කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

නෙළුම් විල

ගුණසිංහ හෙට්ටිආරච්චි

වන්දනා ගමන

දින කිහිපයක සංචාරයකින් පසු අප කන්තලේට ළඟා වෙමින් සිටියේ විඩාබර ව ය. කන්තලේ නගරයට එන විට සවස තුන පමණ විය.

විඩාව ද නොතකා සේරුවිලට ගොස් රෑ එහි නතර වීමට සුදුසු තැනක් සොයා ගත යුතු වූයෙන් අපි එතැන් සිට සේරුවිල බලා යන්නට වීමු.

මාර්ගය අලුත්වැඩියා කැරෙමින් පැවතිණ. එහෙයින් ගමන ද පමා විය. නරක ආරංචියක් ආවේ මේ අතර ය.

ජල සහ සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීම බොහෝ දුෂ්කර බැවින් රෑ සේරුවිල නතර වීම අයහපත් බව ය, ඒ.

අපේ නඩයේ පනහක් පමණ සිටියහ. කුඩා දරුවෝ ද, වියපත් වූවෝ ද ඒ අතර වූහ.

‘මෙහෙම යනකොට රෑ දහය විතර වෙයි. ගිහින් රෑට උයා ගන්නත් ඕනැ. අපි ලොකු කරදරේකයි වැටෙන්ඩ යන්නෙ’ අපි අපට ම කියා ගතිමු.

‘අපි එහෙ නොගිහිං වෙන දිහාවකට යමු!’

‘කොහෙ කියල යන්න ද? අපි දන්න අඳුරන තැනක් කොහෙද තියෙන්නෙ?’

අප මුහුණ පා සිටියේ පිළිතුරක් සොයා නොගත හැකි ගැටලුවකට ය.

අවුල් සිතින් ම ඉදිරියට යනු හැර කළ යුතු වෙන විකල්පයක් ද නොවී ය.

හැන්දෑවීගෙන ද ආයේ ය.

හමුදා නිලධාරියෙක් අපේ බසයට අත දැම්මේ ය. බසය නැවතිණ.

ඔහු බසයට ගොඩ වූයේ ය. බසය යළි ගමන ඇරඹුවේ ය.

අප ප්‍රශ්නයකට මැදි ව සිටින බව අපේ කතාබහෙන් හමුදා නිලධාරියා තේරුම් ගත්තේ ය.

ඔහු ඒ ගැන විමසුවේ ය. අපි එය කීමු.

‘වෙලාවෙ හැටියට එහෙ යන එක සුදුසු නෑ තමයි. ඔයගොල්ලන්ට උදවුවක් කරන්න මං බලන්නං.’

ඔහු ගේ ඒ වචන ටික අපට අස්වැසිල්ලක් වූයේ ය.

එතැන් පටන් අප ගේ ගැළවුම්කාරයා වූයේ ඔහු ය.

ඔහු අප කැඳවා ගෙන අතරමග දී හමු වූ විහාරස්ථානයකට ගියේ ය. එහෙත් වැඩේ හරි නොගියේ ය.

අපි යළිදු ගමන පිටත්වීමු.

‘තව පන්සලක් තියනව එතෙන්ටත් යමු බලන්න’ ඔහු කීවේ ය.

අපි බලාපොරොත්තු පොදි බැඳගෙන ඉදිරියට ගියෙමු.

ඔහු අප එහි ද කැඳවා ගෙන ගියේ ය.

විහාරාධිපති හිමියන් හමුවීමට ගිය ඔහු ආපසු ආයේ සිනාසුණු මුහුණිනි.

‘ඔයගොල්ලන්ට මෙතන රෑට නවතින්න පුළුවන්’

ඒ වදන් අප සිත් සනසාලී ය.

මේ විහාරස්ථානයේ සාමාන්‍යයෙන් වන්දනාකරුවන්ට නැවතීමට ඉඩ නොලැබෙයි. එය අපට ලැබුණේ හමුදා නිලධාරියා ගේ මැදිහත්වීම නිසා ම ය. ඒ තබා එහි අපට අවශ්‍ය පහසුකම් තිබීම ද අප ගේ තවත් වාසනාවක් විය.

හමුදා නිලධාරියා අප එහි නවත්වා සිය රාජකාරිය සඳහා පිටත් ව යෑමට සමු ගත්තේ ය. අපි ඔහුට තුති පිදීමු. නැවත රෑ ඔහු ආපහු පන්සලට පැමිණ අප ගේ අවශ්‍යතා සොයා බැලුවේ ය.

ඔහු සමුගත්තේ යළි පසු දා උදයේ හමුවන බලාපොරොත්තුවෙනි.

පසු දින අප සොයා ආ ඔහු විශේෂයෙන් නැරැඹිය යුතු ස්ථාන කිහිපයකට අප කැඳවා ගෙන ගොස් ඒවා ගැන විස්තර ද කියා දුන්නේ ය.

සමුගන්නා අවස්ථාව එළඹියේ ය.

අතරමග දී අහම්බෙන් අප බසයට ගොඩ වී, අපට පිහිට වූ දෙවියකු බඳු මේ මිනිසා ගෙන් අප සමුගත්තේ තෙත් වූ නෙතිනි.

කල්ආරු යුද හමුදා කඳවුරේ, විජයබාහු බළකායේ කෝප්‍රල් එච්. පී. කේ. කරුණාරත්න මහතාණනි, ඔබට යහපත සැලසේවා!

හමුදා නිලධාරියා ගේ ඉල්ලීම පිට අපට නවාතැන් දී සෙත් පැතූ සෝමපුර පශ්චිමාරාම රාජමහා විහාරාධිපති සුසීම හිමියන්ට ද නමස්කාර වේවා!
 

බණ්ඩාරවෙල, පූනාගල පාරේ, විශ්‍රාමික පරිපාලන නිලධාරී සාම විනිසුරු සරත් වතුකාර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

රැජනක් හැඬුවා ය

ඇය කොටු කම්බායෙන් සහ කබා කුරුත්තු හැට්ටයෙන් සැරසෙන්නී ය. මුහුණේ පියර ලා ගන්නී ය. කළු කුඩය කිහිල්ලේ රඳවා ගන්නී ය. මඳක් ඉදිරියට නැමී ගෙන යන්නී ය.

ඕ රතු අම්මා ය.

රතු අම්මා ගැන මා ලොකු විමසිල්ලකින් සිටියේ ඇයි දැයි නොදනිමි. ඇතැම් විට ඒ මගේ යටිහිත ඇය අගය කළ නිසා විය යුතු ය.

සැමියා මිය ගිය කල ඇය දූ දරුවන් ගේ වගකීම කරට ගත්තේ සතුටිනි.

දරුවන් ලොකු මහත් කරන්නට ඇය නොයෙක් රැකියාවල් කළා ය. ඒ අතර කඩයප්පම් හැදුවා ය. අනේක ගැහැට වින්දා ය. එහෙත් සැලුණේ ඇය නොවේ.

උපයන හැම සතයම වැය වූයේ දරුවන් වෙනුවෙනි.

‘ආ රතු අම්මෙ කොහොමද ජීවිතේ?’ කිසිවෙක් ඇගෙන් අසයි.

‘දරුවො ඉගෙන ගන්නව. මං කොහොම හරි උන්ට උගන්නනව. උං උස් මහත්වෙල හොඳ රස්සාවල් කරයි. එදාට මගෙ දුක ඉවරයි. එදාට මං රැජිනක්.’ ඇය කියන්නේ උජාරුවෙනි.

ලොකු දුවට රැකියාව ලැබුණු දා ඇගේ ඉහේ මලක් පිපිණි. දෙවැනි දූ රැකියාව ලද දා ඒ මල යළිදු පිපිණි.

පුතුන් රජුන් වූ කල ද ඇය උජාරු වූවා ය.

ඇය දරුවන් ගේ ජයග්‍රහණ තමා ගේ ජයග්‍රහණ කොට තැකුවේ ඒ සියල්ලෙහි අත්තිවාරම වූයේ තමා ගේ ආත්ම ධෛර්යය බව ඇය දන්නා නිසා ය. නිසි කල වයසේ දී දූවරුන් දීග දුන් ඇය පුතුනට මනාලියත් බන්දා දුන්නා ය.

සැමියා නැති වූ පවුලක තනි බර දරා දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කළ වීරියවන්ත මවක ගේ හිතෙහි පහළ වන්නේ කෙතරම් ආනන්දයක් ද? ඒ ආනන්දය කිසි අඩුවක් නැති ව ඇගේ හිතේ පහළ වී තිබිණ.

දුක් විඳි යුගය හමාර ය. හිතට - ගතට, සනීපයක් - විවේකයක් එන යුගය පැමිණ තිබේ. ඇය ඒ වෙනුවෙන් ජීවිතයේ ඉතිරි අඩ වෙන් කර තබා ගත්තා ය.

‘ආ රතු අම්මෙ? ඉතිං කොහොමද ජීවිතේ?’

‘දරුවන්ට ඉගැන්නුව. රස්සාවල් අරන් දුන්න. කසාද කරල දුන්න. මං දැන් නිදහස්. මං දැන් රැජිනක්!’ ඇය උදම් ඇනුවා ය.

ඇය එසේ කී බව සැබෑ ය. එහෙත් එය සැබෑ ද? ඇය පැතු ලෝකය ටිකින් ටික ඇගෙන් දුරස් වී හුදු සිහිනයක් බවට පත් වනු මට පෙනිණ.

මාරුවෙන් මාරුවට දූ දරුවන් ගේ ගෙවල මෙහෙවර පිණිස යන ඇය දුක් දොම්නස පොඳි ගසා ගන්නට වූවා ය.

බලා සිටිය දී ම ඇය අබල - දුබල වූවා ය.

දරුවන් වෙහෙසුණේ ඇය සැනසීමට නොව ඇය කාට හෝ පංගාර්තු කොට තමන් සැනසීමට ය.

අවසානයේ ඇය, තමා ගේ දහඩියෙන් කඳුළින් තනා ගොඩ නංවා දුන් දරුවන්ගේ ලෝක ඉදිරියේ අසරණ වූවා ය.

රැජිනක් හඬන්නට පටන් ගත්තා ය.

දිනක් එක් දියණියක ළඟට ඇය ගෙන එනු ලැබුවේ මෙසේ ආත්මානුකම්පාවෙන් හඬමින් සිටිය දී ය. එහෙත් ඒ ගෙදර දොර වැසිණ. ගෙන ආවෝ ඇය මාවතේ හිඳුවා ආපසු ගියහ.

ඇය මාවතේ තනි වූවා ය. ඇගේ තනි නොතනියට හිටියේ සූට්කේසයත්, කුඩයත් පමණි.

දින කිහිපයක් ඇය එහි ම සිටියා ය.

ලෝකයට හිරු සඳු පෑව්වේ ය.

එක් සීතල හිමිදිරියක ඇය නිසල ව සිටියා ය.

අ ැගේ සිරුර මත පිනි කැට වැටී තිබිණ.

යුතුකම් ඉටුකළ යුතු බව සැබෑ ය. එහෙත් ඒවා පෙරළා බලාපොරොත්තු නොවිය යුතු ය. රතු අම්මා ඇසුරින් මා පසක් කර ගත් සත්‍යය එය ය.
 

තිඹිරිගස්කටුවේ, ස්වර්ණා ද සිල්වා මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නිබඳ හමන මතක සුවඳ

ඔහු රැස්වීම අමතමින් සිටිය දී ලයිට් ගියේ ය. එහෙයින් ශබ්ද විකාශනය නෑසී ගියේ ය. එහෙත් ඔහු ගේ කතාව අඩපණ වූයේ නැත.

“මහ විශාල හරක් රංචුවක් කෑ ගගහ ආං බාං කරපු මට, විශාල වෙල් යායක නියරවල් දිගේ දුව - දුව, කරල් කපන්ඩ ආපු කුරුලු රංචු කෑ ගගහ එළෝපු මට තමුන්නාන්සේලට කතා කරන්ඩ ශබ්ද වාහිනියක් වුවමනා නෑ” ඔහු කීවේ ය.

කන් දෙමින් සිටි මහරගම ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලීය සාමාජිකයන් ගේ මුහුණු වඩ - වඩාත් පාට වැටෙන්නට වූයේ ය.

ඔහු වඩ වඩාත් ජන හදවතට ළං වූයේ ය. ඔහු ගේ කතාව යට ක්‍රියාව ද යහමින් තිබිණ.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති වර්ණවත් සාහිත්‍ය උත්සවයේදී ජන මන පිනවීමට ඔහු දැරූ වෙහෙස ඒ වනවිට ඔවුනට හොඳින් මතක තිබිණි.

නුගේගොඩ, දෙල්කඳ, රත්තණපිටිය හරහා ගලන කටු ඇළ පිටාර ගලා ජනයා පීඩාවට පත්ව සිටියදී ඔවුන් ඉන් මුදවා ගනු පිණිස ඔහු දැරූ වෙහෙස ද ඔවුනට මතක තිබිණ. ඒ තබා, දිසාපතිවරයා කැඳවා ගෙනැ’විත් සිදුවූ හානිය පෙන්වා උදවු පැතූ අයුරු ද ඔවුනට මතක ය.

වැඩක් කරවා ගැනීමට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට යන ජනයා ගේ නෙත සිත පිනා යන දසුනක් වෙයි. ඒ, නුවරඑළියේ සනීප දායක එළවළු සිහිපත් කරන එළවළු කොටුවකි. ගෝවා, මිරිස්, තක්කාලි, බටු, බණ්ඩක්කා ආදියෙන් එය සරු වී තිබේ. එය එබඳු එළවළු කොටුවක් වඩවා ගන්නට ආශාවක් ජනිත කරවයි. එබන්දක් නිමවා ගැනීමට ගුරු හරුකම් ද එතැනින් නිබඳව සැපයෙයි.

මේ විශේෂ පුද්ගලයාට උසස් වීමක් ලැබිණි. හොඳින් ජනතා සේවාව ඉටු කරන්නන්ට උසස්වීම් ලැබීම පුදුමයක් නොවේ. පුදුමය නම්, ඔහු ඒ බව සඟවා ගෙන තමා ගේ යුතුකම් දිගට ම කරගෙන යෑම ය.

මාසයේ අග දිනෙක ඔහු කාර්යාලයයේ පිරිස කැඳවූයේ සුළු සංග්‍රහයක් කරනු පිණිස ය.

“මට උසස්වීමක් ලැබුණ. ලබන මාසෙ මුල මම යනව. ඒක කියන්නයි මේ කට්ටිය රැස් කළේ” ඔහු කීවේ ය.

කවුරුත් නෙතු අයා ගත්හ.

කෙමෙන් ඒ නෙත් තෙත් විය.

මාසයේ අන්තිම දා ගංගොඩවිල ග්‍රාම සංවර්ධන සමිති සංවත්සරයට ඔහු සහභාගි වූයේ ය.

සිය සේවාව අගයමින් පිරිනැමුණු සිහිවටනය බාර ගත් ඔහු සභාව ඇමතුවේ ය.

“තමුන්නාන්සේලගෙ ප්‍රදේශයෙ ගං වතුරින් ඇති වෙන හානිය අවම කරන්න මං රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන් කරව ගෙන තියනව. ඉක්මනින් අදාළ බෝක්කු ටික පිළිසකර කර ගන්න! මේ මුදල ආපහු භාණ්ඩාගාරයට යන්න ඉඩ තියන්න එපා!” ඔහු ඉල්ලා සිටියේ ය.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංකාවේ හොඳ ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මොහු ගේ කාලයේ ය.

වාරිමාර්ග අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස පත් ව ගිය, පොළොන්නරුවේ පල්ලේගමින් හෙළදිවට දායාද වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතාණනි, ඔබට දීගායු වේවා!
 

නුගේගොඩ, ගංගොඩවිල, සුමනසිරි කොටුවේගෙදර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

සමාජ පිපාසය

මාසයේ විශ්‍රාම වැටුප ගත් මා බස් නැවතුම අසල අවන්හලට ගොඩ වූයේ පිපාසය නිවා ගනු පිණිස ය.

අවන්හල සෙනැගින් පිරි පැවතිණ. ඈතක ඉඩක් තිබුණෙන් එහි ගොස් හිඳ ගත් මම සේවක මහතකු ගේ අවධානය මවෙත යොමු වන තෙක් නිහඬ ව බලා සිටියෙමි.

පාසල් දරුවෝ පිරිසක් අවන්හලට ආහ. පාසල් ද ඇරී ඇති සේ ය. පිරිසේ දහ දොළොස් දෙනෙක් වූහ. ඔවුන් පැමිණ සිටියේ පිපාසයට දිය පතමිනි.

වැඩ කොපමණ අධික වුව ද එක් සේවක මහතෙක් පාසල් දරු පිරිසට දිය බීමට පහසුකම් සලසා දුන්නේ ය. ළමයි වහ - වහා දිය පිපාසය සංසිඳුවා ගත්හ.

මා සිටියේ ද පිපාසයෙනි. එහෙත් දරුවන් පිපාසය සංසිඳුවා ගන්නා හැටි මා බලා සිටියේ දයාවෙනි.

ප්‍රාණයක් ලද ළමයි ආපසු ගියහ.

මම බලා සිටියෙමි. සේවක මහතකු ගේ අවධානය මා කෙරෙහි යොමු විය. ඒ වන විට මම පැය කාලක් පසු හිඳ සිටියෙමි.

ඊළඟ මොහොතේ මා සිටියේ බස් නැවතුම් පොළේ ය.

මා පසු වූයේ පහන් සිතිණි. අර සිද්ධිය මා පහන් කර තිබිණ. ළමා පිරිස දිව ආවේ පිපාසයෙන් පීඩිත ව ය. ඔවුන් ගෙන් අවන්හලට සත පහක ආදායමක් නොලැබුණ ද අර සේවක මහතා ඔවුනට වතුර බීමට ඉඩ හළේ කැමැත්තෙනි. ඒ යහපත් කටයුත්ත දුටු මගේ හිත සැනසීම ලද්දේ ය. යහපත් දේ දකින අය ගේ ද සිත නිවී සැනසෙන්නේ ය.

හිතට එන සතුට බොහෝ වේලා නොපවතියි. ඒ, හිතේ ස්වභාවය යි. ම’සිතෙහි වූ සතුට, සැනසිල්ල ද නැති වීමට වැඩි වේලාවක් නො ගියේ ය.

මගේ බසය ආ විට මම එහි නැඟුණෙමි. එය අපේ ලංගම බසයකි. හුළං කපොල්ලක් ළඟ හිඳ ගැනීමට මට හැකි වූයේ මා කඩිනමින් එහි ගොඩ වූ බැවිනි.

එයින් පිටත බැලූ මට පාසල් ඇරී ආ දරුවන් තම - තමන් ගේ බස් රථ කරා දිව යනු දක්නට ලැබිණ.

ඒ එක්කම, මා හිඳ සිටි බසයට ද පාසල් දරුවෝ පිරිසක් ගොඩ වී අසුන් ගත්හ.

“සීසන් කාරයො පස්සෙ! සීසන්කාරයො පස්සෙ!”

කොන්දොස්තර කෑ ගසනු ඇසිණ.

දරුවෝ නැගිට එළියට බැස අව්වේ හිට ගත්හ.

කෙමෙන්, බසය මගීන් ගෙන් පිරෙන්නට වූයේ ය.

මාසයකට කලින් අදාළ ඩිපෝවට මුදල් ගෙවා සිටි දරුවෝ බසය පිරෙන තෙක් අව්වේ වේළෙමින් සිටියහ. අවසානයේ ඔවුන් බසයට ගොඩ වූයේ දාහය පෙරා ගෙන, කිටි කිටියේ හිර වෙමිනි.

මම කොන්දොස්තර ගේ මුහුණ බලා ගතිමි. ඔහු ද දරුවන් ඇති වයසේ පසුවන පියෙකි. තමා ගේ දරුවා මේ පිරිස අතර සිටියා නම් ඔහු මෙසේ හැසිරෙනු ඇද්ද? නැතැ’ යි මට සිතිණ.

ඔහු ගේ දරුවා ඔහුට ලොකු ය. හැමෝ ගේ ම දරුවෝ හැමෝට ම ලොකු ය. නමුත් හැම දරුවා ම අපට ලොකු විය යුතු ය. ඇතැම් විට මේ කොන්දොස්තර මහලු වී ලෙඩ වූ විට බේත් ගන්නා දොස්තර මහත්තයා මේ දරුවන් අතර සිටින්නට පුළුවන. මේ රටේ ඊළඟ හිමිකරුවෝ ඔවුහු ය.

කොන්දොස්තරට ඒ අවබෝධය ලබා දීමට මට නුපුළුවන. ඔහු ගේ ඩිපෝවේ ප්‍රධානීන්ට ඒ කටයුත්ත ලෙහෙසියෙන් ම කළ හැකි ය. එතුමන්ලා ට ඒ අවබෝධය පහළ වේවා!

එදා කුරුණෑගල බස් පොළේ දී එසේ හැසිරුණු කොන්දොස්තර මම දුටුවෙමි. බසයේ අංකය ද එය ගමන් ගත් වේලාව ද දනිමි. එහෙත් ඔහුට අනුකම්පා කොට එය නොලියමි.

නීතිය පසෙක තිබේවා! මිනිස්කම දැනේවා!
 

කිරිදිගල්ලේ, විශ්‍රාමලත් විදුහල්පති, සිරිපාල කුරුගල මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම් විල,සිළුමිණ, ලේක්හවුස්, කොළඹ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා