එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ආසන 200ක් දිනනවා යැයි

ආසන 200ක් දිනනවා යැයි

 රාහුල් ගාන්ධි කියයි

දහසය වැනි ලෝක් සභා මැතිවරණය ළංවත්ම ඉන්දියාව පුරා පවතින ජනමත විමසුම් ආයතන නානා විධ අනාවැකි ප්‍රකාශ කිරීම අරඹා ඇත. සුප්‍රකට සී නිවුස් (Zee News) ආයතනය මඟින් කළ ජනමත විමසුමේදී වත්මන් ඡන්ද ප්‍රවණතාව අනුව සාමාන්‍ය ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසනු ලැබී ය. ආර්ථික තත්ත්වය, වෙනසකට ඇති ප්‍රවණතාව, අගමැති තනතුරට කවුද? දේශපාලන පක්ෂ ලබාගනු ලබන ඡන්ද ප්‍රමාණය, විශාල ප්‍රාන්ත තුළ තුන් වැනි බලවේගයකට ඇති ප්‍රවණතාවය යන කරුණු සියල්ලම සලකා බලමින් මෙම ජනමත විමසුම පැවැත්වීම විශේෂයකි.

ප්‍රාන්ත විසි එකක ඡන්ද කොට්ඨාස 56 ක පවත්වනු ලැබූ මේ ජනමත විමසුමට අනුව සියයට 44.2 ක් භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයත් (NDA) සියයට 24.0 ක් කොංග්‍රස් පක්ෂය ප්‍රධාන එක්සත් ප්‍රගතිශීලී සන්ධානයටත් ඡන්දය ප්‍රකාශ කරන බව හෙළි වී ඇත. එසේ ම සියයට 23.7 ක් තුන් වැනි බලවේගයක් බලයට ඒම ගැන කැමැත්ත ප්‍රකාශ කර ඇත.

මේ අතර NDTV රූපවාහින‍ී ආයතනය ප්‍රාන්ත 12 ක ආසන 319 ක් පුරා කළ සමීක්ෂණයක දී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 166 ක් ද එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ආසන 52 ක් ද හිමිකරගනු ඇතැයි හෙළිවී ඇත.

ඒ සඳහා ලෝක් සභා මැතිවරණයට අයත් ඡන්ද කොට්ඨාස 543 ක ඡන්ද දායකයින් 200,000 කගේ මත විමසනු ලැබූ බව පැවසේ.

මේ අතර බිහාර්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ හා චට්ටිස්සර් යන ප්‍රාන්ත තුළ බීජේපී ප්‍රධාන සන්ධානයට මහත් වාසි දායක තත්ත්වයක් පවතින බව හෙළිවේ.

‍එසේ ම ප්‍රාන්ත නායකයින් වන ජයලලිතා ජයරාම් හා මම්මා බැනර්ජි තම ප්‍රාන්ත තුළ ජයග්‍රාහී තත්ත්වයකින් පසුවන බවත් ජයලලිතාගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 27 ක් ජයගනු ඇතැයි ද පැවසේ.

මේ ජනමත විමසුම් පරීක්ෂා කරනවිට නරේන්ද්‍ර මෝඩි රැල්ලක් ඉන්දියාව පුරා ඇතැයි මුළු ලෝ පුරා පැතිරී ඇත්තේ ය. මේ රැල්ලත් සමඟ අති විශාල ආර්ථික හා දේශපාලන පෙරළියක් සිදු වෙතැයි කා තුළත් උදාවී ඇත්තේ බලාපොරොත්තු සහගත තත්ත්වයකි.

කෙසේ වෙතත් ‍ජනමත විමසුම් මඟින් හෙළිකරනු ලබන අනාවැකි ප්‍රාන්ත රාජ්‍යවල ඡන්ද ප්‍රතිඵල වලට බලපාන අන්දමත් එසේ බලනොපෑ ආකාරයත් මෙතෙක් පවත්වනු ලැබූ ඡන්දවලින් හෙළි වී තිබේ.

මධ්‍ය ප්‍රදේශ් රාජස්ථාන් හා චට්ටිෂ්ඝර් යන ප්‍රාන්ත රාජ්‍යවලට මෝඩි රැල්ලක ඡායාවක් දැකිය හැකි වුවත් දිල්ලි මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂයේ උදාව එම ජනමත විමසුම් වලට හසු නොවීම දේශපාලන විචාරකයින් තුළ ජනමත විමසුම් පිළිබඳව සියයට සියයක් ම විශ්වාසයක් තැබීම ගැන සැකයක් මතුවී ඇත.

මේ අතර ජනමත විමසුම් තුළින් හෙළිකරනු ලබන අනාවැකි සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන කොංග්‍රසයේ උප සභාපති හා එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධි 2004 හා 2009 පැවැත්වූ මහ මැතිවරණවලදී ද කොංග්‍රස් පක්ෂ අතිවිශාල පරාජයකට මුහුණ දෙනු ඇතැයි අනාවැකි පළ කළ බව පැවසීය.

කොංග්‍රස් පක්ෂය, ප්‍රධාන සන්ධානයේ නායකයින් මෝඩි රැල්ලට එරෙහිව සටන් අරඹා ඇත. එසේ ම ආම් ආද්මි පක්ෂයේ නායක අර්වින්ද් කෙජ්රිවැල් ද ඒ සටනට තවත් ශක්තියක් ලබාදී ඇත.

නාරේන්ද්‍ර මෝඩිගේ අගමැති වීමේ අභිප්‍රායට අතිවිශාල බාධකයක් වන්නේ 2002 ඔහු ප්‍රධාන ඇමැතිව සිටි ගුජරාටයේ ඇති වූ මහා ඛේදවාචකයේදී 2000 පමණ මුස්ලිම් ජනතාව ඝාතනය වීම වැළැක්වීමට තැත් නොකිරීම සහ එයට සහයෝගය ලබාදීම යන චෝදනාවයි. එය ඔහුට එරෙහිව පැවැති කළු තිතක් වුවත් පසුව ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීම සුප්‍රීම් උසාවිය මඟින් සිදුකරන ලදී.

එහෙත් රාහුල් ගාන්ධි පවසන්නේ මෝඩි නිදොස් කොට නිදහස් කරනු ලැබූවත් නීත්‍යානුකූලව ප්‍රධාන ඇමැති ලෙස වගකීම පැහැර හැරීමක් ලෙස සලකා ඔහු යටතේ පැවති පාලන තන්ත්‍රයේ දුර්වලතාවයෙන් පැන යාමක් කළ නොහැකි බවත් ය.

එසේ ම එය සදාචාරාත්මකව ඔහු එම ඛේදවාචකයට සපුරා වගකිව යුතු බව ද රාහුල් ගාන්ධි තරයේ ප්‍රකාශ කර සිටී.

නාරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රාහී මාවතට තවත් බාධකයක් වී ඇත්තේ ආම් ආද්මි පක්ෂයේ නායක අර්වින්ද්, කෙජ්රිවාල් ය. බිහාරයේ බරණැස් ආසනයෙන් ලොක් සභා මැතිවරණයට පෙනී සිටීමට න‍ෙර්න්ද්‍ර මෝඩි තීරණය කිරීමෙන් පසු කෙජ්රිවාල් ද ඔහු හා මුහුණට මුහණලා සටනට ඒම සඳහා බරණැස ආසනයට තරග කරන බව ප්‍රකාශ කර ඇත.

දූෂණයට එරෙහිව දේශපාලන පොරපිටියට බට කෙජ්රිවාල් ආත්ම විශ්වාසයෙන් යුතුව බරණැස් සටනට පිවිසීම මෝඩි ලබනුයේ යැයි පවසන විශිෂ්ට ජයග්‍රහණයට තවත් බාධාවක් විය හැකි යැයි දේශපාලන විචාරකයින් ගේ මතයයි.

මේ අතර කොංග්‍රස් පක්ෂයේ නායකයකු ව සිටි කමලාපති ත්‍රිපති ගේ දියණිය වන ‍ඉන්දිරා තිවාරී ත්‍රිනාමුල් කොංග්‍රස් පක්ෂයෙන් බරණැස් ආසනයට තරග කිරීම මෝඩි වෙත එල්ලවූ තවත් බලගතු බලවේගයකි. ඇයගේ උපත මෙන් ම කටයුතුවල පසුබිම බරණැස් ආසනය වීම ඇයගේ ශක්තිය විදහා දක්වන්නකි. බරණැස් විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය සංග්‍රාම ඡන්දයේ දී ඇයට මුස්ලිම් සහාය අතිවිශේෂ ලෙස ලැබුණු බව පවසන ඉන්දිරා බරණැස් ආසන සටනේ දී ඔවුන් තමන්ට සහාය වන බව නොපැකිලව පවසන්නීය.

එසේම නරේන්ද්‍ර මෝඩිට පෙර ගුජරාටයේ මහ ඇමැති ව සිටි දිග්විජය සිං බරණැස් ආසනයට කොංග්‍රස් සන්ධානයෙන් තරග කිරීමට නියමිත බව ද වාර්තාවේ. මෙය නරේන්ද්‍ර මෝඩි මුහුණ දිය යුතු තවත් අභියෝගයකි.‍

මේ අතර භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන එල්.කේ. අද්වානි හා නරේන්ද්‍ර මෝඩි අතර ආසනයක් පිළිබඳව මත භේදයක් ඇති වී ඇතැයි වාර්තාවේ.

අද්වානි බූපාල් අසුනට තරග කිරීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කළ ද ඔහුට ගාන්ධිනගර් අසුන පක්ෂය මඟින් නියම කර තිබීම අද්වානිගේ නොසතුටට හේතු වී ඇතැයි වාර්තාවේ. මෙය ඇතැමකු පවසන අන්දමට භාරතීය ජනතා පක්ෂය තුළ යම් දෙදරීමක් ඇතිවිය හැකි ය.

එහෙත් පරාජය අභිමුඛයේ ගැවසෙමින් සිටින කොංග්‍රස් පක්ෂය ප්‍රධාන ජාතික ප්‍රගතිශීලී සන්ධානයේ අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධිට මෝඩි තරම්වත් ජයග්‍රාහී මාවතක් පෑදී නොමැති බව ප්‍රකාශ කළ යුතු ය.‍

මේ අතර ජනමත විමසුම් සියල්ලම පාහේ බොහෝමයක් ම කොංග්‍රස් සන්ධානයට ලබාගත හැකි වනුයේ ආසන 100 ක් පමණ කැයි කීම ප්‍රතික්ෂේප කරන රාහුල් ගාන්ධි එම සියලු ම ජනමත විමසුම් ‘විහිළුවක්’ බව ප්‍රකාශ කරයි. ජනපති විමසුම් නීති පද්ධතියක් නොවන බව ප්‍රකාශ කරන හෙතෙම ආසන 200 ට වඩා ප්‍රමාණයක් ජයගන්නා බව පළ කරයි.

එසේ ම මෝඩි වෙත ප්‍රහාරයක් නිකුත් කරන රාහුල් ආදරයත් වෛරයත් අතර සටනේ දී ආදරය හැමවිටම ජයගන්නා බව ද පැවසීය. ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ අගමැති පොරය සඳහා රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ බව මෙතෙක් ප්‍රකාශයට පත්වී ඇති සේ ම ඒ අනුව ඔහු ද ඉන්දියාව පුරා කොංග්‍රස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා නොයෙකුත් ස්ථානවල බලවේග රැස්වීම් පැවැත් වූයේ ය.

එහෙත් අලුත් ම වාර්තා අනුව තවමත් කොංග්‍රස් සන්ධානය මඟින් අගමැති අපේකෂක ලෙස රාහුල් ගාන්ධි නම් කර නැති බව වාර්තාවීම කාගේත් කුතුහලයට ලක්වන කරුණක් වී ඇත. මීට වඩා කැපී පෙනෙන චරිතයක් ඒ සඳහා නියම වේලාවට ඉදිරිපත් විය හැකි යන සැකය ද ඡන්ද දායකයින් අතර පැතිරී යන කථාවකි. එය සමහර විට සෝනියා ගාන්ධි හෝ ඇයගේ දියණිය ප්‍රියංකා වඩේරා එම තැනට තෝරාගනු ඇතැයි යන සැකය ද දැන් දැන් ඉන්දියාව පුරා පැතිර යන උණුසුම් පුවතක් වන්නේ ය.

භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩිට එරෙහිව ගුජරාටයේ ඇති වූ මුස්ලිම් ඝාතනය තදබල බාධාවක් ලෙස සඳහන් වන්නාක් මෙන්ම රාහුල් ගාන්ධිට හා කොංග්‍රස් ජයග්‍රාහකයනට එරෙහිව එවැනි ම වූ ඝාතනයක රාව ප්‍රතිරාව දේශපාලන පොර පිටියට පැමිණ ඇත. එය ඉන්දිරා ගාන්ධිගේ සමයේ සිදුවූ රන්දෙවොලේ ආක්‍රමණය හා අතිවිශාල ප්‍රමාණයක් සික් ජාතිකයින් ඝාතනය කිරීමයි. අවසානයේදී ඉන්දිරාගේ මරණය ද එය සංහාරයට සම්බන්ධ වූ නමුත් එම කළු තිත කොංග්‍රස් පක්ෂයේ ජයග්‍රහණයට විශාල බාධකයක් වී ඇත.

මේ හැර කොංග්‍රස් පක්ෂ පාලන කාලය තුළ සිදුවූ නොයෙකුත් දූෂණ හා ඒවාට රජයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයත් නිෂ්ක්‍රිය පාලන තන්ත්‍රයක් හේතු කොටගෙන වෙනසක් සිදුවීම පිළිබඳ අපේක්ෂාවක් ඉන්දීය ඡන්දදායකයින් අතරේ දැඩි ලෙස පවතින අදහසක් වන්නේ ය.

මේ තත්ත්වය අනුව මෝඩි හා ගාන්ධි අපේක්ෂා කරන ආසන ප්‍රමාණය නොලැබී යාම නිසා එම බලවේග දෙකටම ඉන්දියානු ඡන්ද පොරපිටියේ පවතින සෙසු සන්ධාන වල සහාය ලබා ගැනීම සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයින් හා ජනමත විමසුම් පැවැත්වූ සංවිධාන ප්‍රකාශයට පත් කර ඇත.

මෙබඳු අවස්ථාවක තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම්ගේ සන්ධානයේත්, බෙංගාල මහ ඇමැති මම්ටා බැනර්ජි ගේ සන්ධානයේත්, ඒ හැර නිතිෂ් කුමාර් ප්‍රධාන සන්ධානයේත් සහාය මේ මහා පක්ෂ දෙකම ලබාගැනීමට උත්සාහ කිරීම දැකගත හැකි වේ.

අගමැති තනතුර පිළිබඳව සිහින දකිමින් සිටින ජයලලිතා ජයරාම්ට ද අවිනිශ්චිත තත්ත්වයකට මුහුණදීමට සිදුවී ඇතැයි අලුත් වාර්තා වලින් පෙන්වා දී ඇත. තමිල්නාඩුවේ බලය සඳහා මෙතෙක් තරගය පැවතියේ කරුණානිධි ගේ ඩී.එම්.කේ පක්ෂයත් ජයලලිතාගේ ඒ අයි ඩී එම් කේ පක්ෂය අතර පමණි. ඔවුන් වටා සන්ධාන ගොඩනැඟී තිබූ නමුත් ජයලලිතා ඉදිරියෙන් සිටියහ.

එහෙත් භාරතීය ජනතා පක්ෂය විසින් එස්. රාමඩෝස් ගේ පී. එම්.කේ. පක්ෂයත්, වයිකෝ ගේ එම්.ඩී.එම්.කේ‍. පක්ෂයත් විජයකාන්ත් ගේ ඩී.එම්.ඩී.කේ පක්ෂයත් එකතු වී නව සන්ධානයක් තමිල්නාඩු පොරපිටියට ඒම ජයලලිතාගේ බලයට දැඩි අභියෝගයක් බවට පත්වී ඇතැයි වාර්තාවේ.

මේ අයුරින් ඉන්දීය මැතිවරණ වේදිකාව මහත් අවිනිශ්චිත වූ තත්ත්වයකට පත්ව තිබීමෙන් ප්‍රාන්ත රාජ්‍යවල ගොඩ නැඟී ඇති සන්ධාන ප්‍රධාන පක්ෂ දෙකට සම්බන්ධ වී කොයි මොහොතේ කඩා වැටිය හැකි පක්ෂයක් රාජ්‍ය බලය හිමිකරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම එවැනි බලරහිත සන්ධානයක් මඟින් රට පාලනය කිරීම හේතු කොටගෙන මෙතෙක් ජනතාව අසරණ තත්ත්වයට පත්වී සිටින දූෂණය, උද්ධමනය හා ආර්ථික සංවර්ධන ඇණ හිටීම මඟින් ඇති සංකීර්ණ ප්‍රශ්න රැසකට ‍ඉන්දියන් ඡන්ද දායකයින්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමාණ ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්