රජරටට කිරුළක් වූ වියපත් ලේඛකයා
|
රජරටට කිරුළක් වූ වියපත් ලේඛකයා
|
|
කළුබණ්ඩාගේ පොඩි අප්පුහාමි
රජරට සැඟව ගිය ජන උල්පත් සොයා යමින් රජරට ගැමියාට ආවේණික සිරිත විරිත ද, ජීවන
විත්ති ද, ඒ හා බැඳුණු බස ද සොයමින් නුතන පරම්පරාව දැනුමෙන් පෝෂණය කරවන්නට ඇප - කැප
වූ රජරට අපේකමට ළෙන්ගතු වයෝවෘද්ධි ලේඛකයකු පසුගියදා අපට හමු විය.
ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ දී හෙතෙම විශේෂ සම්මාන තිළිණයකින් ද පිදුම් ලැබුවේ ය.
තඹුත්තේගම කිත්සිරිගම රුක් සෙවණෙහි පදිංචි ඔහු නමින් කළු බණ්ඩාගේ පොඩි අප්පුහාමි
මහතා ය. සැරයටියක වාරුවෙන් ඇවිද යන මේ වයෝවෘද්ධ ප්‍රවීණ ලේඛකයාගේ මතකය තවමත්
තාරුණ්‍යය. තෙළිතුඩ හැසිරවීමෙහි රුසියෙකි. කථනයෙහි ප්‍රවීණයෙකි.
“දැන් මට කීයක් කියලද හිතන්නේ? දැන් මට වයස අවුරුදු 78 ක්. මට හුඟක්ම වේදනාවක්
දැනුණෙ අපේ රජරට එදා ජන ජීවිතයෙ අපේ ඇත්තන් අපේ කමට මුල් තැන දෙමින් කළ කී බොහොමයක්
සමාජයෙන් නැත්තටම නැතිවී යන එක ගැනයි. කියන්නත් කනගාටුයි බොහෝ දේවල් මිය ගිහිල්ලා”
ඔහුගේ හඬ දුබල බවක තිබුණ ද වඩාත් පැහැදිලිය. ව්‍යක්ත ය.
“අපේ යටගිය රජරට සාරධර්ම, කතා බහ, එම වචන හරි උදාරයි. මට සිලුටුයි. ඉතින් මම
අවුරුදු ගාණක් තිස්සෙ මේවා සොයමින් ඇවිද්දා. මං දන්න දේවල් විතරක් නෙමෙයි. අපේ
වැඩිහිටියො හමුවෙලා කරුණු එක් රැස් කළා. බොහෝ අය නොදන්නා රජරට අපේ විත්ති ගැන
ලියාපු අභ්‍යාස පොත් 1250 ක් මා ළඟ සුරැකි ව තිබෙනවා. ඒවා තමයි මම මගේ පොත්වලට
ඇතුළත් කළේ. මේ තරම් වටිනා තොරතුරු පොතක් හැටියට ලියා පළ කරන්න මං තීරණය කළේ අපේ
රටේ මතු පරපුරටත් දැන කියා ගන්ඩ. ඉතින් පොතක් පළ කරගන්න මං අනුරාධපුරයෙ ඉඳන්
මුණුබුරා එක්ක කෝච්චියෙන් කොළඹ ආවා.”
ඔහුගේ මුහුණ අඳුරු විය. කල්පනාවකට බර වී සුසුමක් හෙළීය.
“එදා මං හිතාගෙන ආපු විදිහට වැඩේ ඉෂ්ට වුණේ නැහැ. මං දුවන කෝච්චියෙන් බිමට පනින්ඩ
හැදුවා මයෙ හිතේ අමාරුවට. මං ගාව හිටපු මුනුබුරා මාව අස්වැසුවා...”
ඉන්පසු යළිත් කොළඹ පැමිණි හෙතෙම මහින්ද දළුපොත මහතා හමුවීමෙන් අනතුරුව ගොඩගේ
ප්‍රකාශන අධිපතිතුමා ඔහුගේ පළමු කෘතිය පළ කර දීමට එකඟත්වය පළ කළේ ය. ඉන්පසු ඔහු ඉන්
දිරිමත් විය. තව තවත් රජරට ඇතුළාන්තයට ගියේ ය. ඉන් රජරට ජනකථා, රජරටින් ගැමි ජීවන
කතා, එප්පාවල කෝරළේ ජනකතා, වී ගස, දඩයම් විධි, හේන් පුරාණය, කුරක්කන් හේන, තුරු
රැයක තොරතුරු, හරක් පට්ටිය, රජරටින් ගිලිහෙන ජන ජීවිත ආදී කෘතීන් 13 ක් ලියා පළ කළේ
ය. මේ වනවිට කෙතේ වරුණ කෘතිය මුද්‍රණයේ ය.
“අපේ භාෂාවට අලුත් වචන එකතු වෙනවා කියා කියනවා මිසක් අපේ උගන්නා භාෂාවෙන් වචන 6000
කට වැඩි ගණනක් අපගෙන් ගිලිහී යන බව දන්නේ නැහැ. ඒවා මං එක්කාසු කරල ඉදිරියේ දී
ලියන්න සූදානමින් ඉන්නවා. එදා අපට උරුම ව තිබුණු අපේ හැදියාව, සාරධර්ම, ගති පැවතුම්
අප ජීවත් වන කාලයේදීම අපෙන් ගිලිහී යාමයි මට දුක.”
පොඩි අප්පුහාමි මහතා විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූ දා ඔහු සමඟ පැමිණ සිටියේ ඔහුගේ
දරුවන් දෙදෙනෙකි.
“මට දූ දරුවන් හත්දෙනයි. පුතාලා 4 යි. දූලා 3 යි. දැන් අපේ මහ ගෙදර ඉන්නෙ මමයි මගේ
බිරියයි විතරයි. අපේ දූ දරුවො දීග ගිහිල්ල වෙන වෙනම ජීවත්වෙන්නේ. මේ වයසත් එක්ක මං
ටිකක් ලෙඩ ගානේ ඉන්නේ. අපේ දරුවො හත්දෙනා දවසට එක දරුවකු ගානේ සතියට දින 7 ම ඇවිත්
අපට කෑම බීම හදල දුක සැප බලා යනවා. ඒ අතින් අපි හරි ම වාසනාවන්තයි. මේ හොඳ සිරිත්
අද හුඟක් තැන්වල දකින්ඩත් නැහැනේ” ඔහු සතුටින් සිනාසුණේ ය.
“මං ලියන පොත්වලින් මා ලබන මිල මුදලකට වඩා මේ දුර්ලභ තොරතුරු රටට ලබාදෙන්ඩ හැකිවීම
ගැන මං සතුටු වෙනවා. එක දේකුත් කියන්ඩ ඕනෑ. මං මේ ගව් ගණන් පයින් ඇවිද ගිහින්
හොයාගත්තු දුර්ලභ කරුණු කාරණා අලුතින් පිටපත් කරල දෙන්නම් කියල මේ එප්පාවල පැත්තෙ
පත්තරවලට ලියන හොරෙක් මාව රවටලා එව්වා අරන් ගිහින් එයාගෙ නමින් පත්තරවල දමා ගත්තා.
බොහොම අමාරුවෙන් උන්දෑගෙන් මේවා මං ආපහු ගත්තේ. එයා මට ලියුමකින් ම සහතික වුණා ආපහු
ඒ වැරැද්ද කරන්නෙ නැහැ කියලා. ඒත් ඒ වරද එයා ආපහු කළා. මම මගේ හිතට අවංකයි.
අභාවයට ගිය හා අභාවයට යමින් පවතින රජරට අතීත නන් වැදෑරුම් තොරතුරු මුණුපුරකුගේ සහය
ද ගෙන රජරට පුරා ඔහු තවමත් පියමැන යමින් සොයයි. ලියයි. තවත් කෘතීන් 26 කට කරුණු
තමන් සතුව ඇති බව හෙතෙම කියයි.
සටහන - අමල්
සේයාරුව - සුදම් ගුණසිංහ
|