කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»

සිරිපාදෙ හොයාගත්තෙ මං කියලා අම්මගෙ යාළුවො හිතා හිටියා

සිරිපාදෙ හොයාගත්තෙ මං කියලා
අම්මගෙ යාළුවො හිතා හිටියා

- ප්‍රවීණ නළු විජය නන්දසිරි

වේදිකාව, සිනමාව, රූපවාහිනී ටෙලිනාට්‍ය මාධ්‍ය යන තුනේම එකසේ ජනපි‍්‍රය වන්නට කෙනෙකුට ලැබේ නම් එය මහත්ම භාග්‍යයකි. විජය නන්දසිරි මුලින්ම අප ඇස ගැහෙන්නේ 1970 දශකයේ මුල්භාගයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ කුමරා ලෙසිනි.

මුල්ම මනමේ කුමරු බෙත් සිරිමාන්න පළමුවැනි මනමේ කුමරිය ට්‍රිලීෂියා සමඟ රඟපානු බලන්නට ගිය පුංචි විජය මහරගම අනුෂා තියටර් එකේ පැවැත්වුණු දර්ශනයේදී මුල් පේළියේ සිට එහි උද්වේගකර අවස්ථාවලදී අත්පුඩි ගැසුවේය. එදා කවරදා හෝ තමාට ‘මනමේ’ රංගනය ලැබේයැයි ඔහුට සිහිනෙකින්වත් නොසිතෙන්නට ඇත. එහෙත් එය එසේම සිදු විය.

’සිරිපතුල’ හි අතපය නැති කොටා චරිතයෙන් සිනමාවට පිවිසි විජය කේ.ඒ. ඩබ්ලිව්ගේ චිත්‍රපට රැසක රඟපෑවේය. එයිනුදු ‘හිඟන කොල්ලා’ හි රඟන චරිතය සුවිශේෂය. වේදිකාවටත් සිනමාවටත් වඩා ඔහු ජනතාවගේ මහත් ප්‍රසාදයට පත්වන්නේ ටෙලි නාට්‍ය මාධ්‍ය හරහාය. ‘එතුමා’ ‘මෙතුමා’ ‘යර්ස් බොස්’ ‘නෝනාවරුනි මහත්වරුනි’ විකට රංගනයන්ගෙන් සාර්ථකත්වය දිනූ ඔහුගේ ප්‍රතිභාන්විත චරිතාංග නිරූපණ අමතක වී හෙතෙම ‘කොමීඩියන්’ කෙනෙක් විය. ‘කුස පබාවතී’ ‘වෘෂභරාජ’ වැනි වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළ විජය නන්දසිරි යම් තාක් මේ ගෙන්දගම් පොළොවේ පය ගැසුවේ කොමඩි නාට්‍ය ගෙනා ඉසුරු නිසා හා තමන්ගේ වේදිකා නාට්‍යවලින් බව කීම යුක්ති යුක්තය.

විජය තමා මේ තැනට ගෙන ආ ඒ දයාබර අම්මා ගැන අපට මෙසේ කියයි.

අපේ මහගෙදර තිබුණෙ මහරගම ටවුමෙමයි. ගමේ මේබල් අක්කා කිව්වොත් ඒ මගේ අම්මා. ඒත් ඇගෙ උප්පැන්නෙ නම දෝන කරලැයින් සේනාධීර. තාත්තා වෘත්තිය වශයෙන් ආහාර දෙපාර්තමේන්තුවේ ඕවර්සියර් කෙනෙක්. අම්මත් රක්‍ෂාවක් කළා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ මහ රෝග්‍ය ශාලාවේ මැහුම් අංශයේ ඇය වැඩ කළේ. අපේ පවුලේ දරුවන් 7 යි. මං තුන්වැන්නා.

මට මතකයි මා මුලින්ම ඉස්කෝලෙට අරන් ගිය දවස. කෝට් එකයි සරමයි ඇඳලා හිටිය ඩයස් මහත්තයා තමයි අපේ මුල් ගුරුතුමා. මහරගම බුවනෙකබාහු විද්‍යාලයය තමයි තක්සලාව. දාබරේ ඉස්කෝලෙ හාමිනෙ තමයි පංතිය භාරව හිටියෙ. ඒත් බුවනෙකබා විදුහලේ හිටියෙ මුල් අවුරුද්දෙ විතරයි. ඊට පස්සෙ අම්මා මාව ඇතුළත් කළේ මහරගම විද්‍යාකර ෂද්‍යාලයයට. දැන් නම් ඒ විදුහල බාලිකා විදුහලක්.

එදා සරසවිය පත්තරේ කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා මහතාගේ බිරිඳ තමයි 3 වැනි ශ්‍රේණියේදි මගේ පාසල් ගුරුතුමිය. නම එච්.එස්. පෙරේරා. අපේ ගෙවල් තිබුණේ මහරගම හන්දියෙ වුණාට එතැනින් හැතැප්ම 1 – 2 ක් එහෙට මෙහෙට ගිය ගමන් අමු ගම. ඒ නිසා බැත කෙත නියර කුඹුර අපටත් උරුමයි. පුංචි කාලෙ නිතරම හිටියෙ කුඹුරු, පිටිවල. සෙල්ලම් කරන්න කොලු රෑන් ගැවසෙන්නෙ මෙහි. ලියැදි උඩින් වක්කඩවල් උඩින් දිව පැන සරුංගල් අරින්න මාත් ආසයි.

අම්මා මේවා දිහා බැලුවෙ හරිම උපේක්‍ෂාවෙන්. පුංචි සන්දියේ වුණේ කවුරුන් හරි ගමේ කෙනෙක් කළ දෙයක් ‘ඉමිටේට්’ කරලා ගෙදර අයට පෙන්වන එක මගේ් පුරුද්දක්. ගෙදර තියෙන අම්මගෙ සාරි දාලා තිර දාලා වියන් ඇඳේ ඉඳන් නාට්‍ය කරන එක අපේ පවුලෙ සහෝදර සහෝදරියො හැමෝම කළා. මා තුළ පවත්නා කලා කුසලතාව මුලින්ම හඳුනාගත්තේ අම්මා. “පුතේ, කලාකරයෙක් වෙනවා කියන එක ජාතියකට සම්පතක්.

ඒත් නිකම්ම කලාව කරන්න බෑ. ටිකක් පොතපත කියවලා ලෝකෙ ගැන දැනුමක් තියෙන්න ඕනෑ. සමාජයේ විවිධ මිනිසුන්ගේ හැසිරීම් ඔවුන් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය පැහැදිලිව නිරීක්‍ෂණය කරන්නත් ඕනෑ. හොඳ නළුවෙක් බිහිවන්නෙ ඊටත් පස්සෙ.” ඇය එවැනි දේ මට නිතරම කීවා. මං තේරුම් ගත්තා අම්මා මා ඒ පැත්තට යනවාට කැමැති බව. මං තුන හතර ශ්‍රේණිවල ඉන්නා කාලෙ ඔන්න? අපේ ඉස්කෝලෙ මහජන ප්‍රදර්ශනයකුත් තියන නාට්‍යයක් හදන්න පටන් ගත්තා.

ඒක රජ කතාවක්. මට ගුරුතුමී කීවා ඔයා ජෝතිය අඳින්න මොකක් හරි ගෙදරින් ගෙනෙන්න කියලා. මට හිතුණෙ අනිවාර්්‍යයෙන්ම මං තමයි මේකෙ රජ්ජුරුවො කියලා. අම්මට කිව්වම සතුටේ බෑ. මේ අදහස තවත් ආවේ පොල්ලකුත් අරන් එන්න කිවූ නිසයි. සාමාන්‍යයෙන් පොඩි ළමයිනට කඩු දෙන්නෙ නැති නිසා පොල්ලක් ගේන්න කිව්වා වෙන්න ඇති. අනිවාර්්‍යයෙන්ම මං රජ්ජුරුවො. මට හිතුණා. අම්මත් ඉහිලුම් නැති සතුටින් එයාගෙ මඟුල් සාරිය තමයි ජෝතිය අන්ඳන්න දුන්නෙ. ගියාමනෙ වැඩේ දන්නෙ. මාව අරන් තියෙන්නෙ රාජපුරුෂයකුට විතරයි. දෙබසක්වත් නෑ. මට හරිම දුකයි. අම්මටත් දුකයි.

ඒත් අම්මා මෙහෙම කීවා. “පුතේ, කිසියම් නාට්‍යයක තියෙන හැම චරිතයක් ම වැදගත්. මේ හැම චරිතයකින්ම නාට්‍යයේ අර්ථයට හොඳ සේවයක් කරනවා.... අම්මා කතා කරන්නෙ මහා නාට්‍යවේදිනියක වගේ. ඒත් අම්මගෙ කතාව ඇත්ත. මගේ දුක තුනී වුණා. මං ආසාවෙන් රාජ පුරුෂයා චරිතය රඟපෑවා. අම්මත් අත්පොළසන් දීලා මා පිළිගත්තා. අපේ අම්මා හරිම ධෛර්්‍යවන්ත කාන්තාවක්. උදේ ගිහින් හවස ගෙදර ආවත් ඇගෙ සෙනෙහස දරුවන්ට අඩු කළෙත් නෑ.

නිතරම ජීවිතය ජය ගන්න දේවල් තමයි කීවෙ. ඇය මහරගම විපශ්‍යාරාම පන්සලේ ප්‍රධාන දායිකාවක්. හැබැයි! සීට්ටුත් දානවා. කොහොම හරි මේ සීට්ටු දැමිල්ල අප ලොකුවුණාම නවත්වා ගත්තා. හේතුව සීට්ටු අරන් ගෑනු හෙමිහිට මාරුවෙලා පැනලා යනවා. අන්තිමට අම්මා තමයි මේවා ගෙවන්නෙ. අපේ වත්ත විශාලයි. ඒකෙ කොස්, දෙල්, පුවක් වගේ දේවල් බොහොමයි. දැන් වගේ නොවේ පොල් පුවක් කොස් ගස් යට වැටිලා යනවා. කාටත් මේවා තියෙනවා. ඒත් අපේ අම්මට මේ අපතේ යැවීම් පෙන්වන්න බෑ. ඇය මේවා ගමේ දුප්පත් ඈයින් හොයලා බෙදලා දෙනවා.

 කොච්චර යමක් කමක් හම්බ කළත් ඈ වියදම් කළේ පරිස්සමින්. අපේ අම්මා උයන්නත් දක්‍ෂයි. දරුවන්ට හොඳ හොඳ කෑම උයලා කවන එක තරම් සතුටක් තවත් නෑ. කහ, එනසාල්, මිරිස්, ගම්මිරිස්, සුදුළූණු මේවා සියල්ලම දාලා ඇය උයන්නේ. ඒවා කෑම රස කරනවා වගේම ශරීරයට පුදුමාකාර ගුණයක් ඇතිකරන බව අම්මා දැන හිටියා.

අම්මා කිරි දානවලට ගිහින් යාතිකා කියන්න දන්නා නියම කිරි අම්මා කෙනෙක්. ඒ කාලෙ අපේ පාසල පටන් ගන්නෙ උදේ අටට. කිරිදාන සාමාන්‍යයෙන් දෙන්නෙ උදේ රැයින්ම. අම්මා ගෙදර එනකම් අප පාසල් යන්නෙත් නෑ. මොකද? අම්මා ගෙනෙන කිරිදානෙ තියෙන ‘කිරියා’ කන්ඩ අප බලා ඉන්නෙ. ‘කිරියා’ ටික ගිලදාපු ගමන් පාසල් යනවා. මේවා දන්න නිසා අම්මත් පුළුවන් තරම් ඉක්මනින් ගෙට ගොඩ වෙනවා.

වැස්ස දාට බොරලැස්ගමුව පැත්තෙ කුඹුරුවල සෙල්ලම් කරන්න යනවා. ඇළදොළවල පීනනවා. අම්මා මේවා දන්නවා. දරුවන්ගෙ පෞරුෂය වර්ධනයට මේවා අවශ්‍ය බව අම්මා දන්න නිසා වැඩිය මේ ගැන නම් එළවන්නෙ නෑ. ඒත් ගස් උඩ නඟිනවාට නම් බයයි. අපේ ගේ ඉදිරිපස තිබුණා ජම්බු ගහක්. මේකට එන ලේන්නු, වවුලො, කුරුල්ලො එළවන්න අම්මා ‘ටකයක්’ බැඳලා තිබුණා.

සමහරදාට (අම්මා ගෙදර හිටියත්) මං ඉස්කෝලෙ ඇරිලා එන ගමන මේ ජම්බු ගහට නැඟලා හොඳට ජම්බු කාලයි බහින්නෙ. ඉතින්? සද්ද බද්ද ඇහුණොත් පව් අම්මා ගේ ඇතුළට සම්බන්ධ කරලා තිබුණු ලනුවෙන් අර ටකය හොල්ලනවා. වඳුරෙක් හරි ලේනෙක් හරි කියලා හිතලා. මං හොඳට ජම්බු කාලා මුකුත් නොවුණු ගාණට අම්මට හොරෙන් ගහෙන් බැහැලා ගෙට යනවා. පොඩි කාලේ මං හරි ක්‍රියාශීලි දරුවෙක්. හැබැයි! ගෝරි බෝරි නෑ. මෙහෙම ඉන්නකොට මහජන ප්‍රදර්ශන කීපයක්ම තියපු නවක නාට්‍ය දෙකක් මට ලැබුණා.

‘අඟුටුමිටියා’ හා ‘පරවුණු මල්’ කියලා. අඟුටුමිටියා හදලා තිබුණේ් කාලගෝල කතාව ආශ්‍රයෙන්. ‘පරවුණු මල්’ ලියැවී තිබුණෙ මනමෙ කතාව ඇසුරින්. අඟුටුමිටියා වල “හෙළයා” චරිතය කළේ මම. පරවුණු මල්වල රජ්ජුරුවො මමයි. මේ නාට්‍ය පෙන්වපු වෙලාවෙ අම්මා ඇවිත් බලා හිටියා. මට පුදුමාකාර ශක්තියක්. මං පුළුවන් තරම් ධෛර්යය දාලා රඟපෑවා. අම්මගෙ ඇස්වල කඳුළු. දර්ශනය ඉවරවුණ ගමන්ම ඈ මා ළඟට ඇවිත් මා වැළඳගෙන මෙහෙම කීවා.

පුතේ, අධ්‍යාපනය කඩාකප්පල් කරගන්ඩ එපා. උඹට හොඳ අනාගතයක් තියෙනවා. පුතා හරිම ලස්සනට රඟපෑවා. මගෙ පුතාට තුනුරුවන් සරණයි. ඇය එහෙම කීවාම මුළු මහත් ලෝකයම අසතුටු කළා වගේ මට දැනුණා. මුළු ලෝකයම අසතුටු වුණත් අම්මා සතුටු නම් මට ඒ ඇති. ඒත් බොහෝ අය මේ රංගනය අගය කළා.

චිත්‍රපටි පිස්සුවත් ආවෙ මේ අතරෙ. මං මුලින්ම බැලුවෙ මතායස් ප්‍රනාන්දු රඟපෑ ‘සරදියෙල්’ අම්මා මේකටත් මුදලක් අතට දීලා බලන්ඩ ආශිර්වාද කලා මතකයි. මේ අතරේ ලොකු කතන්දරයක් ගියා ගම පුරාම. අනුෂා තියටර් එකේ ‘මනමෙ’ නාට්‍යය පෙන්වනවයි කියලා. බෙත් සිරිමාන්න මුල්ම මනමේ කුමරා. එඩ්මන්ඩ් විජේසිංහ වැදි රජ්ජුරුවො. ට්‍රිලීෂියා මනමේ කුමාරි. මං මේක බලන්ඩත් අම්මගෙන් දඩයක් දැම්මා. ටිකට් තිබුණෙ සත 50 යි. රුපියලයි. රුපියල් දෙකයි. රුපියල් තුනයි. මං රුපියල් දෙකේ ටිකට් එකක් අරන් ඉස්සරහම ඉඳගෙන අත්පොළසන් දිදී බැලුවෙ. ඒත් මට ඒ වෙලාවෙත් හිතුණේ නෑ කවරදා හරි මාත් මනමේ කුමරා වේවි කියලා.

1966 රාජ්‍ය නාට්‍ය උලෙළට අමරදාස ජයතුංග හැදූ ‘විදුරු දිව’ නාට්‍යයේ ‘උප සෙනෙවි’ චරිතය මට ලැබුණෙ. ඒක එහි උප ප්‍රධාන චරිතයක්. ‘මේ හැම චරිතයක්ම එකම විදියට කෘතියට සේවය කරනවා පුතේ.’ අම්මා මුලින් කී කතාව. මට නැවතත් රැව්දෙන්න ගත්තා. දයානන්ද ගුණවර්ධනයන් පවා එදා මේ නාට්‍යය බලන්න ආවා. ශෛලිගත නැටුම් සම්ප්‍රදායේ දැවැන්තයෙක් වන දයානන්දයන් පැමිණීමත් මා තවත් ඒ පැත්තට ගෙන ගිය කාරණයක්. පුංචි පුංචි රඟපෑම් කරලා දැන් මට පුංචි නමකුත් තියෙනවා.

අම්මා මේ නමට ආදරෙයි. 1971 කැරැල්ල එනවිට මං ර්‍ණ/ඹ්කරලා හිටියෙ. 71 අප්‍රේල් 05 වැනිදාට පසු දින අපේ ගෙදරට ජීප් රථයක් ආවා. නිලධාරීන් කීප දෙනෙක් ඇවිත් අම්මගෙ තුරුල්ලෙ හිටපු මල්ලිව ඇදලා ගත්තා. මෙයාව ප්‍රශ්න කරන්ඩ එක්කගෙන යන්නෙ කියලා සුහදව ළඟට ගත් මල්ලි ජීප් රථයට නංවනකොටම ඔවුන් පහරක් දෙකක් ගැහුවා.

මල්ලිගෙ විලාපයට අම්මා දුක්බරව කෑ ගැහුවා. වාහනේ් තව කට්ටිය හිටියත් අම්මට තම දරුවගෙ හඬ අඳුනන්න පුළුවන්. මං එතකොට “රන්කඳ” (චන්ද්‍රසේන දසනායකගේ) නාට්‍යයේ චරිතය රඟපාමින් තරමක් ජනපි‍්‍රයව උන්නෙ. චන්ද්‍රසේන දසනායක මහත්මයට මේ ගැන කීවාම එයාගෙ මල්ලි බස්නාහිර පළාතේ පොලිස් අධිකාරිට මේ ගැන දැන්වුවා. ඒ වන විට මල්ලිව වැලිකඩ යවලත් ඉවරයි. කරන්ඩ දෙයක් නෑ.

පුරා අවුරුද්දක් මල්ලි වැලිකඩ දුක් වින්දා. අම්මා තුළ තිබෙන දාරක ප්‍රේමය මට හොඳටම වැටහුණේ ඒ කාලෙ. මල්ලි ඒ නීති විරෝධි කටයුතු කළ සංවිධානයට සම්බන්ධ වෙලා නොසිටි බව මාත් අම්මත් දන්නවා. මේක සිදුවුණේ කොහොමද කියලා අපට ප්‍රශ්නයක්. හොයා බලනකොට මේ කොල්ලො ටික නාන තොටුපළකට යනවා නාන්න. ඒ අයිනේ ගෙයක ඔය සංවිධානෙ පන්ති පවත්වලා. මේ අය නාන්න ගිය ගමන් තොටපුළේ ඉඳන් අර පංති පවත්වන දිහා බලා ඉඳලා. මහරගම උප නායකයා අල්ලගන්න පොලිසිය පැන්නම කොහොම හරි මිනිහා පැනලා ගිහින්. ඒ අම්මයි තාත්තයි පොලිසියට ගෙන ගිහින් තිබෙනවා. අන්තිමේ ඒ අම්මයි තාත්තයි බියට නාන තොටුපළේ කොල්ලන්ගේ නම් පවා කියලා.

මල්ලි මේ විදියට දුක් විඳිද්දි අම්මා හිටියෙ හැඬූ කඳුළින්. කවරදාවත් අම්මා මේ තරම් කම්පාවෙලා ඉන්නවා දැකලා නෑ. අපේ අම්මට බොහොම සත්ත්ව කරුණාව තිබුණත් ඇය දරුවන් වෙනුවෙන් මස් මාංශ ඉව්වා. හැබැයි! ඇය ඌරු මස් කන්ඩ හරිම ආසයි. සති දෙකකට වරක්වත් අපේ ගෙදර විශාල ඌරු මස් හට්ටියක් හැදෙනවාමයි.

කොච්චර රසවත් වුණත් පස්සෙ කාලෙ කොලොස්ටරෝල් වගේ දේවල් අපි කාටත් බලපෑවා. රාත්‍රියට මං සමහරදාට නිදාගත්තෙ අක්කගෙ ගවුමක් ඇඳන්. ඒක පොරෝනය වගේ එහෙ මෙහෙ යන්නෙ නෑ. සීතලට ගුලිවුණාම ගුලිවෙලාම ඉන්ඩ පුළුවන්. මේක හැම තිස්සෙම කෙරෙන දෙයක් නොවේ. අම්මා දැක්කොත් බනිනවා. දවසක් රෑ මට ඉවසන්න බැරි මුත්‍රා බරක් ආවා. මං හිමින් සැරේ කාමරේ ජනේලය ඇරලා ජනේල් පඩිය උඩ ඉඳන් සුළුදිය එළියට දැම්මා.

අම්ම කළුවරේම කාමරේට ආවෙ කිසියම් වැඩකට. බලනකොට අක්කා ජනේලයේ එල්ලිලා එළියට සුළුදිය දානවා. අම්මා කෑ ගැහුවා. මේ, මොකද කෙල්ලෙ මේක කොහොමද වෙන්නෙ කියලා. ඇය අක්කා කියලා හිතලා මට ගහන්න හැදුවා. මං කිව්වා අම්මෙ මම, මම සුදු පුතා කියලා. අන්තිමට අම්මටත් හිනා. ඒත් අම්මා ඊට විරුද්ධ බව අඟවා කාමරයෙන් පිට වුණා.

අපේ ගෙදර හරක් හිටියා 12 ක් විතර. ගොම දාන්න විශාල ගොම වළක් තිබුණා. දැන් ඔය මහරගම නගර සභාව පිහිටලා තියෙන ඉඩමෙ ඉස්සර තිබුණෙ විශාල බංගලාවක්. මුලින්ම සුද්දෙක් එහි සිටියෙ. ඊට පස්සෙ ඒ බංගලාව සර් ජෝන් කොතලාවල මහත්මයගෙ එකක් වුණා. ඒකෙ උද්‍යානෙ වැඩ කරන ‘සයිමන් මාමා’ අපේ ගොම වළෙන් ගොම ගන්නෙ. දවසක් සයිමන් මාමා ගොම අරගත්ත සල්ලි ගන්න ගියාම එයා මට රුපියල් 20 ක් දුන්නා. මං ඒකෙන් 10 ක් තියාගෙන ඉතිරි රුපියල් 10 අම්මට දුන්නා.

අම්මා හිතුවෙ ගොමවලට ලැබුණෙ රුපියල් 10 යි කියලයි. මාසයක් විතර ගියා. අම්මට කොහොම හරි සයිමන් මාමා හම්බවෙලා අහලා තියෙනවා රුපියල් 20 ලැබුණද කොලුවා අතේ එවපු කියලා. අම්මා ‘ඔව් කියලා ඇවිත් පේර කෝටුවක් එහෙම කඩාගෙන ඇවිත් මට අඬගහලා ඇහුවා සල්ලි කී්‍ය්‍යක් ලැබුණද කියලා. මං ඇත්ත කීවා. ඉතිරි සල්ලිවලට මොකද කළේ ඊළඟ ප්‍රශ්නය ආවා. මං කීවා අම්මේ මං ‘හුලාහුප්’ පර්ස් එකක් ගත්තා.

ඉතිරි සල්ලිත් ටික ටික වියදම් වුණා කියලා. අම්මට බොරුව වංචාව අල්ලන්නෙම නෑ. පේර කොටුවෙන් දිගට හරහට වැදුණා. ආච්චි අම්මා මැදට පැනලා බේරගත්තෙ නැත්නම් තවත් ගහනවා. ඒ පාරවල්වලින් හැදුණු සීරීම් තුවාල තවමත් මගේ ඇඟේ තියෙනවා. එදායින් පස්සෙ මං කවදාවත් හොරකම් වංචා කරන්නෙ නෑ. පැන්සලක්වත් බිම තිබිලා අහුලන්න එපා කියලයි ඇය අපට ඉගැන්නුවෙ. තවත් දවසක් කොල්ලො කට්ටියක් එක්ක පුංචි කෝච්චියෙන් නුගේගොඩ ගිහින් යාළුවෙක්ගෙ ගෙදර ජම්බු කඩන්න.

එදා නැවත එන කෝච්චිය පරක්කුයි. එනකොට අම්මා මහරගම ස්ටේෂමෙ. අනෙක් දරුවන්ගෙ මාපියොත් ස්ටේෂමෙ. එදත් ආච්චි බේරුවෙ නැත්නම් කෝටු මස් කරනවා.

හැබැයි! මෙහෙම දැඩි දඬුවම් කරපු දවසට රාත්‍රියට අම්මා තැලුම් තෙල් කුප්පියක් අරන් කළුවරේම ඇවිත් ඒ තැන්වල අඬ අඬා තෙල් ගෑවා. ඒක තමයි අම්මගෙ සෙනෙහස. මහරගම මේබල් අක්කා කිව්වම ඒ පැත්තෙ චණ්ඩිත් ටිකක් බයයි. ඕනෑම ගෝරියකදි අම්මා මැදට පැනලා බේරනවා. කාමර 3 ක් හදලා කුලියට දෙන්න අම්මාට පුළුවන් වුණේ කාත් එක්කත් සමගියෙන් කටයුතු කළ නිසයි. එයා ගාව හැමවිමට සල්ලිත් තිබුණා. අපට අමුතුවෙන් එයාට සලකන්න ඕනැ වුණේත් නෑ. 73 දි විතර මං මනමේ කුමරුට රඟපාපු දවසෙ අම්මාට හැඬුණා ඒ ඇස් එදා වඩාත් දීප්තිමත්ව බැබළුණා.

පුතේ, මට මේ ඇති සරච්චන්ද්‍ර මහත්මයගෙ නාට්‍යයක උඹ ප්‍රධාන චරිතය රඟපෑවා. මේක මට ඇති කියලා ඇය සතුටු කඳුළු හෙළුවා. ‘නෑදෑයෝ’ චිත්‍රපටිය බලලත් ඈ හරියට සතුටු වුණා. දවසක් පොළේදි හරි වැඩක් වෙලා තියෙනවා. වෙළෙන්දියො දෙන්නෙක් කතා කර කර ඉන්නවලු සිරිපාදේ ගැන. එක්කෙනෙක් අහනවලු අනිත් කෙනාගෙන් හොඳයි කියපං බලන්ඩ සිරිපතුල හොයාගත්තෙ කවුද කියලා. ඒකට පිළිතුර අනෙක් වෙළෙන්දිය දීලා තියෙන්නෙ “අපේ මේබල් අක්කගෙ පුතානෙ” කියලයි.

අම්මා මේත කිය කියා කාලයක්ම හිනාවුණා. මං ‘සිරිපතුල’ චිත්‍ර‍්‍රපටියෙ අතපය නැති කොටාගෙ චරිතයනෙ රඟපෑවෙ. ඒකයි මෙහෙම දෙබසක් වෙලා තියෙන්නෙ. මා කලාවේ දිගින් දිගටම ඉස්සරහට යනකොට අම්මා පුදුමාකාර සතුටක් වින්ඳා. ‘එතුමා’ නාට්‍යය බලලා අපේ පුතාගෙ මළකෝලං කියලා අම්මා කියනවලු.

අම්මා අසනීප වෙලා අක්කලගෙ ගෙදර නවතින්ඩ ඉස්සෙල්ලා ඇය හැම දරුවගෙම ගෙදරට මාසයකට සැරයක් හාල් පොල් අරගෙන යනවා. ඇයට කඩ හතරක් අන්තිම කාලේ තිබුණා. සල්ලිවලින් අඩුවක් නෑ. අම්මා අංශබාගයට වැටිලා ඉන්න කාලෙ හිතුවක්කාරකමට තනියම නැගිටින්න ගිහින් ඇඳෙන් ලිස්සලා උකුළු ඇටයක් බිඳුණු වෙලාවෙම මට ‘නරිබෑනා’ නාට්‍ය සමඟ ඕස්ට්‍රේලියාවෙ පර්ත් නුවරට යන්න සිද්ධ වුණා. මා ඇය බලන්ඩ ගිහින් කිව්වා අම්මෙ මට ඔස්ට්‍රේලියාවට යන්ඩ වෙලා “නරි බෑනා” නාට්‍යයට. මං එනකම් සනීපෙන් ඉන්නවා නේද අම්මෙ කියලා. ඇය කීවෙ එක වචනයයි. පුතේ, උඹ ඒ වැඩේ හරියට කරගන්ඩ ඕනෑ.

ඒත් නුඹ එන විට මං ඉන්නෙ නෑ. ඒත් උඹ ගමන යන්ඩ ඕනෑමයි. අම්මගෙ මේ වචන මට රිදුම් දුන්නත් මං ඔස්ට්‍රේලියාවට ගියා. නිතර දුරකථනයෙන් අම්මගෙ විස්තර හොයා බැලුවා. අන්තිම දවසේ රංගනයට පෙර අම්මා මිය ගිය දුක්මුසු පුවත මට ආරංචි වුණා.

මං ඊට පහුවෙනිද ඒ රංගනය කළේ ඒ අම්මගෙ මතක මොහොතකට අමතක කරලයි. ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා මිත්‍රත්ව හමුව මාව ඉක්මනට මෙහෙට එවන්න කටයුතු කළා. මං ගෙදර එනකොට අම්මා පෙට්ටියක නිදාගෙන ඉන්නවා. පුතේ මං උඹ එනකොට ජීවතුන් අතර නෑ. අම්මා කිව් ඒ වචන මගෙ හදවතට ඊයම් බරු වගේ කිඳා බැස්සා.

ඉස්කෝලෙ යන කාලෙ මට පොඩි ‘ලව්’ එකක් තිබුණා. අපි හමුවෙන්නෙ බස් හෝල්ට් එකේ. දවසක් මට ඉස්සෙල්ලා අම්මා මේක දැනගෙන එතැනට ඇවිත්. අර ළමයා හමුවෙලා හොඳටම දෙහි කපලා. ඊට පස්සෙ අර ළමයා මගෙ මුහුණවත් බැලුවෙ නෑ. දේවිකා සමඟ මං යාළුවුණ වෙලාවෙ මං අම්මට කෙළින්ම කීවා. ‘සුබ හා යස’ නාට්‍යයේදි තමයි අප හඳුනාගත්තෙ. ඇය කවරදාවත් අපේ ස්වාධීනත්වයට ඇඟිලි ගහපු ගැහැනියක් නොවෙයි. ඇයට ඕනැ කළේ මං සමාජයේ ඉහළ කලාකරුවෙක් කරන්නයි.

ජීවිතේ නොයෙක් හැල හැප්පුම් කාටත් එනවා. මටත් ජීවිතයේ කිසියම් අභියෝගකාරි අවස්ථා ආවෙ නැතිව නොවේ. කරදර පිට කරදර ආවත් මං ජීවිතයෙ හැමදාම නැඟී හිටියෙ අම්මගෙ ආශිර්වාදයෙන්. ඒත් මට කරදරයක් වෙන්ඩ ඉස්සෙල්ලා අම්මා අපෙන් වියෝවු එක ගැන මට කිසිම දුකක් නෑ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා