මිය ගිය දරුවා යළිත් පැමිණිය හැකිය
මිය ගිය දරුවා යළිත් පැමිණිය හැකිය
ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී
රාහුල හිමි
මීට කලකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණ දරුවෙක් මිය
ගියේ ය. සිය එකම සොහොයුරා ගේ වියෝවෙන් දැඩි කම්පනයට පත් නැඟණිය ඒ වේදනාව දරා
ගත නොහී නිරන්තරයෙන් හඬා වැලපුණා ය. ටික දිනකින් ඇය කෙරෙන් අමුතු ගති ලක්ෂණ
පහළ විය.
“අනේ මට යන්න තැනක් නෑ
ඔවුන් මා පන්නා ගන්නවා
ඒ නිසයි මං ගෙදරට එන්නේ...” යි සොහොයුරාගේ හඬින් ඇය කියවන්නට වූවා ය. සිදුවී
තිබුණේ මිය ගිය සොහොයුරා ඇයට ආවේශ වීම ය. එසේ හෙළි කළ තොරතුරු අනුව මරණින් පසුව
ඔහු වාසස්ථානය ලෙස තෝරා ගත්තේ අසළ වූ නුග වෘක්ෂයකි. තරමක් අඳුරු පරිසරයක අතු
පතර විහිදී ගිය ඒ නුග ගස යට බොහෝ අමනුෂ්‍යයෝ වූහ. ඒ අතර මිය ගිය තරුණයා ගේ
ආච්චි, නැන්දා ආදී ඥාතීන් පමණක් නොව ගමේ දන්නා නොදන්නා අය ද විය. මේ නුග ගස යට තම
නිවහන කරගත් ඔවුහු අලුත් සාමාජිකයාට එහි එන්නට ඉඩ නොතැබූහ.
ඉන් තමාට යන්නට
තැනක් නැති බව කියමින් ඔහු නැඟණියට ආවේශ වූයේ වෙනත් තැනකට යන්නට පින් ලබාදෙන
ලෙස ඉල්ලීමට ය. මේ සිදුවීම අපට කියන්නේ අමනුෂ්‍යයන්ව උපන් මළවුන් අතර ද
ගැටුම් අසීමිත බව ය. ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙනු නොහැකිව සැනසීම, නිදහස
සොයා ජීවිතයෙන් සමුගන්නා අය ඊට පෙර මොහොතක් සිතා බැලිය යුතු ය. ඒ ජීවත්ව
සිටියාටත් වඩා සැහැසිකම් කරන්නන් මළවුන් අතර ද ඉන්නා බව ය.
විපත්ති කාරක ධර්ම, එසේත් නැතිනම් අකුසල කම් කළේ නම් මිය යන සියල්ලන්ට ද
සිදුවන්නේ මේ අමනුෂ්‍යයන් අතරට යාමට ය. මේ අමනුෂ්‍යයන් වෙසෙන්නේ ද ජීවත්වන
තම ඥාතීන් සමීපයේම ය. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ දී
දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දුරේ වසන්ති අවිදුරේ
භූතා වා සම්භවේසී වා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා...
ආදි ලෙස පෙනෙන සතුන්ට ද, නො පෙනෙන සතුන්ට ද, දුර සිටින සතුන්ට ද, ළඟ සිටින සතුන්ට ද
මෛත්‍රි කරන ලෙස දේශනා කළේ ජීවත්වන අප දෙස බලා සිටින මේ අමනුෂ්‍ය කොට්ඨාසයන්
ඇතුළු සත්ත්වයින්ට ය.
මේ අය ගේ නාමයට ජීවත්වන අප ආශිර්වාද කළ යුතු ය. කෙනෙක් ඕනෑම බයකට ලක් වන්නේ
මෛත්‍රි සහගත නොවුණේ නම් පමණි. සීලවන්ත නොවුණොත් පමණි.
තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන්, සියලු සතුන්ට මෛත්‍රිය කරනවා නම් කාගේත් ආදරය
මිස අකාරුණික බවක් ලැබෙන්නේ නැත. එවැනි පුද්ගලයා අමනුෂ්‍ය ආරූඪවලට ද බිය
නැත. ඒ සඳහා ඇවැසි චිත්ත ශක්තිය ඔහුට ඇති බැවිනි.
මිය ගිය ඥාතීන් වෙනුවෙන් ජීවත්වන අප පින් දහම් කොට ඒ පින් අනුමෝදන් කරන කල,
මෛත්‍රී සහගත වන විට, ඒ පින් ලැබ ගන්නා ඔවුහු ‘ජීවත්ව ඉන්නා අපේ ඥාතීන් චිරාත්
කාලයක් සුජීවත් වේවා’ යි (චිරං ජීවං තුනෝ ඥාති) ප්‍රාර්ථනා කරති. ඒ ආශිර්වාදය
ඉතා වැදගත් ය. එමෙන් අප ගේ මෛත්‍රී සහගත බවක්, පින් දීමක් නො ලැබෙන විටෙක අප ගේ
ජීවිත බිලි ගැනීමට වුව ද බලවත් වන අමනුෂ්‍යයෝ ද වෙති. ඊට හොඳම උදාහරණයක්
බුදුන් දවස අලව් නුවරින් හමුවේ. එනුවර මවුපියන් දෙදෙනෙක් දිනක් සිය එකම පුතු
සමඟින් බුදුරදුන් හමුවට යන්නේ උන්වහන්සේට වැඳ එකත් පසව සිටියහ. මවට හා පියාට
පමණක් ‘දීර්ඝායු වේවා’ යි ආශිර්වාද කළ බුදු හිමියෝ කුඩා කුමරුට එසේ ආශිර්වාද
නොකළහ.
විමතියට පත් දෙමවුපියන් බුදුරදුන්ගෙන් ඒ ගැන විමසන්නේ, මේ කුමරුට
යම් අමනුෂ්‍ය බලපෑමක් ඇති බවත් ඒ නිසා ම තවත් සතියකින් ජීවිතය හැර යන බවත්
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. හඬා වැලපුණ දෙමවුපියන් “අනේ මේ දරුවා
ජීවත් කළ නොහැකි දැ'යි විමසූ කල ‘මේ අය ජීවත් කළ නොහැකිය.’ මොහු නම් හැකිය’ යි
උන්වහන්සේ සඳහන් කළ හ. ‘මේ අය’ යැයි අර්ථවත් කළේ දරුවා කෙරෙහි අරක්ගත්
අමනුෂ්‍යයන් ය.
මේ සිදුවීමට අනුව කුඩා දරුවා අඩු වයසින් මිය යන්නේ කර්මය නිසා නොවේ.
අමනුෂ්‍යයන් ගේ බලපෑමකිනි. ඔවුන්ට පින් ලබා දී සුවපත් කළේ නම්, මෛත්‍රීය කළේ
නම් දරුවා බේරාගත හැකි බව උන්වහන්සේ විස්තර කළහ. ඉන්පසු අලංකාර පිරිත්
මණ්ඩපයක් තනවා දරුවා එහි තබා, භික්ෂුන් වහන්සේ පන්සිය නමක් ඒ මණ්ඩපය වටා වඩා
හිඳුවා, සතියක් මුළුල්ලේ ම පිරිත් දේශනා කළහ. ඒ පිරිත් දේශනයත් සමඟ දරුවාට
අරක්ගත් මිය ගිය ඥාතිහු මෛත්‍රි සහගත වූහ. සුවපත් වූ අය බවට පත්වූහ. දරුවා වෙත
වූ අමනුෂ්‍ය බලපෑම දුරු විය. එකල්හි බුදු රදහු මේ කුමරුට ‘දීර්ඝායු’ යැයි නම්
තැබූහ. ඒ කුමරු අවුරුදු සියයක් ඉක්ම වූ ආයුෂ ලැබුවේ ය.
මේ කතා පුවතින් අප තේරුම් ගත යුතු වන්නේ කුමක්ද? යම් පුද්ගලයකු ගේ උපන් දිනය,
උපන් වේලාව ඔහු වෙත අමනුෂ්‍ය බලපෑම් වන සුවිශේෂී අවස්ථාවකි. මේ බව නොදන්නා
බොහෝ දෙනා ඒ සුවිශේෂී දිනය සමරන්නේ මිතුරු මිතුරියන් ගෙන්වා මස් මාංශ උයා පිහා
කා සුරාවෙන් මත්ව සතුටු වීමට ය. වැඩි පිරිසක් වයස අවුරුද්දක තරම් බිලිදකු ගේ
පවා උපන් දිනය සමරන්නේ මෙලෙස ය. මෙහි ඇති අහිතකර බලපෑම ගැන ඔබ යම් තරමකට හෝ
සිතුවේ ද? නොදැනුවත්කමින් හෝ ඔබ කර ඇත්තේ ඔබගේ දරුවා වෙත අමනුෂ්‍යයන් ගෙන්වා
ගැනීම නොවේ ද? යහළු යෙහෙළියන්ට ආරාධනා කරන නියායෙන් ඔබ සිදු කර තිබෙන්නේ පුළුටු
උයා පිහා දරුවා සමීපයට පහසුවෙන් එන්නට අමනුෂ්‍යයන්ට ආරාධනා කිරීම ය.
උපන් දිනය වැනි සුවිශේෂී දිනෙක අපගේ සිත යොමු කළ යුතු වන්නේ, මූලිකත්වය දිය යුතු
වන්නේ, පින් දහම් කිරීමටය. ආගම ධර්මයේ ආශිර්වාදය ලබා ගැනීමට ය. එවිට
අමනුෂ්‍යයින් පවා අප කෙරෙහි මෛත්‍රි සහගත වේ. අප අතර සිට වෙන්ව ගිය ඥාතීන්ට
පින් දී ඔවුන් සුවපත් කිරීම තුළ ඔවුන්ගෙන් වන අහිතකර බලපෑම් ද දුරුවේ.
ආශිර්වාදය හිමි වේ.
උපන් දිනය වැනි සුවිශේෂී අවස්ථාවක පමණක් නොව අවබෝධයෙන් තේරුම් ගැනීමෙන්
ආගමානුකූලව ගුණධර්ම දියුණු කිරීමෙන් අමනුෂ්‍ය දෝෂ දුරුව යනවා මෙන් ම එවැනි
පුද්ගලයාට දෙවියන්ගේ ආශිර්වාදය පවා හිමිවන්නේ ය.
සංයුක්ත නිකායේ සක්කනමස්ස සත දේශනාවට අනුව දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා
වෛජයන්ත්‍ර නම් ප්‍රාසාදයෙන් පහළට බැස මනුෂ්‍ය ලෝකය දෙසට හැරී නමස්කාර කරන්නේ
ය. සක් දෙවිඳු ගේ රථාචාර්ය මාතලී මේ දැක ‘පින්වත් සක්‍ර දෙවිඳුනි’, ඔබ දෙව්
ලොවටම අධිපති වන්නේ ය. ඉදින් මේ වන්දනා කරන්නේ කවරෙකුට දැ'යි ඇසීය. එවිට සක්
දෙවිඳු මාතලී අමතා, ‘පින්වත, පින් දහම් කරමින් ගිහි ගෙදර ජීවත්වන, තිසරණ සරණ ගිය
සිල්වත් මිනිසුන් සිටී. ඔවුහු අඹුදරුවන් මනා කොට පෝෂණය කරති. ධර්මානුකූලව
ජීවත් වෙති. මම වන්දනා කරන්නේ ඒ මිනිසුන්ට යැයි කීය. ඔබ වඳින දෙවියන් ඔබට වඳින්නේ
එලෙස ය. මෙසේ දිවි පවත්නා ඔබගේ මෙලොව යහපත් ය. පරලොව ද සුවපත් ය. මරණින් පසු
අපායගාමී හෝ ප්‍රේත භූතා දී තත්ත්වවලට නො පැමිණෙන්නේ ය.
මේ ප්‍රේත භූතයන් පිළිබඳව ජීවත්වන අයගෙ වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ ද ඔවුන්
අප සමීපයේ ම, අප අතරේ ම ඉපදෙන හෙයිනි. මිනිසත් බවක් ලැබුව ද එලෙස ය. කුඩා
දරුවකු මිය ගියේ යැයි සිතන්න. ඒ අම්මාට, තාත්තාට ඒ දරුවා උවමනා නම් නැවත ගෙන්වා
ගන්නට පුළුවන් බව ඔබ දන්නවාද? ඊට හේතුව මේ ලෝක ධාතුවේ ඔහුට අදාළ කුසල අකුසල
ශක්තිය ඇත්තේ ඒ මවුපියන්ට ම වන බැවිනි. ගබ්සාවකින් කලලය ඉවත් කළ මවුපිය
යුවළකට නැවත දරු ගැබක් පිහිටවනවා නම් ඒ කලලයට විඤාණයක් ගෙන දෙන්නේ බොහෝ
විට පෙර ගැබ තුළ දීම විනාශයට පත් කළ දරුවාම ය.
කලලයකට විඤාණයක්, එසේත් නැතිනම් සිතක් සම්බන්ධ වූ මොහොතේ සිට ම ඒ දරුවාට මව
කරන කියන දේ දැනේ. ගැබ් දරු මවක් ප්‍රිය වචන ම බිණිය යුතු වන්නේ එහෙයිනි. එසේ තම
මව කරන කියන දේ ඇසෙන පෙනෙන දරුවෙක් ගැබ තුළ දී විනාශ කරනවා නම් දරුවාට ඒ වේදනාව
දැනේ. එය ශාපයක් බවට පත්වේ. ඒ දරුවා නැවත උත්පත්තිය ලබන්නේ දරුණු පුද්ගලයකු ලෙස
ය. යම් හෙයකින් එසේ දරු ගැබ විනාශ කළ මවකට නැවත දරු ගැබක් නොපිහිටියේ නම් ඊට
සමාන්තර කුසල අකුසල ශක්තියක් ඇති තැනක ඒ දරුවා උපත ලබයි.
අප ගේ ඇඟිලි සලකුණු පිහිටා ඇති ආකාරය නිරීක්ෂණය කරන්න. ඒවා කිසි කලෙක
එකිනෙකාට සමාන නොවේ. එෙමන් මවුපියන් ළඟට ආ දරුවා වෙනත් කෙනකු වෙත යන්නේ නැත.
ඇතැම් විට ඇඟිලි සලකුණු එක හා සමාන නොවුණ ද තරමක් දුරට සමාන වන අවස්ථා තිබේ.
එමෙන් පිළිසිඳගත් දරුවා මිය ගිය ද ඒ මවුගේ ම කුස පිළිසිඳ ගත නොහැකි නම්, ඒ ධනය,
ආදරය, කරුණාව දිය හැකි තවත් තැනකට ගමන් කරයි. මෙය ධර්මතාවයකි. අප විශ්වාස කළ
ද නොකළ ද සිදුවන්නේ එයයි.
ජීවත් වන අපගේ මතු ආත්ම කල්ප ගණනක් ඉදිරියට නිර්මාණය වී තිබේ. බුදුවරයන්
වහන්සේ ඔබ මේ ආත්මයේ මේ මේ ලෙස ඉපදෙනවා යැයි දේශනා කරන්නේ එහෙයිනි. අනාගතයේ
කවරෙක් ලෙස ඉපදිය යුතු ද යන්න තීරණය වී තිබේ නම් අප කුසල් කළ යුතු වන්නේ කුමට
ද? ඒ තවදුරටත් ඉදිරියට යන්නට ය. ඊළඟ ආත්මය ඔබට ගවයකු වී ඉපදෙන්නට නියම වී
තිබේ යැයි සිතන්න. එහෙත් කුසල් වඩා එය මඟ හැර ඉදිරියට ඇති යහපත් ආත්මයක් ලැබිය
හැකි ය. කුසල් කරන තැන ඉසුරුමත් බවක් සෑදේ. යම් හෙයකින් නිර්වාණාවබෝධය කළේ
නම් මේ ආත්මයේ ම බවය කෙළවර වේ. හේතුඵල ධර්මතාවය ලෙස හැඳින්වෙන්නේ මෙයයි.
සිතන්න. ගෞතම බුදු රජාණන් වහන්සේ සුමේධ නම් තාපසව, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට
පෙර දීපංකර බුදුරදුන් ඉදිරියේ නියත විවරණ ලැබුණ මොහොතේ ඔබ දිනෙක සිදුහත්
නමින් ඉපිද ගෞතම නමින් සම්මා සම්බුදු පදවිය ලබන බව උන්වහන්සේ දේශනා කළහ. සුමේධ
තාපසයන් ගේ ආත්ම බව කල්ප ගණනාවකට නිර්මාණය වී තිබූ සැටි ඉන් අවබෝධ වේ.
මේ සංසාරය නම් අප විසින් ම නිර්මාණය කරගෙන යන ගමනකි. බුදු රජාණන් වහන්සේ දේශනා
කළේ
‘ශුද්ධි අශුද්ධි පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤං විසෝදයේ’
තමන්ගේ පිරිසිදුකමට හෝ අපිරිසිදුකමට කිසිවෙක් වග නොකියන බවයි. එය කරගනු
ලබන්නේ තමන් විසින් ම බවයි. මහා බ්‍රහ්මයකු හෝ දෙවියකු නොව තමාගේ මැවුම්කරු තමාම
වන බවයි.
අහසින් වැටෙන කුඩා ජල බිඳිති ඇළ දොළවලට වැටී එක් රොක් වී ගලා යන වේගය වැඩි වෙනවා
සේ තමාගේ කර්ම ශක්තිය තමා විසින් ම ඇති කරගන්නා සැටි ඉන් විස්තර කෙරුණි.
මීට වසර ගණනාවකට පෙර සිදුවූ සුනාමි ව්‍යසනය ඔබට මතකද? එදා කළුතර ප්‍රදේශයේ
ජීවත්වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දියණියක ද දිය රකුසාට බිලි වුණි. ඇය
ගේ දෙමවුපියෝ බොහෝ දුකට පත්ව ඇය වෙනුවෙන් බොහෝ පින් දහම් කළහ. සාමාන්‍ය පෙළ
ප්‍රතිඵල නිකුත් වූදා ඔවුන් නැවතත් හඬා වැටුණේ තම දියණිය ඒ සාමාර්ථ දහයක් ලබා
විභාගය සමත් වී ඇති බව දැන ගැනීමෙනි. මේ දෙමවුපියන් දෙදෙන මා හමුවී තමා ගේ දුක
වේදනාව කීහ.
‘තව තවත් සිල්වත් වන්න. පින් දහම් හි නිරත වන්න. මෛත්‍රී කරන්න. කැපවෙන්න
ඔබගේ දරුවා නැවත මනුෂ්‍ය උත්පත්තියක් ලබන්නේ නම් ඔබ සොයා එනු ඇතැ'යි මම ඔවුන්
අස්වසා ලීමි.
තවත් වසරකට පසු මා හමු වූ මේ දෙමවුපියන් දෙදෙනා සතුටින් කියා සිටියේ තමන්ට
දරු ගැබක් පිහිටි බව යි. විශේෂත්වය නම් ඒ මව මේ වනවිටත් දරුවන් නොලැබීමට
සැත්කමක් ද කරගෙන තිබීම ය. එහෙත් ඔවුන්ට දස එකඩ මසකට පසු නිරෝගී දරු සම්පතක්
ලැබුණි. ඒ දියණියකි. මිය ගිය දියණිය ගේ ද ඇයගේ රුව, ගතිගුණ, දක්ෂතා සමාන ය.
සිතන්න. කැඩපතක් ඉදිරියේ ඇති වස්තුවක ප්‍රතිබිම්භය එහි පැහැදිලිව සටහන්
වන්නට නම් කැඩපත පිරිසිදු විය යුතු ය. දුහුවිලි නොබැඳී මල නොබැඳී කැඩපත
පිරිසිදුව තිබේ නම් නිසැකවම ප්‍රතිබිම්භය එහි වැටෙනු ඇත. එමෙන් මිය ගිය
දරුවන් තමන් වෙත ම ගෙන්වා ගන්නට නම් ඒ මවුපියන් පිරිසුදු විය යුතු ය. එය
මන්ත්‍ර බලයකින් හෝ ගුරුකමකින් කළ හැකි දෙයක් නොවේ. දරුවා ඔබ ළඟටම නම් ආවේ,
නැවතත් ඔබ වෙතම ආ යුතු ය. ඒ පාපයක් නොකළේ නම් දරුවාගේ කුසල් බලය ඇත්තේ ඔබ වෙත
රැදෙන්නට ය. එහෙත් ඒ සඳහා ඔබ ද සුදුසුකම් ලැබිය යුතු ය. දරුවා ලබාගෙන හදා වඩා
ගන්නට සුදුසු තත්ත්වයකට පත්විය යුතු ය. හරියට ප්‍රතිබිම්භයක් සටහන් වීමට
කැඩපත පිරිසිදු විය යුතු මෙනි.
ලබන සතියේ
බහිරව දෝෂ ඇත්තද බොරු ද? රමණී සුබසිංහ
|