|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාව තුළ මුඛ පිළිකා ඇතිවීමට බලපා ඇති අනෙක් කරුණ වන්නේ බුලත්විට සැපීමය. මුඛ පිළිකා නිසා වැඩිම පිරිසක් මියයන ලෝකයේ රටවල් අතර තුන්වැනි ස්ථානය හිමි වන්නේ අපේ රටටය. බුලත් විටෙහි ඇති සෑම ද්‍රව්‍යයකම පිළිකා කාරක ඇති බව හෙළි වී ඇත. බුලත් විටෙහි ඇති දුම්කොළ සපන විට එහි ඇතුළත් විස රසායනික ද්‍රව්‍ය 28 ක් පමණ ශරීරගත වේ. එසේම පුවක්වල මාරාන්තික පිළිකා කාරක 4 ක් අඩංගුය. බුලත් විටෙහි ඇති හුනු කෑ විට දුම්කොළවල සහ පුවක්වල ඇති විස රසායන ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කරගැනීමට කදිම පසුබිමක් සකසා දෙයි. මත්පැන් පානය ද අක්මාවේ සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවකි. මෙම පිළිකා තත්ත්වයන් ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි ඒවාය. කාන්තාවන් අතර බහුල වී ඇති පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා බොහෝ විට වළක්වා ගැනීමේ හැකියාව ඇත. පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුවපත් වීමේ හැකියාව ලැබේ. මෙම පිළිකාව කලින් හඳුනා ගැනීම ඉතාම පහසුය. ඒ සඳහා කළ යුත්තේ වයස අවුරුදු 35 ඉක්මවූ සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් කරගැනීමය. මේ පිළිබඳව අවශ්‍ය උපදෙස් පවුල් සෞඛ්‍ය සේවිකාවක ගෙන් හෙදියක ගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් ලබාගත හැකිය. ගැබ්ගෙල පිළිකාව ද අද බහුල වී ඇත. මෙම පිළිකාව ද කලින් හඳුනා ගැනීමේ හැකියාව ඇත. ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රජයේ රෝහල්වල ඇති සුවනාරි සායන මඟින් ගැබ්ගෙල පිළිකාව හඳුනාගත හැකි පැප් පරීක්ෂාව නොමිලේ කරගත හැකිය. එසේම පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමට උපකාරී වන මැමෝග්‍රෑම් පරීක්ෂාව ද මෙම සුවනාරී සායනවලදී කරගත හැකිය. වයස අවුරුදු 40 ඉක්මවූ සෑම කාන්තාවක්ම සෑම වසරකට වරක්ම මෙම පරීක්ෂාවන් දෙක කරගන්නේ නම් එම පිළිකාවලට ගොදුරු වී සිටිය හැකිය. වසරකදී ශ්‍රී ලංකාව තුළ කුඩා දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරු වන බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. පිළිකා රෝගයට ගොදුරු වන දරුවන්ගේ තත්ත්වය පිළිබඳව අප විමසා සිටියේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහරගම ජාතික පිළිකායතනයේ දැඩි සත්කාර ඒකකයේ (ළමා) දීපාල් පෙරේරා මහතාගෙනි. පිළිකා රෝගයට බහුලව ගොදුරු වන්නේ වයස්ගත පුද්ගලයින් වුවත් උපතින්ම ඇතිවන ජානමය විකෘතිතාවයන් බහුලය. Down's Syndrome වැනි Syndrome තත්ත්වයන් සහිතව උපදින දරුවන් ඉපදී පළමු අවුරුද්ද තුළදී බොහෝ විට ලියුකේමියා රෝගයේ AML විශේෂය වැලඳීමේ හැකියාව ඇති බව හෙළි වී ඇත. කුඩා දරුවන් අතර බහුලව දැකගත හැකි පිළිකා තත්ත්වය වන්නේ ලියුකේමියාවය. ඊට අමතරව දරුවන් අතර උපතින්ම ඇතිවූ මොළේ පිළිකා, දෑස්වල පිළිකා, ස්නායු පද්ධතියේ පිළිකා වකුගඩුවල පිළිකා ආදිය දැක ගත හැකිය. දරුවන් අතර ඇතිවන ලියුකේමියා රෝගයේදී ලියුකේමියා AML තත්ත්වයට වඩා ලියුකේමියා ALL තත්ත්වයට ගොදුරු වූ දරුවන් බහුලය. මෙම ලියුකේමියා ALL රෝගයට ගොදුරු වූ දරුවන් ගෙන් 80% ක්ම සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව අද නවීන වෛද්‍ය විද්‍යාව සතුය. අධික මහත දරුවන් අනාගතයේදී පිළිකාවලට ගොදුරු වීමේ හැකියාව ඇති බව වෛද්‍ය පර්යේෂණ මඟින් හෙළි වී ඇත. අධික මහත දරුවන්ගේ අක්මාවේ තෙල් තැන්පත් වීම නිසා අක්මාවේ සිරෝසීස් තත්ත්වයක් ඇතිවී අවසානයේ අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානම ඇත. එබැවින් කුඩා දරුවනට තෙල් අධික ක්ෂණික ආහාර ලබාදීමෙන් වැළකීම සුදුසුය. දරුවාගේ ශරීරය ඕනෑවට වඩා මහත් වීම රෝග රැසකටම අත වැනීමකි. අලුත් එළවළු පලතුරු ආහාරයට ගැනීම මෙන්ම හොඳින් ව්‍යායාම කිරීම කුඩා දරුවනට ඉතා අවශ්‍යය. එසේම දරුවකු ඉපදී පළමු අවුරුද්ද තුළ කෘත්‍රිම ආහාර කිසිවක් ලබා නොදී ස්වභාවික ආහාර පමණක් ලබාදීම වැදගත්ය. හැකි සෑම විටම දරුවාට වස විසෙන් තොර ආහාර ලබාදීමට පෙලඹිය යුතුය. දරුවාට දෙන ගොටුකොළ මිට නිවසේ වවා ගැනීමේ හැකියාව ඇත. කිනම් පිළිකා රෝගී තත්ත්වයකට දරුවා ගොදුරු වී ඇතත් වඩාත් වැදගත් වන්නේ එම රෝග තත්ත්වය කලින් හඳුනා ගැනීමය. දරුවකු පිළිකා රෝගයට ගොදුරු වී ඇතිදැයි දැන ගැනීමට හැකි ලක්ෂණ කීපයක් ම ඇත. දරුවකු නිතර නිතර රෝගවලට ගොදුරු වේ නම්, නිතර නිතර උණ වැලඳේනම්, බෙල්ලේ හෝ වෙනත් ස්ථානවල අසාමාන්‍ය ගැටිති මතුවී ඇත්නම්, දරුවා නිතර හන්දිපත් කැක්කුමකින් පෙළෙයිනම්, දරුවාගේ දෑස්වල සුද මතු වී ඇත්නම්, දෑස් ඉදිරියට නෙරා ඇත්නම්, දරුවා නිතර මළානික ස්වභාවයකින් සිටීනම් වහා වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍ය වේ. ඊට අමතරව දරුවාට නිතර නිතර වලිප්පුව ඇතිවේනම්, කලක් තිබෙන හිසේරදයක් දරුවාට ඇතිනම්, හොඳට ඉගෙන ගනිමින් සිටි දරුවා අධ්‍යාපනික කටයුතුවලට වැඩි අවධානයක් යොමු නොකරයිනම් වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කළ යුතුය. දරුවන් තුළ ඇතිවන බොහෝ පිළිකා ඉතාම සාර්ථක සුවපත් කිරීමේ හැකියාව නවීන වෛද්‍ය විද්‍යාව සතු බැවින් දරුවා හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා අවශ්‍ය වේ. ලංකාවේ තවම ක්‍රියාත්මක නොවුවද ඇටමිදුලු බද්ධ කිරීම මඟින් ලියුකේමියා රෝගයට පහසුවෙන් සහ ඉතාම සාර්තක ලෙස ප්‍රතිකාර කළ හැකිය. මෑතදී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ වසරකදී වයස 16 ට අඩු දරුවන් 100 - 120 අතර සංඛ්‍යාවක් පිළිකා රෝගය නිසා මියයන බවය. පිළිකා සරණ සංගමයේ සභාපතිවරයා මෙන්ම මහරගම ජාතික පිළිකායතනයේ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ආකාරයට අපේ රටේ බහුලව වැවෙන කොස් පිළිකා සෑදීමෙන් වැළකී සිටීමට මෙන්ම පිළිකාව මර්දනය කිරීමට ද අතිශය උපකාරී වන අගනා ආහාරයකි. මෙම තොරතුරු විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන කොස් විටමින් ‘සී’ බහුල ෆයිබොරසායන සංඝටක අඩංගු අගනා ආහාරයකි; පලතුරකි. මෙරට වැවෙන කොස්වලින් ආහාරයට ගන්නේ සියයට දෙකක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. අද අප වෙළෙඳ පොළෙන් ලබාගන්නා සෑම ආහාරයකටම පාහේ නිෂ්පාදන ක්‍රියාවලියේ කුමන අවස්ථාවකදී හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු කෙරේ. එහෙත් ගසෙන් කඩා තම්බා ගන්නා කොස්වල කිසිඳු රසායන ද්‍රව්‍යයක් අඩංගු වී නැත. එම සාධකය කොස්වල පිළිකා කාරක අඩංගු නොවීමට ප්‍රධාන හේතුවකි. පර්යේෂණ මඟින් හෙළි වී තිබෙන්නේ සතියකට අවම තරමින් වේල් 2 ක් හෝ 3 ක් කොස් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමෙන් වැළකී සිටීමට හැකියාව ලැබෙන බවය. මෙහිදී පිළිකා සෛල ඇතිවීම වැළැක්වීමට උපකාරී වන්නේ කොස්වල අඩංගු විටමින් ‘බී’ වලට අයත්, ‘පිරිඩොක්සින්’, ‘නිියැසින්’, ‘රයිබොප්ලේවින්’, ‘ෆෝලික් ඇසිඩ්’ වැනි රසායනිකයන්ය. එසේම පෙණහලුවල සහ මුඛයේ ඇතිවන පිළිකා වළක්වාලීමට මෙන්ම එම පිළිකා හොඳින් මර්දනය කිරීමට ‘කැරොටින්’ අඩංගු කහ පැහැති ආහාර ගැනීම සුදුසු බව ද පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. කොස් යනු කැරොටින් බහුලව අඩංගු ආහාරයකි. එසේම විටමින් ‘ඒ’, ෆ්ලෙවනොයිඩ්, පිග්මන්ට්, කැරොටින් ‘බී’, සැන්තීන් වැනි ප්‍රතිඔක්සිකාරක කොස්වල බහුල නිසා පිළිකා සෛල ඇතිවීමේ හැකියාව නවතා දැමීමටත් ඇතිවී තිබෙන පිළිකා සෛල මර්දනය කිරීමටත් උපකාරී වේ. තවත් අන්දමකින් කොස් ආහාරයට ගැනීම මඟින් පිළිකා ඇතිවීම වැළකීමටත්, ඇතිවූ පිළිකා මර්දනයටත් සමත් වන්නේ කොස්වල අඩංගු අධික විටමින් ‘සී’ ප්‍රමාණය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යාමය. කොස් ග්‍රෑම් 10 ක කැලරි 95 ක් අඩංගුය. එයින් පැහැදිලි වන්නේ කොස් පෝෂ්‍යදායී ආහාරයක් බවය. එසේම කොස්වල අධික ලෙස කෙඳී ඇත. මේ හේතුව නිසා කොස් ආහාරයට ගැනීම හොඳින් සහ ඉක්මනින් මළ පිටවීමට උපකාරී වේ. එවිට මළ අන්ත්‍රවල වැඩි වේලාවක් රැඳෙන්නේ නැත. එසේම කෙඳි සහිත ආහාර ගැනීම මඟින් මහා අන්ත්‍රයේ සහ කුඩා අන්ත්‍රයේ බිත්තිවල ඇති ශ්ලේෂ්මල පටලය ආරක්ෂා වේ. එවිට මළවල ඇති විස රසායන නැවත ශරීරයට උරා ගැනීම අවම වේ. එමඟින් අන්ත්‍රවල පිළිකා ඇතිවීමේ අවදානම නැති වේ. මේ අනුව බලන විට කොස් ආහාරයට ගැනීම අන්ත්‍රවල පිළිකා අවම කිරීමට හේතුවකි. පිළිකාවක් ශරීරයේ ඇති අයකු වෛද්‍යමය ප්‍රතිකාර නොගෙන කොස් පමණක් ආහාරයට ගැනීමෙන් පලක් නැත. වඩාත් සුදුසු වන්නේ වෛද්‍යමය ප්‍රතිකාර කරන අතරතුරේ සතියකට දෙතුන් වරක් කොස් ආහාරයට ගැනීමය. පිළිකා රෝග සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රතිකාර පිළිබඳව හිටපු සහකාර ආයුර්වේද කොමසාරිස් විශේෂඥ වෛද්‍ය නිමල් ජයතිලක මහතාගෙන් අපි විමසා සිටියෙමු. වෛද්‍ය නිමල් ජයතිලක මහතා පවසන්නේ, පිළිකා රෝගීන්ගෙන් විශාල පිරිසක් සුව කිරීමේ හැකියාව සහ අනෙක් රෝගීන් පිරිසගේ ජීවිත කාලය දීර්ඝ කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමයට ඇති බවය.
වෛද්‍ය නිමල් ජයතිලක මහතා දක්වන ආකාරයට වෙනත්
වෛද්‍ය ක්‍රමවල කළ හැකි ප්‍රතිකාර අවසන් වී අතහැර දැමු රෝගීන්ගේ ජීවිත පවා
සුවපත් කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය සහ වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම සතුය.
දේශීය වෛද්‍ය ක්‍රමය යනු ආයුර්වේදය නොවේ.
දේශීය වෛද්‍ය ක්‍රමය මීට වසර තුන්දහසකටත් පෙර කලක සිට පැවත එන අපේ රටේ වෛද්‍ය ක්‍රමයය. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා ඇතිවීමට මූලික වශයෙන්ම බලපාන්නේ වැරැදි සහගත ආහාර සහ ජීවන චර්යාවන්ය. යහපත් ආහාර රටාවකට හුරු වීම, යහපත් වතාශ්‍රය ලැබීම, ක්‍රෝධය ඊර්ෂ්‍යාව සහ තණ්හාව වැනි අයහපත් සිතිවිලි වලින් තොර වීම, ප්‍රමාණවත් නින්ද, ව්‍යායාම ගැනීම, විවේකය, භාවනාව වැනි යහපත් ක්‍රියාවන් අඩංගු ජීවන රටාවකට හුරු වීමෙන් පිළිකා වැලඳීමෙන් වැළකී සිටීමේ හැකියාව ඇත. පිළිකා රෝගය සඳහා දේශීය ප්‍රතිකාර කිරීමේදී ද රෝගය නිශ්චිත ලෙසම හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. ඒ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ එන වෛද්‍ය පර්යේෂණ උපයෝගී කර ගැනීම පහසුය. පිළිකා සෛල හඳුනා ගැනීමේ මූලිකම පර්යේෂණය වන්නේ පිළිකාවකැයි සැක කරන ස්ථානයේ කොටසක් වෙන් කරගෙන එම සෛල පරීක්ෂා කිරීමය. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී පිළිකාවේ වර්ගය, ඒ වන විට පිළිකාව පවතින ස්ථානය වෙනත් අවයවවලට පිළිකාවෙන් හානි සිදුවී ඇති ද යන වග රෝගියාගේ වයස ප්‍රතිකාරවලට දක්වන සංවේදීභාවය වැනි කරුණු නිශ්චය කර ගැනීම වැදගත්ය. දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ශල්‍ය, ශස්ත්‍ර ක්ෂාර, අග්නි ඖෂධ මඟින් ප්‍රතිකාර කරනු ලැබේ. මෙහිදී භාවිත වන ඖෂධ ශාකවලින් ගන්නා ඖෂධයන්ය. ශාක ඖෂධ විෂ රහිත වීම, සහ එම ඖෂධ ගත් පසුව අතුරු ආබාධ ඇති නොවීම නිසා මෙම ඖෂධ දීර්ඝ කාලයක් දිය හැකිය. මෙහිදී දේශීය ඖෂධ නිපදවීමට කලාදුරු බීජ, ඉරුමුසු මුල්, චීන අල (රයිසෝම), බහුලව භාවිත වේ. කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන පිළිකා විශේෂය වන “ලියුකේමියා” රෝගය සඳහා වදමල් සහ තවත් ඖෂධ රැසක්ම යොදාගෙන නිපදවන වදමල් පැණිය භාවිත වේ.
| |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|