆ්‍රි ඔවන්ස් තරග 91 ස්ටම්ප් 46, එස්.කිර්මානි තරග 88 ස්ටම්ප් 38යි."

* ප්‍රසන්න මොන වගේ චරිතයක්ද?

"මම ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්න කැමති චරිතයක්. කාටත් උදව් කරලා මගේ පාඩුවේ ඉන්නවා මිසක් වැඩිය ඉස්මතු වෙන්න කැමැති නෑ.

හැබැයි අසාධාරණයක් දැක්කාම නම් මට කේන්ති යනවා. ඒත් කේන්තිය දිගටම තියාගෙන ඉන්නෙ නෑ."

* ඔබේ විවේකය ගෙවෙන්නෙ?

"විවේකයක් ලැබුණාම බිරිය හා දරුවො එක්ක ඉන්න තමයි වඩාත්ම කැමැති. වාහන ඩ්‍රයිව් කරන්න ආසයි. මට තියෙන්නෙ ෆෝචූනා ජීප් එකක්.ඒකෙ පවුලේ අයත් එක්ක දුර ට්‍රිප් යන්නත් ආසයි. නුවර ඉඳල නුවරඑළිය දක්වා පාර තමයි මම ඩ්‍රයිව් කරන්න ආසම පාර. ඒ වගේම හපුතලේ ලිප්ටන් සීට් කන්ද උඩට වෙලා ඉන්නත් ආසයි. එතැනට ලස්සනට පළාත් 5ක් පේනවා."

* නවක ක්‍රීඩකයන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

"ක්‍රීඩකයෙක් හැටියට ඉදිරියට එන්න නම් ආසාව කැපවීම නිරන්තර පුහුණුව තියෙන්න ඕන. තමන් තුළ ඇති හැකියාව හඳුනාගෙන අධිෂ්ඨානශීලීව එක අරමුණකට යන්නට හිතුවොත් ජයග්‍රහණය ලැබෙන එක ස්ථිරයි."


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්