»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
චිරං ජයතු ජයතිලකයාණෙනි!
 

චිරං ජයතු ජයතිලකයාණෙනි!

 

කන්නිමහර ප‍්‍රාඥයා ලෙසින් විරුදාවලී ලැබූ කේ. ජයතිලකයන් සිය අසූ පස් (85) වැනි ගිරිහිසට ළඟා වූයේ පසුගිය ජුනි 27 වැනිදා ය. දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම හා විශිෂ්ටතම ශාස්ත‍්‍රඥයන් අතරින් ජයතිලකයන්ට වඩා වයසින් වැඩි විද්වතුන් අතරින් මහැදුරු විමල් ජී. බලගල්ලේ හා සිරි ගුනසිංහයන් ප‍්‍රමුඛ වෙති. මෑතදි දිවංගත අරීසෙන් අහුබුදු ශූරීන් බලගල්ලයන්ට වඩා වසර දෙකක් පමණ වැඩිමහලු විණි.

මාර්ටින් වික‍්‍රමසිංහ, ජී.බී. සේනානායක, එදිරිවීර සරච්චන්ද්‍ර ආදී සිංහල සාහිත මංපෙත එකලු කළ වනස්පතීන් අතරට පාඨක, විචාරක උභය පාර්ශවයේ ම නොමඳ අවධානයට හා පැසසුමට ලක් වූ අනෙක් වනස්පතිය වන්නේ කේ. ජයතිලකයන් ය. ජයතිලකයන්ගේ ‘පුංචිරාළ’ නවකතාවේ ඉංගිරිසි පරිවර්තනයට මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ ප‍්‍රස්ථාවනාවේ කරන මේ සඳහන ජයතිලකයන්ට සුවිසෙස් වටිනාකමක් එක් කරන්නේ ඔහු විශ්වවිද්‍යාල උගතකු නොවන බැවිනි.

”කළුඅච්චිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක, අද ඉහළ තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකිවේ. ප‍්‍රමුඛත්වය අතින් ඔහු දෙවැනි වෙතොත් වන්නේ මාර්ටින් වික‍්‍රමසිංහට පමණි...”

වික‍්‍රමසිංහයන් මෙන් ම ජයතිලකයන් ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුවේ වුව ද (ජයතිලකයන්ට ඇත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාල උපාධියකි) විශ්වවිද්‍යාලයකින් පුද දෙන ඉහළ ම ගරු සම්භාවනාවට පාත‍්‍ර වූවෝ වෙති. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ‘සාහිත්‍ය සූරි” ගෞරව උපාධිය ජයතිලකයන් වෙත පිරිනැමුණ ද හේ කිසි දිනෙකත් තම නම ඉදිරියෙන් එය භාවිත කරනු අප දැක නැත. ජයතිලකයන්ට ආචාර්ය උපාධිය පිරිනැමීමෙන් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපේ ගෞරවයට පාත‍්‍ර වන අතර ම, එසේ කිරීමෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බැබළීමට ද පාත‍්‍ර විණි. එය එකී විශ්වවිද්‍යාලයට ආභරණයක් විනා ජයතිලකයන්ට නම් ගෞරව නම්බු නාම මඟින් ලබාගත හැකි කිසිවක් නොමැති බව මගේ විශ්වාසයයි.

මා කියැවූ පොත් අතරින් මහද සසල කරවීමට සමත් වූ එක් පොතක් වූයේ ජයතිලකයන්ගේ ‘චරිත තුනක්’ නවකතාවයි. මා පාසල් යන අවධියේ මගේ පියා රාජකාරි අවශ්‍යතාවයකට ජයතිලකයන් හමුවීමට 1989 වර්ෂයේ කොළඹ ගිය අයුරු මට මතක ය. ජයතිලකයන් යනු කවුරුන්දැයි තේරුම් ගැනීමට සමත් වයසක මම එකල නොසිටියෙමි. මගේ පියා ඔහු ගැන මගේ වැඩිමල් සොයුරියන්ට කියා දෙද්දී ඒ ළඟ සිටි මට සිතුණේ ඔහු දුටුගැමුණු රජතුමා වැනි වීරයකු විය යුතු බවයි.

කොළඹ ගිය පියා නැවත ගෙදර ආවේ මනාව අසුරන ලද ලොකු පොත් පෙට්ටි දෙකක් ද සමඟිනි. මට ඒ සියල්ල ම ඉක්මනින් කියවීමට හැකිවනු පිණිස වයසින් වැඩීමට අවශ්‍ය වූ බව පමණක් මතක ය. ජයතිලකයන් හමුවීමට යන කිසිවකුට කිසිදින හිස් අතින් ඒමට නොලැබේ. අත්සන සහිත පොත් දෙක තුනක් යන කාහට වුවද ලබාදීම ඔහුගේ සිරිතයි. ජයතිලකයන්ගේ අව්‍යාජ නිකලැල් ජීවිතයට අප ආදරණීය සුමනා නැන්දාගෙන් (සුමනා ජයතිලක) ලැබුණු ශක්තිය මේ මහා ප‍්‍රාඥයාගේ ඉදිරිගමනට සවිමත් පදනමක් වන්නට ඇත. ඇය ළමා පිටිය මඟින් බිහිකළ දරුවන් අද නෙක ක්‍ෂේත‍්‍රයන් හි වැජඹෙන බව අපට අමතක නැත.

ජයතිලකයෝ චිරන්තන සිංහල සාහිත්‍ය අපේ සම්ප‍්‍රදාය හා උරුමය පිළිබඳ ගැඹුරු හැදෑරීම් කළහ. එය ඔහුගේ ලේඛනයට දැක්මක්, පරිඥානයක් එක් කළ බව නොරහසකි. සීගිරි ගී නැවත නැවත කියවමින් අරුත් සම්පාදනය කළ හේ ඉදිරිපත් කළ විමර්ශන සහිත සිදත් සඟාව, විමර්ශන සහිත මයුර සන්දේශය, විමර්ශන සහිත තිසර සන්දේශය, විමර්ශන සහිත කවිසිළුමිණි මහා කාව්‍ය 1 හා 2 වැනි ශාස්තී‍්‍රය කෘති ශාස්ත‍්‍රාභිලාෂීන්ට මහඟු අත්වැලක් වූ බව නොරහසකි.

දේශීය ළමා සාහිත්‍යයට ඔහු ඉටු කළ මෙහෙයද අසමසම බව මගේ හැඟීමයි. සිංහල නවකතාවට, කෙටිකතාවට, විචාර කලාවට, ශාස්තී‍්‍රය පර්යේෂණයන්ට කළ මෙහෙවර අතින් ඔහු දෙවැනි වන්නේ වික‍්‍රමසිංහයන්ට පමණී යන මහැදුරු සරච්චන්ද්‍රයන් කළ ප‍්‍රකාශය හා බොහෝ දෙනකු එකඟවන්නේ මේ ක්‍ෂෙත‍්‍ර සම්බන්ධයෙන් ය.

සාහිත්‍ය විචාරය හා නිර්මාණය පිළිබඳ ඔහුගේ දැක්ම සර්වකාලීන හා සර්ව භෞමික වේ. දෛවයෝග විචාරය 1953 දී රචනා කරමින් නිර්මාණකරණයට බට හේ, සාහිත්‍ය විචාර සටහන් (1963), සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත (1989), සිංහල නවකතාවට සංස්කෘතික, දාර්ශනික පදනම (1969), නවකතාව හා සමාජය (1979), සාහිත්‍ය විචාර චින්තාවලී (1993), විශ්ව සාහිත්‍යය ආභාසය හා නිර්මාණය (2002) වැනි විචාර කෘති මඟින් සාහිත කෙත නිම්වළලු පුළුල් කළේ ය.

මෙහිදී මට තවත් කරුණක් සිහිපත් වේ. කේ. ජයතිලක පදනම මඟින් මෙහෙයවූ ශාස්තී‍්‍රය දේශන මාලාවකදී වරක් ‘සොක‍්‍රටීස්ගේ වස බඳුන’ නමින් කේ. ජයතිලකයන් දේශනයක් කළේ ය. එහිදී ඔහු කන්නිමහර පිහිටි තම පුස්තකාලයේ ජගත් සාහිත්‍ය කෘති සහ දුර්ලභ පොත් ඇතුළත් ප‍්‍රඥා පුෂ්කරණී නමින් හඳුන්වන අංශයට අයත් පොත් පරිශීලනය කිරීමට ශාස්ත‍්‍රාභිලාෂීන් නොමැති වීම සම්බන්ධයෙන් දැඩි කනස්සලෙන් යුතු ව මෙසේ පැවසී ය.

”මෙහිදී මට සිහිපත් වනුයේ ලෝකයේ ආගමකට සම්බන්ධ නොවූ මහා චින්තකයා, මහා දාර්ශනිකයා වූ සොක‍්‍රටීස් ය. මේ මහා පොත් කන්දරාව සම කළ හැක්කේ ඔහුට පමණී. සොක‍්‍රටීස්ට මරණ දඬුවම නියම කළ විට ඔහුට දිවිගලවා ගෙන පැන යාම සඳහා මිත‍්‍රයන් කටයුතු සූදානම් කළත් ඔහු එය ප‍්‍රතික්‍ෂේප කොට වස පානය කර දිවිතොර කර ගත්තේ ය. ඒ සුළු දෙයවත් ඉටුකරගත නොහැකි වුවහොත් මේ පොත්වලට ද තවදුරටත් දුක් නොවිඳ ඒ ඉරණම ම අත්වේවායැයි මම ප‍්‍රාර්ථනා කරමි. ඒ අනුව මම බලාපොරොත්තු වන්නේ මගේ දර සෑයට ‘ති‍්‍රපිටකය’ හැර ඉතිරි පොත් සියල්ල එකන් නෑර දමා පුලුස්සා දැමීමයි. සොක‍්‍රටීස්, සොක‍්‍රටීස් වූයේ ඔහු පානය කළ වස වීදුරුව නිසාය. මේ පොත් ද පොත් බවට පත් වන්නේ දැවී පිලිස්සී යාමෙන් අනතුරුවය.

සොක‍්‍රටීස්ගේ වස බඳුන - දේශනමාලා අංක 06.

මේ වැනි කලකිරීමක් ජයතිලකයන්ට දැනෙන්නේ ඇයි? මේ දරුණු ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපට ජයතිලකයන් ට දොස් නැඟිය නොහැක්කේ වත්මන් පරිහානිකර සමාජය දැනුමට හෝ දැනුම්වත් වීමේ මූලාශ‍්‍රයන්ට වටිනාකමක් නොදෙන බව අප ද දන්නා නිසාවෙනි. අසූපස් වැනි ලිවිසැරිය පසු කළ කේ. ජයතිලකයන්ට අප චිරං ජයතු යැයි පතන්නේ සාහිත කෙතට වනස්පතියක් වූ ඔබෙන් අප ලබාගත් ආභාසය පිළිබඳ කෘතඥතාවයෙන්ද යුතු ව ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා