එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී - කිවියර සිරිලාල් කොඩිකාර

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී, කිවියර සිරිලාල් කොඩිකාර සූරීන්ට ප්‍රණාම දැක්වීමේ උලෙළක් මේ මස 26 වනදා, බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙම උලෙළ විශේෂයෙන් සංවිධානය වන්නේ සිරිලාල් කොඩිකාර සූරීන්ගේ දිවි චාරිකාවට වසර 90 ක් පිරීම නිමිත්තෙනි. කොඩිකාරයන්ගේ තීරු ලිපි එකතුවක් වන ‘මහල්ලාගේ හෑල්ල’ කෘතිය ද මෙදින දොරට වඩී. ප්‍රවීණ ලේඛක හා විචාරක එස්.ජී. පුංචිහේවා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හා මහාචාර්ය දර්ශන රත්නායක මෙහිදී දෙසුම් පවත්වති. සිරිලාල් කොඩිකාර ප්‍රණාම උලෙළ ගොඩගේ ග්‍රන්ථ ප්‍රකාශකයන් හා එක්ව සිංහල දෙමළ ලේඛක එකමුතුව විසින් සංවිධානය කරනු ලබයි.

මට අවබෝධ වී ඇති හැටියට සාමාන්‍යයෙන් මිනිසුන් මිය යන කාලය පසු කරමිනුයි මා සිටින්නේ. මම සමහර විට තව අවුරුදු දහයක් දොළහක් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව පැය ගණනකින් මගේ හුස්ම ටික පිට වෙන්නත් පුළුවන්. ජීවිතයේ අන්තිම හුස්ම යන තෙක්ම පෑනෙන් වැඩ ගැනීම තමා මගේ එකම පැතුම. අන්තිම කාලය ගතකරන ආකාරය ගැන ලොකු සැලැස්මක් මගේ නැහැ. ඒ වගේම එදා මෙන්ම අදත් දැඩි ආගමික විශ්වාසයකුත් මගේ නැහැ.”

ඒ, අප ජ්‍යෙෂ්ඨ ලේඛකයා උත්ප්‍රාසවත් හඬකින් හා සැහැල්ලු සිනහවකින් යුතුව මගේ පැනයකට පිළිවදන් සැපයූ ආකාරයයි. මා ඔහුගෙන් විමසා සිටියේ, ජීවිතයේ සන්ධ්‍යා තීර්ථයට පිවිස සිටින මෙවන් සමයක ජීවිතය පිළිබඳව සිතෙන්නේ කුමක්ද කියාය. ආගම් දහම්, ජ්‍යොතිෂ විද්‍යා ආදිය කෙරෙහි ඔහුගේ ඇල්මක් නැති බව කල්ඇතිව මා දැන සිටිය ද, ජීවන චාරිකාවේ වසර අනූව පියමන් කර සිටියදීත් ඔහු මෙබඳු පෙරළිකාරි පිළිතුරක් දෙතියි මම නොසිතුවෙමි.

ඔහු අදටත්, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය ළඟ නම් වූ ස්ථානය, මානසවිල හා කනෙරු මල්, ලෙයින් ලිවූ කවි, මා දුටු කෝසල සිහින හා ඇත්ත රඟ දෙන බයිලා වැනි විවාදාත්මක ප්‍රබන්ධ ලියූ රංචාගොඩ ළමයාමය; මගේ සාක්කිය, දියවැලක් ඔස්සේ බඳු ස්වයං චරිතාපදාන රචනා කළ සටන්කාමී ලේඛක සිරිලාල් කොඩිකාරම ය.

“මගේ බිරිය අනුලා, ගුරුවරියක්. දිනක් මට ඇගේ ‍පොත් අතර තිබී පොත් දෙකක් හමුවුණා. එකක්, ‘ළමා මනස’ කියා පොතක්. එහි කියා තිබෙන්නේ ළමයකුගේ හිත ඇති වන්නේ ඉපදුනාට පසුවය කියලයි. ‘පංචස්කන්ධ විභාගය’ කියන අනිත් පොතේ රූප, වේදනා, සංඥා, සංකාර හා විඥාන යන ස්කන්ධ විස්තර වෙනවා. මිනිසාට වගේම තිරිසන් සතුන්ට, ගස්වැල්වලට රූප ස්කන්ධයක් තියෙන බවයි මුලින්ම පැහැදිලි කරන්නේ. වේදනා ස්කන්ධයෙන් කියවෙන්නේ මේවාට විඳීම් තිබෙන බවයි. සැප දුක ආදිය විමසීමයි සංඥා ස්කන්ධයෙන් සිදුවන්නේ. සැපත වැඩි කරගැනීමට, දුක නැතිකර ගැනීමට සංකාර ස්කන්ධය කටයුතු කරනවා. විඥාන පහළ වන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියටයි. මේ සියලු දේ වෙන්නේ මෙලොවදීම බවයි ඒ පොතින් පැහැදිලි වෙන්නේ. මමත් ඒක විශ්වාස කරනවා. ඒ නිසා මරණින් මතු ජීවිතයක් ගැන මගේ බලාපොරොත්තුවක් නැහැ.”

අසන්න බලාපොරොත්තු වූ ප්‍රශ්න කලින්ම ඉල්ලා ගත් අයකු මෙන් අප ජ්‍යෙෂ්ඨයාණෝ ද ඉතා පහුවෙන් පිළිතුරු සපයති. කොඩිකාරයන් තරමක හෝ අසීරුතාවකට පත් කෙරෙන පැනයක් නැඟිය යුතු යයි කල්පනා කළ මම ඊළඟට මෙසේ විමසීමි.

* හොඳයි ඔබතුමා කියන ආකාරයට, තවත් අවුරුදු ගණනකින් නැත්නම් පැය කිහිපයකින් ඔබේ අවසන් හුස්ම පිටවෙන්න පුළුවන්. එහෙම වෙලාවකත් ආගමික වතාවත් පවත්වන්න එපා කියලා ඔබතුමා දරුවන්ට තහංචියක් පනවලා තියෙනවද?

“මම හැමදාම අනුන්ගේ මතවලට ගරු කරනවා. අනුන්ගේ විශ්වාස - ඇදහිලි ආදියට මම කවදාවත් ගරහන්නේ නැහැ. මගේ හඳහනේ පැවිදි යෝගයක් තියෙනවා කියලා අම්මලා මාව පාසල් යැව්වේ නැහැ. ඒත් මොනිටර් විභාගය පාස්වෙලා හිටපු අම්මා මට ගෙදරදී අකුරු කියා දුන්නා. පවුලේ එකම පිරිමි ළමයා මම නිසා තවත් පුතෙක් ලැබෙනකම් මම පාසල් යවන්න පසුව ඔවුන් තීරණය කළා.ඒ කාලේ අපෙ තාත්තා සේවය කළේ කෑගල්ලේ ඔන්ඩච්චි පරම්පරාවට අයිති වත්තක. ඒ නිසා මාව කෑගල්ලේ පිටිහුම බෞද්ධ පාඨශාලාවට බාරදුන්නා. මම හතරවැනි පන්තියේ ඉද්දී අම්මා අකාලයේ මියගියා. මගේ අධ්‍යාපනය ඇණහිටියා. මට ඕන වුණා දිගටම ඉගෙනගන්න. ඒත් තාත්තා ඒකට කැමැති වුණේ නැහැ. අන්තිමට මම බොරු ආවේසයක් ගත්තා. මැරුණු අම්මා ම‍ට වැහුණු විදිහට. ඒ පාර තමා තාත්තා හඳහනත් අරන් කොග්ගල පඤ්ඤාරංසි ගුරු හාමුදුරුවෝ බැහැදකින්න ගියේ.”

“හඳහන දැකපු හාමුදුරුවෝ මාව ගෝලයෙක් කරගන්න කැමැති වුණා. මගේ හඳහන හදපු නැකැත්රාල ඒ ගැන කරපු වර්ණනාව අම්මලා අහල පහල අයත් එක්ක කියනවා මට ඇහිලා තියෙනවා. පුංචි කාලෙදිම ආත්ම ශක්තියක් ඇති කරගන්න මට ඒ නිසා පුළුවන් වුණා. තරුණ කාලයේදීත් ජීවිතේ ප්‍රශ්න ජයගන්න මට ඒක ශක්තියක් වුණා. පෙරදිග වෛද්‍ය ශාස්ත්‍ර, සංස්කෘත, භාෂාව වගේ විෂයන් ඉගෙනගන්න පන්සලේදි මට අවස්ථාව ලැබුණා. අවුරුද්දක විතර කාලයක් පැවිදි ජීවිතයේ අත්දැකීමුත් ලබාගන්න පුළුවන් වුණා. ඒ අතින් බලනකොට, අද විශ්වාස නොකළත් එදා තිබුණු විශ්වාසය නිසා හඳහනිනුත් මට සේවයක් වෙලා තිබෙන බව පිළිගන්න සිද්ධ වෙනවා.”

“අනුන්ගේ විශ්වාස, ඇදහිලි ආදියට අදත් මම ගරු කරන්නේ මේ නිසයි. මගේ මරණ මංචකයේදී හෝ ඉන්පසුව හෝ කටයුතු කළ යුත්තේ මේ ආකාරයෙන්ය කියලා මම කාටවත් උපදෙස් දීලා නැහැ. එහෙම දෙන්න බලාපොරොත්තුවකුත් නැහැ.. මම කැමැති විදිහට ජීවත් වෙන්න ඉඩ දීම විතරයි මම අනිත් අයගෙන් අපේක්ෂා කරන්නේ.”

කොඩිකාර සූරීන් තවදුරටත් වෙහෙසට පත් නොකර වෙනත් දිසාවකට අපේ කතාබහ යොමු කිරීම මැනවියි මට සිතිණි.

* ඔබතුමාගේ, ‘මගේ සාක්කිය’ නමැති ස්වයංචරිතාපදානය ප්‍රදානය කර තිබෙන්නේ නිර්ධන පන්ති ජනතා ජයග්‍රහණය ඒකාන්ත බව විශ්වාස කරන මාධ්‍යවේදීන්ට. නිර්ධන පන්ති විප්ලවයකට මෙහෙවර කිරීමට කැප වන මාධ්‍යවේදීන් අනාගතයේ බිහිවනු ඇතැයි ඔබ සිතනවාද?

“අනාගත නිර්ධන පන්ති ජයග්‍රහණයක් ගැන මගේ බලාපොරොත්තුව තවම අත්හැර නැහැ. ලෝක ජනතාවගේ ප්‍රශ්න නොවිසඳෙන කොට ජනතා නැගිටීම් සිදුවෙනවා. වර්තමාන දේශපාලන වාතාවරණය තුළ අරගලය තරමක් යටපත් වීම ස්වභාවිකයි. ඒ නිසා වමේ දේශපාලන ව්‍යාපාරත් තාවකාලිකව පසුබැහැලා. කිසිදෙයක් ස්ථිරව පවතින්නේ නැහැ. මක්නිසාදයත් වෙනස් වෙනවා. මතභේද ඇතිවෙනවා, ලෙනින් - ස්ටාලින් ගැටුම වගේ. බුදුදහම තුළ වුණත් මේ තත්ත්වය දකින්න පුළුවන්. විවිධ අදහස් දරන භික්ෂූන් සිටිනවා. මාධ්‍ය තුළත් එවැනි අය සිටිය හැකියි. හෘදය සාක්ෂියට එකඟව පත්තර කලාවේ නිරත වන විට ජනතාවගේ දුක හඳුනන මාධ්‍යවේදීන් බිහි වෙනවා. මා මුලින්ම පත්තර රස්සාව කළේ ‘සිංහල ජාතිය’ පත්තරේ. ඒකෙ අයිතිකාරයා නීතිඥ ගිල්බට් පෙරේරා යූ.ඇන්.පී. විරෝධියෙක් වුණාට නියම ධනවාදියා. සුද්දො දිගටම රට පාලනය කළාට කමක් නැහැ කියන මතය දරපු කළු සුද්දෙක්. අපි උන්නැහැගෙ පත්තරය තුළිනුත් නිර්ධන පන්තියට සේවයක් කළා. ඒක අපිට කරන්න පුළුවන් වුණේ එහෙම උවමනාවක් දැක්මක් අපට තිබුණු නිසයි.”

* ඔබේ දයාබර බිරිය අනුලා වීරසූරිය. ඇය ඔබත් සමඟ සියලු දුක සැප බෙදාගෙන හැබෑ ජීවන සහකාරිය ලෙස ජීවත්වුණා. ඇත්තටම කෙසේ ද ඔබ දෙපළ මුණගැහෙන්නේ? සිරිලාල් කොඩිකාරයන්ගේ තුරුණු දිවියේ සොඳුරු මතකයන් අවදි කරවන්නට මට රිසි විණි.

“දෙවන ‍ලෝක මහ යුද්ධය කාලේ අපිට කොග්ගල දාලා වැලිගමට යන්න සිද්ධ වුණා. වැලිගම තිබුණා කවි සමාජයක්. විජයසිරි වෙදමහත්තයා ඇතුළු කණ්ඩායමක් තමා ඒක මෙහෙව්වෙ. ඒ කාලේ කවි කලාව හරි ජනප්‍රියයි. ගෙවල් දොරවල්වලත් නිතර කවි භාවිතා වුණා. බෙහෙත් වර්ග පවා තිබුණේ කවිවලින්. අපේ මෑණියන්ටත් හොඳ හැකියාවක් තිබුණා කවි ගායනාවට. ඉතින් වැලිගමදී මාත් එකතු වුණා විජයසිරි මහත්තයලගේ කවි සංගමයට. අනුලා මුණගැහෙන්නේ මේ කවි සංගමයේ වැඩවලදී. එතකොට අනුලා සිද්ධාර්ථ විද්‍යාලයේ සිසුවියක්. ඒ කාලේ ගුරු සිසු පිරිසක් කවි සංගම්වලට සම්බන්ධයි. සාමාජිකයන්ගේ කවි එකතු කරලා අතින් පිටපත් කරලයි ඒ කාලේ බෙදාහැරියේ. මායි අනුලයි මුලින්ම මුණගැහෙන්නේ මේ කවි පිටපත් කිරීමේ රාජකාරියේ දී තමා. ඊට පස්සේ මම අනුලගේ අයියත් එක්ක මිත්‍ර වෙනවා. ඔහු යුද්ධ හමුදාවේ සේවය කළත් කොමියුනිස්ට් අදහස් ඇති කෙනෙක්. ඔහුගේ මාර්ගයෙන් තමා මම අනුලගේ ගෙදෙට්ට යන්නේ. අනුලා, ඩී.එස්.විද්‍යාලයේ ගුරුවරියක් හැටියට සේවය කළා. ඇත්තටම ඇය දහකින් හොයාගන්න බැරි බිරියක්.”

* ඔබේ අනූ අවුරුද්දක චාරිකාව දෙස ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ. ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගෙවපු ඔබට දැන් ගතකරන මේ ඒකාකාරී ජීවිතය වෙහෙසකර නැද්ද? කොඩිකාර සූරීන් වෙත යොමු වූ මගේ අවසන් පැනය එයයි.

“ආපස්සට හැරිලා බලන විට හිතෙන වැදගත්ම දේ තමා මෙපමණ කාලයක් මා ඇවිත් තියෙන්නේ හරි මඟකය කියන එක. ජීවිතයට ලැබුණු දෙයින් සතුටු වුණා. ඒ නිසා කිසිම අසන්තෝෂයක් නැහැ. සමහර අය ඉන්නවා මෙහෙම අබලන් වෙනකොට ‘අනේ මැරිලාවත් යන්නෙ නැහැනේ’ කිය කියා අඬා වැලපෙන. මට නම් කිසිම වෙලාවක එහෙම හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. මට දවස පුරාම වැඩ රාජකාරි තියෙනවා. ඒවා ඉවරයක් කරගන්න කාලය තමා මදි.”

“මම හැමදාම නැඟිටින්නේ උදේ පහට විතර. නැඟිටලා ගෙවත්තේ සක්මනක යෙදෙනවා. ඊට පස්සෙ නානවා. තේ බීලා පාර දිහාට යනවා. උදේ හත විතර වෙනකොට මම වැඩට බහිනවා. පත්තර, පොත් කියවීම.... ලේඛන වැඩ... සමෝසමේ ඔය හැම වැඩක්ම කරන්නේ මේ කාලය තුළ තමා. හැන්දෑවට රූපවාහිනිය බලලා, හිතුනොත් පොඩි මීවිතකත් රස විඳලා රෑ නමය වෙනකොට ඇඳට ගොඩවෙනවා. ඔය විදියට තමා දැන් මගේ දවස ගෙවෙන්නේ.

“මේ දවස්වල මම නිතරම පරිහරණය කරන්නේ, පන්සිය පනස් ජාතකයයි, බයිබලයයි, අල්කුරාණයයි... මහාවංසය ඇසුරෙන් ලිපි පෙළකුත් ලියනවා. රජකමයි - වෙදකමයි දෙකම සාර්ථකව කරපු බුද්ධදාස චරිතය තමා මේ කතාවලට පාදක වෙන්නේ. බෞද්ධ සාහිත්‍යය කියන්නේ සංකේතාත්මක ලක්ෂණවලින් ඉතා පොහොසත් එකක්. උදාහරණයක් හැටියට සිදුහත් කුමරා උපන් විගස නෙළුම් මල් හතක් මත ඇවිද්ද එක. මෙහි මා දකින සත්‍යය තමා ඒ නෙළුම් මල් හත සප්ත බෞද්ධංග ධර්මවලට සංකේත වී තිබෙනවාය කියන එක. ඒ වගේ බුද්ධදාස රජතුමාගේ කතාව තුළිනුත් එවැනි සංකේතාර්ථයක් මතු කරගන්න පුළුවන්ය කියා මම හිතනවා.”

පිළිතුර හමාර කර මදෙස නෙත් යොමන කොඩිකාරයෝ නොඋස් හඬින් සිනාසෙති. ඔහුගේ පැසුණු හිසත්, ගැඹුරු දෑසත් අනූ වසරක් පුරා සමාජ සංස්කෘතික හා දේශපාලන අරගලයක නිරතවූ පෙරලිකාරයකු‍ගේ ලකුණු පළ කරයි. ගෙවී ගිය ඒ දිගුකාලය පුරා සිරිලාල් කොඩිකාර නමැති මේ අදීන පන්හිඳ ඉටු කළ මෙහෙවර තවත් ඉදිරියට ම රැගෙන යාමට අවැසි ආයු බල ප්‍රඥා වැඩේවායි පතමින් මම ආපසු ගමන් ඇරඹීමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්