එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 මුරලි පන්දුවෙන් ලෝකේ ජය ගත් බව පෙන්වන්නයි ඒ නිර්මාණය කළේ

‘වෙළෙඳ ලකුණ’ විශේෂාංග ලිපි පෙළ සඳහා නිර්මාණකරුවන් සොයා යන ගමනේ දී අපට හරි අපූරු පුද්ගලයන් මුණ ගැසිණි. ලාංඡන නිර්මාණ කළ ශිල්පීන් සොයා ගිය ගමනේ දී හමුවූ පුලස්ති එදිරිවීර නම් දක්ෂ චිත්‍ර ශිල්පියා අබිබවා ඔහු තුළින් මතුව ආවේ ආදර්ශවත් ගුරුවරයෙකි.

යුනියන් බැංකුවේ ලාංඡනය නිර්මාණය කළ ඔහු තවත් බොහෝ ලාංඡන නිර්මාණය කර ඇත්තේය. ඇතැම් ලාංඡන දැන්වීම් ආයතනවල සිටියදී නිර්මාණය කළ ඒවාය. “ඒවා මගේම ඒවා කියන්න බැහැ. දැන්වීම් ආයතනවලදී කළ නිර්මාණ කියන්නේ සාමූහික නිර්මාණ කටයුත්තක්.” පුලස්ති කියන්නේ එසේය.

ඒ කාලේ වේලාවකට මහා චිත්‍ර ශිල්පියෙක් කියලා හිතාගෙන හිටපු මම සමහර වේලාවට මට චිත්‍ර අඳින්න බැහැ කියලා හිතින් වැටිච්ච වේලාවල් තිබුණා. ඒත් මම එහෙම හිතෙන් පසුබෑව හැම මොහොතකම මට වැරදුණ තැන් ඉගෙන ගන්න උත්සාහ කළා. චිත්‍රවලට මටම කියලා ගුරුවරයෙක් නොසිටිය මම විධිමත් විදිහටත් අවිධිමත් විදියටත් චිත්‍ර අඳින්න ඉගෙන ගත්තා. එදා ඒ ලැබු අත්දැකීම්, අත්හදා බැලීම් නිසා තමයි අද මම මේ විදිහට ඉන්න හේතුවක් වුණේ.”

චිත්‍ර ශිල්පියකු ලෙසින් පමණක් නොව නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ දැන්වීම් කලාවේ නමක් දිනා සිටින පුලස්ති එදිරිවීර තම අතීතය පිළිබඳව පවසන්නේ එසේය.

ගල්කිස්සේ උපන් පුලස්ති අධ්‍යාපනය ලැබුවේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේය. ඔහු පාසල් වියේ සිටම චිත්‍ර අඳින්නට විශේෂ ඇල්මක් දැක්වූයේය. පවුලේ බාලයා වූ පුලස්ති චිත්‍ර අඳින දෙස ඇතැම් විටෙක ඔහුගේ පියා බලා සිටියේ ඉතා ආසාවෙනි.

“අපේ තාත්තා කලාවට සාහිත්‍යයට හරි කැමතියි. ඒ නිසා මං චිත්‍ර අඳිනවට තාත්තගේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. නමුත් මං දන්නේ නැහැ මං කොහොම චිත්‍ර අඳින්න යොමු වුණා ද කියලා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම එක්දහස් නවසිය හැත්තෑ තුන වසරේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය හැඳින්වූයේ හේවුඩ් කියන නමින්. හේවුඩ් එකේදී මට වැඩිදුර ඉගෙන ගන්න බැරිවුණා. ඒකට හේතුව තමයි තාත්තාගේ මියයාමත්, අම්මා අසනීප වීමත්.

මම ඉන් පසුව හේවුඩ් එකෙන් ඉවත් වෙලා රස්සාවකට ගියා. පත්තරවලට සම්බන්ධ වුණේ ඔය කාලයේ. චිත්‍ර කතාවල චිත්‍ර ශිල්පියෙකු හැටියටත්, සිනමා පුවත්පත්වල පිටු සැලසුම් ශිල්පියකු හැටියටත් කටයුතු කළා. නමුත් මං ඒ ක්ෂේත්‍රයේත් වැඩිකල් රැඳි සිටියේ නැහැ.”

සත්සිරි, සුහද ස්වර්ණ, චිත්‍ර කතා පත්තරවලට චිත්‍රකතා නිර්මාණය කළ පුලස්ති එක්දහස් නවසිය අසූවේ දී ද අල්විස් ප්‍රචාරක ආයතනයට සම්බන්ධ වූයේය. එහිදී ඔහුට තම හැකියාවන් තව තවත් වැඩිදියුණු කිරීමේ අවස්ථාව ලැබිණි. ඒ දැන්වීම් ආයතනයේ සේවය කරන සමයේයි. ඔහුට යුනියන් බැංකුවේ නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා අවස්ථාව ලැබුණේ.

“මම එම ලාංඡනය නිර්මාණය කළේ ඉංග්‍රීසි යූ සහ බී අකුරු මතුවන විදිහට. පළමු යූ එකේ ප්‍රමාණයට වඩා බී අකුරු මතුවන ලෙස යොදාගෙන ඇති යූ අකුරු දෙකේ ප්‍රමාණය වැඩියි. එයින් අදහස් කළේ බැංකුවේ වර්ධනයයි. නමුත් අද වන විට එම ප්‍රමාණවල යම් වෙනසක් තිබෙනවා.”

ඒ කාලයේම පුලස්තිට ‘ජනසවිය’ සඳහා ද ලාංඡනයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබිණි. එහිදී අත් තුනක් එකට තබා සිටින අයුරින් ඔහු ලාංඡනය නිර්මාණය කළේය.

“එය අත් තුනක් එකට බැඳුණ ලාංඡනයක්. පවුල කියන සංකල්පය, මව පියා දරුවා යන්න අර්ථ ගැන්වෙන්න තමයි අත් තුනක් යොදා ගත්තේ. ඒ වගේම ශක්තිමත් බව පවුලක එකමුතුව එයින් අර්ථ ගැන්වීමයි මගේ අරමුණ. ඊට අමතරව මම රණවිරු සේවා අධිකාරියේ ලාංඡනයත් නිර්මාණය කර තිබෙනවා.”

කලා හා නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස දැන්වීම් ආයතන කිහිපයකම සේවය කළ ඔහු දැන් ෆීනික්ස් ඔගිල්වී ආයතනයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

ඔහු දැන්වීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වුවද ඔහුගේ හැකියාවන් බොහෝ පැතිවලට විහිද ගොස් ඇත්තේය. මේ වන විට මෙරට වැඩියෙන්ම මුද්දර නිර්මාණය කළ නිර්මාණ ශිල්පියා වන පුලස්ති තමන් කළ නිර්මාණ අතුරින් ඉතාම කැමැති නිර්මාණ කිහිපයකි.

“මම කරපු නිර්මාණ හැම එකකටම වගේ මං කැමැතියි. ලංකාවේ මුද්‍රණය කළ පළමු රවුම් මුද්දරය නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබුණේ මට. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන ගැසට් පත්‍රයට වසර සියයක් පිරීම නිමිත්තෙන් මුද්දරයක් නිර්මාණය කළා. ඒ මුද්දරය නිර්මාණය කළේ මම. ඒ වගේම කලාකරුවන්ගේ දිනය නිමිත්තෙන් අමරදේව මහත්තයාගේ මුද්දරයක් නිකුත් කළා. එය නිර්මාණය කිරීමේ භාග්‍යය ලැබුණේ මට. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් මුද්දරයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ මුද්දරය තමයි ලංකාවේ පළමු රවුම් මුද්දරය. මේ මුද්දරය ගැන ජාත්‍යන්තර වශයෙනුත් කතාබහට ලක්වුණා. මම එය රවුම්ව නිර්මාණය කළේ මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් බෝලයෙන් ලෝකයම ජයගත් බව අර්ථගැන්වීමටයි.”

පුලස්ති චිත්‍ර ශිල්පියකු ලෙසින් අද බොහෝ ඉදිරියෙන් සිටින්නෙකි. ඔහු අඳින ඇතැම් මිනිස් රූප ජීවමාන රුවට සමානය. විටෙක ඔහු ඇඳි සිතුවම් දෙස බලා සිටීමේ දී එය ඡායාරූපයක් ද චිත්‍රයක් ද යන්න තෝරා බේරා ගැනීමට එදෙස බලාසිටින්නෙකුට තම ඇස් දෙක බොහෝ වෙහෙස කිරීමට සිදුවේ. ඔහු මීට කලකට පෙර එනම් 2000 වසරේදී තම මිත්‍රයකු වූ චිත්‍ර ශිල්පි සුදත් ජයවර්ධන සමඟ එක්ව “රිෆ්ලෙක්ෂන් ඔෆ් ලයිෆ්” නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වූයේය.

ඉඳහිට ටෙලිනාට්‍ය සඳහා ද චිත්‍ර අඳින ඔහු ඇතැම් විටෙක තමන්ට ලැබෙන අවස්ථා තම ශිෂ්‍යයකුට ශිෂ්‍යාවකට ද ලබා දෙන්නේය. ගුරු වෘත්තියේ දී ගුරුමුෂ්ටිය නැතිව සිසු සිසුවියන්ට චිත්‍ර ශිල්පය උගන්වන ඔහු තමන් ඉක්මවා ගොස් දස්කම් දක්වන ශිෂ්‍යයන් දෙස බලා හිඳින්නේ නිර්ලෝභීවය.

පුලස්ති මේ වන විට ලංකා කලා සංගමයේ සභාපති ධූරය හොබවයි. ඔහු ඒ හරහා එමඟින් පවත්වන චිත්‍ර පාසලේ දරු දැරියන්ට ලංකා කලා සංගමයේ ආචාර්ය මණ්ඩලය සමඟ එක්ව චිත්‍ර උගන්වයි. කලා සංගමයේ චිත්‍ර පාසලේ විදුහල්පති ධූරය හොබවන පුලස්ති මේ සියල්ල අවසානයේ බලාපොරොත්තු වන්නේ ආත්ම තෘප්තිය පමණි.

“සතියේ දින පහම මම කරන්නේ රැකියාවේ නියුතු වීම. නිවාඩු දවස් දෙක පාසලේ චිත්‍ර උගන්වනවා. අපේ චිත්‍ර පාසල තියෙන්නේ කොළඹ කලා භවනේ. ඊට අමතරව ඈත ගම්වල චිත්‍ර ගුරුවරු නැති පාසල්වලට ගිහිල්ල ඒ පාසල්වල දරුවන්ට චිත්‍ර උගන්වනවා.

මගේ බිරිය මට උපරිම සහායක් ලබා දෙනවා. ඇය නොසිටින්නට මට මේ වෙනුවෙන්ම යොමුවෙන්න විදිහක් නැහැ. මගේ දරුවෝ මා යොමු වූ කලාවට යොමු වුණේ නැහැ. කලාකරුවකුට ගෙදරින් නිදහස ලැබෙන්නේ නැත්නම් ඔහුට ඒ නිර්මාණ කටයුතු සාර්ථකව කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මට ඒ නිදහස ලැබිලා තියෙනවා. මේ නිර්මාණ ජීවිතයේදී මම ලබාගත් සුවිශාල අත්දැකීම් සමූහයක් වගේම දැනුමක් තිබෙනවා. මේ අත්දැකීමයි, හැකියාවයි අත් දෙකේ ගුලි කරගෙන මැරෙන්න මට බැහැ. මං කැමැතියි මගේ හැකියාව සහ අත්දැකීම් බෙදලා දෙන්න. මගේ දරුවෝ ඒ අංශයට යොමු නොවූ නිසා ඒ වෙනුවෙන් නැඹුරු වෙච්ච වෙනත් දරුවන් කොටසකට හරි ඒ දැනුම අත්දැකීම් හැකියාව ලබාදෙන්න මම සූදානම්. මං චිත්‍ර පාසලේ දරුවන්ට නොමිලේ උගන්වන්නේ ඒ නිසයි. ඔවුන් ඔවුන්ගේ හැකියාවන් මඟින් මාවත් ඉක්මවලා යන බව දුටුවම මට සතුටුයි. මං විශ්වාස කරනවා; මා ළඟ ඇති සියලු නිර්මාණ හැකියාවන් දැනුම දුන් විට මට නිදහසේ සැනසිල්ලෙන් මැරෙන්න පුළුවන් කියලා.

‘බණ්ඩාර දෙයියෝ’ කියන රූපවාහිනී නාට්‍යයේ මා සමඟ චිත්‍ර ඇන්දේ මගෙන් ඉගෙනගන්නා දරුවෙක්. ඇය නිසංසලා ප්‍රසාදිනී. ඇතැම් විට කෙනෙකුට මේ චිත්‍රවල වෙනස අඳුනාගන්න බැරිව ඇති. මං ඒ දරුවන්ගේ දක්ෂතා දැකලා අද සතුටු වෙනවා.” පුලස්ති පවසන්නේ නිහතමානීවමය.

ඔහුගේ චිත්‍ර පාසලේ වයස අවුරුදු පහේ සිට අවුරුදු හැත්තෑව දක්වාම වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. ඉතාම නිහඬව වුව අරමුණක් ඇතිව ගමනක් පැමිණ අරමුණක් ඇතිව ගමනක් යන පුලස්ති තම ජීවිතය සමබර වීමට එදා අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණ අනුබලය අද දකින්නේ මෙසේය.

“අපේ තාත්තා බොහෝම විනයානුකූලව, ජීවත් වෙච්ච කෙනෙක්. ඔහුට අවශ්‍ය වුණේ අපිව සෙල්ලමට නොයවා පොත පත අතරම රඳවා තබන්න. අක්කයි, අයියයි, මමයි සෙල්ලම් කරන්න කැමතියි. නමුත් අපි පාසල් වැඩ කළා. අපේ අම්මා දැනගෙන හිටියා අපිට සෙල්ලම් කරන්න අවශ්‍ය බව. තාත්තා උදේ ඉඳලා තාත්තා එනතුරුම හදන්න ගණන් දීලා ගියාම අම්මා කරන්නේ අපිට කතාකරලා ගණන් හදවනවා. ඔක්කෝම නෙමෙයි. ටිකක්.

ඒ අතර අතරින් පතරත් ගණන් හදවනවා. ඒ අපිට ඇත්තටම ගණන් පුළුවන් ද බලන්න. අපි හරියට හැදුවම අම්මා අපිට සෙල්ලම් කරන්න යන්න දෙනවා. ඊට පස්සේ ඒ ගණන් හදන්නේ අම්මා. තාත්තා ඇවිල්ලා පොත් බැලුවම ගණන් ඔක්කෝම හරි. දැන් කල්පනා කරන කොට හිතෙනවා තාත්තාගේ දැඩි විනයත් අම්මාගේ ආදරයත් කරුණාවත් අපේ ජීවිත හදාගන්න බොහෝ උපකාර වුණා කියලා.”

ඔහු තවමත් චිත්‍ර අඳියි. එහෙත් ඒ ඉස්සර තරම් නොවේ. නමුත් ඔහුට තමන්ගේම කියා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමේ දැඩි වුවමනාව නැත. ඔහු දැන් තමන් ගැන සිතීම පසෙක දමා ඇති සේය. ඔහු දැන් අපමණ වෙහෙසෙන්නේ තම සිසු සිසුවියන් දක්ෂ චිත්‍ර ශිල්පීන් කරවීමටය. ඔවුන්ගේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමටය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්