එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

දිගටම වහියි ද පායයි ද

දිගටම වහියි ද පායයි ද

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල පිළිතුරු දෙයි

“මේ අවුරුද්දේ වැසි අඩුවීමට හේතුව ඊසාන දිග මෝසම් සුළඟ අඩු ජල වාෂ්ප ප්‍රමාණයක් සහිත සුළඟක් රැගෙන ඒමත්ය. එයට හේතුව ඊසාන දිග මෝසම් සුළඟ ඉන්දියාවේ ගොඩබිමකින් ආරම්භ වීම” බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා කීය.

ලංකාවේ වර්ෂාපතන කාල මොනවා ද?

කාල හතරකට වර්ග කරන්න පුළුවන්. ඒවා දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ඊසාන දිග මෝසමත්, මාර්තු අප්‍රේල් මාස දෙක පළමුවෙනි අන්තර් මෝසමත්, මැයි සිට සැප්තැම්බර් දක්වා නිරත දිග මෝසමත්, ඔක්තෝබර් නොවැම්බර් දෙවැනි අන්තර් මෝසම් කාලයත් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ කාල පරිච්ඡේදවල ලංකාවට කොපමණ වර්ෂාපතනයක් ලැබෙනව ද?

මේ කාලවල ලංකාවට ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය සාමාන්‍යයෙන් පළමුවෙනි අන්තර් මෝසම් කාලයේ දී ලංකාවට අවුරුද්දේ ලැබෙන වර්ෂාපතනයෙන් 14% පමණ ලැබෙනවා. නිරත දිග මෝසම් කාලයේ දී අවුරුද්දේ වර්ෂාපතනයෙන් 30% ක් ලැබෙනවා.

ඔක්තෝබර් නොවැම්බර්වල දී?

මේ කාලයේදීත් මුළු වර්ෂාපතනයෙන් 30% ක් ලැබෙනවා.

මේ ආකාරයටම ලංකාවට වර්ෂාව ලැබුණා ද?

නැහැ. පසුගිය ඔක්තෝබර් නොවැම්බර්වලදී ලැබුණේ ලැබිය යුතු වර්ෂාපතනයෙන් 50% යි. මං මේ සඳහන් කළේ 2013 වර්ෂය ගැනයි.

ඊට පෙර පැවැති නිරිත දිග මෝසමේදී නියමිත වර්ෂාපතනය ලැබුණා ද?

ඔව්. අඩුවීමක් තිබුණේ නැහැ. නමුත් දෙසැම්බර් පටන් ගත්ත ඊසාන දිග මෝසමේදී දෙසැම්බර් මාසයේදී හොඳටම වර්ෂාපතනය අඩු වුණා. ජනවාරි මාසයේ වර්ෂාපතනය ලැබුණා. පෙබරවාරි මාසයේ ආපහු සැරයක් වර්ෂාපතනය අඩු වුණා.

ඒ කියන්නේ ඊසාන දිග මෝසමින් බලාපොරොත්තු වුණ තරම් වර්ෂාපතනය ලැබුණේ නැහැ නේද?

නැහැ.

දෙසැම්බර් පෙබරවාරි කාලයේ සාමාන්‍යයෙන් වර්ෂාපතනයේ අඩුවක් තියෙනව ද?

ඔව්. නැ‍ඟෙනහිර ප්‍රදේශය හැරුණහම අනිත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හුඟක් අඩුයි. ඒක සාමාන්‍ය දෙයක්.

අවුරුද්දේ මාස දොළහ ගැන සැලකුවොත් අඩුම වර්ෂාපතනය ලැබෙන මාසය කුමක් ද?

පෙබරවාරි මාසය.

ඒක එක අවුරුද්දකට පමණක් සීමා වුණ දෙයක් ද?

නැහැ. ඒක සෑම අවුරුද්දකටම පොදු දෙයක්.

මේ නියඟය හැම කාලෙටම පොදු දෙයක් නෙවෙයි නේද?

ඔව් ඒක පොදු දෙයක් නෙවෙයි. මේ තියෙන නියඟයට හේතුව ඔක්තෝබර් නොවැම්බර් සිදුවුණ වර්ෂාපතනය අඩුවීමයි.

දෙසැම්බර් ජනවාරිත් වර්ෂාපතනය අඩුයි නේද?

ඔව්. පසුගිය දෙසැම්බර් මාසයෙත්, ජනවාරි මාසයෙත් අඩු වර්ෂාපතනයක් ලැබුණා තමයි. හැබැයි මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් නිසා මුළු වර්ෂාපතනයට දැනෙන බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට දැනෙන බලපෑමක් ඇතිවෙන්නේ කුමන කාල පරිච්ඡේදයේ ඇතිවන වර්ෂාපත­‍නයෙන්ද?

ඔක්තෝබර් හා නොවැම්බර් ලැබෙන වර්ෂාපතනය.

මේ කාලයේ ලැබිය යුතු වර්ෂාපතනය කොපමණ ද?

මිලි ලීටර් 350 ක් පමණ.

මේ ප්‍රමාණය ලැබුණ ද?

නැහැ මෙවර ලැබුණ වර්ෂාපතනය මිලි ලීටර් දෙසීය හැත්තපහයි. ඒක ලංකාවට සෑහෙන්න බලපෑවා. මේ හිඟය පුරවාලන්න තරම් වර්ෂාපතනයක් ඊසානදිග මෝසමින් ලැබුණෙත් නැහැ.

අන්තර් මෝසම් කාල පරිච්ඡේදයක පවතින්නේ කුමන කාලගුණ රටාවක් ද?

උදේට අව්ව තියෙනවා වලාකුළු අඩුයි. නමුත් හවස් වෙනකොට වලාකුළු ඇතිවෙලා වර්ෂාව පටන් ගන්නවා.

අන්තර් මෝසම් කාලය දැන් ආරම්භ වෙලාද?

ඇයි මේ වෙන කොටත් පූර්ව ලක්ෂණ පටන් අරගෙන තියෙන්නේ. අන්තර් මෝසම් කාලය පටන් ගත්තත්, සමහර ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. මෙයට හේතුව පෙර පැවැති ඊසාන දිග මෝසම් සුළගේ බලපෑමයි.

මොනව ද අපට නිරීක්ෂණය කිරීමට ඇති පූර්ව ලක්ෂණ?

කැටි වැසි වලාකුළු අහසේ දක්නට ලැබීම. මේ කාලයේදීත් හවස් වරුවට ආකාසයේ කැටි වැසි වලාකුළු දක්නට ලැබෙනවා.

කැටි වැසි වලාකුළුවලින් ඇතිවෙන සංසිද්ධි කුමන ආකාරයේ ද?

කැටි වැසි වලාකුළු නිසා අකුණු ගැසීම් ඇතිවෙන්න පුළුවන්.

වර්ෂාපතනය එක් එක් අවුරුදුවලදී ලැබෙන කාල වෙනස් වෙනවා. ඊට හේතුවක් තියෙනව ද?

කාලගුණය යම් නියතයක් නෙවෙයි. අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. මේක ලෝකයට පොදුයි.

උදාහරණ කීපයක් කිව්වොත්?

පසුගිය කාලයේ ඇමෙරිකාවට දරුණු සීත කාලයක් තිබුණා. ඒ වගේම සයිබීරියාවට තද උෂ්ණ කාලයක් තිබුණා. ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 45 ට වැඩි වුණා. ඒ කියන්නේ ලෝකේ කාලගුණ රටාව වෙනස් වෙනවා. මේ නිසා දේශගුණ විපර්යාස ඇති වෙනවා.

දේශගුණ විපර්යාසයකට බලපාන්නේ කුමන හේතු ද?

මිනිස්සු විසින් වායුගෝලයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම.

ලෝකයේ එක තැනක සිදුවෙන කාලගුණ වෙනස් වීමක් අනිත් තැන්වලට බලපානව ද?

ඔව්, ලෝකයේ වායුගෝලය තුළ එකම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. එක් තැනක සිදුවීමක් අනිත් තැනටත් බලපානවා. ඒ අනුව අපේ කාලගුණයේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා.

ගිය අවුරුද්දේ වර්ෂාපතන රටාවත් සමඟ මේ අවුරුද්දේ වර්ෂා රටාව වෙනස් නේද?

ගිය අවුරුද්ද අසාමාන්‍ය අවුරුද්දක්. ගිය අවුරුද්දේ ජනවාරි පෙබරවාරි ලංකාවට ගොඩක් වැස්ස ඇතිවුණා. ගංවතුර තත්ත්ව ඇතිවුණා. මේ අවුරුද්දේ එහෙම තත්ත්වයක් නෑ. ඒ කියන්නේ වර්ෂාපතනය අඩුවෙලා. අපි අවුරුදු සීයයක දෙසැම්බර් - පෙබරවාරි වර්ෂාපතනය ප්‍රස්ථාර ගත කළහොත් අපට පැහැදිලිවම පෙනෙන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද දන්නවා ද? ඊසාන දිග මෝසමේ විචල්‍යතාවය 40% කටත් වැඩියි. නමුත් අනිත් අන්තර් මෝසම් කාලයේදී, ඒ කියන්නේ නිරිත දිග මෝසමේ එතරම් විචල්‍යතාවක් නැහැ.

ඊසාන දිග මෝසමේ විචල්‍යතාවය වැඩිවීමටත්, නිරත දිග මෝසමේ විචල්‍යතාව අඩුවීමටත්, හේතුවක් තියෙනවා ද?

නිරිත දිග මෝසම ගෝලීය සංසිද්ධියක්. මෝසමක් විදිහට ඊසාන දිග මෝසම බලවත්කමින් අඩුයි.

ඉදිරියේ දී ඇතිවෙන මෝසම කුමන ආකාර ද?

ඉදිරියේ දී අන්තර් මෝසම එළඹෙනවා. හවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

නිරිත දිග මෝසම හා ඊසාන දිග මෝසම අතර ඇති වෙනස්කම් කුමන ආකාර ද?

ඊසාන දිග මෝසම කලාපීය සංසිද්ධියක්. නිරිත දිග මෝසම ගෝලීය සංසිද්ධියක්.

අපේ කලාපයට බලවත්ම මෝසම?

නිරිත දිග මෝසම.

ඊසාන දිග මෝසමින් අඩු වර්ෂාපතනයක් ලැබීමටත් නිරිත දිග මෝසමින් වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නත්, හේතු තියෙනවා ද?

ඔව්... ඊසාන දිග මෝසමේ සුළං පටන්ගන්නේ සයිබීරියාවෙන්. ඒ සුළඟ බෙංගාල බොක්ක හරහා පැමිණෙන අවස්ථාවේදී විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් අරගෙන එනවා. එතකොට අපිට වැසි ලැබෙනවා. නමුත් ඉන්දියානු උප මහද්වීපයෙනුත්, මේ සුළං හට ගන්නවා. එවැනි අවස්ථාවල කුඩා මුහුදු සීමාවක් තමයි පසු කරලා එන්නේ.

ඊසාන දිග මෝසම පටන් ගෙන ජල වාෂ්ප ගෙන එන ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙකෙන් කුමන ආකාරයට ද? අපට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නෙ?

වැඩි ජල ප්‍රදේශයක් ඔස්සේ ඊසාන දිග සුළං හමාගෙන ආවොත් වැඩි වර්ෂාවක් ඇති වෙනවා. නමුත් ගොඩබිම ඔස්සේ සුළං හමන අවස්ථාවත් තියෙනවා. මෙවැනි අවස්ථාවල වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. ගොඩබිම හරහා හමන ඊසාන දිග සුළ‍ඟේ ආර්ද්‍රතාවය හුඟක් අඩුයි.

පසුගිය පෙබරවාරිවල තිබුණ සුළං තත්ත්වය හුඟක් ආර්ද්‍රතාවය අඩු මට්ටමක් නේද?

ඔව්, පෙබරවාරි මාසයේ සුළංවල ආර්ද්‍රතාවය 50% කට වැඩි ප්‍රමාණයක් අඩු වුණා. ඒ කියන්නේ සුළ‍ඟේ ජල වාෂ්ප ගොඩක් අඩු වුණා.

ඊසාන දිග සුළං ධාරාව හමන ක්‍රමවේදය අනුව ද වර්ෂාපතනය වෙනස් වෙනව ද?

ඔව්, ඉතාමත් ප්‍රබල ඊසාන දිග සුළං ධාරාවක් පැමිණියොත්, ඒ කියන්නේ වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් රැගෙන පැමිණියොත්, වැඩි වැසි ඇති වෙනවා.

ඊසාන දිග මෝසම සක්‍රීය හා අක්‍රීය කාල අපට හඳුනාගන්න පුළුවන් ද?

ඔව්. සුළ‍ඟේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩිනම් ඊසාන දිග මෝසම සක්‍රීයයි. නමුත් සුළ‍ඟේ ජල වාෂ්ප අඩුනම්, ඊසාන දිග මෝසම අක්‍රියයි. පසුගිය කාලයේ තිබුණේ අක්‍රීය තත්ත්වයක්.

එක් අවුරුද්දක ඊසාන දිග මෝසම සක්‍රීය වූවොත් අනෙක් අවුරුද්දේ අක්‍රීය වෙනවා ද?

එහෙම කියන්න බැහැ.

එහෙම හඳුනාගන්න ක්‍රමවේදයක් තියෙනවා ද?

ලෝකයේම එහෙම හඳුනාගන්න තරම් ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන් නිරක්ෂීය රටවල එහෙම හඳුනා ගැනීමක් කරන්න බැහැ.

මේ වියළි තත්ත්වය එල්නිනෝ තත්ත්වයක ආරම්භයක් ද?

කොහෙත්ම නැහැ. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍යට වඩා වැඩි වෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි කියන්නේ එල්නිනෝ තත්ත්වයක් කියලා. පැසිෆික් සාගරයේ සාමාන්‍යයට වඩා උෂ්ණත්වය අඩුවීම ලානිනා තත්ත්වයක් කියලා. මේ උෂ්ණත්වය වෙනස් වුණහම පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. මේ තත්ත්වය මත වෙනස් වුණහම ලෝකයේ අනිත් තැන්වලත්, කාලගුණ තත්ත්වය වෙනස් වෙනවා.

ලංකාවේ කාලගුණයට එල්නිනෝ තත්ත්වය කුමන ආකාරයෙන් බලපානවා ද?

අපි කරලා තියෙන පර්යේෂණ අනුව එල්නිනෝ තත්ත්වයක් ලංකාවේ වර්ෂාපතනයත් අතර සබඳතාවය ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතන රටාව හැර අනිත් කාලවලදී හුඟක් අඩු මට්ටමක් පවතිනවා. පැසිෆික් සාගරයේ අද වෙනකොට උෂ්ණත්වය සාමාන්‍ය අගයක තියෙනවා, ඒ කියන්නේ එල්නිනෝ තත්ත්වයක් නැහැ.

පැසිෆික් සාගරයේ මේ වෙන කොට උෂ්ණත්වය වෙනස් ද?

නැහැ. ඉදිරි මාසවලත් වෙනස් වෙනවා කියලා ‍බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ එල්නිනෝ නියඟයක් කියන්නේ පදනමක් නැති දෙයක්.

එල්නිනෝ තත්ත්වයක් ඇතිවෙන්නේ කොහොම ද?

පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ ගියහම එල්නිනෝ කියනවා. උෂ්ණත්වය පහළ ගියහම ලානිනෝ කියනවා. මේ තත්ත්වයන් හටගන්නේ උෂ්ණ ශීත දියවැල්වල බලපෑමෙන්.

පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ ගියහම බලපාන්නේ ලංකාවේ වර්ෂාපතනයට විතර ද?

ඔව්. ඒකත් බලපාන්නේ ‍ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයට විතරයි. අනිත්වට බලපෑමක් හුඟක් අඩු මට්ටමක. එල්නිනෝ තත්ත්වයකදී ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතනය හුඟක් වැඩියි. ලානිනා අවස්ථාවල ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතන හුඟක් අඩුයි.

වෙනත් රටවලට එල්නිනෝ තත්ත්වය ඇතිවෙලා තියෙනවා ද?

ඔව් හැබැයි ලංකාවේ මෙහෙට නැහැ. ඕස්ට්‍රේලියාවේ දීර්ඝ නියඟයක් ඇතිවීමට එල්නිනෝ තත්ත්වයක් සමඟ දැඩි සම්බන්ධතාවක් තිබුණා. ලැව්ගිනි ඇතිවුණා. එල්නිනෝ තත්ත්වය පැසිෆික් සාගරයට ළඟ රටවල සෘජු බලපෑම තියෙනවා. දුරස්ථ රටවලට වක්‍ර බලපෑම තියෙනවා.

ලංකාවේ වර්ෂාපතනය ලැබීමට හා නොලැබීමට පරිසර හානිය බලපානවා ද?

ලැබෙන වර්ෂාපතනය රඳවාගන්න තත්ත්වයක් අපේ රටේ නැහැ. එයට හේතුව ගස් කැපීම, ඒ වගේම ලංකාවේ වැස්සේ තීව්‍රතාවය වැඩිවෙලා. ඒ කියන්නේ පැයකට වහින මිලිමීටර් ප්‍රමාණය.

මේ වැස්සේ මිලිමීටර් ප්‍රමාණය වැඩිවීමට හේතුව කුමක් ද?

එයට හේතුව දේශගුණ විපර්යාස.

දේශගුණ විපර්යාසවල බලපෑම කුමක් ද?

ආශ්‍රිත සාධනීය තත්ත්ව වැඩි වෙනවා.

කාලගුණ දේශගුණ තත්ත්වය හඳුනා ගැනීමේ රේඩාර් කට්ටලයට මොකද වුණේ?

උපකරණ කට්ටලය සවි කරලා ඉවරයි. ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලෝක කාලගුණ ආයතනය සමඟ සාකච්ඡා කරමින් යනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්