»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
හේන හා බැඳුණු ආරක්ෂක විධි
 

හේන හා බැඳුණු ආරක්ෂක විධි

 

රජ රටට වැහි වැටෙන සමයයි මේ. කාෂ්ටක නියඟයෙන් රිදුම් කෑ තුරුලිය දලුමලින් සැරසී ඉරිතැලුණ වැව් පතුල සිහිලසින් පුරවාලා වැහි කාලය සැබැවින් ම අසිරිමත් සමයකි. අක්වැස්ස පටන්ගන්න විට ම දූවිල්ලට වැපුරූ කුරහන් කනුමදු (ගස් කපා දැමූ පසු පොළවෙන් අඩි බාගයක් පමණ උසට ඉතිරිවන කනු) වසාගෙන නැඟිටින අතර මෑ වැටකොළු වැල් උස කනු මදු උඩට නැඟෙන කාලය මෙයයි. මේ වන විට කුරහන් පඳුරු අතරින් නැඟී එන බඩඉරිඟු ගස් ද හේනට අමුතු සිරියක් එක්කරයි.

මේ කාලය වන විට ගොවියා විසින් සිය හේනේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කළ යුතු බොහෝ කාර්යයන් නිමකර තිබේ. පළමුවෙන් ම හේන වටා වැට බඳී. මේ වැට බැඳීමේ ක්‍රම කීපයක් තිබේ.

ඇතුල් වැට පිට වැට ලෙසින් ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර ඇතුල් වැට දඬුවැට හා කටුවැට වශයෙන් කොටස් දෙකක් වෙයි. එළිමහන් බිමකට විවෘත ව ඇති කොටසක් වේ නම් ඒ ප්‍රදේශය වෙන් කොට බඳින්නේ දඬුවැටයි. හේනේ වල් පිලිස්සීමෙන් ඉතිරිවී ඇති දඬු එක්තරා රටාවකට තබමින් දඬු වැට බඳිනු ලැබේ.

කැලයට යාව ඇති කොටසේ කටු පඳුරු කපා කටු වැට සාදයි. මේ ඇතුල් වැටට පිටින් ඇති ගස් කපා රැකවල් වැටක් ද සාදයි. මෙය පිට වැට යනුවෙන් නම් කෙරෙන අතර සතෙක් හේනට ඇතුල් වීමේදී පිට වැට කඩන ශබ්දයට ගොවියා අවදි වී සතාගේ ගමන වැළැක්වීම මේ පිටවැට සෑදීමේ ප්‍රධාන අරමුණ වෙයි. මීට අමතරව හේනට ඇතුළු වන ප්‍රධාන වැටේ සිට බඹ විස්සක් තිහක් ඈතින් හොල්මන් වැට ඉදිකරනු ලැබේ.

මේ වැට ඉනි හිටවා හරස් අතට දිග රිටි බැඳ සකස් කරගන්නා අතර එළි වැටෙහි තල් අතු සහ පැරණි ටිං කබල් හා එකට යාකල යකඩ කැබලි එල්ලා තබයි. සතෙක් ඒ වැට කඩන විට එල්ලා ඇති දෑ එකට ගැටී නැඟෙන ශබ්දයෙන් ගොවියාට පෙර සූදානමක් විය හැකි ය. මීට හොල්මන් වැට කියන්නේ වැට කඩන විට නැඟෙන ශබ්ද නිසා විය හැකි ය.

වැට බැඳීම ආරම්භ කරන්නේ ද හිමිදිරි පාන්දරින් උදාවන ‘දිවිකරන්’ නැකතිනි. මේ වෙලාවට දිවියා ආහාර සප්පායම් වී ආපසු ගුහාවට ඇදෙන වේලාව නිසා කිසිදු සතෙක් එළියට නොබසින නිසා ඒ වේලාව සුබ වෙලාවක් බව ගැමි ජනයා විශ්වාස කරති. හේනේ බෝග වර්ග විශේෂයෙන් කුරක්කන් උඳු මුං ආදිය වැපිරීමට පෙර හේන වටා වැලි කුකුල් වැටිය කොටනු ලැබේ.

වපුරන ඇට වර්ග කෑමට හේනට එන වලිකුකුලන් හාවන් මීමින්නන් වැනි සතුන්ගෙන් හේන ආරක්ෂා වීමටත් ඒ සතුන්ගේ මස් සපයා ගැනීමටත් මේ වැලි කුකුල් වැටිය සකස් කෙරේ. හේන වටා බඳින වැටට බඹ කීපයක් ඈතින් අඩි 2ක් පමණ උසට කොළ අතු දමා වැටියක් මෙන් ප්‍රධාන වැට වටේට සකස් කරයි. මේ වැටියේ තැනින් තැන අඩියක් පමණ පරතර ඇති කඩුලු තබා ඒ කඩුළුවල උගුල් අටවනු ලැබේ.

හේනට එන කුඩා සතුන් වැටිය වටා පැමිණ කුඩා කඩුල්ලෙන් ඇතුළු වන විට උගුල ගැස්සී සතා උගුලට අසුවේ. මේ සතුන් ගොවියාගේ දෛනික ආහාර වේල රසවත් කිරීමට උපයෝගී කරගනී.

දේවාරක්ෂාව

වැට මෙන්ම පැල ද හේනේ ආරක්ෂාවට අත්‍යාවශ්‍ය සාධකයකි. මේ සියල්ලට ම පළමුව හේනේ බෝග වැපිරීමට පළමු ව මුලින් ම කෙරෙන කාර්යය වන්නේ දෙවියන් සඳහා පඬුර ගැට ගැසීමයි. නුවර කලාවියේ අදහන දෙවිවරුන් වන අය්යනා දෙවියන්, ඉලන්දාරි දෙවියන්, බහිරව දෙවියන් මෙන් ම පුල්ලෙයාර් දෙවියන් සඳහා ද බාර හාර වී පඬුරු ගැටගසනු ලැබේ. ඉන්පසුව මාස් ශුද්ධිය ඇති කාන්තාවන්ට හේනට ඇතුළුවීම තහනම් කරයි. හේන වටා ඇති උගුල් වැටියට අමතර ව හේනට එන වඳුරු රිලා ආදී සතුන් සඳහා ද උගුල් අටවනු ලැබේ. මේ අනුව හේනට එන සතුන් ඇල්ලීම සඳහා උගුල් වර්ග කීපයක් අටවති. වලිකුකුල් උගුල – රිලා උගුල - කොබෙයි උගුල ආදී ඒ ඒ සතුන් ගේ ප්‍රමාණයන් අනුව උගුල් වර්ග අටවනු ලැබේ. ඒ හැර හේනට එන වල් අලින් සඳහා ද බොරු උගුල් සාදති. කලවැල් නමැති වැල් වර්ගය ගෙන පාපැදි රිම් එකකට වඩා මඳක් විශාල කවයක් සාදා අලින් එන මංතලව් වල අලියාගේ උස ප්‍රමාණයෙන් එල්ලනු ලැබේ. එවැනි තැන්වලින් ඒමට බිය වන්නේ ඌ ඇල්ලීමට අටවන ලද උගුලක් යයි බියවන නිසා ය.

මේ අනුව මහ වනය මැද එළිකරන ලද හේනක ආරක්ෂාව සඳහා ගොවියා ක්‍රම වේද රැසක්ම භාවිතා කරයි. හේන පුරා ටක බැඳ ඒවා රැහැන් මඟින් පැලට සම්බන්ධ කර තිබීමෙන් එක රැහැන් පොටක් ඇද්ද විට හේන පුරාම ‘ටක’ ශබ්දවීමෙන් ද සතුන් බයකර හේනට ආරක්ෂාව සලසා ගනී. මේ සියලු ක්‍රමවේදයන් භාවිතා කළත් ඌරා රිලවා අලියා ගේ සිට වනවාසී බොහෝ සතුන්ගෙන් හේනට ආලාපාළු සිදුවෙයි. එහෙත් මේ ආරක්ෂක විධි නිසා හේනට සිදුවන ආලාපාළු බොහෝදුරට අවම කර ගැනීමට ගොවියා සමත් වෙයි.

පාරම්පරික හේන් ගොවියාගේ බත හැර අනෙක් සියලු ආදායම් මාර්ග රැඳී ඇති හේන් වගාවන් පිළිබඳ ව ඔවුන් විශේෂයෙන් ම සැලකිලිමත් වූහ. කනතු හේන් – මූකලන් හේන් – අත්දඬුවා හේන් ආදී කුමන වර්ගයේ හේනක් වුවද එහි ආදායම් අරමුණු සපුරා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වුණේ ආරක්ෂාවයි. මේ ආරක්ෂක විධි විධාන අතීතයේ සිට ගොවියාට උරුම වූ උරුමයන් ලෙස හැඳින්විය හැකි ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා