මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

වෙනසක් යනු රට විනාශය කරා ගෙන යාම නොවේ

වෙනසක් යනු රට විනාශය කරා ගෙන යාම නොවේ

අපිට අප අමතක වෙන තරමට දේශපාලන කරළිය උණුසුම් ය. පැයෙන් පැය, වරුවෙන් වරුව, දවසින් දවස දේශපාලන පක්ෂ තුළ සිදුවන වෙනස්කම් උණුසුම් පුවත් ලෙස රටපුරා ගලා යන්නේය. ජනතාව රූපවාහිනී යන්ත්‍ර අසල දේශපාලකයන්ගේ පිල් මාරුව දෙස බලා හිඳින්නේය. මේ සියල්ලටම හේතුව ජනාධිපතිවරණයක් කැඳවීමය.

අපට අද කථා කිරීමට බොහෝ මාතෘකා ඇත. 13 වන සංශෝධනය, විධායක බලතල සහිත ජනාධිපති ධූරය, කැසිනෝ ඒ අතරින් කීපයකි.

දැනට අවුරුදු කීපයකට පෙර කාගේත් මාතෘකා වූයේ පිටකොටුවේ බෝම්බය, මහ බැංකු බෝම්බය, ශ්‍රී මහා බෝධියට එල්ල වූ ප්‍රහාරය, දළදා මාළිගාවට එල්ල වූ ප්‍රහාරය, අරන්තලාවේ භික්ෂු ඝාතනය, යුද්ධයෙන් මැරෙන සෙබළු ගණන ආදී මරණ බිය මුසු වූ ත්‍රස්ත ප්‍රහාර ගැනය.

ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරු හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද ත්‍රස්තවාදය සමඟ එක් එක් අයුරින් පොර බැදුව ද එය නිමකර ගැනීමට අපොහොසත් වූහ.

ජේ. ආර්. ජනාධිපති අතීතයේ ඉන්දියාව සමඟ එකතු වී සාම ගිවිසුම හරහා ඉන්දීය හමුදාව ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. පළාත් සභා ඇති කළේය. ඔහු මුලදී ඉන්දියාව ගණනකට නොගෙන ඇමෙරිකාව දෙස බලා සිටි හෙයින් කොටි ත්‍රස්තවාදීන්ට ඉන්දියාවේ ද සහාය ලැබුණි. එය ශ්‍රී ලංකාවේ අවාසියට බොහෝ සේ හේතු විය. එක් වකවානුවක ඉන්දියාව ඔවුන්ගේ බල පරාක්‍රමය පෙන්වමින් අපට අහසින් පරිප්පු දමා ගිය අතීතය ද අමතක කළ නොහැක. අද යහපත් විදේශ සබඳතා ගැන කථා කරන එක්සත් ජාතික පක්ෂයට එය අමතක වී ගොස් ඇත..

බල පෙරළියකින් චන්ද්‍රිකා මහත්මිය විධායක ජනාධිපතිව සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත්වූයේ ඉන් පසුවය. ලක් මාතාවගේ ඓතිහාසික ඛේදවාචකය මේ කාලය තුළ සිදු විය. එනම් වික්‍රමසිංහ මහතා නෝර්වේ සමඟ සම්බන්ධ වී කොටින්ට සටන් විරාම ගිවිසුමකට මඟ පාදා දීමය. ඇතැමුන් මෙය රටෙන් භාගයක් කොටියාට දුන් ගිවිසුම ලෙස ද හැඳින්විය.

මෙමඟින් සියලු බංකර ඉවත්කර දමා හමුදාව කඳවුරුවලට සීමා කෙරිණ. කොටි සිතු සේ එහා මෙහා යමින් තම බලය තර කර ගැනීමේ ක්‍රියාවලියේ කූට ලෙස සහය සැලසුම් සහගත ලෙස හැසිරුණේ මේ වකවානුවේදීය. කොළඹ වරාය හරහා කොටින්ගේ ගුවන් යානා කොටස් උතුරට රැගෙන ගියේ ද හමුදාවේ ඔත්තු සේවා නිර්දය ලෙස අඩපණ කරනු ලැබුවේ ද වික්‍රමසිංහ මහතා ගේ යුගයේ ය.

රනිල් වික්‍රමසිංහ මහතාට මේ කරුණු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල විය. ඔහුගේ පක්ෂය තුළ සිටි ප්‍රබලයින් පවා, එම තීරණ වලට එකඟ නොවූ බව පසු කලක පැහැදිළි විය. ඔවුන් වික්‍රමසිංහ මහතා හැර දමා පසු කලෙක ආණ්ඩුවට එක් වන්නේ ද රට බේරා ගැනීමේ ක්‍රියාවලිය සඳහාය.

චන්ද්‍රිකා මහත්මියගේ ධූර කාලය අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය. එතුමන්ගේ දේශපාලන ගමන තුළ ඔහු විසින් පුරුදු කරගත් ඉවසීම, විනය, සංවිධානාත්මක ශක්තිය ස්ථානෝචිත ප්‍රඥාව යන ගුණාංග ඔහුව එම ස්ථානයට ඔසවා තැබීය.

චන්ද්‍රිකා මහත්මියගේ නොයෙක් කෙණෙහිලිකම් මැද ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් වූ බව රටට රහසක් නොවීය. 2005 දී ශ්‍රී ලංකා විධායක ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්වූයේ ඉන් අනතුරුවය.

වර්තමානයේ සිට අතීතය දෙස හැරී බලන කල එම තේරී පත්වීම ශ්‍රී ලංකා මාතාවගේ නිදහස් මල් පිපෙන වසන්ත කාලයක ආරම්භය යැයි කවුරුන් හෝ පැවසුවහොත්, එයට විරුද්ධ වීමට මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන් ජනතාව පවා ඉදිරිපත් නොවනු ඇත.මහින්ද චින්තනය නමින් රාජපක්ෂ ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සන්ධාන නායකයින් හා බුද්ධිමතුන්ගේ ද සහාය ඇතිව මහජනතාව වෙත ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ සිදුවූ නැවුම් හා ආකර්ෂණීය සිදුවීමක් විය.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු මැතිවරණවලදී ඉදිරිපත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත වූ පොරොන්දු අදාළ කාල සීමා තුළ බොහෝ දුරට පුස්සක් බවට පත්විය. එහෙත් මධ්‍යස්ථව සිතා බලන කල මහින්ද චින්තනය තුළ ගැබ් වූ කරුණු බොහෝ සෙයින් යථාර්ථයක් වී ක්‍රියාවට නැංවී ඇතැයි ප්‍රකාශ කළ හැක.

ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාන්විත යුදබිමේ අත්දැකීම් බහුල යුද සෙන්පතියෙකි. ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ගැනීම ජනාධිපතිතුමා ගත් බුද්ධිමත් තීරණයක් වූ අතර එය රටේ වාසනාව ද විය. ඔහු ජනාධිපතිතුමා හා හමුදා අතර නියම සම්බන්ධීකාරකයා විය.තව ද ජනාධිපතිතුමා, තම අනෙක් සොහොයුරා වන බැසිල් රාජපක්ෂ මහතා තම කැබිනට්ටුවේ ඇමැතිවරයෙක් ලෙස රඳවාගෙන මාවිල්ආරුවෙන් ඇරැඹි මානුෂික මෙහෙයුම ඉදිරියට කරගෙන යෑම සඳහා ඉන්දියාව සමඟ හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ ක්‍රියාවලිය ඔහුට භාර කරවිය. ඔහු නිතර නිතර ඉන්දියාවට ගොස් එම ක්‍රියාවලියේ නිරත වූ ආකාරය කාගෙත් පැසසුමට ලක්විය යුතුය.

අවසානයේ වතුර නිසා හටගත් මාවිල්ආරු මෙහෙයුම කොටි නායක ප්‍රභාකරන්ගේ මළගම නන්දිකඩාල් කළපුවේ වතුරේම සිදුවන තරමටම ත්‍රස්තවාදයට තිත තැබීමට රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි විය. මෙහිදී ඒ සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සටන් වැදි සියලුම රණවිරු හමුදා නිලධාරීන් ද පොලීසිය ද සිවිල් ආරක්ෂක අංශය ද රටේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුමය.

එම වකවානුවේ රාජපක්ෂ ජනාධිපතිතුමා තම සොහොයුරන්ගේ සහාය ලබාගෙන කළ එම ක්‍රියාවලිය ගැන කිසිවකුගෙන්වත් ප්‍රශ්නයක් මතු නොවීය. රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා ද කීවේ නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වන තෙක්ම පැවැති සෑම රජයක්ම රටේ පොදු දේපළ කුණු කොල්ලයට විකුණා දැමුවේය. ඔහුගේ ප්‍රතිපත්ති අනුව එය නවතා දමා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයටත් සමහර ආයතන පාඩු අවම කර පවත්වාගෙන යෑමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.

එසේ කුණු කොල්ලයට විකුණා දැමූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ආයතන රාශියක් නැවත රජයට ලැබෙන ලෙස අධිකරණය තීන්දුවක් ද දුන්නේය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ සිදුවූ මෙම ගනුදෙනු ගැන සිතා බලන කල ඇයට දූෂණ ගැන කථා කිරීමට වර්තමානයේ කටක් ඇරෙන්නේ කෙසේදැයි යන්න ජනතාවට ද ප්‍රශ්නයකි. අපට ආධාර දෙන ලෝක සංවිධාන රාජ්‍ය සේවය කප්පාදු කරන්නයැයි ඉල්ලූ විට මෙතෙක් පැවැති රජයන් එය මනා ලෙස ඉටු කළේය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කාර්යාල සහායකයෙක්වත් බඳවා ගන්න ඉඩ නොදුන් බව එදා පැවසුවේ වෙන කවුරුත් නොව රාජිත සේනාරත්න මහතාය. ජනාධිපතිතුමා රාජ්‍ය සේවය මත විශ්වාසය තබා රාජ්‍ය සේවකයින් ලක්ෂ 4 සිට ලක්ෂ 9 තෙක් වැඩිකළ අතර ඉදිරියේ දී එය ලක්ෂ 14 දක්වා පුළුල් කිරීමට ද කටයුතු යොදා ඇත. රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නය ද ඔහු ඒ මඟින් විසඳා දැමුවේය.

ඊට විරුද්ධ වන පාර්ශ්වයන්ට කරුණු පහදා දී ඔවුන්ට බලපාන ප්‍රශ්නවලට විසඳුම් දී රටේ ඉහළ යන විදුලි ඉල්ලුමට මුහුණ දීමටත් එමඟින් රටේ නිවාස වලින් 98% ක්ම විදුලියෙන් එළිය කිරීමටත් එතුමාට හැකි විය. රට තුළ අඩාළ වී තිබූ ගොවිතැනට පොහොර සහනාධාරය ලබාදීමත් සමඟ පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීමට ගොවියෝ දිරිමත් වූහ.

රට සහලින් ස්වයං පෝෂිත විය. පොහොර සහනාධාරය හැමදාම ලබාදිය නොහැකි යැයි විපක්ෂය ගතු කීව ද මහින්ද ජනාධිපතිවරයා එය වෙනත් වගාවන් කීපයක් සඳහා ද මේ වන තෙක් නොකඩවා ලබා දෙන්නේ ය. අනෙක් ආනයන කරන ධාන්‍ය වර්ග, කිරි, බිත්තර හා මාංශ වර්ගවලින් ද ස්වයං පෝෂිත මට්ටමකට රට ගෙනඒමේ වැඩ පිළිවෙළකට රට හසුරවන්නේ ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සාධනීය වෙනස්කම් සිදු වී ඇත. සෑම ප්‍රදේශයකම පහසුකම් සහිත විදුහල් ඇති කරමින් යන්නේය. පරිගණකය සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද හුරු කර වීම සඳහා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන්නේය. විශ්ව විද්‍යාලය සඳහා සිසුන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරගැනීම අරමුණු වී ඇති අතර අනෙකුත් සිසුන් ද වෙනත් පාඨමාලාවක් සඳහා යොමු කරවීමට අවස්ථා ඇතිකර ඇත. මහින්ද චින්තනයට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද උන්නතිය උදෙසා බඳවා ගැනීම් රාශියක් කර ඇත. රෝහල් ද නවීන පහසුකම්වලින් ඉස්සරට වඩා සන්නද්ධය. මාතෘ නිවාස සඳහා පහසුකම් වෙනදාට වඩා සපයා ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලස්සන රටක් ඉදිකරමින් පවතී. මුඩුක්කුවලින් තොර ලස්සන රටක් දරුවන්ට ගොඩනැ‍ඟෙමින් තිබේ. කුණු කසල පිරි හෙටක් ජනතාව ආයෙත් අපේක්ෂා කරන්නේ නැති බව විශ්වාසය. මෙකී නොකී මහජන සුබ සිද්ධිය සඳහා වූ ක්‍රියාවලින් රාශියක් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ සිදුවීම තුළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය බොහෝ අසරණ විය. රටේ මහජනතාව මෙකී කරුණු ගැන බුද්ධිමත්ව සිතා අනාගතය තීරණය කළ යුතුය. වෙනසක් කළ යුතු යැයි අවස්ථාවාදීන් කියන්නේ විනාශයක් කිරීමට නොවේදැයි ජනතාව ඔවුන්ගෙන් ම ඇසිය යුතුය.

අපි වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් ඉදිවන මේ රට එම ගමනින් ඉවතට ගන්නවා ද නැද්ද යන්න රටේ ජනතාව ඔවුන්ගේම හදවත්වලින් ප්‍රශ්න කළ යුතුව ඇත.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්