»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ
 

මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ

 

  සරසවිය හා බැඳුණු ගී නිර්මාණ රාශියක් අප සතු ව පවතී. ඒ අතරින් ඇතැම් නිර්මාණ අමරණීය නිර්මාණ බවට පත්වී තිබේ. ඒ අතරින් කලාතුරකින් ශ්‍රවණය වන අපූරු නිර්මාණයක් මෙහි දී තත්සර ඇසුරට සමීප කර ගනිමි. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටින අවදියේ මේ ගීතය ශ්‍රවණය කරද්දී මා තුළ පාළු ශෝකී හැඟීමක් ඇතිවුණා මට මතක ය. ඒ හැඟීම වචනයකින් විස්තර කිරීම අසීරු ය.

පසු කාලයේ දී “හන්තානට පායන හද” නැමැති ගීතය මා විසින් රචනා කිරීමට පොලඹවන්නේ මේ ගීතය තුළින් විඳි චමත්කාරයයි. තම පෙම්වතියට සරසවි වරම් හිමිවීම සතුටට කරුණකි. එහෙත් මේ පෙම්වතා ගේ සිත ඒ සතුටු විය යුතු අවස්ථාවේ තිගැස්සෙයි.

නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
“පාන් කිරිත්තෝ”

ලාංකීක ගැමි විඥානය තුළ පාන් කිරිත්තා ගේ හඬ අසුබ නිමිත්තක් බවට පත්වෙයි. මේ පෙම්වතා සිතන්නේ පාන් කිරිත්තා හඬන්නේ තමාගේ දුකට බවයි. එහෙත් පාන් කිරිත්තාගේ හැඬීමෙන් ප්‍රයෝජනයක් නොමැත. ඔහුගේ යටි සිත ඔහුට පවසන්නේ තම පෙම්වතිය හෙට දවසේ දී තමාට අහිමි වන බවයි. පාරිසරික සංකේත භාවිත කිරීමේ දී සුනිල් සරත් පෙරේරා දක්වන ප්‍රතිභාව විශිෂ්ට ය.

ආදරය සමඟ ආත්මාර්ථය බැඳී පවතී. එය ස්වාභාවික ය. සරසවිය පිළිබඳ මේ තරුණයා තුළ චිත්‍රයක් පවතී. ඒ චිත්‍රය ඉතා ම අපූර්වත්වයකින් රචකයා ඉදිරිපත් කරයි. ගීතය තුළ භාෂාව සුභාවිත ලෙස යොදා ගත හැකි ආකාරය සඳහා සුනිල් සරත් පෙරේරා ගේ මේ ප්‍රකාශනය කදිම නිදසුනකි.

භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මළුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්

සරසවි බිම තුළ කෙළි කවට සිනා නංවමින් එහා මෙහා යන මානවක මානවිකාවන් මෙහිදී රසිකයාගේ මනසේ චිත්‍රණය වෙයි. “භද්‍ර යොවුන් විය” “සක්මන් මළු” ආදි සම්භාව්‍ය යෙදුම් ස්ථානෝචිත ලෙස රචකයා භාවිතා කරයි. ඇය ද හෙට දවසේ එක්වන්නේ මෙබඳු පරිසරයකටයි. මේ පරිසරය පේ‍්‍රමයට තෝතැන්නකි. එබඳු පරිසරයක දී ඇයට ද පේ‍්‍රමණීය ආරාධනා ලැබෙනු ඇත. සරසවියට පා තබන්නට වරම් නැති තමා පිළිබඳ මතකය ඇගෙන් ගිලිහී යාමට මේ පරිසරය හේතු වන බව ඔහුගේ යටි සිත ඔහුට කියයි.

ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
කුමර වියේ කුමර විකුම්
සසල කරයි සිතුම්

මෙබඳු සැක සංකා මිනිස් සිතේ හටගැනීම ස්වභාවික ය. එය ආත්මාර්ථයේ ඵලයක් වුවද ඒ ආත්මාර්ථයෙන් අත්මිදීම අසීරු වූවකි.

ආදරය, විශ්වාසය, සියල්ල යටපත් කරගෙන මේ හැඟීම ඉස්මතු වෙයි. ඇතැම් විට ඔවුන් අතර පේ‍්‍රම සබඳතාවක් නොතිබුණා විය හැකිය. ඔහු ඇය ව ප්‍රාර්ථනා කළා පමණක් විය හැකි ය. එනිසාම ඇය නිතර ඇස ගැටුණු පරිසරයෙන් මිදී සරසවියේ පරිසරයට ඇතුළුවීම තරුණයාට වේදනා බර වන්නේ එබැවිනි.

“මතක විමන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

රචකයා යළි යළිත් ප්‍රදර්ශනය කරනුයේ භාෂාව භාවිතයේ දී තමා සතු විදග්ධ භාවයයි. මතක විමන් කවුළුවෙන් හිස පීරීම යනුවෙන් අදහස් කරන්නේ මේ තරුණයා ගේ අතීතාවර්ජනයයි. ඒ අතීතය සමඟ ඇගේ රූපය ඔහුගේ දෑසේ මවයි.

ඇගේ රුව තවත් වර්ණා කිරීමෙන් පලක් නැති බව කුරුල්ලන්ට පවසන්නේ ඔහු තුළ ඇතිවී තිබෙන පරාධීන මනෝභාවය නිසා ය.

පේ‍්‍රමය බොළඳ ය. පේ‍්‍රමය රමණීය වන්නේ ද මේ බොළඳ බව නිසා ම ය. මහා පාණ්ඩිත්‍යයෙන් පෙළෙන්නකු ගේ වුවද ඇසට කඳුළක් නැංවීමේ හැකියාව පේ‍්‍රමය තුළ පවතී. එය ඊර්ෂ්‍යාව, ආත්මාර්ථය සමඟ බද්ධ වීම හේතුවෙන් පේ‍්‍රමය නිසා ශෝකය හට ගනී. නොදියුණු මානසික තත්ත්වයන් ඇති මිනිසුන් තුළ ඒ ශෝකය ඉතා ඉක්මනින් වෛරය බවට පත්වෙයි.

එහෙත් මේ ගීයේ මුණගැසෙන තරුණයා තුළ සියුම් ආත්මාර්ථකාමී ලක්ෂණ දක්නට ලැබුණ ද ඔහු තම ආදරය දිනු තැනැත්තිය දෙස බලන්නේ වෛරී ඇසකින් නොවේ. ඔහු තම පරාජිත භාවය කලින් ම පිළිගෙන ඒ ශෝකයට සූදානම් වන බවක් හැඟෙයි.

සිල්ප සතර දැන එන තුරු
කල්පකාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්

 සුනිල් සරත් පෙරේරා

සනත් නන්දසිරි

ඈ පිළිබඳ සිහිනයන්ගෙන් අත් මිදීමට ඔහු උත්සාහ නොගනී. ඇයව ඔහුට හිමිවීම ඔහු සලකන්නේ ඉර අවරින් පෑයීමක් ලෙසයි. ඔහු පරාජිත පෙම්වතකු බවට පත්වන්නේ එබැවිනි.

මේ නිර්මාණය තුළ එක් අතකින් දක්නට ලැබෙන්නේ තමා ම තමාව පීඩාවට ලක්කර ගැනීම හෙවත් ස්වපීඩන කාමයයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” නවකතාවෙහි “දෙවෙන්දොරා සං” ගේ චරිතය මට සිහි වෙයි.

නොරිකෝ වෙනෙකකු සමඟ විවාහ වන්නට යන බව ආරංචි වූ විට ඔහු පරාජිතයකු බවට පත්වෙයි. ජපානයේ ඇය සමඟ ඇවිද ගිය වීදි දිගේ ඔහු තනි ව ඇවිදින්නට පටන් ගනියි. අතීතය සිහිපත් කරමින් ඔහු ශෝකය මුසු වින්දනයක් ලබයි. මේ ගීයෙහි හමුවන තරුණයා ද අනාගතයේ සිදුවන දේ කෙරෙහි පූර්ව විනිශ්චයකට පැමිණ සිටින්නෙකි. ඔහු ඒ දේ කල් ඇති ව මෙනෙහි කරමින් වේදනා විඳින්නට පටන් ගනී.

මේ ගීතය පුරා යම් රූප පෙළක් ගැබ් ව පවතී. තරුණයාගේ දොරකඩ නාද කරන පාන් කිරිත්තා පවා ශ්‍රාවකයාට පෙනෙන්නට පටන් ගනී. රචකයා කරනු ලබන පාරිසරික වර්ණනා අනුව මැවෙන්නේ පේරාදෙණිය වැනි සුන්දර සරසවියකි. ආලයෙන් වෙලී ගිය පෙම්වතුන් තුරු වදුළු යටින් එහා මෙහා ඇවිද යන ආකාරය චිත්‍රයට නැඟෙයි.

මේ ගීතයේ සංගීතය හා ගායනය පද මාලාව සමඟ දැඩි ව බද්ධ වීම නිසා එය සුගායනයක් බවට පත් වෙයි. තමා ආදරය කරන තැනැත්තියගේ සතුට තමාට ශෝකයක් වන අයුරු එහි දී මනාව ඉස්මතු වෙයි. ගලා හැලෙන නදියක ශෝකී රාවයක් මෙන් ගායකයාගේ කටහඬ රසිකයාගේ හෘද ස්පන්දනය සමඟ සම්මිශ්‍ර වෙයි. ඒ සමඟ ම හදවතේ උපන් ආදරය දිග්විජය කරගැනීමට නොහැකි ව ළතැවෙන තරුණයකු ගේ මලානික මුහුණ එක්වර ම මතු වී නොපෙනී යයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා