»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
බෝසත් කථා පෙළ නැවත කියවමු
 

බෝසත් කථා පෙළ නැවත කියවමු

 

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව දැන දැනත් බොහෝ දෙනා වෛර සිත් ගොඩනඟා ගනිමින් වෛරයෙන් ම ජීවත්වීම ප්‍රිය කරති. පූර්වයෙහි තමා පසු පස එන වෛරය පළි ගනිමින් ම වේදනා ඇති කරවන බව දැන දැනත් ඇතමෙක් අලුතින් වෛර බඳින්නට නොපසුබට වෙති. ඇතැම්හුගේ වෛරීය සිතුවිලි භවාන්තර ව බරපතළ විපාක විඳිමින් ගමන් ගන්නා බව පෙනේ.

 පැරණි ධර්ම කථා රසවිඳි ධර්ම රසිකයෝ වෛරයට බියවූහ. වෛර කිරීමේ බරපතළ ආදීන ව වටහාගෙන වෛරයෙන් ඈත් වූහ. එහෙත් නූතනයන් ධර්ම කථා වින්දනයෙහි ඇත්තේ ඉතා අඩු ප්‍රවණතාවකි. එනිසා ම එහි ප්‍රබල ධර්මතා පිළිබඳ නොසැලකිලිමත් වෙයි. ඒ නිසාම වෛරී සමාජයක තතු අප හමුවෙහි නිරන්තර දැකිය හැකි වෙයි.

නූතනයෙහි වෛරය වඩ වඩාත් උග්‍රවන අවස්ථාවක් ලෙස යුග දිවිය දැකිය හැකියි. අඹුසැමියන් අතරේ හටගන්නා ඇතැම් ගැටුම් වෛරයෙන් ම කෙළවර කර ගන්නා අයුරු පෙනෙයි. තමන්ට සිදු කරන්නා වූ අගතීන් වෙනුවෙන් මතු බවයක හෝ පළිගන්නා බවට ඇතැම් ස්වාමි පුරුෂයන් ද භාර්යාවන් ද එකිනෙකා කෙරෙහි වෛරී ව කටයුතු කරන ආකාරය පෙනෙයි.

කථා බස් කොට විසඳා ගත හැකි ඇතැම් ප්‍රශ්න හමුවේ වෛරයෙන් මඟ හැර අකුසල කර්ම උරුම කර ගන්නා අඹු සැමියන් වෙනුවෙන් මෙවර ඡද්දන්ත ජාතකය විවරණය කරමු.

මේ ජාතකයෙහි වර්තමාන කථාව භික්ෂුණියක් අරබයා සිදු ව තිබෙයි. දම්සභාවෙහිදී මේ භික්ෂුණියට ජාතිස්මරණයෙන් බෝසතුනට බිරිය ව සිටි අතීත භවයත් සිහිපත් ව ස්වාමියා කෙරෙහි වෛරයෙන් ඔහු මැරවූ අවස්ථාවත් සිහිපත් ව හඬන්නට වීමෙන් ඒ ගැන විමසා ඇගේ හැඬීමට හේතු වූ ඒ අතීත පුවත විවරණය කරනු පිණිස මේ කථාව ඉදිරිපත් කෙරෙයි.

පෙර බවයක බෝසතාණන් වහන්සේ ඡද්දන්ත නම් ඇත් කුලයක උපන් කල්හි මහා සුභද්‍රා, චූල ස්‍රභද්‍රා නම් ඇතින්නියෝ දෙදෙනෙක් භාර්යාවන් බවට පත් ව තමන් වහන්සේ සමඟ වසන්නට වූහ. මෙහිදී චූල සුභද්‍රා නිරන්තරයෙන් බෝසත් සැමියාගේ වැඩි ආදරය දිනා ගන්නට වෑයම් කරන්නී හැම කල්හි ම මහා සුභද්‍රා ව කෙරෙහි වැරදි දෘෂ්ටියෙන් හැසිරේ.

බෝසතාණන් වහන්සේ තමනට වඩා මහා සුභද්‍රා බිසව කෙරෙහි විශේෂත්වයකින් හැසිරෙතැ’යි චූල සුභද්‍රා ව නිතර නිතර සිතන්නට වූවා ය. මේ සිතුවිල්ල වඩාත් බරපතළ වන්නේ එක් දිනක් වනයෙහි අහර සොයා යද්දී සල් වනයක සුවිශාල සල් රුකක් දැක එය තම කුම්භස්ථලයෙන් සොලවා ලීය. එවිට එහි මල් කොළ ආදිය බිම පතිත විය. මේ මොහොතෙහි චූල සුභද්‍රා ව ගේ සිතුවිලි පිළිබඳ ජාතක කථාවෙහි දැක්වෙන්නේ මෙසේ ය.

”එකෙණෙහි යට සුළඟෙහි සිටි චුල්ල සුභද්‍රා නම් ඇතිනිය ඇඟ ලී දඬු මරාටු පරඬලා, කුණු දිමි කඳුළු ආදිය හුණුයේ ය. උඩුසුළඟ සිටි මහා සුභද්‍රාවන් ඇඟ මල්රොන් සමඟ පෙති වගුළේ ය. එකල්හි චුල්ල සුභද්‍රා තොමෝ සිතන්නී මාගේ ස්නේහ ඇති බිරින්දෑ ඇඟ මල් කෙසරු රොන් සලා පෙති විසුරුවූහ. මාගේ ශරීරයෙහි මරාටු පරඬලා කුරු කුහුඹු කසළ ලූහයි නිස්සාරණයෙහි වෛර බැඳී ය.”

බෝසත් ඇතු කිසි විටෙකත් නොසිතූ සිතිවිල්ලක් චුල්ල සුභද්‍රාව සිතන්නට විය. අවසන ඇතුගේ හැම ක්‍රියාවක් ම නිරීක්ෂණය කරමින් මහා සුභද්‍රාවට වැඩි සෙනෙහසක් පානු ඇතැයි උපකල්පනය කරමින් සපත්නීරෝෂයෙන් වෙළී වෛර බඳින්නට වූවා ය. ඇගේ වෛරය ඉතා ප්‍රචණ්ඩ සිතුවිල්ලක් විය. ඈ එයට සූදානම් වන්නේ මිහිරි ඵලාඵල මීපැණි ආදිය පසේබුදුවරයකුට පුදා මේ භවයෙන් මතු රාජ කුලයෙක ඉපිද රජුට අගමෙහෙසුන් ව රජුගේ සිත්ගෙන වසමින් රජු ලවා මේ ඇතු මරා දළ කප්පවන්නට ක්‍රියා කරනනෙමි’යි වෛරී සිතිවිල්ලකින් ක්‍රියා කොට මිය පරලොව ගියා ය.

වෛරයෙන් මිය ගිය ඇය ගේ දරුණු පැතුම් ඉටු කර ගන්නට හැකි වන සේ රජ කුලයක ජන්මය ලබා ප්‍රිය වචනයෙන් ම රජුගේ ප්‍රියාම්බිකාව වී ඈ පෙර කළ වෛරය ඉස්මතු ව හස්ථි රාජයා මරවන්නට උපක්‍රමයක් කල්පනා කළා ය. ඇගේ උපක්‍රමය වන්නේ ඈ නොකා නොබී මලානික ව ඉඳිමින් ඇත් රජු මරවා දළ ගෙනෙන්නට දොළක් උපන් බව රජුට කියා පෑමයි. ඒ සඳහා සෝණුත්තර වැද්දා යොදවන රජතුමා මේ කාර්යය ඉටු කරලීමෙන් ගම්වර පහක් හිමි කර ගන්නැයි ද කියා සිටියේ ය.

ඉතා දක්ෂ වැද්දකු වූ සෝණුත්තර වනය පුරා ඇවිද හස්තියා උපක්‍රමයෙන් දුබල කොට ඊ පහරින් විද එක්තැන් දළ දෙක කපා ගත්තේ ය. වැද්දාට ඒ කාර්යය කර ගන්නට අපහසු වූ කල්හි හස්තියාම තම සොඬයෙන් දළ කපා දුන්නේ ය. හස්තියාගේ මස් උදුරා අමු අමුවේ දළ කපා ගැනීමෙන් වේදනාවට පත් වූ හස්තියා එයින් මිය යන අතර දළ ලද රජ බිසව හස්තියා මිය ගිය බව අසා පසුතැවිල්ලට පත් ව ඒ ශෝකයෙන් ම මිය ගියා ය.

දම්සභාවෙහි එදා චුල්ල සුභද්‍රා වී වෛරයෙන් සැමියා මැරවූ බිරිය මේ භික්ෂුණිය බවත් සෝණුත්තර වැද්දා නම් දේවදත්ත බවත් බුදුහිමියෝ වදාළහ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තමන්ගේ විශිෂ්ට කෙටි කථාවක් වූ “මුද්‍රා නාටකය සඳහා ඉතා ම සාර්ථක අතුරු කථාවක් සේ ඡද්දන්ත ජාතකය භාවිත කළේ ය. එහිදී ස්වාමියාගේ සිතැඟියාවන්ට එරෙහි ව හැසිරෙන බිරියකට අත්වන ඉරණම අවබෝධ කර දෙන්නට ඒ බිරිය ලවා ඡද්දන්ත ජාතකය මුද්‍රා නාටකයක් බවට පත් කර රඟ පාන්නට ක්‍රියා කළේ ය. අවසන එහි බිරිය සැමියා වෙතින් සමාව යදින්නේ එවන් වරදක් කිසි දිනෙක තමන් වෙතින් සිදු නොවන බව කියාපාමිනි.

කෙසේ වෙතත් සැමියාගේ යහපත් අදහස් නොතකා හරින භාර්යාවන් ස්වාමියාට වෛර කරන්නෝ වෙති. එය භාර්යාවන්ට පමණක් පොදු නොවේ. උසස් භාර්යාවන් නොතකා හැර ආත්මාර්ථයෙන් සතුටු වන්නට ක්‍රියා කරන සැමියෝ ද එවන් භාර්යාවන්ට වෛර කරති. විවාහය වනාහි වෛරයේ ක්‍ෂේම භූ®මියක් බවට පත් කරගන්නා අඹු සැමියෝ දිවිය පුරා බොහෝ අකුසල් ම කර ගනිති. වෛරී ජීවිතයට වඩා වෙන් ව ජීවත් වීම වඩා උතුම් විය හැකි වන්නේ ද මෙවන් අවස්ථාවකදී ය.

මේ කථා පුවත විශ්ලේෂණයේදී වෛරී සිතක තරම මොනවට පැහැදිළි වෙයිද? වෙනත් කෙනකු වෙනුවෙන් ආදරය බෙදා ගත් විට කාන්තාව පෙළන බරපතළ රෝගය සපත්නීරෝෂයයි. ආදරය මානවීය ධර්මතාවක් නම් එය හුදෙක් ගැහැනියට පමණක් නොව පිරිමියාට ද විය හැකි ය. ඇතැම් විට ආදරය වෙනත් සතකුට යොමු වූ කල තිරිසන් සතුන් පවා ශෝකයෙන් මිය යන අවස්ථා දැකිය හැකි ය.

විශේෂයෙන් මේ කථාවෙහි දොළදුක නමැති මායම විනාශය කෙරහි යෙදවිය හැකි අවශ්‍යතාවක් බවට පත්කර ගැනීම මනුෂ්‍ය ධර්මතා සමඟ නොගැළපෙන්නකි. දොළ දුක ස්වභාවික ව ඉස්මතු වන මනුෂ්‍ය අවශ්‍යතාවක් විනා තවකකු විනාශයට කැන්දන දූෂිත මායමක් බවට පත් කර ගන්නට ක්‍රියාකිරීම කාන්තා බවට නිගාවකි. ඉතා චමත්කාර පරිසර වර්ණනාවන්ගෙන් යුතු ඡද්දන්ත ජාතකය කෲර සිතක වුණ ඊර්ෂ්‍යාවෙන් හට ගන්නා වෛරයේ බිහිසුණු බව කියාපාන්නකි.

ලබන සතියට
සුරාපාන ජාතකය


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා