පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි
ඇමරිකාවේ සිදුකළ අලුත් ම පර්යේෂණයකින්
හෙළිවෙයි
පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල
අවුරුදු 48000ක් පරණයි

ගල් ආයුධයක් |
ලෝකයේ පැරණිම මානව ජනාවාස හමුවී ඇත්තේ නැඟෙනහිර අප්‍රිකාවේ චල්ල
චූවාල්ගොච් ප්‍රදේශයෙනි. ලංකාවේ පැරැණිම මානව සාධක හමුවී ඇත්තේ යාපනයේ
මයික්කායි ප්‍රදේශයෙනි. එතැනින් හමුවූ ගල් ආයුධ වසර ලක්ෂ 8 ක් පැරැණි බව
පැවැසේ. ලංකාවේ මානව ඉතිහාසය වසර ලක්ෂ විස්ස ඉක්මවන බව විශ්වාස කරන ශ්‍රී ලංකාවේ
පුරාවිද්‍යාඥයෝ අතීතය සොයා පාහියන් ලෙන කැණීම සිදු කළහ. දකුණු ආසියාවේ මානව
පරිනාමයේ කේන්ද්‍රස්ථානය වූ පාහියන් ලෙනින් ලෝකයේ පැරණිම නවීන මානවයාගේ
අවශේෂ හමුවී ඇත. එය අදින් වසර 48000 ක් පැරැණිය.
ලෝකයේ අවධානය නැවතත් ශ්‍රී ලංකාව වෙත යොමු වී තිබේ. ඒ පාහියන් ගල ගල් ලෙනෙන්
හමුවූ මානව ඇටසැකිල්ල හේතු කොට ගෙන ය. දකුණු ආසියාවේ මානව පරිනාමයේ උරුම
ස්ථානයක් වන පාහියන්ගල හෝමෝ සාපියන් සාපියන් හෙවත් නවීන මානවයාට ඇති
පැරැණිම දින වාර්තා කොට තිබේ. සරලව ම පවසනවා නම් අපේ අතීත මුතුන් මිත්තෝ අදින්
වසර 48000 කට පෙර ශ්‍රී ලංකාවේ පාහියන්ගල රමණීය භූමියේ වාසය කර තිබේ.
ලංකාවේ ඇති විශාලම ගල්ලෙන වන පාහියන් ලෙන තුළ තුන් දහසකට වැඩි ජනකායකට වාසය
කළ හැකි ය. දිගින් අඩි 175 ක් හා පළලින් අඩි 150 කින් යුත් අර්ධ කවා කාර ලෙන
ස්වභාවික වෘක්ෂ ලතාදියෙන් හෙබි රමණීය භූමි භාගයක පිහිටා ඇත. මුහුදු මට්ටමෙන්
අඩි 460 පමණ උසින් පිහිටා ඇති ලෙන 1986 - 87 වසර වල දී කරන ලද කැණීමෙන් අදින් වසර
37000 අතීතයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබිණි.
එහෙත් එම වාර්තාව එසේ
තිබියදී නව කාල නිර්ණය වාර්තාවක් සඳහා 2012 වසරේදී කරන ලද කැණීම මඟින් අදින් වසර
48000 ක ඉතිහාසයක් පාහියන් ගලින් අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
මෙතෙක් නවීන මානවයාගේ පැරැණිම අවශේෂ හා මානව සාධක හමුවී තිබුණේ බොර්නියෝ දූපතේ
නියාතා ගල් ලෙන කැණීමේ දී ය. එය අදින් වසර 43000 කට කාල නිර්ණය වී තිබිණි. එහෙත්
ශ්‍රී ලංකාවේ පාහියන් ලෙන කැණීම එම වාර්තා ගත කාල නිර්ණය ඉක්මවා තවත් වසර 5000 ක්
ඈතට යන බව ඇමෙරිකාවේ “බීටා විද්‍යාත්මක පර්යේෂණ ආයතනය” වාර්තා කර ඇත.
හෝමෝ සාපියන් සාපියන් මානවයා සඳහා ලෝකයේ හමුවූ පැරණිම දින නියමය වන්නේ
ඇමෙරිකාවේ බීටා ඇන්ටික් විද්‍යාත්මක පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ පාහියන් ලෙන
සඳහා දී ඇති අදින් වසර 48000 දැක්වෙන කාබන් 14 ( C14) කාල නිර්ණ වාර්තාව බව
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඝර්ම කලාපීය වනාන්තරවලට දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති බව මේ
ගවේෂණයේ දී වාර්තා වී ඇත. එකල විසූ ජනයා ආහාරයට ගත් බෙල්ලන් ඒ බව තහවුරු
කරයි.
ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට
තනිවම කළ නොහැක. බහු විධ අධ්‍යාපන ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යයනය කළ යුතු ය. මේ
ගවේෂණයේදී මානව විද්‍යාව පිළිබඳ ගවේෂණයට එංගලන්තයේ කෙම්බ්‍රිජ්
විශ්වවිද්‍යාලය ඉදිරිපත්ව ඇති අතර පාහියන් ගල වසර 48000 පෙර විසූ නූතන
මානවයාගේ සංස්කෘති අධ්‍යයනය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මඟින් සිදු කරනු ලබයි.
කැණීමෙන් හමුවූ ගල් ආයුධ හා සත්ව ඇටකටු අධ්‍යයනය ශ්‍රී ලංකාවේ දී සිදු කෙරේ.
2012 වසරේ සිදු කරන ලද කැණීමේදී හමුවූ මානව ඇටසැකිල්ල නිරීක්ෂණය කළ මහාචාර්ය
ශිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා මහත්වරු ඇටසැකිල්ලේ හිස් කබලේ දත්
ගෙවීයාම අස්ථිවල ඝනත්වය, වැඩීමේ ස්වභාවය අනුව එය වයස අවුරුදු විස්සක
තරුණියකගේ බව තහවුරු කර තිබිණි.
අපේ ආදි මිත්තනිය ගේ සිරුර මේ වනවිට කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ
රසායනාගාරයක් තුළ සංරක්ෂණය කරමින් තිබේ.
එම සංරක්ෂණ කටයුතු අවසන් නැති බව පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා
සංරක්ෂණ කටයුතු නිම වීමෙන් පසු එය නැවත ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බව ප්‍රකාශ
කර සිටී.
දැනට හමුවී ඇති ආදිම ජනාවාසයේ මිනිසුන් වාසය කළ කාල පරාසය අවුරුදු 48000 -
5000 දක්වා වේ. මෙම කාල පරාස අදියර 5 කට වෙන්කර ඇති අතර පාහියන් ගලින් හමුවූ
ඇටසැකිල්ල මීට පෙර වසර 37000 කාල නිර්ණය කළ පස් තට්ටුවට යටින් හමුවී ඇත.
මේ දිරාගිය ඇට සැකිල්ල ආශ්‍රයෙන් මේ තරුණිය අඩු වයසින් මිය යාමට හේතුව, ඇයට
වැලඳී තිබූ රෝගී තත්ත්වයන්, ඔවුන්ගේ ආහාර රටාව, පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින
බව ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කර ඇගේ සම්භවය සොයා යාමට ජර්මනියේ පර්යේෂණ ආයතනයක්
හා කළ උත්සාහය අසාර්ථක වී ඇති බව පවසන නිමල් පෙරේරා මහතා නැවත ඩී.එන්.ඒ
පර්යේෂණයක් කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කර සිටී.
මේ ආදී මිත්තනිය ජීවත් වූයේ කුමන දේශගුණයක් යටතේ කවර ආකාර පරිසර පද්ධතියක්
තුළ ද යන්න විමසීමට ලක් කොට ඇත. එසේ විමසීමේ දී දිග හැරී ඇත්තේ අභියෝග
ජයගනිමින් ශ්‍රී ලංකාව පුරා ඇති ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරයන්හි හෝමෝ
සාපියන් සාපියන් හෙවත් නවීන මානවයා ජීවත් වූ අයුරු දැක්වෙන අපූරු කාන්තාරයයි.
පාහියන් ලෙන අවසන් කැණීමේ දී ප්‍රධාන පස් තට්ටුව සියුම් ලෙස ස්තර 131 කට බෙදා පස්
තට්ටු සියල්ලෙහි දීම හමුවූ අඟුරු කාල නිර්ණය සඳහා ඉදිරිපත් කොට තිබිණි. ඒ පස්
ස්තර අතර තිබී හමු වූ සත්ව හා ශාක අවශේෂ අතර ගස් බෙල්ලන්ගේ කටු, අළු, වල් දෙල් ඇට,
ඇටි කෙසෙල්, ගින්දර දැල්වීමට ගත් කැකුණ ඇට, කටුස්සා, ඉත්තෑවා, හබන්කුකුළා,
වලිකුකුළා, තල ගොයා හා සර්ප විශේෂයන් ගේ අස්ථි කොටස් මෙන් ම පිඹුරා, හෝතඹුවා,
වඳුරා, අලියා, ගවරා, ආදී සතුන්ගේ අස්ථි කොටස් ද හමුවී ඇත.
 ආචාර්ය සෙනරත් දිසානායක
අධ්‍යක්ෂ ජනරාල්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
 ආචාර්ය නිමල් පෙරේරා
පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය
කැලණිය විශ්වවිද්‍යාලය |
අපේ අතීත ඥාති සමූහයා දිය ගොඩ දෙකෙහිම ආහාර සොයා ගිය බව පාහියන් ලෙන කැණීමෙන්
හමුවූ දිය බෙල්ලාගේ කටු සාක්ෂි දරයි. මෙම ස්ථානයෙන් හමුවී ඇති මිරිදිය මත්ස්‍ය
අවශේෂ අදින් වසර 48000 පෙර ද ශ්‍රී ලාංකේය නුතන මානවයා මුහුද හා ගනුදෙනු කර ඇති
බව තහවුරු කරයි.
ලෝකයේ මේ වනවිට පවත්නා නවීන තාක්ෂණය ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් පාහියන්
ලෙන කැණීම කළ බව පවසන ආචාර්ය නිමල් පෙරේරා ස්වාධීන හා ඉතා හොඳම ආයතනයක දී
පර්යේෂණයට ලක් කොට හොඳම කාල නිර්ණ වාර්තාවක් ලබාගත හැකිවූ බව පවසයි.
මානව ඇට සැකිල්ලේ උකුළු ප්‍රදේශය හා පපුව ප්‍රදේශය මත තිබූ ගල් දෙක පිළිබඳ
පුරාවිද්‍යාඥයින් ගේ විශේෂ අවධානය යොමු විය. ගවේෂණය මඟින් තහවුරු කරගනු
ලැබූයේ පුද්ගලයා මිය ගිය පසු ජීවත් වූ ස්ථානයේ නොගැඹුරු වළක තැන්පත් කොට ශරීරය
මත ගල් තැන්පත් කිරීම, ශරීරය නවා තැබීම, හා ගුරුගල් ආලේපනය වැනි දේ එකල අභිචාර
ලෙස පැවැති බවයි.
මේ කැණීමේදී ආදී මානවයා ආහාරයට ගත් සතුන් වර්ග 800 කගේ පමණ අවශේෂ හමුවී ඇති
අතර ඔවුන් විසිරුණු ආහාර පරිභෝජන රටාවක් භාවිත කර ඇති බව ඉන් සනාථ වේ. ගල්
ලෙනෙන් හමුවූ සත්ව අවශේෂ අතර බංගලාදේශ ව්‍යාඝ්‍රයකු ගේ අස්ථි කොටසක් ගවරාගේ
දතක් රයිනෝසිරස් ගේ ඇගිල්ලක අස්ථි කොටසක් හමුවී ඇත.
පාහියන් ලෙන කැණීමේදී මධ්‍ය ශීලා යුගයට අයත් ජ්‍යාමිතික හැඩතලයෙන් යුත් ශිලා
මෙවලම් සහ සතුන්ගේ ඇට භාවිතයෙන් සකසා ගත් උල් ආයුධ හමුවී ඇත.
පාහියන් ලෙන කැණීම සඳහා යුරෝපීය පුරාවිද්‍යාඥයින්ගේ මැදිහත් වීම හේතු කොට
ගෙන ලොව පුරා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානය ලංකාව වෙත යොමු වී ඇත. ඒ හේතුවෙන්
ශ්‍රී ලංකාවේ ඓතිහාසික අගය ඉහළ යයි.
ඒ සමඟ බළන්ගොඩ මානවයා වටා ගෙතුණු කතා ප්‍රවෘත්තියේ සමස්ත යටගියාව ඔහුගේ
සංස්කෘතිය, සාමාජීය සංස්කෘතික, භෞතික පරිසරය හා ආහාර රටාව පිළිබඳ අනාවරණය
වේ.
පාහියන්ගල ලෙන වරින් වර බිඳී ගල්කුට්ටි ලෙස ලෙන තුළට වැටී ඇති අයුරු දැකගත හැකි
බව පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසන්නේ දැනට
ලෙන පතුලෙන් හමුවී ඇති ගල් තට්ටුව ස්වාභාවික ගල් තට්ටුවක් නොවුණ හොත් එම ගල බිඳ
දමා ඉදිරියට කැණීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවකි. ඒ සඳහා මහාචාර්ය
ශිරාන් දැරණියගල මහතාගේ ද අවධානය යොමු වී ඇති බව පවසන දිසානායක මහතා එවිට
ශ්‍රී ලංකාවේ මානව වංශ කතාව හෝමෝ ඩෙක්ටස් එනම් පුරාතන ගල් යුගයේ මුල්කාලීන
ජනාවාස සාධක දක්වා දීර්ඝ කළ හැකි බව පවසා සිටී.
මේ වනවිට මධ්‍යයතන ශිලා යුගයේ ඉපැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් හමුවී තිබීම ලෝක
මානව ඉතිහාස ගවේෂකයන්ගේ හා පර්යේෂකයන්ගේ අවධානය අප රට දෙසට යොමු වීමට
හේතු වී ඇත. වැළලුණු අතීතයක යට ගියාව මුළු ලොවට ම හෙළි කර දෙමින් ශ්‍රී ලාංකේය
ඉතිහාසය නව මඟක් ඔස්සේ කියැවීමට පාහියන් ගල ලෙන කැණීම මගින් හැකියාව ලැබෙනු
ඇත.
ටෙක්ලා පද්මිණී
කාරියවසම්
ඡායාරූප -
දුෂ්මන්ත මායාදුන්නෙ
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව
|