»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
කලා විනිශ්චයේ විනිවිද භාවය කොයිබට ද
 

කලා විනිශ්චයේ විනිවිද භාවය කොයිබට ද

 

 

විචාර ආලෝචනාවට පසු සටහනක්

සම්මාන දීමෙන් පසු සතියක පමණ ඇවෑමෙන් සම්මාන ලැබු හෝ සම්මාන සඳහා නිර්දේශිත කෘති මොනවාදැයි පාඨකයනට අමතක ව යන යුගයක යම් කිසි ආකාරයක සාධනීය ලක්ෂණ රැගත් 2010 වසරේ ඇගයීමට ලක් වූ සහ නිර්දේශිත නවකතා පිළිබඳ පශ්චාත් කියැවීමක් 2010 කණ්ඩායම නමින් හඳුන්වන ලද පිරිසක් සංවිධානය කොට තිබිණි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරු පරිශ්‍රයේදී පසුගිය 27 වැනිදා පැවැත්වූ මේ සංවාදය නම් කොට තිබුණේ විචාර ආලෝචනා 2010 නමිනි.

ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් විසින් මෙහෙයවනු ලැබු මේ විචාර ආලෝචනාවට විද්‍යෝදය සම්මාන උළෙල නියෝජනය කරමින් එහි ඒක පුද්ගල සමීක්ෂක වූ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් සහභාගි විණි. ගොඩගේ සම්මානය වෙනුවෙන් එහි සම්මාන කමිටුවේ සභාපති ආචාර්ය ලීල් ගුණසේකරයන් ද ස්වර්ණ පුස්තක සම්මාන සමීක්ෂක කමිටුව වෙනුවෙන් මහාචාර්ය රත්නසිරි අරංගලයන් ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන කමිටුව වෙනුවෙන් කිවියර ආරියවංශ රණවීරයන් ද මේ සම්මානිත හා නිර්දේශිත කෘති පිළිබඳ අදහස් දැක්වීමට එක් වී සිටියහ.

මෙහිදී කතාබහට ලක් වීමට නියමිත ව තිබු නවකතා රචනා කළ නිර්මාණකරුවන් අතරින් මීට සහභාගි වී සිටියේ කරුණාදාස සූරියආරච්චි, ටෙනිසන් පෙරේරා, සුමිත්‍රා රාහුබද්ධ, උපාලි උභයසේකර හා පියල් කාරියවසම් පමණි. තාරකා වාසලමුදලි ආරච්චි, සුනේත්‍රා රාජකරුණානායක, රූපා ශි‍්‍රයාණි ඒකනායක, මහින්ද රත්නායක වැනි නිර්දේශිත නවකතා රචනා කළ නිර්මාණකරුවෝ මීට සහභාගි වී නොසිටියහ.

සියයකට අධික පිරිසක් සහභාගි වී සිටි මේ විචාර ආලෝචනාවේදී සුනේත්‍රා රාජකරුණානායකගේ ‘බුද්ධදාසී’ හා සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේ මා’ කෘති පිළිබඳ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් මතු කළ අදහස් සංකීර්ණ බවින් හා නිරවුල් නොවීමෙන් විවිධ පරස්පරතා මතු වූ බව මගේ හැඟීමයි. ඔහු පැවැසු අන්දමට බුද්ධදාසී හා කන්දක් සේමා අතුරින් සම්මානය දිය යුත්තේ කුමන කෘතියට ද යන්න ඔහුට තීරණය කරගත නොහුණු තරම් වීය. ඒක පුද්ගල විනිශ්චයකදී බුක්ති විඳිය හැකි ස්වාධීනත්වය සහ අදීන බව ඔහුගෙන් ගිලිහී ගොස් තිබිණි. එවන් පරස්පර අවිනිශ්චිත විමර්ශනයක් අවසානයේ ඔහු සභා ගැබෙන් නැඟිට ගියේ පාඨක සහෘදයනට මේ ගැටලුව විසඳා ගනු වස් ප්‍රශ්න නැඟීමට ඉඩක් නොතබමිනි. විචාර ආලෝචනාවේ සංවිධායක මණ්ඩලය එවැනි තත්ත්ව පිළිබඳ ව නොසිතීම කනගාටුදායක ය.

මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට පැවැරී තිබුණේ ටෙනිසන් පෙරේරා ගේ ‘භවාන්තරය’ සහ තාරකා වාසලමුදලිආරච්චිගේ ‘කළු’ නවකතා පිළිබඳ විමර්ශනයක යෙදෙන්නට ය. නමුත් ඔහු ඒ කෘති පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකළ අතර ඊට පරිබාහිර කරුණු ගොන්නක් පාඨක සහෘදයා වෙත පැටවූයේ ය. රාජ්‍ය සාහිත්‍ය සමීක්ෂණ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි ආරියවංශ රණවීරයන් කෙටියෙන් කරුණාදාස සූරියආරච්චිගේ කළු දෝංකාරය හා පියල් කාරියවසම්ගේ ‘වීදුරු කුඩු කැවුණු කලෙක’ කෘතිද්වය පිළිබඳ විමර්ශනයක යෙදුණ ද එය ද ඒ කෘති නිර්දේශ වූයේ ඇයි යන්නට ප්‍රමාණවත් පිළිතුරක් සැපයූවේ නැත.

ගොඩගේ සම්මාන නිර්දේශ කමිටු සභාපති ආචාර්ය ලීල් ගුණසේකරයන් නම් ඔහුට අදහස් දැක්වීමට නියමිත ව තිබූ මහින්ද රත්නායකගේ ‘වළා යටින් මිහිමඬලට හිරු පායා’, උපාලි උභයසේකරගේ ‘2026 මහල්ලා’ හා රූපා ශි‍්‍රයාණි ඒකනායකගේ ‘දුටිමි නෙතින් කසුප් නිරින්ද්’ නම් කෘති පිළිබඳ ව කිසිදු අදහසක් ප්‍රකාශ නොකරමින් හාස්‍යය හා උපහාසය මතු කෙරෙන කතා පවසමින් සභාවට තම ඉදිරිපත් වීමේ අරමුණ සූක්ෂම ව අමතක කරවා ගැලවී ගති. මේ සියලු ඉදිරිපත් කිරීම් අභිමුව අසරණ වූයේ, දහසකුත් වැඩ පසෙකලා මේ කෘති සම්මාන ලැබුවේ කුමක් නිසාද හා නිර්දේශ වූයේ කවර සාධනීය ලක්ෂණ හේතුවෙන් ද යන්න පිළිබඳ අවධානයෙන් පැමිණි පාඨක සහෘදයන් මිස වෙන කවරෙක් ද?

මේ සියලු සමීක්ෂකයන්, නිරීක්ෂකයන් තම අරමුණ වටහා නොගෙන ක්‍රියා කිරීම විචාර ආලෝචනාවට සහභාගි වූ පාඨකයා වික්ෂිප්ත කරවන සුලු වීය. එහිදී සභා ගැබෙන් මතු වූ ප්‍රශ්න සහ ඊට ලැබුණු පිළිතුරු මේ කතිකාවේ පෙර කී අදහස් දැක්වීම්වලට වඩා යම් කිසි සාධනීය මට්ටමක පැවැතියේ ය. ‘සුජාත පුත්‍රයන්ගේ වස්තුව‘ ලියමින් රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ අනුලා විජයරත්න මැණිකේ වැදගත් අදහස් හා මතවාද කිහිපයක් ම මතු කළ මුත් ඒවා නිරවුල් ලෙස ඉදිරිපත් නොකිරීමෙන් බොහෝ දෙනකුට ගැටලු මතු විය.

ඇය භාෂා භාවිතය, කතා ආකෘතිය, ලේඛක ස්වාධීනත්වය ඈ බොහෝ සාධනීය කරුණු එහිදී ඉදිරිපත් කළා ය. ‘කන්දක් සේ මා’ කියවද්දී සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ හෝ මළවුන්ගේ අවුරුදු දා කියවද්දී සිතට නැඟෙන ආධ්‍යාත්මික සුවය දැනෙනවා දැයි ඈ සභා ගැබෙන් ප්‍රශ්න කළා ය. විවාදාසම්පන්න එළැඹුමකට පිවිසෙමින් ඇය කියා සිටියේ පසුගිය වසරේ සුනේත්‍රාගේ ‘පොදු පුරුෂයා’ කෘතියට සම්මාන ලබා දී සම්මාන කමිටු වැරැදි තීරණයක් ගත් බවත්, මෙවර ඇයගේ ‘බුද්ධදාසී’ කෘතියට සම්මාන නොදී යළිත් වැරැදි තීරණයක් ගත් බවත් ය.

එහිදී ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා අදහස් දක්වමින් පවසා සිටියේ නිර්මාණකරුවන් කටවහරෙන් නවකතා ලියනුයේ ව්‍යාකරණ නොදන්නා නිසා බවයි. කට වහරට වටිනාකමක් දී විචාරකයන් වියත් වහර අඩු තක්සේරු කරනා බවත් බොහෝ යල් පැන ගිය විචාර සිද්ධාන්ත මතු කරමින් කෘති විනිශ්චය කරනු ලබන බවත් ඔහු තවදුරටත් පැවැසීය. එහිදී කතාවක ආකෘතිය හා අන්තර්ගතය පිළිබඳ අත්හදා බැලීමක් කළ ජේම්ස් ජොයිස් ගේ ’උඹ්ධ්ඉඉඡ්ඉ’ කෘතිය පරිවර්තන කෘතියක් ලෙසින් ඔහු හැඳින්වීය. එය පරිවර්තන කෘතියක් නොවන බැව් ජයසුමන දිසානායක ප්‍රමුඛ ව සබා ගැබෙන් අදහස් දැක්විණි.

උඹ්ධ්ඉඉඡ්ඉ ගි‍්‍රක වීර කතාවක් සිහි ගන්වන මුත් එය ජේම්ස් ජොයිස් ගේ ස්වනිර්මාණයක් වන අතර කාලාන්තරයක් තිස්සේ විචාරකයන්ගේ නොමඳ අවධානය දිනාගත් කෘතියක් බැව් දැන සිටි අය සභාගැබේ සිටියත් ඒ බව කවුරුත් ප්‍රකාශ නොකළහ.

 ටෙනිසන් පෙරේරා ගේ මතවාදයන්ට පිළිතුරු වශයෙන් මහාචාර්ය රත්නසිරි අරංගල පැවැසුවේ කට වහරින් ප්‍රබල ව අදහස් මතු කළ හැකි බවත් ශුද්ධ හා අශුද්ධ වශයෙන් කට වහර ද කොටස් වන බවත් ය. එහිදී අශුද්ධ කට වහර භාවිතයට නිදසුනක් ලෙසින් ඔහු සිරි ගුනසිංහගේ ‘හෙවණැල්ල’ දැක්වීය. ගත් වහර වැරැදි අයුරින් ලියනවාට වඩා කට වහරින් ලිවීම පහසුනම් එසේ ලිවීම හොඳ බව මහාචාර්ය අරංගල තවදුරටත් පැවසීය.

මේ ප්‍රකාශය විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යයන අංශයක මහාචාර්යවරයකු වැනි අනාගත පරපුරට වගකිව යුතු පුද්ගලයකු පැවසිය යුතු ප්‍රකාශයක් සේ මම නොසලකමි. කෙසේ හෝ ලිවීම ලේඛකයාගේ ප්‍රකාශන මාධ්‍යය යැයි තර්ක කිරීම, ‘කොහොම හරි, කොහෙන් හරි කමක් නෑ වැඩේ කෙරෙනවානම්’ වැනි වූ සරල මුග්ධ ප්‍රකාශයකි.

සතතාභ්‍යාසයෙන් තොර ව භාෂා නෛපුන්‍යභාවය ලබා ගැනීම උගහට ය. ඒ සඳහා යම්කිසි කැපවීමක් කළ යුතුය. ඒ කැපවීම නොකර විචාරකයන් සාධාරණීකරණය කරන කෙසේ ලීවත් කම් නැත කියා අප නිර්මාණකරුවන් නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් එය තරම් භාෂාවට වින කිරීමක් තවත් නොමැති ය. නිර්මාණකරුවාට තම නිර්මාණය ගත් වහරින් හෝ කට වහරින් ඉදිරිපත් කිරීමේ ඇති අයිතියට අපි අභියෝග නොකරන්නෙමු.

අපගේ තර්කය වන්නේත් නිර්මාණ ආකෘතිය ඉල්ලා සිටින භාෂාව නිර්මාණකරණයට භාවිත කළ යුතු බවයි. නමුත් එය ව්‍යාකරණ නොදන්නාකම නිසා වන්නක් නොවිය යුතුය. සිංහල පුවත්පත්වල ප්‍රමාණවත් සාහිත්‍ය අතිරේක නැතැයි තර්ක කරන මහාචාර්ය අරංගලයන් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි පුදුම නොවන්නෙමු.

මෙහිදී පාඨක සහෘදයකු වශයෙන් තමාට මේ නවකතා කියැවීමෙන් විශේෂ හැඟීමක්, ආනන්දයක් හෝ ප්‍රඥාවක් නොලැබුණු බව සුලෝචන වික්‍රමසිංහ සංවාදයට එක්වෙමින් පැවැසීය. ඔහු ඉදිරිපත් කළ අදහසට පිළිතුරු දීමට ඉදිරිපත් වූ මහාචාර්ය අරංගල, පාඨක සුලෝචන ඉදිරිපත් කළ අදහස නිවැරැදි ව තේරුම් නොගත් බව පෙනිණි.. සුලෝචන වික්‍රමසිංහ යනු පොදු පාඨක සහෘදයකු පමණක් ම නොවේ.

ගැඹුරු කියැවීමක, හැදෑරීමක නිරත හොඳින් සකසා ගත් බස් වහරකින් යුතුව ලේඛනයේ යෙදෙන සහෘදයෙකි. ඔහුගේ ගැටලුවට මහාචාර්ය අරංගල දුන් පිළිතුර වූයේ ‘ඇමැතිවරු ඉඩම් බෙදනව වගේ සිරිසේන අයියට ගිය සැරේ දුන්නු නිසා මේ සැරේ බබා නෝනට දෙනවා කියනවා වගේ සාහිත්‍ය සම්මාන දෙන්න බැහැ. අගලකඩ හාමුදුරුවෝ පසුගිය සතියක පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණා, විද්‍යෝදය සම්මානය ‘කන්දක් සේමා’ කෘතියට දුන්නු නිසා ඉතිරි සම්මානත් ඒ පොතට ම දුන්නා වගේ ප්‍රකාශයක්.

 කාටද එහෙම තර්ක කරන්න පුළුවන්” එහිදී නැවත නැඟී සිටි සුලෝචන පැවසුවේ තමා ඇසුවේ පාඨකයෙක් විදියට තමන්ට මේ පොත් නොදැනෙන්නේ ඇයි යන ප්‍රශ්නය බවයි. පාඨකයාගේ වින්දන පරාසය ඊට බලපෑම් කරන බවත් පාඨකයනට එවැනි ගැටලු මතුවිය හැකි බවත් මහාචාර්ය අරංගල ඊට පිළිතුරු වශයෙන් පැවසීය.

මේ සියලු කතාබහ කැටි කොට එක් ගැටලුවක් සේ ගතහොත් ඊට ලබා දෙන එක ම පිළිතුරක් වන් සාරගර්භ කෙටි අදහසක් සභාවේ සිට නිහඬ ව ම මේ සියල්ල දෙස බලා සිටි මහාචාර්ය සෝමරත්න බාලසූරිය ඉදිරිපත් කළේය. ගත් වහර, කට වහර, නිර්මාණයට උචිත බස, පාඨක ලේඛක සීමා ඈ මේ සියල්ලට පිළිතුරු ඒ කෙටි අදහසේ ගැබ් වී තිබිණි. විචාර ආලෝචනාවට සහභාගි වූ පාඨක, ලේඛක සහෘදයනට මේ අදහස නව අනුභූතියක් වූවා නිසැක ය.

“සරල සුගම භාෂාවකින් ලියා ඇති නිසා මේ නවකතාව සාර්ථකයි කියලා ඇතැම් පොත්වල පසුවදන්වලත්, පෙරවදන්වලත් තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලවල වාග් විද්‍යාව උගන්වන ආචාර්යවරු පවා එහෙම කියනවා. ඒක සම්පූර්ණ වැරැදි මතයක්. නවකතාවක භාෂාව සරල, සුගම නැහැ. ඒක සංකීර්ණයි. සංකීර්ණ අදහසක් කියන්න සංකීර්ණ භාෂා රටා සහිත වාක්‍ය ඕනේ. නැතිව ඒක සරල කරලා සීනි බෝල අයිස්ක්‍රීම් වගේ ලියන්න බෑ. අනෙක මේ ලිඛිත කට වහර කියලා බෙදීමත් වැරැදියි.

අපේ ලේඛකයන්ගේ පොත් හරිම සරලයි. පිටු අතහැරලා වුණත් කියවන්න පුළුවන්. නමුත් හොඳ ලේඛකයකුගේ පොතක දාර්ශනිකත්වයක් තිබෙනවා. කවිවල වගේ යෙදුම් තිබෙනවා. ඒවා අනුන්ගෙන් ගත් ඒවා නොවෙයි. ඔහුගේ ම නිර්මාණ. ඔහුගේ චින්තනය සංකීර්ණ නිසා නිර්මාණයට අලුත් දේවල් එනවා. ඒවා කියවන විට ගැඹුරු චින්තන අපේ සිත්වලට කා වදිනවා. එතකොට අපිත් ටිකක් ගැඹුරින් හිතන්න, ලියන්න පටන් ගන්නවා. ඒ නිසා භාෂාවේ ප්‍රභේද දෙකයි හා සරල සුගම භාෂාවෙන් ලිවීම හොඳයි කියන අදහස අතහරිනවා නම් හොඳයි.

විචාර ආලෝචනාවේ විචාර හා අවිචාර අදහස් අතර මෙවන් හැරවුම් ලක්ෂයකට ඉදිරියේ යා හැකි වේ නම් තැබු පියවර සාර්ථක බව අපේ හැඟීමයි.

විචාර ආලෝචනාවේදී පොදු පාඨක සහෘදයනට වැටහී ගිය තවත් කරුණක් තිබේ. විද්‍යෝදය, ගොඩගේ, ස්වර්ණ පුස්තක හා රාජ්‍ය සම්මාන උළෙලවල් නියෝජනය කරමින් පැමිණි ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය ලීල් ගුණසේකර, මහාචාර්ය රත්නසිරි අරංගල, කිවියර ආරියවංශ රණවීර යන විද්වත්හු තමන් මේ කෘති නිර්දේශ කළ හේතුව හෝ ඊට පසුබිම් වූ නිර්ණායක පිළිබඳ ව කිසිදු සඳහනක් නොකළහ. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර බුද්ධදාසි හා කන්දක් සේ මා, තරාදියක දමා සමබර කිරීමට උත්සාහ කළ ද විටෙක තරාදියේ බර වැඩිවන්නේ ‘බුද්ධදාසි’ තිබෙන පැත්ත ය. තවත් විටෙක ‘කන්දක් සේ මා’ බර වැඩිවෙයි. අවසන ඔහු ‘කන්දක් සේ මා’ සම්මානය සඳහා තෝරා ගත් බව පැවසුවේ ය.

සම්මාන උළෙලින් පසු ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ඔහුට යළිත් ‘බුද්ධදාසි’ කියැවීමට සිතුණු බවත් එවිට එහි අගය වැඩි වී දැනුණ බවත් පැවසුවේ ය. නමුත් ඔහු එසේ අගය කරන ‘බුද්ධදාසි’ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට හෝ ගොඩගේ සම්මාන උළෙලට නිර්දේශ වන්නේ නැත. ඒ හා සමඟ ම පියල් කාරියවසම් ගේ ‘වීදුරු කුඩු කැවුණු කලෙක’ අනෙක් කිසිදු සම්මාන උළෙලකට නිර්දේශ වන්නේ නැත. රූපා ශි‍්‍රයාණි ඒකනායකගේ ‘දුටිමි නෙතින් කසුප් නිරින්ද්’ මහින්ද රත්නායකගේ ‘වළා යටින් මිහිමඬලට හිරු පායා’, උපාලි උබයසේකරගේ ‘2026 මහල්ලා’, ටෙනිසන් පෙරේරා ගේ ‘භවාන්තරය’, තාරකා වාසලමුදලිආරච්චිගේ ‘කළු’ එක් සම්මාන උළෙලකට පමණක් නිර්දේශ වූ නවකතා ය.

මේ සම්මාන උළෙල හතරට ම නිර්දේශ වන්නේ කරුණාදාස සූරියආරච්චිගේ ‘කළු දෝංකාරය’ හා සුමිත්‍රා රාහුබද්ධ ගේ ‘කන්දක් සේ මා’ යන නවකතාද්වය පමණී. මෙවැනි අවිනිශ්චිත විනිශ්චයන් පාඨක සහෘදයන් ඉදිරියේ එය එසේ සිදුවූයේ මන්දැයි විග්‍රහ නොවීම විචාර ආලෝචනාවේදී මඟහැරුණු ප්‍රධාන මතවාදයක් වේ. මෙලෙස බලන කල සම්මාන සමීක්‍ෂණ මණ්ඩල මතු කළ අවිනිශ්චිත භාවයට මෙ මඟින් පිළිතුරක් නොලැබීම විචාර ආලෝචනාවේ අර්ථ සම්පන්න බව අභියෝගයට ලක් කළා දැයි පාඨකයාට ගැටලුවක් මතුවීම සාධාරණ ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා