කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

පෙර පව් ගෙවූ විදුහල්පතිවරයෙක්

පෙර පව් ගෙවූ විදුහල්පතිවරයෙක්

කුණ්ඩසාලේ අධ්‍යාපන කාර්යාලය වැසුණු පසු මම තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස මාරුවී ගියෙමි. එහිදී මගේ මතකයේ දිගුකලක් රැඳී තිබූ රූපයක් විදුහල්පති රැස්වීමේදී දක්නට ලැබිණි. මා ඔහු හා කතාවට වැටුණේ ඉන්පසුවයි. ගමෙන් තරමක් ඈත මදක් දුෂ්කර මහා විද්‍යාලයක ඔහු විදුහල්පතිධුරය දැරුවේය. කතාවට පි‍්‍රයශීලී විය. ඔහු නක්ෂත්‍රය දත් අයෙකි.

තත්කාල බැලීම - කේන්දර පලාඵල කීම - වේලාවල් සාදා දීම – විවේක දිනවල ගෙදරදී කරන බව ඔහු කීවේය. එහෙත් ජීවිතයේ තද අසහනයකින් ඔහු පෙළුණි. ඒ අසහනය මකාගෙන සිනාසීමට ඔහු තැත් කරයි. පාසල් වේලාවෙන් පසු පාසලේ රාජකාරී පාසල අසලට පිහිටි පන්සලේ ආගමික කටයුතු - පාසල පිහිටි ගමේ මරණ – මඟුල් තුලාවලට සහභාගී වීමට ඔහු පුරුදුව සිටියේය. ආපසු නිවසට එනවිට අඳුරු වැටෙයි.

අධ්‍යාපන කාර්යාලයේ වැඩ බහුල වූ විට නිවසට ඒම මටද ප්‍රමාද වෙයි. හවස් වී බස් රියෙන් පැමිණ ගමට යෑමට හන්දියෙන් බසිනවිට හන්දියේ වූ බේකරියට ගොඩවැදී සුළු යමක් කා උණු තේ කෝප්පයක් බී යෑම මම පුරුද්දක් කර ගතිමි. මා බේකරියට ගොඩ වඳිනවිට ඔහු ද එහි තේ කෝප්පයක් තොල ගාමින් මහත් කල්පනාවෙන් සිටිනු මට පෙනෙයි.

වරින්වර ඔරලෝසුව දෙස බලමින් ඔහු හෙමින් තේ කෝප්පය හිස් කරයි. ඔහු ඉන්පසු මුදල් ගෙවා කුඩය බිම අනිමින් විදුලි පන්දම දල්වා ගෙන නිවස දෙසට යයි. කඩහිමියා මා සමඟ කතාවට වැටෙයි.

”අර මහත්තයා, පුදුම වේදනාවකින් කතා කරන්නේ... රෑ අටට යනකොටත් පවුලයි – දුවයි ඇඳට වෙලා නිදි... මේ කළුවරේ අර මනුස්සයා ගෙදර ගිහින් මුහුණ කට සෝදගෙන ගේ ළඟ තියෙන ළිඳෙන් වතුර ගෙනත් රෑට බත් මාළු උයන්න ඕනෑ. ඒ ඉදුණම තමයි පවුලයි – දුවයි නැගිටින්නේ. දුවක් කිව්වම පොඩි ළමයෙක් නෙමෙයි. ගජ ළමිස්සියක්. හැමදාම කඩේට ආවම ගෙදර කරදර ගැන කියලා තනියම දුක් වෙනවා. පූරුවේ පාපයක් කියලා.” කඩකරු මට කියයි.

විදුහල්පති රැස්වීමෙන් පසු ඔහු මා හා කතාවට වැටෙයි. එහෙත් ඔහු එහිදී කිසිම විටෙක තමා ගෙදරදී විඳින කටුක අත්දැකීම් හෙළිකළේ නැත. විදුහල් අධීක්ෂණය සඳහා කණ්ඩායමක් පාසලට ගියවිට මම කාර්යාලයේ කටයුතු සොයා බලමින් ඒවා මැනවින් ඉටු කර බැලීම ගැන ඔහුට ප්‍රශංසා කළෙමි.

”ඔබතුමා, මාව තේරුම් අරගෙන තියෙනවා... එන හුඟ දෙනෙක් අපේ හොඳ කියනවා අඩුයි. බලන්නේ වැරදි විතරයි. මම දාහක් ප්‍රශ්න තියාගෙන මේ රාජකාරි කරන්නේ.” ඔහු වටින් පිටින් තම දුක හඟවයි.

”මට ටිකක් ආරංචියි. බැරිද ඒ අය අවවාද දීලා හැඩ ගස්සගන්න.” මම ඇසුවෙමි.

”අවවාද දෙන්න ගියොත් මට ගෙදරිනුත් දොට්ට බහින්න වෙයි. උදේට එන්නෙත් පාන්දරම නැගිටලා දවල්ට උයලා. හැන්දෑවේ රෑ කීයට ගියත් රෑට උයන්න ඕනෑ. ඒක පෙර ආත්මයේ පාපයක්. නක්ෂත්‍ර දන්න මට මගේ දෛවය වෙනස් කරන්න බෑ.”

ඔහුගේ ගෙදර අවුල් පාසල අසළ පිහිටි පන්සලේ හිමිවරු ගුරු මණ්ඩලය ගමේ වැඩිදෙනා දැනගෙන සිටිති.

”ලොකු සර්, ගෙදර යන්ට එපා... ගුරු නිවාසයේ නවතින්න... අපි අඩුපාඩු කෑමබීම ටික බලන්නම්.” හිමිවරු සහ ගුරුවරු ගමේ අය කීපවරක් කීහ. එහෙත් ඔහු ඊට කැමති වූයේ නැත. බිරිය රජයේ සේවිකාවක් ද නොවේ.

මාස කීපයකට පසු පාසලේ රාජකාරී කරමින් සිටියදී රෝගාතුර වූ ඔහු මහනුවර රෝහලට ඇතුළත් කළ බව කාර්යාලයට ආරංචි විය. පසුදා ඔහු බැලීමට රෝහලට යෑමට මම තවත් දෙදෙනෙකු සමඟ කතා කර ගතිමි. එහෙත් රෝහලට ඇතුළත් කළදාම රාත්‍රී ඔහු මිය ගිය බව පසුදා උදෑසන ආරංචි විය. පාසල පිහිටි ගමම ඔහුගේ මරණයෙන් කම්පාවට පත්විය.

ඔහුගේ අවසාන කටයුතු පාසලේදී සිදුකළ යුතු බව ගමේ ඒකමතික අදහස විය. අන්තිමේ තර්ක විතර්ක මැද ඔහුගේ නිවසට ගෙන ආ සිරුර එහිදී භූමදාන කටයුතු සිදුවිය. තුන් මාසයේ පින්කම වෙනුවෙන් පාසලේ අති විශාල පින්කමක් සංවිධානය විය. එයට කාර්යාලය වෙනුවෙන් අපි කීපදෙනෙක් ගියෙමු.

ජීවිතය පුරා දස වද දුන් ඔහුට, බිරිඳ හා දියණියට ඔහුගේ මරණින් පසු ඉක්මනින් අවශ්‍ය වූයේ ඔහුට ලැබිය යුතු දීමනා හා විශ්‍රාම වැටුප ලබා ගැනීමටයි. ඒ සඳහා ඔවුන් පැමිණෙන විටත් මට ඇති වූයේ දැඩි පිළිකුලකි.
 

වත්තේගම හිටපු

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

එස්.කේ. ජයවර්ධන

නාපාන, ගුන්නෑපාන.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා