»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
පිළිම නෙළා නැති විරුවන් කොතෙකුත් සිටිනවා
 

පිළිම නෙළා නැති විරුවන් කොතෙකුත් සිටිනවා

 

මහාචාර්ය නිමල් ද සිල්වා

මොරටුව විශ්වවිද්‍යාලයීය වාස්තු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු හා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වූ මහාචාර්ය නිමල් ද සිල්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ය.ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක කාලීන තොරතුරු පිළිබඳ ව මෙවර පුන්කලසට මහාචාර්ය නිමල් ද සිල්වා සමඟ කළ සංලාපයකි මේ.

ඉතිහාසය පිළිබඳ සිද්ධාන්ත ගොඩනැඟීමට පුරාවිද්‍යාව ඉවහල් වන්නේ කවර ආකාරයට ද?

ඉතිහාසය කියා කියන්නේ ලියපු දෙයක්. ලිඛිත සාධක තිබිය යුතුයි. අමෙරිකාව ගත්තොත් අවුරුදු 300 කට එපිට කිසිම දෙයක් නැහැ. අපේ රට පිළිබඳ ව ගතහොත් අවුරුදු 2550 කට එපිට ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසය කියන දේ ඇසූ දේ දුටු දේ හැඟෙන අයුරින් ලියූවක්.

උවමනා ආකාරයට වාර්තා කරපු දෙයක්. එක් කලෙක පෘතුගිසියෙක් ලියූ දේ නොවෙයි සිංහලයෙක් ලියන්නෙ. තමන්ගේ කැමැත්ත තියෙන විදිහටයි ලියන්නේ. මහාවංශය ලියද්දි දුටුගැමුණු රජුට විශේෂ තැනක් දී ලියා තිබෙනවා. නමුත් පළමුවන විජයබාහු රජුත් ඒ හා සමාන දේවල් කර තිබෙනවා. පළමුවන විජයබාහු රජු නැත්නම් ලංකාවේ සිංහල ඉතිහාසයක් නැහැ. මහාවංශය ලියුවේ මහා විහාරයීය භික්ෂුන් වහන්සේලා. නමුත් අභයගිරිය ගැන අඩුවෙන් එහි සඳහන් කළේ.

ඉතිහාසය පුද්ගලයකුගේ අභිමතාර්ථය අනුව ලියූ දෙයක්. පුරාවිද්‍යාව තියෙන සාධක අනුව විද්‍යානුකූලව ඇත්ත හොයාගන්න පුළුවන් දෙයක්. උදාහරණයක් හැටියට අනුරාධපුර පිහිටීම මෘදාංගයක්. ඒ කියන්නෙ බෙරයක හැඩයක් ගන්නවා. විජය කුමරු මෙහි එන්නට පෙර එහි නගරයක් තිබිල තියෙනවා. පණ්ඩුකාභය රජු ඒ හැඩය මතයි නැවතත් වැඩිදියුණු කරල ගත්තෙ. නමුත් ඒ ගැන නොකියා විජය කුමරුගේ පැමිණීමේදී තිබු තත්ත්වය විතරක් කියනවා. දැරණියගල මහත්මයා කළ කැණීම් කටයුතුවලින් කි‍්‍ර. පූ. 9 වන සියවස දක්වා ඈතට අනුරාධපුර මුල් යුගයේ සාධක හමු වී තිබෙනවා. පුරාවිද්‍යාවේ ඇති විද්‍යානුකූල භාවය හා වෙනස එයයි.

අපේ ප‍්‍රධාන පුරාවිද්‍යා ස්ථාන තුනක් තිබෙනවා. අනුරාධපුර ඇතුළු නුවර, මාගම්පුර ඇතුළු නුවර සහ මාන්ථායී (මාතොට) වරාය ආශි‍්‍රත ප‍්‍රදේශය. ඒක තමයි සේද මාර්ගයේ මධ්‍යස්ථානය. නැගෙනහිරින් නැව්වලින් එන වෙළෙන්දො ඇවිල්ල මෙතැනදි බටහිරින් එන වෙළෙන්දොත් එක්ක වෙළෙඳ්‍රම් කරගෙන, බඩු තැම්පත් කර ඊළඟ සුළඟ එනකම් ඉඳල ආපසු යනවා. එහි තිබුණු දේවල් බැලුවාම පුදුම උපදවන ඉතිහාසයක් කියන්නට පුළුවන්. එය කළ හැක්කේ පුරාවිද්‍යාවට පමණයි.

මාගම ඇතුළු නුවර ඇතුළේ අඩි 23 කට 24 කට යනකම් හමුවන ස්තරවලින් එදා මිනිසුන්ගේ ජන ජීවිතය පිළිබඳ ව අදහස් කරුණු රැසක් හමු වෙනවා. කි‍්‍ර. පූ. 6 දක්වා විහිදී ගිය පුරා වස්තූන් අතර මැණික්, ඇත් දත් ආදි තවත් බොහොමයක් දේවල් හමුවී තිබෙනවා. ලෝකයේ ලොකුම මැණික හා වෙළෙඳපොළ තිබිල තියෙන්නේ මාගම එදා හිටපු රජ්ජුරුවන්ටයි. අපට තිබෙන්නේ ඉතිහාසයේ ලියා ඇති දේ පුරාවිද්‍යාත්මක වශයෙන් සන්සන්දනය කරල හරි දේ සොයා ගන්න එකයි. මහාවංශය හරියටම හරි. එහි සැකක් නැහැ. හැබැයි තවත් දේවල් තිබෙනවා එහි නොලියපු.

පසුගිය කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පුරාවිද්‍යාත්මක කැණීම් විශාල වශයෙන් සිදුකළා. උදාහරණයක් හැටියට යාපහුව ගත හැකියි. මේ පුරා විද්‍යාත්මක කැණීම්වලින් හෙළි වූ නව සාධක කවරේ ද?

අපි අභයගිරිය බලමු. අභයගිරියේ එක් කාලයක හාමුදුරුවරුන් 6000 කට වැඩි පිරිසක් වැඩ සිටි භූමියක්. මේ අයට අදාළ දේවල් බොහොමයක් මේ භූමියේ තිබුණා. අප මේවා ගැන දැනගෙන හිටියේ නැහැ. මේවා වැහිල තිබුණේ. ක‍්‍රමයෙන් විද්‍යානුකූලව අප කැණීම් කරගෙන කරගෙන යද්දි තමයි අපට මේ සාධක හමුවුණේ. එදා එහි පිරිවෙන් ගොඩනැගිලි තිබුණු හැටි, කාටත් පොදු ඡන්ථාගාර තිබුණු හැටි, කැණීම් කළ පසුව සොයා ගැනීමට හැකි වුණා. සීගිරියේ පොළව යට වතුර ඇති බවක් අප දැන සිටියේ නැහැ. නමුත් ක‍්‍රමානුකූලව කැණීම් කරගෙන යද්දි ඉහළට විහිදී යන වතුර මල් මතු වුණා. කැණීමකදී ඇති වටිනා වැදගත්කම එයයි.

අපේ ඉතිහාසයට අදාළ බොහෝ වෘත්තාන්තවල මුලාශ‍්‍රයන්හි ඒක පාර්ශ්වික ලක්ෂණයන් දක්නට ලැබෙනවා නොවේ ද?

ඒක තමයි මා මුලින් සඳහන් කළෙත්, මා දන්න දේයි ලියන්නේ. නොදන්නා දේ ලියන්නෙ නැහැනේ ඒ වගේම දකින දේ ඇසෙන දේ ලියන්නේ. එක්දහස් අටසිය ගණන්වල ඇඳපු බිතු සිතුවම්වල කඩසල්පිලක් ඇඳ තිබෙනවා. කිරි මුට්ටි, පැණි මුල්, කෙසෙල් කැන් එල්ලලා තිබෙනව ඇඳල තිබෙනවා. එහි ඇත් දලක් වගේ දෙයකුත් එල්ලා තිබෙනවා.

ඉතින් මේක මා නොදන්නා නිසා මං හොයාගෙන හොයාගෙන යනකොට අපේ එස්. පී. චාල්ස් මහත්මයා කිව්ව ඔය මහත්තයො හකුරුවක් කියලා. කිතුල්මලේ කොලපුව ගැලෙව්වාම ඒකට තමයි හකුරු උණු කරල වත් කරන්නෙ. දැන් ඔය සීනි දමපු හකුරු පිහියෙන් කපන්න බැහැ. හොඳ හකුරු පිහියෙන් කපන්න පුළුවන්.

තුට්ටු දෙකක හකුරු ඉල්ලුවාම කවරෙත් එක්කම පෙත්තක් කපල දෙනවා. ඒක තමා හකුරුවා කියන්නෙ. ඒක ඇඳල තිබිච්ච හින්දයි මට ඒ මොකද්ද කියල සොයන්න හැකිවුණේ. ඒ වගේ කොයි දෙයත් ලියල තිබ්බ නම් ඒක පාර්ශ්වික වන්නේ නැහැ. නමුත් කැමති දේ පමණක් ලියා තිබීම නිසා එක්තරා ආකාරයකට ඒක පාර්ශ්වික බවක් පෙන්නුම් කෙරෙනවා. ඉතිහාසය බොහෝ විට එකම පැත්තට ලියා තිබෙනවා.

දුටුගැමුණු රජු ගැන කතා කරන මහාවංශය කාවන්තිස්සයන් ගැන එහෙම කතා කරන්නෙ නැහැ. කාවන්තිස්ස රජු තමයි ඔක්කෝම කළේ. දසමහා යෝධයෝ හැදුවා. සේනාව හැදුවා, පුහුණු කළා. ඔක්කෝම සූදානම් කළා. දුටුගැමුණු කුමරු කළේ මේ ඔක්කෝම කැඳවා යුද්ධය අරන් යෑමයි. ඒ සා විශාල මෙහෙවරක් කරපු කාවන්තිස්සට වඩා උලුප්පා පෙන්වන්නේ දුටුගැමුණු කුමරුන්වයි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු කොයිතරම් දේවල් කළා ද? නමුත් ගාථා 11 යි තියෙන්නේ, මොකද හාමුදුරුවො අමනාප වුණා රජු එක්කල.

අපට ඇත්තේ අනුරාධපුරය කේන්ද්‍රීය වූ ඉතිහාසයක්, බෞද්ධ කේන්ද්‍රීය ඉතිහාසයක් වැනි නිර්වචන සමාජයෙන් ගොඩනැඟෙන බව පේනවා. මෙවැනි මත සාධාරණ ද?

අවුරුදු 2500 ක 3000 ක් පුරා දිව ගිය අපේ ශිෂ්ටාචාරයේ අපි හැමදේම කළේ බෞද්ධ හැදියාවෙන්, අනික් සෑමදේම පස්සෙ ආපු දේවල්නෙ. අපට ඉන් වෙන්වෙන්න බැහැ. බෞද්ධ සංස්කෘතිය හරහා හැදිච්ච සිංහල සාහිත්‍යයක් අපට තිබෙන්නේ. මුළු සිංහල සභ්‍යත්වයම ඇතිවුණේ බෞද්ධ පසුබිමක් යටතේ. හැදියාව එකයි.

බාහුංසහස්ස කියන අපේ ගාථා පාඨය අනුවයි පල්ලියේ ගායනා නිර්මාණය කරල තියෙන්නෙ. එය අගය කළ යුතුයි. සිංහල මිනිසුන්ට කතා කරනවා නම් සිංහල සංස්කෘතියක් තියෙනවා, ඒ හරහා ඕනෑ කතා කරන්න. මුළු රට ම තිබෙන්නේ බුදුදහම මුල් වූ සංස්කෘතියක් මතයි. එයයි සිංහල සංස්කෘතිය.

අප හිතන්නේ පුරා විද්‍යාවට අදාළ වන්නේ භෞතික දේ පමණයි කියායි. උදාහරණ වශයෙන් වැව්, වෙහෙර විහාර, ගල් කැටයම් ආදි දේවල්. නමුත් පුරා විද්‍යාවට ජීවමාන මිනිසුන් පිළිබඳ කතාවත් අයිති වෙනවා නේද?

හොඳ ප‍්‍රශ්නයක්, අපි අත්තනගල්ල ප‍්‍රදේශයේ කැණීමක් සිදුකළ අවස්ථාවකදී ප‍්‍රාග් ඓතිහාසික මිනිසා එදා කාපු බීපු දේවල් පවා සොයා ගත්තා. සත්තු 80 කට වැඩි පිරිසකගේ ඇටකටු සොයා ගත්තා. පියාඹන කුරුල්ලා ගේ සිට පිහිනන මාළුවා දක්වා හැම සතකුගේම ඇට කොටස්; අපට හමුවුණා. ඒවා බලා ඒ එදා මිනිස්සු ජීවත්වූයේ කොහොමද කියා අපට කීමට පුළුවන්කම තිබෙනවා.

ඒ රවුම් ගෙවල්වල, ගේ මැද ගිනි උඳුන් තබාගෙන ජීවත්වූ හැටි අප පුරා විද්‍යාවෙන් සොයාගෙන තිබෙනවා. ඡන්ථාගාරයක් තියෙනවා, එහි වටේට අළු තියෙන ළිප් තියෙනවා, අප දන්නවා හාමුදුරුවරු උණු වතුර නාන්න මෙතැන මේ විදිහට පාවිච්චි කර තිබෙනව කියලා. මුට්ටිය තියන්න තිබු තැන මෙතැනයි කියල අප දැන් දන්නවා. ඒ නිසා ජීවමාන මිනිසුන්ගේ කතාව අනිවාර්යයෙන් පුරා විද්‍යාවට අයිතියි.

මහාචාර්ය තිස්ස කාරියවසම් පවසනුයේ, නිර්ප‍්‍රභූන් අතරත් වීරයන් සිටින බවයි. ඔබ විශ්වාස කරනවා ද, ඉතිහාසය විසින් යටපත් කරන ලද වීරයන් සිටින බව?

ඒ අදහසට මමත් එකඟයි. අපේ කැමැත්ත අනුව වීරත්වය බාර දෙන්නේ, කාලයක වීරයා කියපු එක්කෙනා තව කාලෙක වීරයා නොවෙයි. සමහර විට කාලයක වීරයා නොවෙයි කියා අපි කියපු කෙනා අප වීරයෝ කරගෙන ඉන්නවා. මිනිසුන් විසින් පොලඹවන ලද පිළිගැනීමක් වීරත්වය කියන්නේ. ජාතියකට වීරයො නැතිව බැහැනේ, වීරයෝ ඉන්නෙ පිටුපස හැරී බලන්න. අප නොදන්න වීරයෝ ගොඩක් ඉන්නවා. නමුත් ඒක ලියැවිලා කියැවිලා නැහැ. අප මේ පරම්පරාවෙන් පරම්පරාවට සියලු දේ සන්නිවේදනය කරන්නෙ භාෂාව හරහා.

එක්කො වාචිකව, එක්කො ලිඛිතව. ඔය දෙකම නැති වුණොත් අර වීරයත් නැති වෙනවා. මහා වීරකම් කළ උදවිය ඉන්නවා. පොතේ ලියල පිළිම හදල තිබුණොත් අන්න වීරයා කියා පිළිගන්නවා. අපට වීරයා තව කෙනකුට වීරයා නොවීමට පුළුවන්. මහාචාර්යතුමා කියන අයුරින්ම අනිවාර්යයෙන්ම නිර්ප‍්‍රභූන් අතර වීරයන් සිටිය හැකියි. ප‍්‍රභූන්ම විය යුතු නැහැ වීරයන් වන්නට.

හොඳ උදාහරණයක් කියන්නම්, ඇටිපොල නිලමේ තුමා මහලු වයසේදී දවසක් පරංගි නුවරට එනවා කියා හඬ ගා කීවා. පරංගි ආපුවාම හැමදේ විනාශ කරන බව දන්න ජනයා කලබල වුණා. පරංගි එන්නෙ රාති‍්‍රයේ දී බව දත් හැමදෙනා ම අත්වල ආයුධ දරාගෙන තැන් තැන්වල සැඟවි සිටියත් පරංගි ආවේ නැහැ.

ඒ ගැන ජනයා විමසිලිමත් වුණා, පරංගි එන බවට පණිවුඩ ලැබුණත් ආවේ නැතිවීම පසුදා උදේ කතාබහ වුණා. ඒත් ඇටිපොල නිලමේ පේන්න නැහැ ඇටිපොල නිලමේ මොකද්ද කරල තියෙන්නෙ දන්නව ද, නුවරට ඇතුළු වන එක ම ඇළ මග ළඟ රෑ පුරා රැක ඉඳල එකා පස්සෙ එකා පැන පැන එන පරංගි හෙල්ලයකින් ඇන ඇන මරලා. අවසානේ ඇටිපොල නිලමේ හෙල්ලය අතේම තියාගෙන මැරිල ඉඳල තියෙනවා. ඇටිපොල නිලමේත් වීරයෙක්. නමුත් පොතේ ලියැවුණේ නැහැ. පිළිම හැදුණේ නැහැ. ඉතිහාසයට ඇතුළු වුණේ නැහැ. නමුත් එවැනි වීරකම් කරපු අය අනන්තව සිටිනවා.

පුරා විද්‍යා පර්යේෂණ සිදුකරද්දී ඒවාට දේශපාලන බලපෑම් එල්ල වී ඉතිහාසය විකෘති වන අවස්ථාවන් ගැන ඇතැමුන් කතා වෙනවා. කුමක් ද ඔබ මේ පිළිබඳ ව සිතන්නෙ?

පුරා විද්‍යාවේ දී විද්‍යාව හැටියට යන විට එහෙම දේශපාලන බලපෑම් නැහැ. ලෝකයේ දේශපාලන බලපෑම් නැති කිසිම දෙයකුත් නැහැ. නමුත් දේශපාලන බලපෑම් පිට සමහර දේවල් සමහර විට පමණට වඩා උලුප්පා පෙන්වන්නට පුළුවන්. සත්‍යය විකෘති කරන්න බැහැ. සත්‍යය සැඟවිය හැකියි, මගේ කාල පරාසයේදී කිසිම විදිහක දේශපාලන බලපෑමක් පුරා විද්‍යාවට එල්ල වී නැහැ. දේශපාලන වශයෙන් මේ පාට බෙදා ගත්තාට මේ හැමෝම කැමතියි පුරා විද්‍යා ගවේෂණ පද්ධතියට, ඉතිහාසයට, වෙච්ච දේවල් දැනගන්නට. ඒවා වෙනස් කරන්නට දැරූ ප‍්‍රයත්නයක්වත් මා දැක නැහැ. හැම කෙනකුම අලුතින් දෙයක් හොයා ගත් විට තම ආදර ගෞරවය දක්වනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් රුහුණේ සංස්කෘතික ති‍්‍රකෝණය පිහිටුවීමට සැලැසුම් කර තිබෙනවා නේද? එය එහි පිහිටුවීමේ ඇති වැදගත්කම?

ඇත්තටම, අනුරාධපුරය වගේ ම බලවත්ව රටේ දේශපාලන පාලන බලය සඳහා උරදුන් ප‍්‍රදේශයක් රුහුණ කියන්නෙත්. රුහුණ කියන්නේ මහවැලි ගඟෙන් පටන් ගත්තාම මහවැලි ගඟ මාඳුරු ඔය, කුරුන්දරු ආරු, හැඩ ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, වලවේ ගඟ ආදී ඔය කියන ගංගා හරහා තමයි රුහුණු ශිෂ්ටාචාරයක් ඇතිවුණේ.

රටේ ඕනෑම ප‍්‍රශ්නයක් ඇතිවුණාම රුහුණෙන් කුමාරයෙක් ඇවිල්ල තමයි බේරාගන්නේ. රුහුණේ ආරම්භයේ සිටි දස දා රජවරු කියන්නෙ අනුරාධපුරේ අය නොවෙයි.

රුහුණේ ඔක්කොම ග‍්‍රාම්‍ය සංස්කෘතියක් පැවතුණේ. මෙහි පුර සංස්කෘතියක් තිබුණේ, අප මේවා ගැන වෙන වෙනම සොයා බලන්න අනුමැතිය ඉල්ලා කැබිනට් පති‍්‍රකාවක් යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල යන රුහුණට අයත් දිස්ති‍්‍රක් හතර අරගෙන එහි ප‍්‍රාග් ඓතිහාසික සහ අනිකුත් සංස්කෘතියට අයිති දත්තයන් පිළිබඳ ව ගවේෂණාත්මක විශාල වැඩ කොටසක් කරන්නට බලාපොරොත්තුව සිටින්නේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා