ගඟුලැල්ල
කොළොම්පෝරුයං
තැලිකෝනම් තැන මහ ණෑනිලා මංදෝකරන්න
කොළොම්පෝරු ගංපොජ්ජේ යමන් මංගච්චන්න
හෝ ගංගා පොකුණේ දඩු කැච්චක් මංදෝකරන්න
සුවදී මයේ හිත්පොජ්ජට එළිපොජ්ජක් පටෑරලන්න
ඇලි ගිගිරන් පිට ඉද මලු කටින ළමා
දිය ගිගිරන් පිට ඉඳ ඔරු පදින ළමා
වැව් තාවුල්ලේ සක්මන් කරන ළමා
කොළොම්පෝරු යන්න වරෙන් මයේ ළමා
මම දඬු ගැජ්ජෙන් සුවදි නගා
සිදාදියට මංගච්චන්නම්
නිල් කොළ පොජ්ජ ලාබච්චලා
කෝතම් පොජ්ජ ඇන උකාලාලන්නම්
වරිග පොජ්ජෙන් වහන්වෙලා
රුකුල් පොජ්ජ මන්දෝ කරන්නම්
හිත් පොජ්ජට ආල පොජ්ජ මන්දෝ කරාපං
හිත්
පොජ්ජට මන්දෝ වෙනවා
සුවදී ඇන්න දිය ගං කෙළින
සංතෝෂ පොජ්ජ මන්දෝ කරන්
කඳුළු පොජ්ජ නාකයි තොපට
කදේ කොට කොට ඔටා දමං
මංගච්චන්නම් මිනිග්ගජ්ජුන් මැදට
හිත් පොජ්ජට ආල පොජ්ජ මන්දෝ කරාපං
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ඕ තුමූ
දිවිසැරි මගෙහි අනුගත බවතරණයට
එකට ම ඇවිත් ළබැඳි ව කවි කරණ - යට
මා හා වෙසෙන්නිය ආවත් මැදි වියට
මට බොළඳියකි තාම ත් සුව දෙන ළයට
ළය දී ළපැත්තට සෙනෙහස් පුසුඹ රැඳී
කුරහන් රොටිය වුව කවමින් මිහිර දිදී
අත කන කරට නො පැළඳි මුත් බරණ රිදී
සිත දුක් නො ගෙන ඈ කුටුඹයෙ රථය අදී
ගරු ගම්බීර “අම්මා” යන අකුරු පෙළින්
විරු වරියක් වැ ඕ නිරතුරු පිදෙන මලින්
සරු සත්දහම් රස දී කිරි සුවඳ තුළින්
දරු මිණි පහන් දල්වයි ගුණ නුවණ තෙලින්
පෙම් බැඳි වසත් සමයෙහි මෙණෙවියක ලෙස
ම් හිම් නො දිස්නා සෙනෙහස් මිහිර ඉස
රන් කඳ නෙළා දුන් කවිමල් අමොද රස
සම්පත්තියක් විය දිවි බිම්පෙතෙහි යස
වක් වී ගලන ගංගාවට උවම් කොට
හැඳි මිටි කතා ගොතමින් ළඳලියන් හට
දද දන නිගා දුන්නත් ලොව විටින් විට
මවු දෙවඟන ද හමු විය ඈ තුළින් මට
ජේ.ජේ. වික්‍රමසේන
බුලතාගේ බිරිය
මී මුතු කුඹුරු වතුපිටි කැලයට වැදුණේ
සල්පිල වීදි දිදුලන බඩු ගොඩ කෙරුණේ
දස මහ යෝධයන් බලයට සම නොවුනේ
පෙරැලෙන හස්තියෙක් ලෙස බිම ඇද වැටුණේ
වලවේ ගඟේ කෙලවර ඇති ගිලන් හලේ
සිහිසුන්වෙලා සයනක කොන හිඳින වෙලේ
සෝඩි ටිකිරි රතැඟිලි පිරිමදින වෙලේ
සුවයෙන් ඉපිද ඇහැරුණි සෙනෙහස බලේ
කටුවයි මිටිය ගෙන හෙළ මහ ගුරුන් ලෙස
සිත් පිත් නැති ගලක තුන් කල් තිබෙන ලෙස
ඉසුරුමුණියෙ මෙන් පෙම්බර රුවක් ලෙස
ඔබ රුව නෙළන්නට හැකිවෙද මට කෙලෙස
උපාලි වීරසිංහ
වැස්සේ සොබාව
නැත දිය බිඳක් වත් බොනු පිණිස තිබහට
ගොවිතැන් බතක් කරගනු නොහැක අපහට
කරුණා බරව දහසක දිවැස යොමු කොට
වැසි පල දෙනු මැනව - වැඳ වැටෙමු දෙවිඳුට
දිව නෙත් යොමු වුණා - මෙත කුළුණ පැතිරිණ
වැසි පල දෙනු පිණිස දෙවි සුරත යොමුවිණ
සතහට සුවය සැනසුම සතුට ලැබ දෙන
කළු බර වෙලා සැනෙකින් අහස ඉතිරිණ
දේවාලයෙන් පිටවනු නොහැකි තරමට
මහ වැසි තදය – මඩ වී තිබෙයි වට පිට
පය තැබුමටත් බැරි තරමටයි එළියට
”චී ඞ මේ ජරා වැස්සක්” නැගිණි මුවඟට
සනත් පියසේන
බැමි
රන්දා පෝරු මස්තක තැළි පිළි පැළඳ
කැන්දා ගෙනත් නෑසිය පිරිවරද මැද
ඉන්නට සපථ වුවත් මී හා විලඳ
හඳුනා ගතිමි සෙනෙහස කොතරම් දුරද
දෙවනා විට සිතට දුක් කම්කටොළු නෙක
රැඳෙනා සිතුම් පා වී යනවා දුරක
විඳිනා සිතක් ඇති වුව රස සිනාවක
අවුරා සිටී මග දරුවන් වැදු දුක
ප්‍රභා මාධවී අභයගුණසේකර
මුද්දරගම
ලැබූ සතුට
සත්සමුදුර පීනා ගොස්
චක්‍රවාටයෙන් එපිටට
දහසක් ගව් යොදුන් ගෙවා
මහමෙර ගිර තරණයකොට
ජීවිතය ම පරද තැබු ව
ගී පොතකට – මී විතකට
සසර පුරුදු ගවේෂණය
ඔබ හමුවීමෙන් නිමවිය...
ඉනෝකා සිල්වා
මාරේ
උගේ නම මාරේ
ඌ මරේ මරු
ඌගේ ළඟ
දැළිපිහියකුත් තියෙනවා
ඒ ගැන ඇහුවහම
අටපිරිකරෙත්
දැළිපිහි තියෙන බව කියනවා.
කවකටුවේ තුඩ
කර්මයේ කේන්ද්‍රය
කඩදාසි මත තියා
පැන්සලෙන්
සංසාරේ අඳිනවා
අනිත්‍ය සාධනය කරනවා.
ඒ වුණත් රැවුල ඩයි කරනවා.
පිරිවෙනෙත් උගන්වනවා
හාමුදුරුවො ඉස්සරහ බොනවා
කරේ ඇති යන්තරේ
දෑතින් ම ගෙන ඉඹිනවා
මන්තරත් ජප කරනවා.
ඡ්‍යොතිෂය කියන්නේ
ලයිෆ් එක කියනවා
ග්‍රහයො විතරක් නොවෙයි
උන්ගෙ අම්මල ගැනත්
බුලත් විට හප හපා කියනවා.
චාලි චැප්ලින්ගෙත්
චිත්‍රපටි බලනවා
බල බලා ඉකිළමින් අඬනවා
ආට් ගැන කිය කියා
නාට්ටිත් බලනවා
මාක්ස්වාදය ගැනත්
දහස්වර කියනවා
සම්මතෙයි කියාගත්
අසම්මත සමාජයේ
තමන්ගේ සම්මතය රකිනවා
තාම ඌ ආදරය සොයනවා
මහ රෑ දොළහටත්
ටෙලිෆෝන් කරනවා
මචං මං මාරයා කියනවා.
අත්අකුරු මල්වඩම කාව්‍ය සංග්‍රහයෙනි.
අමිල තේනුවර
අභිමානය
අහසට ඇදුන කරටිය දස අත වීද
පෙන්නුම් කළා කවදත් දැඩි බව යෝද
සමගිය තිබේ නැහැ කිසිවකු හා බේද
උස පඳුරකි වැඩුණු එහි පැළයකි මාද
කුණු රොඩු තුරුළු කරගෙන ගඟ දෙපස හෙලා
බැසයන විටදි මහ වැස්සට දෙගොඩ තලා
මැඩගෙන නැගෙන සැඩ පහරට පුරුදු වෙලා
සිටියෙමි සොබා දහමට මා නොවිඳ මුලා
සේදී ගිහින් දෙපසෙහි පස් ඉවුරු දිගේ
අඩපණ වුනා උස ගස් තිබු තරුණ යුගේ
සමහරු කැපුවත් කන නැඟ උඩට අඟේ
නැවතිය හැකිද බැමි බැඳ මග ගලන ගඟේ
නිලතල රැගෙන ලොකුතැන්වල උදය හවා
වනසති කපා දමමින් පොඩි පඳුරු පවා
ගඟ දිය සිඳීගොස් දැඩි හිරු රැසට දිවා
වැටුණා ඉඩෝරෙට ගහකොළ බිමට දවා
අතු ඉති බිඳී තිබු තේජස් ගතිය කලින්
බිම ඇද වැටෙන විට පෙරළී පරිදි අලින්
අහකට දමා කරදර සිටි විලස මුලින්
ටික දවසකින් ආයෙත් සිට ගතිමි කෙළින්
රංජිත් නිමල්සිරි ජයසේන
මිනුවන්ගොඩ
”බු උද්ධ වෙමු”
සම්බුදු හිමිගේ ධර්මය විකසිත වන බව සැමවිට
සිතනු සැමා
සම්බුදු හිමියන් දෙසූ බණ අසමින් පිළිවෙත්
සුරකිමු නොකර පමා
සම්බුදු හිමි දෙසූ මැරි මැරි ඉපදෙන සසරේ ගමනක
නොවන නිමා
සම්බුදු හිමියන් පෙන්වූ මගතොට යන්නේ කෙලෙසද
නොකර පමා
බිහි නොකරනු මැන සමුදය දහමක් පුහුදුන් සිත තුළ
ජනිත වනා
බිහිවන සමුදය සතියෙන් දුරුකර විරියෙන් පිටතට
යවනු මැනා
”බව“ ඉදුරූ විට “ජාති” ද නැතිවී නිවනේ දොරගුළු
විවර වෙනා
මොහොතින් මොහොතට නිවි නිවි සැනසී සිත තුළ බුදු
බව ජනිත වෙනා
එරංග තෙපුලන්ගොඩ
සබඳ
මහපොළොව සිපගන්නට
සුසුම්ලන
දිය පොදක්ය
නුඹ
ලතවන හදමඬල විකසිත
කරන්නට ඔබ
නැවුම් කුසුමක් ය ..... ඔබ...
මිනිස්කම හඳුනත්
හදවතේ වරම් නැත
තෙලිතුඩක් මවන්නට
ජීවිතය තවදුරයි
මනසින්, බුද්ධියට...
ඉඩදෙන්න
අඳුරු පටු මඟේ
හදවතින් එළිය දෙන
සතුට සොයා යන..
දකින සිහිනයක්
සැබෑ කරන්නට
ඉදිරි ජීවිතය ද..
ජයගත යුතු නොවන්නෙහිද?
සබඳ...
එන්.කේ. නිමේෂිකා දුෂ්මන්ති
විසකුරු සපු
නේක විධ මුද්‍රාවෙන්
සමිඳුනේ! ඔබගෙ පිළිරූ තනා
නො නිසි ශ්‍රද්ධාවෙන්
එතෙර යන්නට මහෝඝයෙන්
දනෝ ඔබ පුදති තොර ව ප්‍රඥාවෙන්...
හිමියනේ ඔබ දිවමන් පෙර දවසේ
කොසොල් නිරිඳු දුටු සිහිනේ
සැබෑවෙමින් අද දවසේ
ගුණ දම් පාවෙයි උඩු සුළඟේ...
බුදු පුත් අනඳ හිමිට එදා
විසකුරු සපු පෙන්වාලා
ගැලවෙන්නට මඟ කීවා
මිනිස් වගට එය අමතක වූවා
ගුණ දම් පහතට හෙළුවා
ශාස්ත්‍රපති
කොටියාගල සීවලී හිමි
එකම අරමුණක්...
මා රැකියාවට ගොසින්
ආපසු එනතුරා
නුඹ බලා සිටියා එදා
නුඹෙ පුංචි සන්දියේ
මා කිසිවක් ගෙන එතැයි
අපේක්ෂාවෙන්...
එලෙසින් ම
නුඹ එනතුරා
මමද බලා සිටින්නෙමි මෙදා
මගෙ සැඳෑ දිවියේ
නුඹ සුවෙන් එතැයි යන
එක ම එක අපේක්ෂාවෙන්...
බන්දුල කීර්ති ආයුපාල
දයාබර මෑණියනි
දිවිමගේ දිගු ගමනක
විරාමයක් ලබා ඉසුඹු ලන විට
කිරි සුවඳින් ලොව පුබුදා
සිඟිති සිනා රැල් අතරින්
නැඟීමි හසරැල්
මිත්තණියක ලෙසින්...
සුරතල් මිනිබිරියගේත්
වියපත් මා මෑණියන්ගේත්
මුවින් නැඟෙනා
දසන් නොමැති සිනාරැල්
මා දෑස අබියස රඟදෙයි
තරගයට මෙන්...
එහෙත්.....
දයාබර මෑණියනි!
ඔබත් – මිනිබිරියන් අතර
මංමුළාවූ මම
සමාව අයදිමි
මගේ උවටැන් ලැබීමට
වරම් නොමැති ඔබෙන්...
පද්මා ජයසිංහ
සුරතලා ගේ මරණය
හුරු බුහුටියට හුරතලයට කිරි කැටියා
පාමුල වෙළි වෙළී නිතරම ළඟ හිටියා
අම්මා අතැර අප වෙත ආ දරු පැටියා
හිටි හැටියේම මඟ මරු සහ ගිය හැටියා
කිසිවක් ලියන විට මේසය මතට පනී
පෑනයි කොළෙයි උදුරා ගෙන වැළඳ ගනී
ගැසුවොත් හෙමින් බොරුවට වග හොඳට දනී
ළඟ සිටියේය කිසිවිට මා නොකර තනී
හවසට ගෙදර එද්දී කටහඬ හඳුනයි
කරණම් අඩව් පා පිළිගැනුමෙහි යෙදුනයි
බත් කෑ බෙලෙක් තැටියයි කිරිබිවු බඳුනයි
උඹ ගෙයි නැති නිසා පිළිකන්නට වැදුනයි
දයාරත්න රණේපුර
|