»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
දොස් - නිදොස් විශ්ලේෂණය
 

දොස් - නිදොස් විශ්ලේෂණය

 

 

ඩී. එෆ්. කාරියකරවන

ගහන්ට

මේ වචනය වියත් වහරට වැටෙන්නේ ගහන්නට යනුවෙනි. එහෙත් ජනවහරේ ඇති කියමන් ගන්නා හෙයින් මෙහි ගහන්ට යන වචනයට යෙදෙන බව සැලකුව මැනවි. ගහන්ට යන වචනයේ අරුත් බොහෝ ය. මෙහි දැක්වෙන්නේ ඒවායින් කීපයක් පමණි.

වැරැදි කරන ළමයින්ට ගහන්නට ඕනෑය යන තැන අරුත වේවැලකින් හෝ කෝටුවකින් තැලීම ය. අඹ ගහට පොලු ගහන්ට ඕනෑ කියන තැන අරුත පොලු විසි කිරීම ය. කැඩූ අඹ ටික ගොඩගහන්ට ඕනෑ ය. කියන තැන ගහන්ට යන්නේ අරුත අඹ ටික ගොඩගැසීම ය. අඹ කන්නට පෙර ලෙලි ගහන්ට ඕනෑය කියන්නේ පොතු ඇරීමට ය. ලෙලි ගැසූ අඹ පලු ගහන්ටය කියන්නේ කැබලි කිරීමට ය. තේ ගහන්ටය කියන තැන අරුත තේ, කිරි, සීනි හොඳ හැටි මිශ්‍ර කිරීම ය.

රබන් ගහන්ට, සර්පිනා ගහන්ට, බෙර ගහන්ට, වීණා ගහන්ට යන තන්හි ගහන්ට යන්නෙහි අරුත ඒ ඒ භාණ්ඩ වාදනය කිරීම ය.

ඇණ ගහන්ට කියන තැන හැෙඟන්නේ ඇණේකින් හෝ ඇණ කීපයකින් යම් කිසි දෙවගයක් හෝ වැඩි ගණනක් එකට යා කිරීමයි. අත්පුඩි ගහන්ට ඕනෑ යන්නෙන් අදහස් කැරෙන්නේ දෙඅත්ල එකට ගසා හඬක් නැංවීමයි.

කෙළ ගහන්ට ඕනෑ යන්නෙන් අදහස් කැරෙන්නේ කටේ කෙළ ඉවත දැමීමයි. කොර ගහන්ට එපා යන්නෙහි අරුත කොර ගසමින් යන්නට එපාය කියන එකයි.

අර ළමයාට අඬ ගහන්ට කීවොත් එහි අරුත අර ළමයා කැඳවන්ට කියන එකයි.

ක්‍රිකට් ගහන්ට යමු කීවොත් එහි අරුත ක්‍රිකට් ක්‍රීඩා කරන්ට යමු කියන එකය.

ලංකාවට ගහන්ට රටක් තවත් නැත, යන්නෙහි අරුත ලෝකයේ හොඳම රට ලංකාව බව ය. බෝම්බ ගහන්ට එපා යන්නෙහි අරුත බෝම්බවලින් පහර දෙන්නට එපාය යන්න ය. කෑකෝ ගහන්ට එපාය කියන්නේ කෑකෝ නොගැසිය යුතු බව ය. කට ගහන්ට එපාය කියන්නේ කට දමන්ට එපාය කියන එකය.

මෙසේ ම ගොත ගහන්ට, තලුගහන්ට, කරනම් ගහන්ට, පෙට්‍රල් ගහන්ට, හුළං ගහන්ට, දුම් ගහන්ට යන කියමන්වල වෙන වෙන අරුත් ඇත.

බඩට ගහන්ට යන්නෙහි අරුත රක්ෂාව නැති කරන්ට කියන එක ය. නො ඉදුණු කෙසෙල් ගෙඩි ඉක්මනින් ඉදවන්නට නම් දුම් ගහන්ට ඕනෑ ය. පිල්ලි ගහන්ට, පොකැට් ගහන්ට හා මඩගහන්ට හොඳ නැත.

මුත්‍ර පරීක්ෂාව

රන් පදක්කම දිනූ ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයාගේ මුත්‍රා යළිත් වරක් නොවැම්බර් 2 දා නවදිල්ලියේ දී සිදුවන බව ඔක්තෝබර් 28 වැනිදා පුවත්පතක පළ විය.

මේ පුවතේ වැරැදි කීපයකි. පළමු වැනි වරද නම් මුත්‍රා යන්නයි. මෙය මුත්‍ර යනුවෙන් නිවැරැදි විය යුතු ය.

දෙවැනි වරද නම් යලිත් යන්නයි. මෙය යළිත් යනුවෙන් නිවැරැදි විය යුතු ය.

තුන් වැනි වරද නම් ‘2 දා’ යන්නයි. මේ කියන්නෙ නොවැම්බර් දෙවැනිදා නොව දෙකදා ය. මේ ‘දෙකදා’ කියන්නේ කිමෙක් ද? එය විහිළු කියමනකි.

සිරස්තල වලට ඉලක්කම් ඇතුළු කිරීමේදී බොහෝ දෙනකු අතින් මෙවැනි වැරැදි සිදුවනු පෙනේ.

ආශ්චර්ය

පසුගිය 28 වැනි දින ප්‍රධාන පත්‍රයක පළ වූ ලොකු සිරසක් මෙසේ ය.

“ත්‍රස්තවාදයෙන් මුදාගත් කරගත් රට ආසියාවේ ආශ්චර්ය කරන ගමනට හරස්වන බාධා ඉවත් කළ යුතු වෙනවා.”

මොකද්ද මේ ත්‍රස්තවාදයෙන් මුදාගත්, කරගත් රට? මෙහි ඇති “කරගත්” යන්න අනවශ්‍ය වචනයකි.

කැලල

කැලල යනු ලපයකි. තුවාලයක් සනීප වූ විට සිරුරේ දකින්නට ලැබෙන ලපය කැලල නම් වේ. මෙසේ ම කෙනකුගේ චරිතය කිලිටු වූ විට එයට ද කැලල යයි කියනු ලැබේ.

එල්ලෙන්ට වැල් නෑ

මේ කියන්නේ බෙල්ලේ වැලක් දමාගෙන එල්ලෙන්නට නොවෙයි. ආර්ථික අතින් පිරිහී මිල මුදල් කිසිවක් නැතිව කිසිම හව්හරණයක් නැති තත්ත්වයට වැටුණු විට කියන කථාවකි. එල්ලෙන්ට වැල් නෑ යන්න වැලේ වැල් නෑ යනුවෙන් ද කියනු ලැබේ.

කුඩු රජවරු

ගිය සතියේ පත්‍රයක මුල් පිටුවේ වූ සිරසක “කුඩු රජවරු” යන්න ද දකින්නට ලැබිණ. මෙහි “කුඩු රජවරු” යන්න යොදා ඇත්තේ මහා පරිමාණයෙන් කුඩු ජාවාරමේ යෙදෙන්නවුනට ය.

රජවරු යනු පූජනීය සම්භාවනීය වචනයකි. රට කන ජරා කුඩ්ඩන්ට රජවරු යන වචනය යෙදීම සුදුසු ද? එවැනි අයට කිව යුත්තේ මහා කුඩ්ඩන් වැනි වචන නොවේ ද?

විභාගය

“විභාගය ලියමින් සිටි සිසුවියන්ට සිසු ප්‍රහාර” මේ වනාහි පසුගිය සතියේ ප්‍රධාන පුවත්පතක මුල් පිටුවේ පළ වූ මහා සිරසකි. මෙහි ‘විභාගය ලියමින් සිටි’ යන්න වැරැදි යෙදුමකි. විභාගය ලියන්නේ කෙසේ ද? මෙය විභාගයට යනුවෙන් නිවැරැදි විය යුතු ය.

අන්තර්ජාතික

“මාගම්පුර ජාත්‍යන්තර වරායට පළමු නැව ලබන මස 18 වැනිදා එයි.” මෙය ද පසුගිය සතියේ පුවත්පතකිනි.

ජාත්‍යන්තර යන වචනය දැන් බොහෝ දෙනකු වහරන බව සැබවි. එහෙත් වඩා හොඳ වචනය නම් අන්තර්ජාතික යන්නය. (NATIONAL/ ජාතික INTERNATIONAL/ අන්තර්ජාතික)

සැණකෙළිය

“සැණකෙලියේ ගුටිකෙලියක්” යන්න ද පසුගිය සතියේ පත්තරයකිනි. සැණකෙලියේ යන්නෙහි මෙන් ම ගුටිකෙලියෙහි ද ල යන්න මූර්ධජ විය යුතු ය.

හැකි

“සියලුම ෆාමසිවලින් ලබාගත හැක” යන මේ වැකියේ අවසාන ක්‍රියාව ගැන අපට කථා කරනු බැරි විය. හැක යන්න සුදුසු නැති පදයකි. එය නිවැරැදි විය යුත්තේ හැකි හෝ හැකිය යනුවෙනි. “හැක - හැක” ගාන්නෝ මැඩියෝ ය.

ඉහළ පෙළ

මෙය පුංචි තිරයෙහි දකින්නට ලැබුණේ “ඉහල පෙල” යනුවෙනි. එහි පළමු ල යනු දෙක ම වැරැදි ය.

විශ්වසනීය

“විශ්වසනීය’ යන්නයි නිවැරැදි වචනය, විශ්වාසනීය යන්න වැරැදි ය. විශ්වසනීය යන්නෙහි අරුත විශ්වාස කළ හැකි බවයි” පිළිගත හැකි හා ඇදහිය හැකි එහි අරුත් වේ.

පැදුර

පැදුර අපේ සංස්කෘතිය හා සම්බන්ධ වූවකි. නිදාගැනීමට පමණක් නොව හිඳ ගැනීමටත් එදා පැදුර බෙහෙවින් වැහැරිණි. එසේ ම බාල පැදුරු වර්ග යම් යම් බඩු භාණ්ඩ එතීමට ද ගන්නා ලදී. දුම්කොළ සිප්පම් වශයෙන් බැඳීමට ගන්නා ලද්දේ පොල් කොළ පැදුරු ය. එදා පොල් කොළ පැදුරක් සත දහයකටත් අඩුවෙන් ගත හැකි විය.

ඇතැම් දුප්පතුන් නිදාගත්තේ ද පොල් කොළ පැදුරුවලය. යමක් කමක් ඇති අය ප්‍රයෝජනයට ගත්තේ ගල්ලැහැ පැදුරු ය.

පාට පාට මෝස්තර දැමූ ගල්ලැහැ පැදුරු ඉස්තරම් ඒවා විය. තුන්හිරියා පන් පැදුරු පඩපන් පැදුරු ගල්ලැහැ පැදුරුවල තත්ත්වයේ නොවීය.

ඉස්සර කාලේ බොහෝ දෙන නිදා ගැනීමට පමණක් නොව දානෙ දෙන්නටත්, එක් වී කෑම ගැනීමට සාමීචියටත් එළාගත්තේ පැදුරු ය. තව සමහරුන් තත්ත්වයක් ඇති අමුත්තන් ආ විට පැදුරු එළුවේ වටපිල් කන්දේ ය.

විද්යුත් මාධ්‍යයෙහි පැදුරු පාටිය නමින් විශේෂාංගයක් ඇති වූයේ අඩ සියවසකට පෙර ය. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් වූ අපේ හිතවතා රජරට සේවයට ගියාට පසු ඔහු හඳුන්වා දුන් වැඩ සටහන නම් කළේ පිළේ පැදුර කියා ය.

අද දක්නට ලැබෙන පැදුරු පාටියෙහි එක පන්ගහක් වත් නැත. එය පැදුරු පාටියක් නොව පුටු පාටියකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා