»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
ගඟුලැල්ල
 

ගඟුලැල්ල

 

මා සෙවූ සසර

පාළුවට හුරුවෙලා
අතරමං වූ මනස
සැරිසරයි නිමක් නෑ
අතීතේ රූ අතර

නුඹ ද මා ළංවෙලා
උණු අරණේ සුවඳ
මධු විතක පොපියනා
සුවඳ මත වී නතර

කරයි ඔච්චම් නිතර
මවයි පෙර රූ අතර
සොඳුර නුඹගේ නෙතර
සෙව්ව මා ඒ සසර

ප‍්‍රභාත් නිලාන් කරුණාරත්න


පිරුණු සිත

ඉර පිරුණා ඉර වට ගිරවුන් හන්දා
සඳ පිරුණා සඳ වට සාවුන් හන්දා
මල පිරුණා මල වට බඹරුන් කැන්දා
සිත පිරුණා නුඹගේ සෙනෙහස හන්දා

සිත අග රැඳුන සිහිනෙක මල් රතු රෝස
කටු තුඩු ඇනී ලැබුයේ දුක’ඳුර ශෝක
දිවි මඟ පුරා වින්දෙමි පිරිපත නේක
තරු එළියක්ය නුඹ සඳ ගිලිහුන රෑක

සසරේ හුරු පුරුදු සුවඳක් ලුහු බන්දා
පෙම් සිත් පවුරු පදනම් හැමකත් බින්දා
ඇසිල්ලකටවත් සිත නොරිදෙන හින්දා
රන් මුදුවක් මොටද අප අපගේ හන්දා

මුද්දරගම
ප‍්‍රභා මාධවී අභයගුණසේකර


සුදු පාවඩ මතින්

කැටයම් ඔපලූ සිව්රියනේ සැතපී
බුදු බණ අසනා නිසොල්මනේ
කළ කම් සිහිවෙනවාදෝ
යටි හිත වැළපෙනවාදෝ

දිවිය පුරා යස ඉසුරු සොයා වෙහෙසී
කාසිවලින් මහමැදුරු තනා සැනැහී
උනුනගෙ දහදිය දියකර හැරියාදෝ
උනුනට බර දී සව්දිය පිරුවාදෝ

සුදු පාවඩ මත යළි නොඑන ගමනේ
සෝබර හැඬුමන් දෙසවන් නොවැකේදෝ
වියැලුණු මුව අග ඉකිබිඳුමක් රැඳුණේ
එහා ලොවට යන මාවත පෙනිලාදෝ

චන්ද්‍ර ශ‍්‍රී සෝමසිරි


තාත්තා සිහිවී...

අත් නොහැර සිංහල සිරිත් ලක්බිමේ ඉපදුනු වැටෙන බුදුරැස්
ලත් තැනදි හසුරුවා සුමිහිරි රබන් පද ආරෙකට නිදහස්
සිත් සතන් පිනවූ පියාණනි! මෙලෙස කවියෙන් ලියමි අදහස්
ඇත්තමයි! අවුරුදු තිහක් ගතවෙලා ඇත! ඔබ මෙලොව හැරගොස්

සොබා වික පරිසරය ඩැහැගෙන අරුත්බර පොත් ඇසුරු කරනව
සබා වකදී අසන පැනයම නියම පිළිතුරු කවිය කියනව
තබා දෑතේ සුරල් වයමින් විරුදු කී හැටි මැවිල පෙනෙනව
රබා නෙන් ඔබ පෑව පෙළහර මතක් වෙන විට කඳුළු උනනව

සුරල දැනගන රබන් පදයේ හඳුන්වාදී විරුදු කරුවා
කරල පැහුනත් නැතත් පරගැති හැඟුම් කවියෙන් දෙකම ඉරුවා
විරල කාලෙක රෙදෙව්වට ගොස් විරුදු සඟරෙක පදවි දැරුවා
සරල දිවියක් අතර හිඳ ඔබ නිතර බුදුගුණ මෙනෙහි කෙරුවා

දෑත් එක්කොට සබාවකදී රසික පිරිසට තුතිය පුදනව
කාත් කවුරුත් නොගෙන සහයම පන්හිඳෙන් කවි - විරුදු ලියනව
මාත් එක්කල ගැයූ රසබර විරුදු මතකය අතර මැවෙනව
තාත් තේ! බුදු තාත්තේ! මට තවම ඔබ නැති අඩුව දැනෙනව

සරෝජිනී කවිරත්න


ඕපාදූප...

දොඩන දේ හරි රසයි
සවනතට මී පැනියි
වැඩ බිමේ
කඩ පිළේ
මග තොටේ
ඇසේ ඕපා දූප...

ළිපේ බත රොස් වෙලා
ගෙදර වැඩ ගොඩවෙලා
ඒත් නැහැ වගක්වත්
ඕපාදූපයයි රස...

උනුන් හැම කොටවනා
අගතියට ගෙන යනා
මේ ඕපාදූපයෙන්
කෙලෙස මුදමුද දනා...

තිඹිරිගස්කටුවේ
ස්වර්ණා ද සිල්වා


ඔබ ආ දා

කුසුම් සරා විදි හීයෙන්
හිත කිඳී ගියා
ශ්වේත සහස්පතයට
පිනිපොද වැටී ගියා
උදාහිරින් රිදී, කණක
ළහිරු වැහුණා
මල්වර තඹුරු පෙති
උද්දාමයෙන් හිනැහුණා

මධුෂා රාමසිංහ


වියපත්ය ඇය

යෞවනය නුඹ
අවන්හල කොනක
ඇයට ළං වේවි
දොඩන බස
ඇසේ මගෙ හදට

මම ද කලෙකට පෙර
ඔතැනම හිඳ
මගේ පෙම්වතියට
මිමුණුවෙමි රස වදන්
ආදරෙයි කිය කියා

ඇය ද දෙනෙත ම වසා
මට ආදරෙයි කියන විට
තිස් පස් වසරකට පෙර
රජවීමි මගේ ලොව

තවමත් එලෙසින් ම
ඇයට කොඳුරා කියමි
එය අසන්නට
ඇගේ සවනට නොහැක
වියපත්ය ඇය ද මාමෙන්
ඇය මගේ බිරිය අද

දියලගොඩ
සැම්සන් සී. ඒකනායක


කොග්ගල ඔය

සංහිඳ පාමුල සිට
සිඳුදිය විලස රළ පෙළ තරගෙකි කළණ
ඉඳුවර පහස විඳ මුදු චාමර සලන
උඳුපියලිය සිසිල දෙන දියවර ගලන
මදුමේකලාවකි කොග්ගල නදි ලලන

සරතැස නිවයි ඔය බඩ සැදි කඩො ලාන
ඉරබටු තරු එළිය මත කෝකිල රෑන
කරදිය මුසුව මිරිදිය රසමුසු ගේන
පරයන අහස් ගඟªලකි ලොව අස මාන

සරුපස දිලෙන වපසරියකි සුවඳ මුසූ
හිරු සඳ මවිත විණි ගුවනෙහි සරඹ ඇසූ
ඉරුගල් දෙවොල යැද ගහදොස් අපල නැසූ
උරුමය ලැබූ අය වෙති ගෙවු වියද අසූ

ගම්පෙරළිය - මඩොල්දූව රස දහර ලියා
සම්බාවනා ලද මහ ගත්කරු ද නියා
චන්දන තුවරලා කුංකුම පියලි තියා
සම් මානයෙන් පුද දෙමු මහ ඇදුරු පියා

වැලිපටන්විල රංජිත් සමරසූරිය


අහිකුණ්ඨික

ඇතත්, සඳ නැතත්, රෑ නෙතු වැහෙන හැම දාට
තල් අත්තෙ කඩ ඉමෙක ඉඩ තියෙනවා රෑට
බින්න බැස්සත් ඇවිත් ඉම ඉදන් කළිඟු රට
දින හතක පදිංචිය එක තැනත උරුම යට

ඇහැ වැටෙන දෙවි නැමැද ගෝස්තරයට වඩින
උස් පහත් හැමගෙ අතැ’ගිළි අනාවට දොඩන
තුටු කළත් හැමගෙ හිත් අද දවසෙ හෙට දකින
හැමදාම අඳුරු හිරු හිත් වාඩියට පිපෙන

නයි රිළා නැටුම් පෙන්නුවත් ඩෝලය වයා
‘සිංදුවට නටන’ නැටුමට සින්න වී ගියා
විෂ ඝෝර රුදුරු සපු ඇතත්, ගෙල වට අයා
නිසැකවම දනිමි ඒ දළෙහි ඇත්තේ කියා

ඇතත් සිතිජය ඉමට ඇතැමුන්ගෙ වප සරිය
දෙපා ඉඩ තබන තැන දිවි බුක්තියට සරිය
තැතක් දැරුවත්, බදා බෙදා ගණු වැඩි හරිය
හතර රියනට එහා යින් කෙලෙසවක් බැරිය

ජයන්ත නිමල් සිරි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා