»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
මෙරට ශාන්ති කර්ම ශිල්පීන් නූගතුන් නොවෙයි
 

මෙරට ශාන්ති කර්ම ශිල්පීන් නූගතුන් නොවෙයි

 

මහාචාර්ය ලයනල් බෙන්තරගේ

කළුකුමාර යාග පිළිවෙළ, සිංහල සැරසිලි කලාව, හින්දු වන්නම් විමර්ශන, රංග භාණ්ඩ හා රංගාභරණ නිර්මාණකරණය, පහතරට ශාන්තිකර්මවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, රීරි යක් සංකල්පය හා සමාජය වැනි ශාන්තිකර්ම ආශි‍්‍රත පර්යේෂණ කෘති රැසක් රචනා කළ මහාචාර්ය ලයනල් බෙන්තරගේ බොහෝ පර්යේෂකයන්ගේ ඇස නොගැටුණු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකළ පර්යේෂකයෙකි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහතරට නර්තන අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස කටයුතු කරන මහැදුරුතුමෝ පුන්කලස මුවදොර වදන සංලාපයට එක් වෙමින්, දේශීය ශාන්තිකර්ම සේ ම අනෙක් සියලු කලාවන් ද දේශීය විදග්ධයන් ඇසුරේ වර්ධනය වූ කලාවන් බව අවධාරණය කරති.

ඔබ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා තෝරා ගන්නේ පහතරට ශාන්තිකර්මවල දක්නට ලැබෙන වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ පර්යේෂණයක් ශාන්තිකර්ම හා වාස්තු විද්‍යාව අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක් ද?

සියලු සමාජයන්ට පොදු වශයෙන් ගත් කළ ස්වභාවිකත්වය තත්ත්වාකාරයෙන් අවබෝධ කරගත නොහැකිවූ ජනයා ස්වභාවිකත්වයෙන් විවිධ වෙනස්වීම් අදෘශ්‍යමාන බලයක ප්‍රතිඵලයක් යැයි සිතා ඒවාට වැඳුම් පිදුම් කිරීමට වුණා. ඒ වගේම මළවුන් ඇදහීමත් මේ සියලු සමාජයන්ට පොදුයි. ඒ වගේම ඔවුන්ට විද්‍යමාන වූ ඉර හඳ තාරකා ග්‍රහවස්තු ආදිය වන්දනා කිරීමේ ක්‍රමයක් ද පෙරදිග බෙහෙවින් ප්‍රචලිත වී තිබෙනවා. මේ හැම ශාන්තිකර්මයකම මූලික පරමාර්ථය වුණේ පුද්ගලයකුට ජීවත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි.

වාස්තු විද්‍යාව කියන්නේ කෙනෙකුට වාසය කිරීමට උචිත ලෙස පරිසරය නිර්මාණය කිරීමේ ක්‍රමවේදයයි. අද බොහෝදෙනා වාස්තු විද්‍යාව ලෙස දකින්නේ ගෘහ නිර්මාණ ශිල්පය පමණයි. එහෙත් කාන්තාරයක් මනුෂ්‍ය වාසයකට සුදුසු ලෙස නිර්මාණය කිරීමට නම් ගෘහනිර්මාණ ශිල්පය පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා රුක් රෝපණය, ජල සැපයුම සඳහා ළිං වැව් අමුණු නිර්මාණය, නගර නිර්මාණය ආදි සියලු අංශ ඊට අයත් වෙනවා. අපි ශාන්තිකර්මයක් ගත්තම ඉන් සිදු වෙන්නේ යම් කෙනෙකුට සෙතක් ශාන්තියක් ඇති කිරීමයි. එහිදී තුනුරුවන් ප්‍රධාන දෙවි දේවතාවුන් යකුන් පිදීමක් හෝ යැදීමක් සිදුවෙනවා.

ශාන්තිකර්මයක මල් යහන කියන්නේ තුණුරුවන් ප්‍රධාන දෙවි දේවතාවන් වැඩ සිටින ඔවුන්ට පුද පූජා පවත්වන ස්ථානයයි. එය නිර්මාණය කළ යුතු වන්නේ දේව කටයුතුවලට උචිත ආකාරයෙන් හා දෙවියන්ට වැඩ සිටීමට උචිත ආකාරයෙන්. ශාන්තිකර්ම ශිල්පියා සාමාන්‍ය නිවසකට ගොස් එහි නිකම්ම නිකන් බිමක දෙවියන්ට ගැළපෙන පරිසරයක් නිර්මාණය කරනවා. මෙය තමයි වාස්තු විද්‍යාව.

රටේ ජනතාවට සුව පහසු ලෙස ජීවත්වීමට නගර නිර්මාණයක් සිදු කරන සේ දෙවියන්ට වැඩ විසීමටත් ඔවුන් වෙනුවෙන් කරන චාරිත්‍ර ඉටු කිරීමටත් මේ සියල්ල ආතුරයාට ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙන ආකාරයටත් ඒ භූමිය නිර්මාණය කිරීමට ශාන්තිකර්ම ශිල්පියාට සිදුවෙනවා. එහිදී දියුණු වාස්තු විද්‍යාත්මක ක්‍රමයන්හි මෙන් දිශාව පිළිබඳ දිග පළල පිළිබඳ වර්ණ පිළිබඳ ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ඔබ ඉදිරිපත් කරන මේ සාධක මඟින් පෙරදිග දියුණු වාස්තු විද්‍යාවක් තිබූ බව ට පසක් කරගත හැකිද?

ඔව්. අපට දියුණු වාස්තු විද්‍යාවක් තිබුණා විතරක් නෙවෙයි, අපේ ඉපැරණි සියලු කලාවන් ඉතා දියුණු මට්ටමක තිබුණා. සීගිරි ගල මුදුනේ නගර නිර්මාණය වීමට, සැතපුමකට අඟලක බැස්ම ඇති ඇළවේලි නිර්මාණය වීමට, මහා වෙහෙර විහාර ඉදිවීමට තරම් දියුණු වාස්තුවිද්‍යාවක් අපට තිබුණා. මේ දියුණු ශිල්පීය ඥානය අපට භාරතයෙන් ලැබුණු බවටත් සාධක තිබෙනවා.

එහෙත් ඒ දැනුම අපි අපට අනන්‍ය ආකාරයට සංස්කරණය කර ගැනීමකින් තමයි භාවිතා කර තිබෙන්නේ. දෛවඥ කාමධේනුව, වෛජයන්ත තන්ත්‍රය, බිම්බමානය හෙවත් ශාරිපුත්‍රය වැනි කෘති අපට භාරතීය ආභාසයෙන් ලැබී තිබෙන්නේ. මේවායේ දියුණු වාස්තු විද්‍යාවක් අන්තර්ගතවී තිබෙනවා. එය අද පවත්නා වාස්තු විද්‍යාවට එහා ගිය දියුණු ක්‍රමයක්.

මිනිසාට මුහුණ දීමට වන විවිධ සිදුවීම්වල සුබ අසුබතාවන්, සත්ත්වයන්ගේ ලක්ෂණ ආදී පුළුල් විෂය ක්ෂේත්‍ර ඒවායේ අන්තර්ගතයි. මේ වාස්තු විද්‍යාවට අධිපති විශ්වකර්ම නමින් දෙවිකෙනෙක් ද අතීතයේ වන්දනාවට පාත්‍ර වුණා. මේ කියන දියුණු වාස්තු විද්‍යාව තමයි ශාන්තිකර්මවලට එකතු වුණේ.

පහතරට සූනියම් වීදියක හා පැරැණි වලව්වක ඇති වාස්තු විද්‍යාත්මක සාම්‍යය ගැන ඔබ විස්තර කර තිබුණා.

ඔව්. පැරැණි නිවසක ඇති පේකඩ, තොරණ හිස, සඳළුතල කුලුනු, පාවුල් පේකඩ, ගරාදි ආදි හැම දෙයක්ම සූනියම් වීදියේත් තිබෙනවා. එහි වෙනස ලෙස මා දුටුවේ, පැරැණි වලව්ව පරම්පරා ගණනාවක් පවතින ලෙස ස්වභාවික වස්තු යොදාගෙන නිර්මාණය කර තිබීම හා සූනියම් වීදිය තාවකාලික පරිභෝජනයට ස්වභාවික වස්තු යොදාගෙන නිර්මාණය කර තිබීමයි.

මේ සැරසිලි කලාව එක් එක් ශිල්පීන්ගේ දැක පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද, පෙර පුරද්ද, අහ පුරුද්ද කියන පුරුදු පහ අනුව එකිනෙකට වෙනස් වෙනවා. ඒත් ඒ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ එහි සැඟවී තිබෙනවා. එක් එක් යුගයන්හිදී යාවත්කාලීන වන මේ වාස්තු විද්‍යාත්මක ඥානය සමඟ සැරසිලි රටාවන් ද වෙනස් වී තිබෙනවා.

කෝට්ටේ යුගයේ දී වීදාගම මෛත්‍රී හිමියන් අතින් ශාන්තිකර්ම බිහිවූ බවට පුරාවෘත හා ග්‍රන්ථගත සාක්ෂි තිබෙනවා. එය සත්‍යයක් නම් එතෙක් පැවතී තිබුණේ හුදු පුද සිරිත් මාත්‍රයක් පමණක් නොවේ ද?

නැහැ. මිනිසාගේ සම්භවයේ සිට විවිධ වත් පිළිවෙත් පූජා චාරිත්‍ර තිබූ බවට අප පිළිගත යුතුයි. එය ක්‍රමයෙන් සමාජයට උචිත ලෙස වෙනස් වුණා. දඹදෙණි යුගයේ සද්ධර්මරත්නාවලිය, දඹදෙණි කතිකාවත පැහැදිලිව ප්‍රකාශ කරනවා භික්ෂුන් අතරත් බලිබත් දීම ආදී ශාන්තිකර්ම ලක්ෂණ ඒ යුගයේත් තිබූ බවට. නිශ්ශංකමල්ල රජුට බලි යාගයක් කළ බවට තොරතුරු ලැබෙනවා. මේ යාග එදා කළේ ඉන්දියාවෙන් පැමිණි බ්‍රාහ්මණයන් විසින්. පසුකාලීනව ඒ බමුණන් මෙය තමන්ගේ බඩ වඩාගැනීමේ ව්‍යාපාරයක් කරගත්තා. ඒ අනුව අපේ රටේ ධන ධාන්‍ය ඔවුන් රැගෙන ගියා.

කෝට්ටේ යුගයේ වීදාගම හිමියන් සිදු කළේ එතෙක් පැවැති ඒ බ්‍රාහ්මණ ආධිපත්‍ය යටපත් කරමින් ත්‍රිවිධ රත්නය උත්තරීතරත්වයේ තබාගෙන ශාන්තිකර්ම කිරීමේ සම්ප්‍රදායයි. එනම් ශාන්තිකර්ම අපේ බවට හරවා ගැනීමයි.

ඇතැම් නාට්‍ය විචාරකයන් පවසන්නේ ශාන්තිකර්ම සැරසිලි සඳහා භරතමුණි නාට්‍ය ශාස්ත්‍රයේ රංග භූමි ආකෘතිවල ආභාසය ලැබී තිබෙන බවයි. අපේ ශාන්තිකර්ම සංස්කෘත නාට්‍යාභාසයෙන් බිහිවූවක් ද?

නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රේක්ෂාගාර රඟමඬල ආදියේ යම් යම් ලක්ෂණ ශාන්තිකර්ම වීදිවල දක්නට ලැබෙනවා. එහෙත් එයින් කියන්න බැහැ සංස්කෘත නාට්‍ය ආභාසය ලැබුවා කියා.

ශාන්තිකර්ම ශිල්පියා නිතර පන්සල ඇසුරු කළා. කාව්‍ය නාටක ශාස්ත්‍ර එදා පන්සල ඇසුරින් ඔහු අධ්‍යයනය කරන්නත් ඇති. ඒ වගේම ඉහත පැවසූ නාට්‍ය ශාස්ත්‍රයේ ඒ ලක්ෂණ අපේ පැරැණි රාජ මන්දිර ආදී මණ්ඩප නිර්මාණයන්ට යොදාගන්න ඇති. ශාන්තිකර්ම ශිල්පියා මේ කියන රාජ්‍ය උත්සවවලදී භාවිතා කළ විවිධ මණ්ඩප ප්‍රභූ නිවාස ආදිය අනුකරණය කරන්නට ඇති.

අනෙක් කලාවන් සමඟ සසඳනවිට ශාන්තිකර්ම සමාජයේ නූගතුන් අතට පත් වීමෙන් අභාවයට යමින් තිබෙන බව ඔබ පිළිගන්නවා ද?

ශාන්තිකර්ම ශිල්පියා නර්තනය, ගායනය, වාදනය, කැටයම්, නූර්ති, චිත්‍ර, වස්ත්‍ර නිර්මාණය, වෙස් මුහුණු කැපීම, අංග රචනය, ඡ්‍යොතිෂය ආදී සකල කලාවන් ප්‍රගුණ කළ යුතුයි. එය වසර හතරක පහක පාඨමාලාවකින් අධ්‍යයනයක් කරලා ලබාගත් සහතිකයක් වගේ නොවෙයි.

ඔවුන් නිරන්තරයෙන් ගුරු ඇසුරේ සිට අධ්‍යයනයක් කරනවා. පාලි සංස්කෘත පොත් පරිශීලනය කරනවා. අප මුලින් සඳහන් කළ පරිදි අතීතයේ මේ ශාන්තිකර්ම කළේ බමුණන්. කවුරුත් බමුණන් නූගත් යැයි කිව්වේ නෑ.

ශාන්තිකර්ම පමණක් නොවෙයි අපේ අතීත සියලු කලාවන් තිබුණේ විදග්ධයන් ඇසුරේයි. ඒ අතීත දියුණු සමාජයක ශාන්තිකර්ම ශිල්පීන් මුදල් මත සේවාවන් ලබා නොදුන් නිසා. ඔවුන් නිර්ධන පන්තියට අයත් වුණා. ඒ මිසක් ඔවුන් නූගත් නැහැ. අද උගත් කියන කෙනකුට පුළුවන්ද තිස් පැයක් තමන්ගේ විෂය කටපාඩමින් කියන්න. ඒත් ශාන්තිකර්ම ශිල්පියා ඒ ප්‍රාගුණ්‍ය ලබා තිබෙනවා.