X
Loading Image...
 
 

දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සිළුමිණ: විශේෂාංග - අපේ යුගයේ මහා විශ්වකර්ම හාමුදුරුවෝ බෙල්ලන්විල සෝමරතන හිමියෝ

අපේ යුගයේ මහා විශ්වකර්ම හාමුදුරුවෝ බෙල්ලන්විල සෝමරතන හිමියෝ

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ

පන්සිල් දෙන මිහිරි හඬක් පාර අද්දර තුරු ගොමුවක් යටින් නැඟිණ. පාරේ වැඩම කරමින් සිටි බෙල්ලන්විල විහාරාධිපති ආභිධම්මික වෑ‍බඩ සංඝරතන හිමියන්ට ‍ඒ හඬ ඇසිණ. උන්වහන්සේ තුරු ගොමුව යට බිම හිඳගෙන සිටි ළමයින් කීපදෙනකු දැක ඒ අසලට වැඩියහ.

එක් ළමයෙක් ලොකු රෙද්දක් පොරවාගෙන කොට්ටම්බ කොළයක් වටා පතක් සේ තබාගෙන පන්සිල් දෙයි. ඉන්පසු ඒ ළමයා ගාථා කීපයක් ද කීවේ ය. කනට මිහිරි ය. හිමියන්ගේ සිත දරුවාට ඇදිණ.

“හා! කොට්ටම්බ ස්ථවිරයෝ ගාථා කියල ඉවරද?” හිමියෝ ඇසූහ.

සියලු දෙනාම නැගිට හිමිපාණන්ට වැඳ නමස්කාර කළහ.

මේ පන්සිල් දුන් ළමයා තමාගේ ගිහි සහෝදරයා වන විලියම් පෙරේරා අප්පුහාමිගේ පුතා බව හිමියන්ට සිහිවිය.

‍හොඳයි... හොඳයි. කොට්ටම්බ ස්ථවීරයො ගාථා කියවපු හැටි හොඳයි... කියා හිමියෝ පන්සලට වැඩියහ. මුළු ගමම ඉන්පසු මේ දරුවා ඇමතුවේ ‘කොට්ටම්බ ස්ථවිර’ නමිනි. පසුකලෙක මේ ‘කොට්ටම්බ ස්ථවිරයෝ “බෙල්ලන්විල විහාරය සියලු විහාරාංගවලින් පිරිපුන් ශ්‍රී ලංකාවේ අග්‍රතම ආරාමයක් බවට පත් කළ, නුවර පෙරහරට පමණක් දෙවන වන සිංහලයේ සාම්ප්‍රදායික කලාව පණ ගන්වන වාර්ෂික මහ පෙරහරක් සංවිධානය කළ, උතුම් බුදු පුතුන් සසුනට පුද කළ පන්සල මෙන් ගම ද තැනූ, දෙස් විදෙස්වල ලක්මවට කීර්තියක් අත් කරදුන් ශ්‍රේෂ්ඨ සංඝපීතෲවරයකු බවට පත්වූහ.

ඒ බෙල්ලන්විල රජමහා විහාරය, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරය, දිවුල්පිටියේ බෝධිරාජාරාමය යන විහාරත්‍රයාධිපතිව වැඩ සිටි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී සිද්ධාර්ථ වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී බෙල්ලන්විල සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

*****************************

බෙල්ලන්විල සෝමරතන හිමියන්ගේ ගිහි නම ඕමත්තගේ ජෝන් පෙරේරා ය. ‍ජෝන් ගේ පියා බෙල්ලන්විල දක්ෂම ගොවියා වූ ඕමත්තගේ විලියම් පෙරේරා අප්පුහාමි ය. මව මේරිනෝනා හාමිනේ ය. ඒ දෙදෙනාට දරුවෝ නව දෙනෙකි. ජෝන් හයවැන්නා ය. ඔහු ඉපදුණේ 1905 ඔක්තෝබර් 01 වැනිදා ය.

අත්තිඩිය බෞද්ධ මිශ්‍ර පාස‍ලේ පස්වැනි පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ ජෝන් පන්තියේ දක්ෂතම ශිෂ්‍යයා ය. ලොකුම චණ්ඩියා ය. ගාථා කවි ගණිත චක්‍ර කටපාඩම් කිරීමේදී ද ලිවීමේ ද කියවීමේ ද ඉහළ ම දක්ෂකම් පෑ ඔහු ළමයින් සමඟ රණ්ඩු කිරීමෙන් ද ප්‍රකට විය. ඉගෙනීමේ සමත්කමට තෑගි ද, රණ්ඩු කිරීමට වේවැල් පහර ද ඔහුට ලැබිණි.‍ චණ්ඩි වැඩ අඩු වී අවුරුදු 12, 13 වනවිට ඔහු තැන්පත්, නිවුණු දරුවකු බවට පත් විය.

‘කොට්ටම්බ ස්ථවිරයෝ’ නමින් ගමේ ප්‍රකට ව සිටි ජෝන් පෙරේරා බෙල්ලන්විල සෝමරතන නමින් 1920 ඔක්තෝබර් 20 වැනිදා ආභිධම්මික පූජ්‍ය වෑබඩ සංඝරතන හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි විය.

සෝමරතන සාමනේරයන් වහන්සේ බෙල්ලන්විල පන්සලේ දී වෑබඩ හිමි සෙවණේ ධර්ම ශාස්ත්‍ර හදාරමින් ටික කලක් ගත කළ හ. ප්‍රදේශයේ මහා වියතකු, ධර්මධරයකු වූ වෑබඩ හිමියන්ට සිය ශිෂ්‍යයා සතු ඉගෙනීමේ සපන්කම් හොඳින් පෙනිණ. වෑබඩ හිමියෝ සිය ශිෂ්‍යයා රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනට ද පසුව මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ද ඇතුළු කළහ. පිරිවෙන්පති වූයේ කහවේ රතනසාර නාහිමියෝ ය. සෝමරතන හිමියෝ කුකුල්නාපේ දේවරක්ඛිත හිමියන්ගේ ඇසුරේ අධ්‍යාපනය ලැබූහ. අප හිමියෝ විද්‍යෝදය පිරිවෙනේ වැඩිම ලකුණු ගත් ශිෂ්‍යයෙක් විය.

වෑබඩ නා හිමියන් වියපත්ව, දුබලව, රෝගීව ගෙවන දුක්මුසු ජීවිතය සෝමරතන හිමියනට පෙනිණ. පන්සලට පැමිණ ගෙවන කාලයෙන් වැඩි කොටසක් වෑබඩ හිමියන් අසල රැඳී සිටීමට සිදුවිය. පි‍රිවෙන් යනවිට මගේ ගුරු හිමි අසරණ වෙනවා. සෝමරතන හිමියෝ කම්පාවට පත්වූහ.

“මගේ යුතුකම මේ වෙලාවේ ගුරු හිමි රැකගැනීමයි. පිරිවෙන් ගමන නැවතිණ. බෙල්ලන්විල පන්සලට පැමිණි විද්‍යෝදය පිරිවෙන් ආචාර්ය කුකුල්නාපේ දේවරක්ඛිත හිමි

“මේ උන්නාන්සේ මහ පඬිවරයකු වී අනාගතයේ සසුනට මහ එළියක් දෙනවා ඇති. පිරිවෙන් ගමන නැවත පටන් ගන්න කියන්න” වෑබඩ හිමියනට කීය.

“සෝමරතන, ඉගෙනීමේ වැඩ කරගන්න. මා ගැන ඒ තරම් හිතන්න ඕන නැහැ” වෑබඩ හිමියන්ගෙන් කියවුණ ද සෝමරතන හිමියෝ යළි පිරිවෙනට නොවැඩිය හ.

බෙල්ලන්විල විහාරස්ථානයට අයත්, තවත් ආරාම කීපයක් විය. එයින් අත්තිඩියේ මාලිගාවත්ත විහාරස්ථානය රැකබලා ගැනීමට ද අප හිමියනට සිදු විය.

1945 ජූලි 06 වැනිදා වෑබඩ සංඝරතන නාහිමියෝ අපවත්වී වදාළහ. උන්වහන්සේගේ ශිෂ්‍යයකු වූ අස්ගිරියේ දේවරක්ඛිත හිමියෝ බෙල්ලන්විල විහාරාධිපති වූහ. එහෙත් වසරකට පසු ඒ හිමියෝ ද රෝගාතුරවී අපවත් වූහ. සෝමරතන හිමියනට 1946 දී විහාරාධිපති තනතුර බාර ගැනීමට සිදුවිය.

“එදා බෙල්ලන්විල විහාරස්ථානයේ පැවැතුණේ ජරාවාස වූ, පැත්තක් ගරා වැටීමට පටන් ගත් ලැටිස් ගැසූ සංඝාවාසයකි. යටලී සහ පරාළ කුරුමිණියන් විදීම නිසා අබලන් වූ වහලින් යුතු පෝය සීමාවකි. අඩි තුනක් තරම කොට බිත්ති බැඳි අට පට්ටම් හැඩයෙන් යුතු පරණ ධර්ම ශාලාවකි. බෝධීන් වහන්සේ යට පිහිටි කුඩා ගොඩනැඟිල්ලේ විෂ්ණු කතරගම දේවාල දෙක ද අදත් ඇති කුඩා බුදු මැදුරක් ද විය.”

සෝමරතන හිමියන් විහාරාධිපති වන විට බෙල්ලන්විල විහාරයේ පැවැති තත්ත්වය 1947 සිට 1967 දක්වා ඒ ආරාමයේ වැඩවිසූ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මැදගම වජිරඥාන හිමියෝ පවසති.

බෙල්ලන්විල ධම්මරතන හිමි

එදා බෙල්ලන්විල ගමේ පැවැති තත්ත්වය ද වජිරඥාන හිමියෝ මෙසේ දක්වති.

“සැලකිය යුතු ආදායමක් ලැබූ අධ්‍යාපනයක් ලැබූ අය ගමේ සිටියේ අතළොස්සකි. වැඩි දෙනා කම්කරුවෝ ය. දුප්පත්කමත්, නූගත්කමත් නිසා දුසිරිතට ඔවුහු ඇබ්බැහිවූහ. ගව වසංගත, බෝවන රෝග ගමේ බහුල විය.”

නව විහාරාධිපති සෝමරතන හිමියෝ “ආරාමයේත්, ගමේත් තත්ත්වය යහපත් අතට වෙනස් කරමි” යන තිර අදිටනින් යුතුව වැඩ ඇරැඹූහ.‍

උන්වහන්සේ පොළොන්නරුවේ වන්දනාවේ යෙදුණහ. පොළොන්නරුවේ ජේතවනාරාමය අප හිමියන්ගේ සිත් ඇදගති.

“බෙල්ලන්විලත් මෙබඳු විහාරයක් කරමි” යි එදා උන්වහන්සේ අදිටන් කළහ.

“පන්සලේ වැඩ වෙසෙන හිමිවරුන්ට උදේට ආප්ප වැළඳීමට තරම්වත් වත්කමක් ඒ පන්සලට නැහැ. ඉතින් කොහොමද ජේතවනාරාමය වැනි විහාරයක් හදන්නේ.”

අප හිමියන්ගේ සිත තුළ මෙබඳු සැක සංකා, ගැටලු මතුවූයේ නැත. මාසයකට දෙකකට පසු උන්වහන්සේ පාණදුරේ අළුබෝමුල්ලේ ජෝකීනු බාස් උන්නැ‍හේත් සමඟ යළි පොළොන්නරුවට වැඩියහ. බාස්උන්නැහේ ද ජේතවනාරාමය නරඹා සිතෙහි සැලසුමක් ඇඳගත්තේ ය. ඔහු නා හිමියනට ගැළපිණ.

මේ මහා විහාරය සඳහා අගමැති ඩී.ඇස්. සේනානායක මහතා මුල්ගල් තැබුවේ ය. ගොඩනැඟිල්ලේ අඩක් තැනිණ. හිමියන්ගේ සිතට එය මදි විය. අඩ කැඩිණ. යළි පුළුල් ව තැනිණ. බාස්ලාට ඉඩ දී උන්වහන්සේ කුටියට වී සැතැපුණේ නැත. වැඩ බිමේ, වැඩ කරන අය අතර රැඳුණාහ. විහිළු කතා බහේ යෙදෙමින් වැඩ දෙසම බලා සිටියහ. මේ නිසා අඟලක දශමයක දොසකට ඉඩක් ඉදිකිරීම් වැඩවල නැති විය.

ඉතා උසස් කලාත්මක බිතු සිතුවම්වලින් ද, අගනා ප්‍රතිමාවලින් ද යුතු දර්ශනීය විහාර මන්දිරයත් ධාතු මන්දිරයත් දෙමහල් ධර්ම ශාලාවත් දේව මන්දිරයත් දෙමහල් ආවාස ගෙයත් විශාල මකර තොරණත් ශ්‍රී ලංකාවේ උසස් ම නිර්මාණ විය‍.

විහාරය සඳහා ගඩොල් නවලක්ෂයක් වැය විය. බාර හාර සඳහා දේවාලයට පිදුණු මුදලින් ගඩොල් ලක්ෂයක් මිලදී ගැනිණ. අනෙක් අටලක්ෂයම සැදැහැවතුන් කළ පරිත්‍යාගය. වැඩ ඇරඹුණේ අතේ සතේ නැතිවය. එහෙත් මුදල් ප්‍රශ්න මත වැඩ නැවතුණේ නැත. මහා දානපති ශ්‍රීමත් සිරිල් සොයිසා, ජෝජ් ජයසූරිය වැනි උගතුන්ගේ අත ද බෙල්ලන්විලට ලැබිණ.

“මේ විශාල විහාරය හදන්නේ ඉංජිනේරු උපදෙස් ඇතිවද?” ශ්‍රීමත් සිරිල් ද සොයිසා අප හිමියන්ගෙන් ඇසූහ. හිමි නිහඬව සිටියහ. පසුදා ම සිරිල් ද සොයිසා මහතා අතිදක්ෂ ඉංජිනේරුවකු බෙල්ලන්විලට එවූයේ ය.

“ඉංජිනේරුවකුට ඇද කුද හොයන්න ඉඩ තියල හාමුදුරුවෝ වැඩ කරල නැහැ.” ඒ ඉංජිනේරුවෝ ගොඩනැඟිලි පරික්ෂා කිරීමෙන් පසු කීවේ ය.

බෙල්ලන්විල සෝමරතන නාහිමි පිළිරුව

බෙල්ලන්විල බෝධියත්, දේවාලයත් මහා අනුහස් ඇති තැන් ය යන මතය පෙර සිට පැවැතිණ. නව ඉදිකිරීම්වලින් පසුව ඒ මතය රට පුරා පතළ විය. දිනපතා මහ සෙනඟක් බෙල්ලන්විලට ඇදෙන්නට විය. බෙල්ලන්විල ගමේ පැවැති ලෙඩ රෝග, වසංගත දුරු කිරීමට උන්වහන්සේ සති පිරිතක් සහ පෙරහරක් වාර්ෂිකව පැවැත්වීමට සිතූහ.

පළමු වන සති පිරිතෙන් හා පෙරහරෙන් පසු බෙල්ලන්විලට අලුත් කලඑළියක්, ශාන්තියක් උදා වූ බව පෙනිණ.

නින්දගමක් නැති, ආදායමක් නැති බෙල්ලන්විල පන්සල වාර්ෂික මහ පෙරහරක් පවත්වන්නේ කෙසේ දැයි ඇතැම් දායකයෝ ඇසූහ.

හිමියෝ සිනාසුනාහ.

“වැ‍ෙඩ් පටන් ගන්න එකයි අවශ්‍ය. ඉන්පසු අනිත් සියලු කටයුතු කෙරෙයි. ඊට අවශ්‍ය මුදල් ද ලැබෙයි.”

උන්වහන්සේ පසුව පිළිතුරු දුන්හ. එය එසේ ම විය. 1950 දී මුල් ම ඇසළ පෙරහර පැවැත්විණ. දිවා රෑ නොනිදා මහ වෙහෙසක් දරා අප හිමියෝ සාර්ථක පෙරහරක් රටට පෙන්වූහ. ඇතුන්ට ඇඳුම් තැනීමට මුදල් නැති විය. උන්වහන්සේ හබරල පිතිවලින් අලි ඇඳුම් තැනූහ.

වසරින් වසර පෙරහර දියුණු විය. අපට උරුම චිත්‍ර, මූර්ති කලාව විහාරයෙන් ප්‍රදර්ශනය කළ අයුරින් ම අපට උරුම නැටුම්, ගැයුම් කලාංග පෙරහරින් විදහා දැක්වීමට අප හිමියෝ සමත් වූහ. සියයකට වැඩි අලි ඇතුන්ගෙන් පෙරහර සැදිණ. පෙරහර දිනවල හාල් සේරු පන්සියයක පමණ බත් මහ කල්දේරම්වල තැම්බිණ. මිනිසුන් බඩ කට පුරා කා බී සිටිනු දැකීම උන්වහන්සේගේ ලොකුම සතුටත් විය. 1953 වනවිට බෙල්ලන්විල ඇසළ මහ පෙරහර දෙවැනි වූයේ මහනුවර දළදා පෙරහරට පමණි.

දුසිරිතෙන් අග තැන්පත් බෙල්ලන්විල ගම සුසිරිතට යොමු කිරීම සඳහා උන්වහන්සේ දහම් පාසලක් ඇරැඹූහ.

ඒ ශ්‍රී සෝමරතන දහම් පාසලයි.

“අපි මුලින් ම ගමේ ළමා පරපුර හදමු. ඔවුන් හරහා වැඩිහිටි පරපුරට ළංවෙමු.”

උන්වහන්සේම දහම් පාසල් ශිෂ්‍යයනට පොත්පත්, ඇඳුම්, ආහාර පාන ලබා දුන්හ. දහම් පාසල ද ඉක්මන් දියුණුවක් ලැබීය. විහාරස්ථානයට නුදුරින් අප හිමියෝ පාසලක් ද ඇරැඹූහ.

එය සෝමරතන විද්‍යාලයයි. ගමට ඉංග්‍රීසි දැනුම ලබාදීම සඳහා රාත්‍රි ඉංග්‍රීසි පාසලක් ද ඇරැඹිණි.

දිවයිනේ සෑම පළාතකින් ම සිය ගණන් දහස් ගණන් බැතිමතුන් මේ ආරාමයට ඇදී ඒමත් සමඟ ගමේ ආදායම ද සරු විය. බණ - පිරිත් - පෙරහර සමඟ, සාධු ජන ඇසුර සමඟ ගම දුසිරිතෙන් සුසිරිතට මාරු විය.

අප හිමිපාණන්ගේ අරමුණු ඉටු විය.

“මට වුවමනා සතුටින්, දැහැමින්, ජීවත් වන ජනකායක් දැකීම...”

උන්වහන්සේ වෙදකම ද හැදෑරූ ය. අතිදක්ෂ පාරම්පරික සිංහල වෛද්‍යවරුන් ඇසුරු කොට ලැබූ දැනුම මිල මුදලට මාරු නොකළ අප හිමියෝ සියලු තෙල් වර්ග නිපදවූහ. බෙහෙත්, කුඩු, කල්ක, අරිෂ්ට, ආසව නිපදවූහ. ඒ සඳහා බොහෝ මුදල් වැයවිය. ගිහි පැවිදි රෝගීන් සඳහා නොමිලයේ සැපයූහ.

අසරණ මහල්ලන් උන්වහන්සේට සිය දුක කී අවස්ථාවල උන්වහන්සේ ඒ ඇත්තන් තමා සමීපයේ රඳවා ගෙන ආහාර පාන, ඇඳුම් - බේත්, නවාතැන් සැපයූහ. ඔවුන්ගේ අවමඟුල් කටයුතු ද චාරිත්‍රානුකූලව ඉටු කළ හ.

ආරෝහපරිනාහ සම්පන්න දේහයකින්, මහේශාක්‍ය පෙනුමකින් මහ පෞරුෂයකින් හෙබි මේ විහාරාධිපති වහන්සේ රළු ගොරෝසු කෙනකු ලෙස ඇතැමුණට පෙනිණ. එහෙත් උන්වහන්සේ ගේ සිත මුදු මොළොක් බවින් මුළු ලොවට ම පොදු මෛත්‍රියෙන් පිරී තිබිණ.

ඇසළ පෙරහරට ආරාධිත අමුත්තකු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතා එක් වරක් පැමිණියේ ය. ඔහුට ආරාධනා කිරීම නො ඉවසූ එක් පුද්ගලයෙකු අප හිමියනට අවමන් කළහ.

ඔහු බෝතලේ වලව්වෙන් පෙරහරට ඇතුන් සපයන්නා ය.

“මේ පෙරහරට ඩඩ්ලිගෙ ඇත්තු ගේන්න දෙන්නෙ නැහැ. ඇයි ශ්‍රී ලංකා කාරයො ගෙන්නුවේ.”

මහ පිරිසක් මැද ඔහුට කළ නිග්‍රහය නිසා ගුරු හිමියන් ඔහුට පහර දෙතියි ශිෂ්‍ය හිමිවරු සිතූහ. යෝධ සවිබල පිරි හිමියන්ගේ අතකින් පහරක් වැදුණේ නම් ඒ පුද්ගලයා යළි නොනැඟිටින සේ ඇද වැටෙනු ඇත.

අප හිමියෝ ඉවසූහ. අමනාපයක්, තරහක් ඒ මුහුණට නොනැගිණ. ඉන්පසු ඩඩ්ලිගේ ඇත්තු බෙල්ලන්විලට ආවේ නැත. ඒ පුද්ගලයා පසු කලෙක පැමිණ හිමිපාණන්ට වැඳ සමාව ගත්තේ ය. උන්වහන්සේ ඔහුගේ අතේ පිරිත් නූල් බැඳ සෙත් පැතූහ.

එක් පොහොය දිනෙක හිමිනමක් ධර්මශාලාවේ දහම් දෙසමින් සිටියහ. ඒ හිමියන් සමඟ අමනාපයෙන් සිටි මිනිහෙක් ධර්මශාලාවට පැන “ඔය බණ අපට ඕන නැහැ....” කියමින් ‍කෑ ගැසූහ. දායකයෙක් මෙය විහාරාධිපති හිමියනට දැන්වූහ.

උන්වහන්සේ වහාම ධර්මශාලාවට වැඩියහ. අතට හසුවුණේ කොස්සකි. කොස්ස කැඩෙන තුරු හිමියෝ අධර්මිෂ්ටයාට පහර දුන්හ. ආපසු සිය කුටියට වැඩම කළ හිමියෝ බේත් තෙල් කුප්පියක් දායකයෙකුට දී “අර මිනිහාගේ තුවාලවල ගාන්න දෙන්න” ය කීහ.

පහර කෑ මිනිහා පිළිබඳව ද උන්වහන්සේ ගේ සිතේ කරුණාව පහළ විය.

***********************************

අප හිමිපාණන් විහාරාධිපති වීම පිළිබඳව දැඩි ඊර්ෂ්‍යාවෙන් පසු වූ, උන්වහන්සේට එරෙහිව බොහෝ සතු‍රු කම් කළ කෙනකුට උන්වහන්සේගෙන් උදව්වක් ගැනීමට පසු කලෙක අවශ්‍ය විය. අප හිමියෝ ඉතා සුහදව ඔහු පිළිගත්හ.

“මගේ පුතා වෛද්‍ය විද්‍යාලයට තේරිලා. සම්මුඛ පරීක්ෂණයට යන්න වෙලා. ඔබ වහන්සේ උදව් කළොත් පුතාට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්...” ඔහු කීවේ ය.

හිමියෝ කුලී රියක් ගෙන්වා ගත්හ. ඔහු සමඟ වෛද්‍ය පීඨාධිපති නිකලස් ආටිගල මහතා හමුවීමට ගියහ.

“හාමු මහත්තයෝ අපේ කොල්ලෙක් ඉන්නවා. ඌ වෛද්‍ය විද්‍යාලයට ගන්න...” උන්වහන්සේ කීහ.

කොල්ලා දොස්තර කෙනෙක් විය.‍

හිමි පා මුල වැටී දොස්තර ගේ පියා හැඬුවේ ය.

“මම හිතුවේ නැහැ. මේ විදියට මට උදව් කරයි කියලා...”

“ඇයි එහෙම කියන්නෙ. අපි බුද්ධ පුත්‍රයො. බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවෙ මෛත්‍රි සිතිවිලි සමඟ ම ඉන්න කියලා...” උන්වහන්සේ වදාළේ එපමණි.

මෛත්‍රිය විසින් වෛරය ජය ගන්න හැටි උන්වහන්සේ මෙබඳු අවස්ථා රැසකින් ආරාමවාසී සිසුන්ට සහ ගිහි දායකයන්ට පෙන්වා දුන්හ.

උන්වහන්සේ පැවිදි ශිෂ්‍යයන් තැනුයේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සුත පෙමිනි.

වරද දුටු තැන වහා පෙන්වා දුන් උන්වහන්සේ ශිෂ්‍ය ජීවිතය මුළුමනින් ම ඉගෙනීමට ම කැපවිය යුතු බව පෙන්වා දුන්හ. උගත්කම සමඟ නිහතමානීකම ද එකට බැඳී පැවතිය යුතු බව ද පෙන්වා දුන්හ.

සිය ශිෂ්‍යයන් මහ වියතුන් කිරීමේ වුවමනාව උන්වහන්සේ තුළ දැඩිව තිබිණි.

“මට ඉගෙන ගන්න බැරි වුණා. නොයෙක් දුෂ්කරතා නිසා පිරිවෙන් අධ්‍යාපනය බිඳ වැටුණා. ඒ නිසා ම මගේ ශිෂ්‍යයන් ඉතා හොඳින් ඉගෙන ගන්න ඕනෑ...”

උන්වහන්සේ සිය ශිෂ්‍යයන් වන බෙල්ලන්විල ධර්මරතන හිමි සහ බෙල්ලන්විල විමලරතන හිමියන් දෙස සුපරීක්ෂාකාරීව බලා සිටියහ. අධ්‍යාපනය පිළිබඳ මහ ජයග්‍රහණ සිය ශිෂ්‍යයන් ලබන ආකාරය දැක අති මහත් වූ ප්‍රීතියට පත්වූහ.

“ආචාර්ය කොටගම වාචිස්සර හාමුදුරුවෝ ආදර්ශයට ගන්න” උන්වහන්සේ සිය ශිෂ්‍යයන්ට කීහ.

“උගත්කමත්, නිහතමානීකමත් සමබරව පිහිටි උතුම් භික්ෂුන් වහන්සේ නමක් ලෙස බෙල්ලන්විල සෝමරතන හිමිපාණන්ගේ ගෞරවාදරයට ආචාර්ය කොටගම වාචිස්සර හිමියෝ ලක්වූහ‍.

උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ ජාත්‍යන්තර වශයෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සිංගප්පූරුවේ වැඩවෙසෙති. අනෙක් ශිෂ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ ද ධර්ම ශාස්ත්‍ර කටයුතුවල අධ්‍යාපන කටයුතුවල යෙදෙමින් විටින් විට විදෙස් වලට වැඩම කරති.

සිය ගුරු හිමියන් විදේශ සංචාර සඳහා කැටුව යාමට ඒ ශිෂ්‍ය හිමිවරු දෙනමට අවශ්‍ය වුව ද අප හිමි වැඩම කළේ ඉන්දියාවට පමණි. ඒ වන්දනාවට ය. බෙල්ලන්විල වැඩ බහුලවීම නිසාම විදේශ සංචාරයට ඉඩක් අප හිමියනට නොවීය.

*******************************

1982 දී සිය ශිෂ්‍යයන් දෙදෙනා ළං කැරැගත් අප හිමියෝ බෙල්ලන්විලම රැඳී සිටින බෙල්ලන්විල විමලරතන හිමියනට විහාරස්ථානයේ සියලු යතුරු බාරදුන්හ. ආදායම් කළමනාකරණය ද බාර දුන්හ.

මිය යන තුරු ම යතුරු කැරැල්ල ඉනේ ගසාගෙන, කිසිවක් අත් හැරීමට අකමැති නායකවරුන් නොගත් මගක් ගත් අප හිමියෝ සියල්ල අත්හළහ. බරින් නිදහස් වූහ.

පෙරහර කිරීමට ශිෂ්‍යයාට බාරදී වැඩ සිදුවන ආකාරය බලා සිටියහ. දෙවසරක් ගෙවිණ. ඒ දෙවසරේ ම පෙරහර ඉතා හොඳින් සිදුවිය.

“මා වගේ ම, මටත් වඩා හොඳින් මගේ ශිෂ්‍යයන් පෙරහර පවත්වනවා.”

උන්වහන්සේ පෙරහර නරඹමින් කීහ. ඒ ඇස්වල තුටු කඳුළු පිරී තිබිණ.

“සියල්ල යහපත් ලෙස සිදුවෙනවා...”

1984 බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහැර සංවිධානය කැරෙමින් තිබිණ. අප හිමියෝ රෝගී ලකුණු පළ කළහ. උන්වහන්සේට සෙත් පැතීම සඳහා සියක් නමකට මහා දානයක් පිරිනැමෙන පින්කමක් පිළියෙල කැරිණි. බෙල්ලන්විල ධම්මරතන හිමියෝ සිංගප්පූරුවේ සිට බෙල්ලන්විලට වැඩියහ. උන්වහන්සේ සමඟ විවිධ පූජා භාණ්ඩ රැගත් චීන ජාතික දායක පිරිසක් ද පැමිණියහ. එය බෙල්ලන්විල පැවැති මහා පින්කමක් විය. අප හිමියෝ සතුටට පත්වූහ. මද සුවයක් ද ලැබූ බවක් පෙනිණ. ඒ දානය පැවැති 1984 ජූලි 29 වැනිදා රාත්‍රි වාර්ෂික සති පිරිත ඇරැඹීමට ද සූදානම් කැරිණ.

නා හිමියෝ යළි රෝගී වූහ. දායකයෝ උන්වහන්සේ කොළඹ මහ ‍රෝහලට ඇතුළු කළහ.

“මෙවර පෙරහර පවත්වන්න බැරිවන හැඩයි” හිමියෝ ගිලන් රියට නඟින ගමන් කීහ.

1984 අගෝස්තු 02 වැනිදා දහවල බෙල්ලන්විල රජ මහා විහාරයේ සතළිස් නමක් මහ සඟරුවන මහ පිරිත සජ්ඣායනය කරමින් සිටියදී කොළඹ මහ රෝහලේ දී අප හිමියෝ අවසන් සුසුම් හෙළූහ.

සියල්ල අත්හැර, සියලු බරින් තොරව දෙවසරක් පුරාම භාවනානුයෝගීව සිටි අප නාහිමියෝ ඉතා සැහැල්ලුවෙන් සිය රූපස්කන්ධයෙන් මිදුණහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්