»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
බාල ලෑල්ලෙදි චණ්ඩියො වේ ගුල්ලෝ
 

බාල ලෑල්ලෙදි චණ්ඩියො වේ ගුල්ලෝ

 

සමාජ සන්ධානයන්හි තම නෝංජල්කම (නිවටකම) වහංකර ගෙන දුබලයන් හමුවේ ප්‍රබලයන් වීමට තැත් දරන්නෝ බොහෝ වෙත්. එහෙත් ඔවුන්ගේ බලපුළුවන්කාරකම් නිසි බලවතුන් අබියස හිරු දුටු කදෝ පැණියන් සෙයින් බාලවෙයි. වෙරළ ජයගැන්මට ඝෝෂාකරමින් දිව එන රළ ගෙඩි වෙරළේ වැදී ආපිට යනුයේ පරාජිත බව කියාපාමිනි.

පරඬලාපත් සීසීකඩ විසුරුවා හැරීමට සමත්කමක් සුළඟට ඇති මුත්, පර්වතයක ගැටුණ විගස සුළඟේ අසමත් බව සනාථ වෙයි. බලවතා හමුවේ දුබලයා යටත්වීමේ න්‍යාය භෞතික සම්පත්වලට සෙයින් ම මානව සම්පතට ද පොදු ය.

එහෙත් ඒ න්‍යාය දන්නා ඇත්තන් සිටිනුයේ මානවයන් අතර කීයෙන් කීදෙනාදැයි කාහට කියමුද? මානවයන් අතර සිටින බලවතුන් බහුතරයක්ම නිලතල, වස්තුව වළඳුව, කුල, බල, යාන වාහන ආදිය නිසාවෙන් තම මහන්තත්වකම හුවවති.

එහෙත් එදා ග්‍රාමීය සමාජ සත්තාව සැකැසී තිබුණේ කිසියම් සමානාත්මතා පදනමකට ය. ඔවුන් තුළ කුලමල, නිලතල භේදයක් නොවුණි. සැමකෙක්ම අපේ, මගේ යන හැඟීමෙන් හා මානවාලයෙන් සුපිරි සිතුම් පැතුම්වලින් ම පරිපූර්ණ වී ඔවුනොවුන් ගේ දුක සැප බෙදා හදා ගෙන ජීවත්වූහ.

යම්හෙයකින් ගමේ විවිධ හේතූන් මත දුබලයන් වී සිටින පවුල්වලට ඇති නැති පරතරය නැති කරලීම සඳහා හැකිවූවන් නිරතුරු ව උදව් පදව් කළේ ගැමි සුවඳ මුළුමහත් ගම් දනව්වල ඉතිරවමිනි. කිසිවකු රැහේ සිරිතට විරිතට පිටුපා ප්‍රකාම්‍ය වූයේ ද නැත.

එහෙයින් ම ඔවුන’තර පැවැතියේ සමානාත්මතා දහම පෙරටු කරගත් සබැඳියාවකි. එය හුදෙක් ම ඔවුන්ගේ ජීවිත පුරාවට කැළැතී තිබිණ. මේ හේතුවෙන් එකකු පාගා හෝ එකෙකු මර්දනය කර තවකෙකු නැඟී සිටීමට කිසිවකු වෙර දැරුවේද නැත.

එදා ගැමි සමාජයේ අනගි ගතිකාංග එසේ වුවද, වත්මන් සමාජයන් තුළ පැවැතෙනුයේ ඊට හාත්පසින් ම වෙනස් වූ තම බලකාමය කෙබඳු අයුරකින් හෝ මුදුන් පමුණුවා ගැනීමට වෙර දරන ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත් ය.

මෙය අද බොහෝවිට දක්නට ලැබෙනුයේ එකිනෙකාගේ තරාතිරම අනුව පියගැට පෙළක් සේ වූ නිලතල මට්ටම් හෝ බලකාරී මට්ටම් අතර නොසිඳෙන තරඟයකි. මෙහිදී බලවතා විසින් දුබලයා පරිපීඩනයට බඳුන් කර එයින් සැනසෙන අයුරු මනාව දැකිය හැකිය.

බොහෝ කොට වත්මන් අපේක්ෂකයන් අහිංසක ගැමි ජනතාව මුලාකරමින් ගමේ ඇත්තන් අවනත කර ගැන්මට දරන උත්සාහයන් හා දෙන පොරොන්දු අපමණි. එහෙත් එය නුරුස්සන එදා ගැමියන් එවැන්නවුන් හමුවේ තමාගේ තරම පෙන්වීමට ද නිවට වූයේ නැත. එවැනි පාරම්බෑමකි මේ.

බාල ලෑලේලෙදි
චණ්ඩියො වේ ගුල්ලෝ
යාල අත්ත ළඟ
චණ්ඩියො වේ බල්ලෝ
බාල සොයුරු හමුවේ
චණ්ඩියො කොල්ලෝ
බාල ලෑලි යැයි
අප නොසිතන් ගුල්ලෝ

බාල ලෑල්ලෙදි ගුල්ලෝ චණ්ඩියෝ වෙති. එසේම නිවසේ අතු පැල මත රැඳී මුරකරන බල්ලෝ නිවටයන් දුටු තැන චණ්ඩිකම පෙන්වති. තවද බාලයන්, තමාට වඩා බාල සොයුරු සොයුරියන් හමුවේ තමා හපනා බව දන්වන්නේ තම කටයුතුවලිනි. මේ සැවොම තම බලය පෙන්වන්නේ තමාට වඩා දුර්වලයන් දුටු විට ය. එහෙත් බලවතුන් හමුවේ ඔව්හු දුබලයෝ වෙත්.

මේ බව පැහැදිලි කරන කවියා අවසන් පදයෙන් ගෙන හැර පාන්නේ, ගැමියන්ට නෝංජලුන් සේ සිතා කටයුතු කරන බලවතුන්ට ගැමි බලය පෙන්වන බවයි. එය ඔහු කියාපාන්නේ “බාල ලෑලි යැයි අප නොසිතන් ගුල්ලෝ” වශයෙනි. මෙය වත්මන් මනාප අපේක්ෂකයින්ට කදිම පණිවුඩයක් බව නම් කියයුතු ම ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා