කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

ජාතක පොතෙන් උපන් ප්‍රස්තාව පිරුළු

ජාතක පොතෙන් උපන් ප්‍රස්තාව පිරුළු

බක තපස් රැක්කා වාගේ

’බක’ යනු කොකාට යෙදෙන නමකි. බක තපස් රැක්කා වාගේ යන ප්‍රස්තාව පිරුළ බිහිවී ඇත්තේ ජාතක පොතේ 38 වැන්න වූ බක ජාතකය ඇසුරෙනි. බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව වදාළේ ජේතවනාරාමයේ වැඩ විසූ චීවර වඩ්ඪකී නම් වූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක අරබයා ය.

ඒ භික්ෂූන් වහන්සේ චීවර කැපීම මැසීම ආදියෙහි දක්ෂ බැවින් චීවර වඩ්ඪකී යන නම ලබා සිටියහ. දිරා ගිය සිවුරු කොටස් කපා කැබලි එක් කොට මසා ඒ සිවුරු සුරැකිව තබාගැනීම උන් වහන්සේගේ සිරිතක් විය.

කිසියම් භික්ෂූන් වහන්සේ නමක විසින් අලුත් රෙදිකඩක් කපා මසා පිළියෙල කිරීමට යැයි පවරන ලද විටක ඒ අලුත් රෙදිකඩ රඳවාගෙන පිළිසකර කළ සිවුරක් දීම ඒ භික්ෂුව පුරුද්දක් කොටගෙන සිටියේය.

මෙකී වංචනික ක්‍රියාව දත් එක්තරා පිටිසරබද භික්ෂු නමක් පරණ දිරාපත් සිවුරක් අලුත් එකක් සේ ඔතා වැලඳගෙන විත් චීවර වඩ්ඪකී භික්ෂුව රවටා උන් වහන්සේගෙන් යහපත් සිවුරක් ලබාගෙන ආපසු ගියේය. චීවර වඩ්ඪකී භික්ෂූන් වහන්සේ අලුත් එකැකැයි සිතා ලබාගත් සිවුර පරණ එකක් බව දැක මෙවර තමා වංචාවට ලක්වූ බව වටහා ගත්තේය. චීවර වඩ්ඪකී භික්ෂුවගේ වංචනික ක්‍රියා කලාපය බක ජාතක දේශනාවට අරමුණු විය.

එක් කාලයක එක්තරා කැලෑබද කුඩා විලක නියං සමයෙහි දී දිය සිඳෙමින් පැවතුණි. එහි බොහෝ මත්ස්‍යයෝ වූහ. දිය හිඟයෙන් උන් අසරණ බවට පත්වෙමින් සිටින බව දුටු එක් කපටි කොකෙක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතා ගත්තේ ය.

ඌ විල අද්දරට වී තපස් රකින ලීලාවෙන් ශාන්ත දාන්ත ඉරියව්වෙන් සිටින්නට විය. එබැවින් මත්ස්‍යයන් හෙමිහිට කොකා වෙත ළංව කරුණු විමසීමේදී උන් වෙත කරුණාවෙන් කතා කළ ඌ දිය පිරුණු යහපත් විලකට උන් රැගෙන ගොස් දැමීමට හැකි යැයි පැවැසීය. මත්ස්‍යයන්ගේ සැක හැරීම සඳහා එක් මත්ස්‍යයෙකු රැගෙන ගොස් විලකට දමා නැවත ගෙනැවිත් සියලු මත්ස්‍යයන්ගේ අවිශ්වාස දුරු කර ගත්තේය. අනතුරුව එකිනෙකා බැගින් තුඩින් රැගෙන යමින් නුදුරේ වූ ලුණුවරණ ගස ළඟ හිඳ සිත් සේ මසුන් ගිල දැමුවේය. අන්තිමේදී විලේ ඉතිරි වූයේ කකුළුවෙකු පමණි.

කකුළු අඬුවලින් කොකාගේ බෙල්ලේ එල්ලී ගිය කකුළුවා මත්ස්‍යයන්ට වූ විපත දැක කොකාට තමා බිලි ගැනීමට ඉඩ ;නාතබා ඌ යහපත් විල වෙතම උපායෙන් මෙහෙයවී ය. ඒ විල ළඟ දී කකුළුවා කොකා ගේ ගෙල කකුළු අඬුවලින් ම කපා හරිමින් විලට පැන ගත්තේය. වංචනික කොකා අවසානයේ දී දඬුවම් ලබමින්ම විනාශයට පත්විය. කොකාගේ තපස් රැකීම එසේ කෙළවර විණි.

මෙහි එන කපටි කොකා උපක්‍රමශීලී ව අසරණයන් රැවටීමෙහි දක්ෂ වංචනිකයන් පිළිබඳ කදිම නිදර්ශනයකි. මත්ස්‍යයන් පිහිටක් නැති අසීරු තත්ත්වයට එන තෙක් මාන බලා සිටි ඌ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තීක්ෂණව කටයුතු කළේය. යමෙකු ලෙහෙසියෙන්ම මුලා කොට ගැනීම පහසු වන්නේ ඒ අය විපත්වලට පත්වූ අවස්ථාවල දී ය. ‘තොපට වූ විපත සිතමින් ඉන්නෙමි... මේ විල දියත් මඳ ය; තොපට ගොදුරුත් මඳ ය; නියඟත් මහත් බැවින් කුඩමස්සනට වූයේ මහත් දුකකැයි සිතා ඉඳිමි. යනුවෙන් කොකා පවසන චාටු බස්වලට මත්ස්‍යයෝ ඉක්මනින් සංවේදී වූයේ එහෙයිනි.

ගොදුරු කර ගැනීමට ලක්වන මත්ස්‍යයන්ගේ බිය සැක සහමුලින්ම දුරු කිරීමේ උපක්‍රමයක් ද කොකා විසින් අනුගමනය කරන ලදී. ඒ, එක් මත්ස්‍යයකු යහපත් විලක් වෙත ගෙන ගොස් කිසිදු අනතුරක් රහිත ව ආපසු ඇරලවීමෙනි. සිය අත්දැකීමෙන් උද්දාමයට පත්වූ මත්ස්‍යයාගෙන් ලද තොරතුරුවලට වශීකෘත වීම විනා මේ ක්‍රියා පිළිවෙළේ කිසියම් අවාසිදායක දෙයක් වේ දැයි මත්ස්‍යයෝ කල්පනා නො කළහ.

ඒ, ලබන්නට යන ලාභ ප්‍රයෝජනය ගැන පමණක් සිහින මවන්නට ඇති නිසා බැව් පැහැදිලිය. එබැවින් ඔව්හු තම මරණය තමන් විසින් ම සහතික කර ගත්තාහු වෙති.

යථා තත්ත්වය වටහා ගෙන ඥානාන්විත ව ක්‍රියා කළේ අවසානයට ඉතිරි ව සිටි කකුළුවා පමණි. අනාථ වූ අසරණයන් නිර්දය ලෙස භුක්ති විඳිමින් රිසි සේ තම සැප සම්පත් සාදා ගත් කපටියා නිසි පාඩම ඉගෙන ගත්තේ එකී කකුළුවාගෙනි. මුල සිටම කකුළුවා සැක සහිත ව කල්පනා කර ඇති බැව් පෙනේ. ‘මේ කොකා විසින් එක කුඩමස්සකුත් විලට හැරියේ නැත. හැම මස් කෑවේ ය. ඉදින් මාත් විලට ගෙන ගොස් විල ලූවොත් ලූ නියා ම ය. විලට නොහැරියේ නම් මොහුගේ බොටුව කපා දිවි තොර කරමි’යි යැයි සිතා ගත්තේ එබැවිනි.

සමාජයේ කෙතරම් දක්ෂ කපටි තැනැත්තන් සිටියත් ඔවුන් පරයන ඊටත් වැඩි දුර දිග දකින්නන් ද සිටින වග මේ කතා පුවතින් සනාථ කෙරේ. එපමණක් නො ව දුෂ්ට හැඟීමෙන් කටයුතුª කරන තැනැත්තා ගේ අවසානයත් දරුණු විපාක සහිත ව සිදුවන බව ද මෙයින් ධ්වනික වේ. ජාතක කතාකරුවාණන් කතාවේ උච්චතර අවස්ථාව උපමා ආදියෙන් ද යුක්ත කොට ප්‍රකාශ කරන්නේ අපූර්ව ලෙසිනි; ‘.. අඬුවෙකින් ඇල්ලුවාක් මෙන් තර ව ඔහුගේ බොටුව ඇල්වී ය.

එකල කොකා කරකැවී බෙල්ල නවා කට දල්වා ඇස් උඩ ඉඳුවා කඳුළු වම්මා මරණ භයින් තැතිගෙන ... නැවැත කරකැවී ගොස් විලට බැස විල කෙළවර මඩ පිට තැබූයේ ය. කකුළුවා කතුරෙකින් සියුම් දණ්ඩක් කපන්නාක් මෙන් කොකාගේ බොටුව කපා දියට වන්නේ ය.

ලුණුවරණ ගසට අධිපති දේවතාවා මේ දැක කරන ප්‍රකාශයෙන් කතා පුවත සමාප්ත වේ. එහි මේ සම්පූර්ණ සිද්ධියට අදාළ අර්ථ සාරය පිඬු වී ඇත්තේ ය:

‘මේ ලෝකයෙහි අතිශය වංචා බුද්ධි ඇති තැනැත්තේ හැම තෙන ම ඒ වංචාවෙන් සැප සේ පිහිටන්නට නො පිළිවන; හෙවත් එක තෙනක දී දෙතෙනක දී වංචාවෙන් ජයගත හෙයි. ඇව කල්හි ම ජය ගත නොහැක්කේ ය. ඒ සොර සිත් ඇති පාපී සත්වයා තමන්ට අවැඩක් ලබන්නේ ය.’

මෙහි එන මත්ස්‍යයන් මෙන් ඉක්මනින් මුලාවට පත් වන්නන් සහ ඉන් විනාශයට එළඹෙන්නන් ජන සමාජය කාලාන්තරයක් තිස්සේ දැක තිබේ. එසේ ම කොකා මෙන් බොරු සිල් ගත් තැනැත්තන් සහ ඉන් ම විනාශයට පත්වූවන් ද දැක තිබේ. එබැවින් ජාතක පොතේ බක ජාතකයේ පුවත සිහිපත් කරවන බක තපස් රැක්කා වාගේ යන ප්‍රස්තාව පිරුළ ජන ව්‍යවහාරයේ ස්ථාපිත ව ඇත්තේ ය.

ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා