ඇමරිකානු සාහිත්‍යයේ සුන්දර කතාකරුවා මාක් ට්වේන්
ඇමරිකානු සාහිත්‍යයේ
සුන්දර කතාකරුවා
මාක් ට්වේන්
ඇමරිකානු සාහිත්‍යයේ සුන්දරත්වයෙන් පිරි මිසිසිපි නදියේ මනබන්දනීය ගද්‍ය කාව්‍ය
රචකයා ලෙස මාක් ට්වේන් ලොව පුරා පාඨක ජනතාවගේ ආදරයට පාත්‍ර වී ඇත. මාක් ට්වේන් 1835
නොවැම්බර් 30 දා ප්ලොරිඩාවේ මිසුරි ප්‍රදේශයේ දී මෙලොව එළිය දුටුවේය. ට්වේන්ගේ පියා
වූයේ ජෝන් මාෂල් ක්ලේමන්ස්ය. 1835 වසර වනවිට ප්ලොරිඩාව කුඩා නගරයක් ලෙස ප්‍රසිද්ධ
විය. මාක් ට්වේන්ගේ පවුලේ නාමය වූයේ සැමුවෙල් ලාන්ගහෝන් ක්ලෙමන්ස්යන්නයි. එහෙත් ඔහු
සාහිත්‍ය ලෝකයේ ප්‍රකට වූයේ මාක් ට්වේන් යන නමිනි.
ට්වේන්ගේ පියා ප්ලොරිඩාවේදී තම
ව්‍යාපාර පවත්වාගෙන ගිය අතර වාසනාව ඔහු සොයා ආවේ ඉතා සෙමෙනි. මේ හේතුව නිසා දෝ
ක්ලෙමන්ස් තම පවුල 1839 වසරේදී හැනිබාල් ප්‍රදේශයට රැගෙන ගියේ ය. එවකට හැනිබාල්
ප්‍රදේශය ඉතා සාර්ථක ජනාවාසයන්ගෙන් යුත් ඉතා ජනාකීර්ණ වූ ප්‍රදේශයක් වූයේ සුන්දර
මිසිසිපි නදිය ඔස්සේ ආ විවිධ තරාතිරමේ මිනිසුන්ට පින් සිදුවන්නට ය. සුන්දර මිසිසිපි
නදිය පසු කලෙක ට්වේන්ගේ නිර්මාණවලට චිත්තාකර්ෂණීය පසුබිමක් බිහි කිරීමට සමත් විය.
ට්වේන්ගේ ළමා කාලය හා තරුණ කාලය ගෙවුණේ හැනිබාල් ප්‍රදේශයේ දී ය. ට්වේන්ගේ මහත්
ජනාදරයට පත් ‘ටොම් සෝයර්’ කතාවට හැනිබාල් පෙදෙසේ මනස්කාන්ත හරිත වර්ණ පරිසරය ඇතුළත්
වී ඇති බව විචාරකයෝ පවසති.
තම වැඩිමහල් සොයුරා වූ ඔරියන්ගේත් සහෝදරිය වූ පැමෙලාගේත්
අවධානය දිනාගන්නට තරුණවියට පත් ඔහුට වැඩිකලක් ගත නොවීය. 1847 දී ට්වේන්ගේ පියා මිය
ගියෙන් මුද්‍රණ කර්මාන්තයේ රැකියාවක් කිරීමට ඔරියන් තෝරා ගත්තේ ය. කුඩා ට්වේන්
මිසිසිපි නදියේ යන යාත්‍රා දෙස ඉතා ආසාවෙන් බලා සිටියේ ය. නොයෙක් වර්ගයේ මිනිසුන්
මිසිසිපි නදිය ඔස්සේ පැමිණෙන අයුරු කුඩා ට්වේන්ගේ නෙතට රසඳුනක් විය.
1850 වසරේ දී මුද්‍රණ කර්මාන්තයට සම්බන්ධ වී එම ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් ට්වේන්ගේ
වැඩිමහල් සොයුරා වූ ඔරියන් හැනිබාල් ප්‍රදේශයේ කුඩා පුවත්පතක් ආරම්භ කළේ ය. මෙම
පුවත්පතේ කටයුතු වලට එවකට තරුණ වියට පා තබමින් සිටි ට්වේන් ද සම්බන්ධ වූයේ ය. ඔහු
එහිදී ලේඛන පන්නරය ලැබීය. පසුව නිව්යෝක් නගරයට ගිය ට්වේන් 1853 දී මුද්‍රණ අංශයේ
රැකියාවකට සම්බන්ධ විය. පිලඩෙල්ෆියා නගරයටත් වොෂින්ටනයටත් ගිය ට්වේන් එහිදී අලුත්
අත්දැකීම් වලින් සන්නද්ධ වූයේ ය.
1860 ගණන්වල ඇමරිකාවේ යුද සටනේදී ට්වේන් මහත් අත්දැකීම් සම්භාරයක් ලැබීය. ට්වේන්
ඇමරිකාව පුරා සංචාරය කරමින් ලත් අත්දැකීම් වලින් පසු යළිත් තම ගම් ප්‍රදේශය බලා ආවේ
ය. පසුව ඔහු පුවත්පතකට බැඳී දුෂ්කර කාර්යයන් රැයක් ඉටු කළේ ය.
ඔහු තමන් ලත්
අත්දැකීම් අළලා පුවත්පතට ලිපි සැපයීම කළේ ය. ඔහුගේ මුල් ම කතාව පළවූයේ 1865
නොවැම්බර් 18 වනදා නිව්යෝක් හි ප්‍රසිද්ධ ශනිදා පුවත්පතක ය. ට්වේන්ගේ මෙම කුඩා කතාව
මහත් ජනාදරයට පත්විය. ට්වේන් ලියූ ‘ඊඩඥ ජ්පධඨ ඉබධපර’ තුළින් පාඨකයා මුල්වරට මාක්
ට්වේන් නැමැති මහාර්ඝ ලේඛකයා හැඳින ගත් අතර ඔහු මේ නිසා ඉමහත් ප්‍රහර්ෂයට පත් විය.
මිසිසිපි ගංගාවේ නැවක නියමුවකු ලෙස ද සේවය කළ ට්වේන් හාස්‍ය කතා ලියන්නකු ලෙස
නිව්යෝර්ක් නුවර දී ප්‍රසිද්ධියට පත් විය. ඔහු නිව්යෝර්ක් ට්‍රිබියුන් පුවත්පතට
විශේෂ ලිපි සැපයීම නොකඩවා කරගෙන ගියේ ය. ඔහු ගිය නාවික ගමන් ගැනත් හැනිබාල්
ප්‍රදේශයේ හරිත වර්ණ සුන්දරත්වයත් තම පෑන් තුඩෙන් අකුරු කළේ ය. එල්වීරා පදෙසට ගිය
ගමනේදී ඔහුට තම සහකාරිය හමුවීම දෛවෝපගත සිදුවීමක් විය.
එහිදී ඔහුට චාර්ල්ස්
ලැන්ග්ඩන් නැමැති පුද්ගලයකු හඳුනාගැනීමට ලැබිණි. ලැන්ග්ඩන් ගේ සෝයුරිය වූ ඔලීවියා
ලන්ග්ඩන් එහිදී ඔහුට හඳුනා ගැනීමට ලැබුණු අතර ඒ වනවිට ඇය විසි දෙවැනි වියෙහි
පසුවූවා ය.
ඇගේ සුන්දරත්වයෙන් වශීකෘත වූ ට්වේන් ඇය හා ආදර සම්බන්ධයක් ඇති කර ගත්තේ
ය. ඇගේ නිවෙස පිහිටා තිබුණේ එල්වීරා පදෙසෙහි ය. ඒ වනවිටත් ඇමරිකානු ප්‍රකාශන
සමාගමක් ට්වේන්ගේ පොතක් පළ කිරීමට එකඟ වී තිබිණි. ට්වේන්ට තම කුලුඳුල් කෘතියේ
සෝදුපත් බැලීමට අවස්ථාව උදා විය. එල්වියා සමඟ එක්ව තම කුලුඳුල් කෘතියේ ගුණ දොස්
විමසමින් එහි වැරදි නිවැරදි කිරීමට ට්වේන් උත්සුක විය.
ට්වේන්ගේ පසුකාලීන රචනාවල දුම් බෝට්ටුවක කප්පිත්තකුගේ සහකාරයා ලෙසත් 1861 දී
කප්පිත්තකු ලෙසත් සංචාරකයකු යුද්ධ භටයකු හා පතල් හාරන්නකු ලෙසත් සහ විවිධ රැකියා
අවස්ථා වලදී ලත් අත්දැකීම් බෙහෙවින් අන්තර්ගතව තිබුණි. සොබාදම් දිනිතියගේ
ආශ්චර්යවත් නිමැවුම් වලට පෙම්බැන්ද රචකයකු ලෙස ට්වේන් ඇමරිකානු සාහිත්‍ය කරළියේ
ඉදිරියෙන් ම සිටී.
වනරේඛාවක, ගිරිගුහාවක, රිදී දිය ඇල්ලක, රොකී කඳු සිරස මතින් ඇදී
එන ධවල හිම කැටියක, හරිතවර්ණ වනස්පතියක සුන්දරත්වය තම නෙත් තෙලිතුඩින් උකහාගෙන එය
පාඨකයා හමුවට සජීව ලෙස ඉදිරිපත් කළ මාහැඟි රචකයකු ලෙස ට්වේන් පෙර අපර දෙදිගම විදග්ධ
විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍රව ඇත.
මෙතරම් ජීව ගුණයක් උත්පාද කරගත හැක්කේ සොබාදම් ඕවිල්ලේ නැළැවෙන ශ්‍රේෂ්ඨ
සාහිත්‍යවේදියකුට බව ඔහුගේ සාහිත්‍ය ව්‍යායාමය අපට මනාව පසක් කොට දෙයි.
ට්වේන් රචනා කළ කෘතීන් අතර Roughing it (1872) The
gilded age (1873) Tom Soyer (1876) The tramb Aboard (1880) The Prince and the
pauper (1882) Life of Mississipi (1883) යන කෘතින් පසු කලෙක ඉතා ජනාදරයට පත් විය.
ජීවිත තක්සලාවෙන් ලක් පන්නරය, අනවරතයෙන් දිවෙන සොබාදම් සුන්දරත්වය විඳගත්
දාර්ශනිකයකුගේ හා උත්කෘෂ්ට මනුෂ්‍යයකුගේ හැඟුම් ඔහුගේ කතා තුළින් පාඨකයා හමුවට එයි.
මාක් ට්වේන්ගේ ඉතා ජනප්‍රියතම කෘතිය වූයේ හකල්බරි ෆින් ටොම්සෝයර් යන කතා දෙකයි. මෙම
කතා ද්විත්වය මඟින් ට්වේන්ගේ ළමා කාලය ප්‍රතිනිර්මාණය වී ඇතැයි ඇමරිකානු සාහිත්‍ය
විචාරකයෝ සඳහන් කරති. සිය ළමාවිය ගෙවූ හැනිබාල් ප්‍රදේශය ඇසුරින් මෙම කතා ද්විත්වයට
පණ පෙවීමට මාක් ට්වේන් ගත් උත්සාහය අතිශය සාර්ථකත්වයට පත් විය.
ටොම් සේයර් කතාව හාස්‍ය රසයෙන් ආඩ්‍ය වී ජීවගුණයෙන් පෝෂිත වී, වීර ගුණයෙන් සුපෝෂිත
වී විස්මය දනවන යථාර්ථවාදී අන්දරයක් කියාපාන රසාලිප්ත අදහස් දියවැලක් වැන්න.
නීග්‍රෝවහලකු හා මිසිසිපි නදිය ඔස්සේ හකල්බරි පලායන අයුරු හක්ල්බරි ෆින් නවකතාවේ
නිරූපණය වෙයි. මේ දඟකාර කොලුවාට මුහුණ දෙන්නට සිදුවන හාස්‍යජනක අත්දැකීම් හා
අබන්ගයන් ද ට්වේන් විශිෂ්ට ලෙස චිත්‍රණය කරයි.
ට්වේන් විවාහ වූයේ 1870 පෙබරවාරි 2
වැනිදා ය. කේල්මන් මහත්මියට පළමු දරුවා වූ සුසී ලැබුණේ ඉන් වසර 2 කට පසුව ය. තම
බිරිඳ සමඟ එංගලන්තයේත් ජර්මනියේත් යුරෝපය පුරාත් ඔහු සංචාරය කළේ අත්දැකීම් වලට ඇති
පිපාසයෙනි. දෙවන දියණිය වූ ජින් ලැබෙන විට දී ට්වේන් ඇමරිකාව පුරා නමක් දිනා සිටි
රචකයෙක් විය.
ට්වේන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, යුරෝපය,
මධ්‍යම ඇමරිකාව, උතුරු ඇමරිකාව වැනි රටවල තම පවුල සමඟ සංචාරය කොට මහත් අත්දැකීම්
සම්භාරයක් ලබාගත්තේ ය. 1904 දී ට්වේන් ගේ බිරිඳ මිය ගියෙන් ඔහු මහත් සන්තාපයට පත්
විය. ඔහු ඇමරිකාවේ විශ්වවිද්‍යාල කීපයකින් උපාධි හා ආචාර්ය උපාධි දිනාගෙන ඇත. ඔහුට
දියණියන් තිදෙනෙක් සිටිය ද එක් දියණියක් මිය යාමත් බිරිඳ මිය යාමත් දැඩි ආර්ථික
අපහසුතා වලට ලක්වීමත් නිසා පසුකලෙක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහිණි.
ආර්ථික අපහසුකම් නිසා ද මිනිස් ජීවිතය ගැන ද සමාජය ගැන ද ඔහු තුළ තුබූ කලකිරීම හා
තියුණු උපහාසය පසුකලෙක ඔහුගේ රචනාවලින් තිර ලෙස ඉස්මතු විය.
පසුකලෙක ඔහු තුළ තුබූ මේ කලකිරීම් වාදී දෘෂ්ටිය ඉස්මතු වීම ලෝක සාහිත්‍යයේ රචකයන්
රැසකටම අත්විඳින්නට සිදුවූ දෙයක් ලෙස මෙහිලා අවධාරණය කළ යුතු ය. ප්‍රංශ මහා ලේඛක
ප්ලෝබෙයා ද තම ජීවිතයේ අවසාන කාලයේ සමාජයෙන් බැහැරව හුදකලාව ජීවත්වුණු බව ප්‍රකට ය.
යමකු පොතපත දැඩි ලෙස පරිශීලනය කිරිමත්, සැමටම එකසේ ආදරය දැක්වීමත් නිසා සංවේදී
පුද්ගලයකු බවට නිතැතින් ම පත්වෙයි. ඇමරිකාවේ ගෝර්කි ලෙස විරුදාවලී ලැබූ ජැක්ලන්ඩන්
ද අර්නස්ට් හෙමිංවේ ද මෙලෙස සංවේදී හදවත් ඇත්තෝ වෙති. සමාජයේ ඇති දුබල තැන්
මෙවැන්නෝ ඉතා ඉක්මණින් වහා ග්‍රහණය කර ගනිති.
ට්වේන්ද සංවේදී මිනිසකු වූ නිසාවෙන් ඔහු තමා හමුවට ආ ආර්ථික කුණාටුවට හසුව තැලී
පෙළී සමාජයේ දුබලතැන් අතැඹුලක් ලෙස පසක් කොට ගත්තෙකි.
ට්වේන් ඇමරිකානු සාහිත්‍යයේ පීතෘවරයා වශයෙන් සලකනු ලබන්නේ ඔහුගේ බස්වහර ජීවය උතුරා
හැලෙන හැඟුම්බර ශෛලියකින් හා ජීවමය ගුණයකින් යුක්තවීම නිසාවෙනි. මෙතරම් ජීවමය
ප්‍රතිභා ප්‍රභාවක් පෑ හැක්කේ ජීවිත තක්සලාවෙන් අත්දැකීම් සම්භාරයක් ලත්
සුවිශිෂ්ටයකුට පමණකි.
1910 අප්‍රේල් 21 වැනිදා මාර්ක් ට්වේනි මිය ගිය ද ඔහු තබාගිය මාහැඟි කෘතීන් අදත්
ජගත් පාඨකයන්ගේ ද විදග්ධ මැදහත් විචාරකයන්ගේ ද සම්භාවනාවට පාත්‍රව ඇත.
තිලක් පුෂ්පකුමාර සේනානායක