දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මුවහත් දැලිපිහියක් වගෙයි හොඳ නරක ප්‍රතිඵල දෙකම තියෙනවා

මුවහත් දැලිපිහියක් වගෙයි හොඳ නරක ප්‍රතිඵල දෙකම තියෙනවා

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු

රොෂාන් චන්ද්‍රගුප්ත

“දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ” මේ කියමන වර්තමාන සමාජ සබඳතා ජාලය ගොඩනඟන අන්තර්ජාල, ෆේස්බුක් මෙන්ම ජංගම දුරකථන පරිහරණය කරන්නන්ට ද කදිම නිදසුනකි. ෆේස්බුක්වලට මිනීමරන්නට හැකිද? මීට කලකට පෙර ජංගම දුරකථන මිනී මරන්නට පටන් ගත්තේ මිස් කෝල් නිසාය. වඳුරා අතට දැලි පිහියක් පත්වන්නාක් මෙන් හරි හැටි ෆේස්බුක්, අන්තර්ජාල හා දුකරථන භාවිතා නොකළොත් ඉන් අත්වන ඉරණම ද ඛේදජනක විය හැක.

මේ සම්බන්ධව සිළුමිණ පුවත්පත හා එක්වන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතායි.

* වර්තමානයේ බොහෝ දෙනා කතාබහට ලක්කරන ෆේස්බුක් ඉතා හොඳ සමාජ ජාලයක් ගොඩනඟන මාධ්‍යයක්. මේ සම්බන්ධව අදහස් දැක්වුවහොත්..?

ඔව්. ෆේස්බුක් අපි හඳුනාගන්නේ ඉතා හොඳ සමාජ ජාලයක් ගොඩනඟන තාක්ෂණික අංශයෙන් ඉතා දියුණු මාධ්‍යයක් විදියටයි. නමුත් ෆේස්බුක් වලින් යහපත් ප්‍රතිඵල ලබාගත හැක්කේ එය නිවැරැදිව පරිහරණය කළහොත් පමණයි.

එදා පිටරටක සිටින අපේ නෑදෑයකුට අපේ විස්තර, ඡායාරූප යැව්වේ තැපෑල හරහායි. දින ගණනකට පසුවයි ඔහුගේ තොරතුරු හෝ ඡායාරූප අප වෙත ලැබෙන්නට සැලැස්වූවේ. ඒ එදා වුණත් අද එහෙම නැහැ. අද අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය හරහා ඉතා ඉක්මනින් තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසී තියෙනවා.

* කොහොමද ඔබ සඳහන් කළ ආකාරයට නිවැරැදිව ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන යන්නේ...?

ඔබ ඔබේ නමින් ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරනවා නම් එය නිවැරැදිව පරිහරණය කරන්නත්, නිවැරැදිව පවත්වාගෙන යන්නත් ඔබ කල්පනාකාරී විය යුතුයි. ඔබ ඔබේ නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් එයට ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කළ හැකියි.

ඔබ ඇතුළත් කරන ඔබේ පෞද්ගලික තොරතුරු මොනවාද? එය කුමන සීමාවක් දක්වා දිව යනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබයි. ඔබේ ගිණුමට ඔබේ නෑයන්, මිතුරන් ද, මිතුරන්ගේ මිතුරන් ද එකතු කරගත හැකි වුවත් ඒ සියල්ලම ඔබේ විශ්වාසදායී මිතුරන් ද, පුද්ගලයන් ද යන්න ඔබම තහවුරු කරගත යුතුයි.

* ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යාමේදී බොහෝ දෙනා සිදුකරන වැරැදි සඳහන් කළොත්...?

ෆේස්බුක් සම්බන්ධ ගැටලු විමසීමේදී අපට පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ අසීමාන්තිකව ඔබ පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කිරීමත් ඒවා මිතුරන් නොවන අය අතරට ද පත්වීම තුළ උද්ගතවන භයානක තත්ත්වයන්. ඔබ ඔබේ ෆේස්බුක් ගිණුමට එක්කරගත යුත්තේ තමන්ට විශ්වාසවන්ත මිතුරන් පිරිසක්. බොහෝ අය මිතුරන්ගේ මිතුරන් ද ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කර ගන්නවා. එය තරමක් භයානකයි.

ඔබ ඔබේ ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට දමද්දි එය කාට පෙන්වනවාද යන්න ඔබ නිවැරැදිව තීරණය කළ යුතුයි. ඔබේ පාසලේ ළමයින්ට පමණක් පෙන්වනවාද, නැදෑයන්ට පමණක් පෙන්වනවාද, නැතිනම් ෆේස්බුක් පහසුකම් ඇති සියලු දෙනාට දැකගන්නට සලස්වනවාද යන්න තීරණය කළ යුතුයි. ඔබේ ඡායාරූපය අනවශ්‍ය අය අතට පත්වුවහොත් අත්වන අනාරක්ෂාකාරී ගැටලු සහගත තත්ත්වය ඔබ වඩාත් හොඳින් අවබෝධ කර‍ෙගන මේ තීරණයට පිවිසිය යුතු බවයි මගේ හැඟීම.

* ෆේස්බුක් හරහා වංචාකාරී සිදුවීම් වීමට ඇති ඉඩකඩ ගැන සඳහන් කළොත්?

අපේ සාමාන්‍ය ජන ජීවිතයේ වංචාකාරී පුද්ගලයන් අනන්තවත් සිටිනවා. ඒ වගෙයි අන්තර්ජාලයේදී ද විවිධ වංචා කිරීම් සිදුවන්නේ. අන්තර්ජාල ෆේස්බුක් වංචාකරුවන්ට ඔබේ තොරතුරුවලින් ඔබ විනාශ කරන්නට ඉතා පහසුවෙන් පුළුවනි.

ඒ නිසා ෆේස්බුක් ගිණුමක් ඇති කිරීමේදීත්, එයට තොරතුරු හා ඡායාරූප ඇතුළත් කිරීමේදීත් ඔබ වඩාත් හොඳින් ආරක්ෂාකාරී ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. නිතරම ඔබේ තොරතුරු හා ඡායාරූප විශ්වාසවන්ත පිරිසක් අතරට පමණක් බෙදා දිය යුතුයි. ඒ සඳහා ඔබ සම්බන්ධ කරගත යුත්තේ ද ඔබ දන්නා විශ්වාසවන්ත පිරිසක් පමණයි.

* ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරීමට වයස් සීමාවක් පවතිනවා නේද?

ෆේස්බුක් නීති හා රෙගුලාසි වලට අනුව වයස අවුරුදු 13ට වැඩි ඕනෑම අයකුට ගිණුමක් ආරම්භ කළ හැකියි. ඒත් මේ සීමාවන් උල්ලංඝණය කරමින් විවිධ වයස් ප්‍රමාණ දක්වමින් අඩු වයස්වල අයත් ෆේස්බුක් පරිහරණය කරනවා. මෙය භයානකයි.

මේ ව‍ගේ වයස් සීමා පනවා ඇත්තේ ඔබ ආරක්ෂා කිරීම සඳහා බව කල්පනා කළ යුතුයි. මේ නිසා වයස අවුරුදු 13ට වඩා අඩු වයසක සිටින්නේ නම් ඔබ ගිණුමක් පවත්වාගෙන යාමට පෙලඹෙන්න එපා. අන්තර්ජාල, ෆේස්බුක් හරියට මුවහත් දැලි පිහියක් වගේ. හොඳ නරක ප්‍රතිඵල දෙකම ලබා ගත හැකියි. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු වයසක ඔබ සිටිය යුතු නිසායි මේ වගේ වයස් සීමා පනවා ඇත්තේ.

* නමුත් පසුගිය සිද්ධීන් හා සන්සන්දනයේ දී මේ වයස් සීමාවලට වඩා වැඩි අය අතරත් ප්‍රශ්න මතුවුණා..?

යමකු අවු. 20 හෝ 30ක වයසක සිටියත් ෆේස්බුක් නිවැරැදිව පරිහරණය කිරීමේ දැනුමක් නැත්නම් වඩා හොඳ දේ එය පරිහරණය නොකර සිටීමයි. මෙය පුද්ගල බද්ධ දෙයක්. හරි දේ තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

ඔබ හරිහැටි ෆේස්බුක් ගිණුමක් ආරම්භ කර තිබේ නම් ඔබ දමන තොරතුරු, පින්තූර, අදහස් පළකිරීම් නිවැරැදි ආකාරයට විශ්වාසදායී පිරිසක් අතරේ පමණක් සිදුකළ යුතුයි. ඒ තොරතුරු ෆේස්බුක් ගිණුම් ඇති සියල්ලටම ලබා දෙනවාද, තම යහළුවන්ට පමණක් ලබා දෙනවාද එසේත් නැතිනම් යාළුවන්ගෙන් තෝරාගත් පිරිසකට පමණක් ලබා දෙනවාද යන්න කල්පනා කළ යුතුයි. තමන් දමන පින්තූර, තොරතුරු පෞද්ගලිකත්වය මත අනවශ්‍ය අය අතට පත්වුවහොත් එයින් අත්වන භයානක ප්‍රතිඵල ද අත්විඳින්නට සිදුවන්නේ ඔබටමයි. කුඩා අතපසුවීමක් විශාල පසුතැවිල්ලකට හේතු විය හැකියි. එසේම නිතරම තමන් දමන ඡායාරූප, විස්තර තමන්ටම අවංකව කළ යුතුයි. එසේ නොවුණු තැන ද පසුතැවිල්ලට කරුණු යෙදිය හැකියි.

* බොහෝ අවස්ථාවල මේ තාක්ෂණය සම්බන්ධව මවුපියන් තුළ තිබෙන අඩු දැනුම්වත් බව නිසා දරුවන් නොමඟ යැවෙනවා නේද?

වර්තමානයේ බොහෝ මවුපියන් තුළ මේ නව තාක්ෂණය පිළිබඳව ඇත්තේ ඉතා අඩු දැනුම්වත් වීමක්. තම දරුවකු පරිගණකයක් ගෙනත් දෙන්නැයි කී සැණින් ගෙනත් දෙනවා මිස එයින් ගත හැකි ප්‍රයෝජන සමහර මවුපියන් දන්නේ නැහැ. තම දරුවා කරන්නේ කුමක්ද? යන්න මවුපියන්ට හරිහැටි තේරුම් ගත හැක්කේ මේ නවීන තාක්ෂණය ගැන මවුපියනුත් දැනුම්වත් නම් පමණයි.

නිතරම මවුපියන් තම දරුවන් කරන්නේ කුමක්ද යන්න අවදියෙන් සිටිය යුතුයි. ෆේස්බුක් පරිහරණය කරන ඔබේ දරුවාට තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පරිදි අනවශ්‍ය අයට නොදෙන්නට දරුවාට කියාදෙන්න. එම තොරතුරු ලබාදීමෙන් වන අහිතකර ප්‍රතිඵල ද කියාදෙන්න. යහපත් ආකාරයට භාවිතා කිරීමෙන් අත්වන යහපත් ප්‍රතිඵල ද කියාදෙන්න.

* අතිශය පෞද්ගලික තොරතුරු ෆේස්බුක් එකට ලබාදීම ගැන සඳහන් කළොත්?

සමහර ශිෂ්‍යයන් කරන ඉතා භයානක ක්‍රියාවක් වන්නේ තම අතිශය පෞද්ගලික තොරතුරු ෆේස්බුක් හරහා සැමට දැනගැනීමට සැලැස්වීමයි. තම පවුලේ උදවිය සමඟ විනෝද චාරිකාවක අහවල් දිනවල නිවෙසින් බැහැරව යන බව ෆේස්බුක් හරහා තම මිතුරන්ට පවසනවා.

නමුත් මින් සිදුවන්නේ ඒ දිනවල තම නිවෙසේ කවුරුත් නොමැති බව ඔහු වක්‍රාකාරයෙන් ලෝකයාටම ප්‍රකාශ කර සිටීමයි. මේ හරහා ඉතා පහසුවෙන් හොරෙකුට නිවෙසට පැමිණීමේ ඉඩකඩ පවතිනවා. ඒ නිසා ‍ ෆේස්බුක් සඳහා අදහස් ප්‍රකාශ කිරීමේදී ඔබ දුරදිග කල්පනා කළ යුතුයි.

* ෆේස්බුක් සම්බන්ධ ව්‍යාජ ගිණුම් ගැන සඳහන් කළොත්?

ෆේස්බුක් සම්බන්ධ ව්‍යාජ ගිණුම් පැමිණිලි පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වූ කරුණක් වන්නේ යමකුගේ පෞද්ගලික තොරතුරු එකතු කර ව්‍යාජ ගිණුම් හැදීමයි. විශේෂයෙන්ම ආදර සම්බන්ධයන් ගොඩනැඟීමට අකැමැති වූ අවස්ථාවලදී ඔහු හෝ ඇය අපහසුතාවයට පත් කිරීමට බොහෝ දෙනා ව්‍යාජ ගිණුම් හදනවා. නමුත් ඔබේ පෞද්ගලික දත්ත විශ්වාසදායී පිරිසක් අතරේ පමණක් හුවමාරු වුවහොත් මේ භයානක තත්ත්වයෙන් අත්මිදීමට ඔබට හැකියි.

* සමහර දරුවන් අධ්‍යාපන කටයුතු යැයි පවසා අසීමාන්තික ලෙස පරිගණකයේ නියැළෙනවා. මේ තත්ත්වය ගැන මවුපියන් අවධානයෙන් සිටිය යුතුයි නේද?

ඔව්. තම දරුවන්ට පරිගණකයක් අරන් දීමේදී දෙවැනුව මවුපියන් කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ එය සැම දෙනාම එහා මෙහා ගැවසෙන ස්ථානයක තබාගෙන වැඩ කිරීමට දරුවන්ට අණ කිරීමයි. තම දරුවා පරිගණකය කාමරයක තබාගෙන රාත්‍රි එක, දෙක වනතෙක් එහි නියැළී සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඔහු අනවශ්‍ය දේවලට පෙලඹිය හැකියි.

අධ්‍යාපනය ලැබීම කියන්නේ පරිගණකය පරිහරණයම නොවෙයි. පරිගණකය භාවිතා කරමින් අධ්‍යාපනයේ යෙදීමට නිශ්චිත වේලාවක් දරුවාට ලබා දිය යුතුයි. නිවසේ සාලයේ තබාගෙන සැමදෙනාම අවදියෙන් සිටින පැයක, දෙකක කාලයක් ඒ සඳහා ලබා දුන්නොත් බොහෝ දුරට වන කරදරවලින් අත්මිදීමට හැකියි.

* දරුවන්ට ආරක්ෂිතව පරිගණකයේ අන්තර්ජාලය පිරික්සීමට හැකියාව ලබාදිය හැක්කේ කෙසේද?

මේ කරුණත් අන්තර්ජාලය පරිහරණය කරන නිවෙස්වල මවුපියන්ට ඉතා වැදගත්. ඔබ ඔබේ දරුවාට අන්තර්ජාල පහසුකම් ලබා දීමේදී ඒ සඳහා සේවා සපයන ආයතනයෙන් අන්තර්ජාල ප්‍රේරණ පහසුකම් (web filtering) ලබා ගන්නට උත්සාහ කරන්න.

ඔබ තෝරා ගත් සේවා සපයන ආයතනයෙන් ඒ සඳහා පහසුකම් තිබේද, කුමන අඩවි ප්‍රේරණය කර ගත හැකිද යන්න විමසීමක් කර යම්කිසි මුදලක් ගෙවා අනවශ්‍ය අඩවි ප්‍රේරණය කර අන්තර්ජාල පහසුකම් ලබාගන්න.

එසේ වුවහොත් අන්තර්ජාල හරහා ඔබේ දරුවාට වන උපද්‍රව බොහෝ දුරට අඩු කරගත හැකි අතර බියක් නොමැතිව අන්තර්ජාලය පරිහරණය කරන්නට ද අවස්ථාව ලබා දිය හැක. ඒ පහසුකම් දැනටමත් ලබා නොගත් ‍මවුපියන් ඇත්නම් අමතර වැය වන මුදල ගැන නොසිතා ඉතා ඉක්මනින් ඔබ සේවා සපයන ආයතනය හා සම්බන්ධ වී අවශ්‍ය ප්‍රේරණ පහසුකම ලබා ගන්න.

* වත්මන් පාසල් දරුවන් අතර ජංගම දුරකථන ජනප්‍රියයි. මේ තත්ත්වය අති භයානකයි නේද?

ඔව්. ෆේස්බුක් වගේම පසුගිය කාලයේ මරණ කිහිපයකටම පසුබිම් වූයේ ජංගම දුරකථනයි. පාසල් දරුවන්ට ජංගම දුරකථන තහනම්. හොරෙන් හෝ ජංගම දුරකථනයක් පාසලට ගෙනගොස් අසුවුවහොත් පාසල් ගමන ද එතැනින් හමාර වෙන්න පුළුවන්.

ඒ නීතිය තවමත් පාසල්වල අකුරට ක්‍රියාත්මක වන ‍නිසායි පාසල් තුළ ජංගම දුරකථන ඛේදවාචක මෑත කාලයේ දී අසන්නට නොලැබුණේ. නමුත් පාසල් වේලාවෙන් පිටත අමතර පන්ති යන පාසල් දරුවන් අත නම් ජංගම දුරකථනයක් නොරැඳෙන්නේ කලාතුරකින්.

දරුවාගේ ආරක්ෂාව පතා මවුපියන් ජංගම දුරකථන‍යක් ළමුන් අතට පත් කළත් එයම දරුවාගේ අනාරක්ෂාවට හේතුවන අවස්ථා ඕනෑතරම්. ප්‍රායෝගික අවශ්‍යතා මත දරුවන්ට ජංගම දුරකථන ලබා දීමේදී ඉතා අඩුපහුකම් සහිත ජංගම දුරකථනයක් ලබා දීමට උත්සුක වන්න.

විශේෂයෙන් අංක කිහිපයකට පමණක් කතා කළ හැකි, අංක කිහිපයකින් පමණක් දුරකථන පණිවුඩ එන දුරකථන සබඳතාවක් ලබාදීමට හැකි නම් ‘මිස් කෝල්’ හරහා වන අනවශ්‍ය ගැටලු ද ඇති ‍ෙනාවීමට ද පුළුවන. එවැනි පැකේජ පාසල් දරුවන්ට හඳුන්වා දීමට සේවා සපයන ආයතන වලට හැකි නම් එය මවුපියන්ට මහත් සහනයක්.

කැමරා, අන්තර්ජාල, ආදී පහසුකම් සපිරි දුරකථන පාසල් දරුවන්ට කිසිසේත් අනවශ්‍යයයි. බොහෝ දරුවන් කැමරා සහිත දුරකථන මඟින් තැන නොතැන බලා ඡායාරූප ගන්නවා. ඒවා අනවශ්‍ය අය අතට පත්වුවහොත් වන තත්ත්වය ද ඊට වඩා භයානකයි.

* කොහොමද අපි ආරක්ෂිතයි හැඟෙන අපේ දුරකථන හා පරිගණක ගත තොරතුරු වෙන අය අතට පත්වෙන්නේ..?

ඔබේ දුරකථනයේ, පරිගණකයේ ඇති ඡායාරූප, දත්ත නොදැනුවත්වම වෙන අයකු අතට පත්විය හැකියි. ඔබ දන්නා නමුත් කල්පනා නොකරන උදාහරණ මෙසේයි. ඔබේ ජංගම දුරකථනය ඔබ අතින් නැතිවුව හොත් එය අනිවාර්යයෙන්ම ඔබ නොදන්නා පිටස්තරයකු අතට පත්විය හැකියි. ඒ හරහා ඔබේ තොරතුරු, ඡායාරූප පිටස්තරයකු අතට පහසුවෙන් පත්වෙන්න පුළුවන්.

දෙවැනි උදාහරණය තමයි ඔබේ දුරකථනය හෝ පරිගණකය කිසියම් දෝෂයක් නිසා නොදන්නා ආගන්තුක තැනකට අලුත්වැඩියාවට ලබා දුන්නහොත් එමඟින් එහි තොරතුරු ඡායාරූප වෙන අය අතට පත්වීම. අද නවීන තාක්ෂණය අති දියුණුයි. ඔබ ළඟ සිට එය අලුත්වැඩියා කළත් තාක්ෂණය දන්නා අයකුට තත්පර ගනණකින් ඔබ නොදැනුවත්වම ඒ අන්තර්ගත තොරතුරු සොරා ගත හැකියි. ඔබේ දුරකථනයේ, පරිගණකයේ ඇති ඡායාරූප තොරතුරු ඇත්තේ ඔබ ළඟ පමණක් යැයි ඔබ සිතා සිටියත් ඉහත ක්‍රම හරහා වඩා පහසුවෙන් වෙන අය අතට පත්වී විශාල අපහසුතාවයකට ලක්වීමට ද ඔබට සිදුවිය හැකිය.

* අනවසරයෙන් ෆේස්බුක් ගිණුමකට ඡායාරූපයක් ඇතුළු කර ඇත් නම් එය ඉවත් කරගත හැකිද?

අන්තර්ජාලයට පින්තුරයක් යොමු කිරීමේදී ඔබ මේ ගැනත් දැනගත යුතුයි. තනි පුද්ගලයකුගේ ඡායාරූපයක් නම් ඔහුගේ තනි පැමිණිල්ලක් මත එය ඉවත් කළ හැකියි. ඒ ඔබ නොදැනුවත්ව වෙන කෙනකු ඔබේ පින්තූරයක් අනවසරයෙන් ෆේස්බුක් එකට දමා ඇත්නම්.

නමුත් මේ ආකාරයෙන් යමකු සමූහ පින්තූරයක් ෆේස්බුක් එකට දමා ඇත්නම් එය ඉවත් කිරීම තරමක් අපහසුයි ඡායාරූපයේ පෙනී සිටින සියලු දෙනාම ඒ සඳහා පැමිණිලි කළ යුතුයි. ඡායාරූපවල මෙවැනි ගැටලු මතුවන්නේ ඔබ ඡායාරූප අනවශ්‍ය අය අතට පත්වීම තුළිනුයි.

ෆේස්බුක් හි නීති රෙගුලාසි කඩකරන ඡායාරූප නම් එය අවලංගු කිරීම පහසුයි. එසේම ඡායාරූපයක් හරිහැටි පරිහරණය නොකිරීම මෙන්ම අන්‍යයන්ට එමඟින් හිරිහැර නොවන පරිදි කටයුතු කිරීම එය පරිහරණය කරන පුද්ගලයාගේ වගකීමක් වෙනවා.

යම් යම් ප්‍රසිද්ධ කාන්තාවන් නිරූපණ ශිල්පයේ දී සිය ඡායරූප විශාල මුදලකට විකිණුවහොත් එහි අයිතිය සතුවන්නේ මුදල් ගෙවා ලබා ගත් පුද්ගලයාටය. ඔහු ඒ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත්නම් ඡායාරූපයට පෙනී සිටි පුද්ගලයාට එය ඉවත් කිරීම අපහසුයි. තම අවසරයකින් තොරව මේ ඡායාරූප මුදාහැර ඇති බවට පැමිණිලි කළත් අයිතිය තහවුරු කිරීමේ ගැටලුව මත එවැනි දෙයක් ෆේස්බුක් වලින් ඉවත් කළ නොහැකි වෙනවා.

* SLCERT ආයතනයෙන් මේ සඳහා උදවු උපකාර පැතිය හැකියි නේද?

බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පිහිටුවා ඇත්තේද මෙවැනි තොරතුරු පද්ධතීන් සම්බන්ධව පුද්ගල ආරක්ෂාවට කටයුතු කිරීමටයි. විශේෂයෙන්ම ෆේස්බුක් හි අන්තර්ගත අනවශ්‍ය දත්ත, ඡායාරූප පිළිබඳ යමකු පැමිණිලි කළහොත් ශ්‍රී ලංකා CERT ආයතනය ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා CERT ආයතනයේ දුරකථන අංක 0112691692 හරහා දැනුවත් කිරීමෙන් මේ සහනය ඔබට ලබාගත හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්