»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
නිදහස් චතුරශ‍්‍රයට ගියත් බහින්නෙ ටොරින්ටන්වලින්
 

නිදහස් චතුරශ‍්‍රයට ගියත් බහින්නෙ ටොරින්ටන්වලින්

 

නොමැකෙන පිය සටහන් තීරය මෙවර සොයායන්නේ මෙරට විවිධ ස්ථානවලට “නම්” යෙදුණ ආකාරය පිළිබඳවය.

මම ගියේ කත්තිරිනලයි ගෙදරට විතරයි.”

”උඹ රේන්ද ගෙදරට ගියේ නැද්ද.?”

”අනූ කොහොමද දන්නේ!” යි අසමින් තිස්ස සිනාසුණේය.

(මාර්ටින් වික‍්‍රමසිංහ –ගම්පෙරළිය)

”රේන්ද ගෙදර”! ගැමියන් හැඳින්වීමට එකල විවිධ නම් භාවිත වූවා සේම ඔවුන් වසන නිවෙස් හඳුන්වන්නට ද ගැමියෝ විවිධ නම් යොදා ගත්හ. ඒ ඒ නිවෙස්වල විශේෂත්වයක් හේතුකොටගෙන ගැමියෝ ඒ නම් තැබූහ. ගම්පෙරළියේ රේන්ද ගෙදර ද එවැන්නකි. අනුලා තිස්සගෙන් ප‍්‍රශ්න කරනුයේ ඔහු රේන්ද ගෙදර ගියාද යන්න ගැනය.

රේන්ද ගෙදර, උඩහ ගෙදර, පහළ ගෙදර, දෙහි ගෙදර, කන්දෙ ගෙදර, වෙලේ ගෙදර, මල් ගෙදර, ඉඳිආප්ප ගෙදර, යනාදී විවිධ නමින් ගැමියෝ එකිනෙකාගේ ගෙවල් හඳුන්වා ගත්හ.

ඇතැම් විටක නිවෙසේ නම නිවැසියාට නම් තබන්නටත් ගැමියෝ උපයෝගී කර ගත්හ. ගමේ හැම ගෙදරටම පාහේ නමක් වූ හෙයින් ගමේ බොහෝ දෙනකුට සිය නිවෙසේ නම පටබැඳුණි. එවැනි නම් කීපයක් ජේ.බී.දිසානායකයන් සිය “ගමක සුවඳ සිව් සිය ගවු ඇසේවා” කෘතියේ සඳහන් කොට තිබුණේ මෙපරිද්දෙනි.

”මේ අනුව පරණ ගෙදර මහත්තයා, අලුත් ගෙදර මැණිකේ, දෙවෙල් ගෙදර උන්දෑ, දෙල්ගහ මුල ගෙදර මුදලාලි, ඔයබොඩගෙදර හාමිනේ වැනි නම් ලැබිණි.”

”හෙට පොළට යන්ට හේන මාමලෑ ගෙදරින් මේස් බැනියම් ගෙනත් තියාපන්” යැයි තාත්තා ඊට කලින් දින සවස මට කියා තිබිණ. එවේලේ මා සිටියේ “දෙහි ගෙදර” ළමයිනුත් සමඟ ගුඩු පනිමිනි.”

(කේ.ජයතිලක – වජිර පබ්බත කෙටිකතා සංග‍්‍රහය)

හේනේ්මාමාගෙ ගෙදර හේනෙ ගෙදර විය. දෙහි තිබූ ගෙදර දෙහි ගෙදර විය.

ගමේ නිවෙසට එවැනි නම් තැබෙන විට නගරයේ නිවෙස්වලට නම් තැබිණි. බොහෝවිට ඒ නම නිවෙසේ පළමු දරුවාගේ නම ම විය. එසේත් නැතිනම් නිවෙසේ සාමාජිකයන් ගේ නම්වල මුලකුරු එකට ගලපා දැමූ නමකි. ඒ හැරුණු ෂට රිදී රේඛා, රෝස් විලා, සඳඑළිය, නෙළුම් විලා, පහන් ටැඹ යනාදී විවිධ නම්වලින් නිවෙස් හැඳින්විය. මේ නම් තැබීම වඩා පහසු වූයේ තැපැල්කරුවාට ය.

නිවැසියකුගේ පුද්ගල නමෙන් නිවෙස හැඳින්වෙන්නට පෙර පුද්ගල නාමයෙන් ජනපද හැඳින්වෙන්නට පටන් ගත්තේ මෙරට මුල්ම රජුගේ සමයේය. විජය රජුගේ ඇමැතියන් ජනපද හැඳින්වූයේ ඔවුන්ගේම නම්වලිනි.

ගමට නම හැදුන හැටි අපූරු විස්තරයක් සටහන්වනුයේ ජේ.බී.දිසානායකයන්ගේ “ගමක සුවඳ සිව් සිය ගවු ඇසේවා” කෘතියෙහිමය. ගමට නම වැටෙන ආකාරය ගැන ඔහු එහි තබා ඇති සටහන මෙබන්දකි.

හැම සිංහල ගමකටම නමක් ඇත. ගමකට නමක් දීමෙහිදී එහි භූමි ලක්ෂණ පමණක් නොව එහි වැඩෙන වෘක්ෂලතාදියත් එහි වෙසෙන සතාසීපාවුත් සැලකිල්ලට ගෙන ඇත. එසේම පළාතේ ඉතිහාසය ද ඇතැම් නමක සඳහන් වී තිබේ. සිංහලයාගේ චින්තනදාමය මෙන්ම නිර්මාණ කුසලතාව ද භාෂා නෛපුණ්‍යයද මේ නම් ගම්වලින් හෙළිවේ.”

ඒ අනුව බලන විට කේ.ජයතිලකයන් සිය “පුංචි පැළේ ගසවෙනා” කෘතියේ සඳහන් කළ පරිදි සිංහලයෝ දක්ෂයෝ වන්නේ් විකට නම් පටබැඳීමෙහිලා පමණක් නොවේ. ගමට නම පටබැඳීමෙහිලාත් ඔව්හු දක්ෂයෝය.

”මෙලකට ති‍්‍රසිංහල නම් වේ එදා සිට” නමින් සිය ඉහත කී ග‍්‍රන්ථයටම ලිපියක් සපයන ජේ.බී.දිසානායකයන් එකල මෙරට බෙදා වෙන්කළ නම් ද ඉන් නමක් වෙනස් වූ අයුරු ගැන ද මෙසේ සටහන් තබා තිබේ.

”ගමක් පිහිටන්නේ රටක් ඇතුළතය. අපේ රට හැඳින්වීමට ජනවහරේ යෙදෙන්නේ තුන් සිංහලය යන නමයි. ඊට හේතුව අපේ රට සිංහල දවස පිහිටි රට, මායා රට, රුහුණු රට යනුවෙන් රටවල් තුනකට බෙදා තිබීමයි. මහරජතුමා සිටි රට කෙමෙන් රජරට බවට පෙරළිණි. ඊටම වැව්බැඳි රාජ්ජේ යන නමද යෙදිණි.

කෙසේ වුවද සිංහලයෝ ගමට නම් තබන්නට කටයුතු කළ ආකාරය ගැන තවදුරටත් විමසා බැලීම වටී. ආර්.එල්.බ්‍රෝහියර් ගේ ග‍්‍රන්ථ කීපයකම ඔහු සඳහන් කර ඇති ගම් පෙදෙස්වලට පමණක් නොව වැව්, ගංගා, කඳු, පර්වත ආදියට පවා නම් යෙදුණ ආකාරය ඒ සමඟ බැඳී ඇති පුරාවෘත්ත සමඟ විස්තර කෙරේ.

ආර්.එල්.බ්‍රෝහියර්ගේ ‘බ්‍රෝහියර් දුටු ලංකාව‘ (Seeing Ceylon - පරිවර්තනය අභය හේවාවසම්) නැමැති කෘතියේ “යෝධයගේ වැව සහ අකට්ටිමුරයිප්පුව“ නැමැති ඡේදය යටතේ ගමකට නම් යෙදෙන්නට හේතු වූ කරුණු ගැන සඳහන් වේ. ඒ මෙසේය.

”මෙසේ සෞභාග්‍යවත්ව තිබූ උතුරුමැද පළාත පාළු ප‍්‍රදේශයක් බවට පත්වූයේ වරින් වර පැමිණි කොල්ලකරුවන්ගේ අණසකට නතුවෙමිනි. නීතිය අණගුණ නොසලකන කොල්ලකරුවන් අතට පත්වීමේ හේතුවෙන් මේ දිස්ති‍්‍රක්කයට අඩංක පත්තුව (කොල්ලකරුවන්ගේ රට) යන නම ලැබිණි. මෙය ඉන්දියාවෙන් පැමිණි වන්නියවරුන්ගේ වාසභූමිය වූයේ අද වන්නිය යනුවෙන් හැඳින්වේ.

ගල්කිස්සට නම හැදුණු ආකාරය ගැන ද ගල්කිස්ස වෙරළ භාවිතා වූ නම ගැනද බ්‍රෝහියර් ඉහත කී සිය කෘතියේ සඳහන් කර තිබුණි. ඒ අනුව කොළඹින් සැතපුම් හයක් දකුණට වන්නට පිහිටි ගල්කිස්ස වෙරළ හඳුන්වා ඇත්තේ ”ගැබ්ගත් ගැටිස්සී” යන නමිනි. නැවක උඩ තට්ටුවේ සිට නරඹන විට මේ වෙරළ දිස්වනුයේ ඉදිරියට නෙරා ගිය කාන්තා උදරයක් ලෙස වීම මේ නම් කිරීමට හේතු වී තිබේ.

බ්‍රෝහියර් පවසන පරිදි මෙලෙස පෙනෙන්නේ නැවේ උඩ තට්ටුවට නම් මේ නම යොදන්නට ඇත්තේ නාවිකයන්ය. ඒ අනුව බලනවිට නම් තනන්නට දස්සයෝ සිංහලයෝ ම පමණක් නොවෙති. දහඅටවන සියවසේ ලියකියවිලි පවා මෙනමින් ගල්කිස්ස වෙරළ හදුන්වා දී ඇති බව බ්‍රෝහියර් පවසයි.

ගල්කිස්ස වෙරළෙහි නම ගැන මෙන්ම ගල්කිස්ස යන නම් සැදුන ආකාරය ගැනත් කතා කීපයක් බ්‍රෝහියර් සිය කෘතියේ සටහන් තබා ඇත.

ජේ.බී.දිසානායකයන් ගමට නම් හැදෙන හැටි සඳහන් කර ඇති තවත් අපූරු විස්තරයක් ඉහත කී කෘතියෙහි වේ. එය මෙසේ ය.

”කඳු අතරින් ගලා බස්නා දිය පාර ‘කඳුර”ය. එබඳු ලොකු කඳුරක් ළඟ පිහිටි ගම මාකඳුර විය. .... ඇළ මෙන්ම ඇල්ල ද ගමට නමක් දුන්නේ ය. ජාඇල, හාලිඇල මෙන්ම කිරිඇල්ල, නිරිඇල්ල. ගැරඩිඇල්ල ඉතා ප‍්‍රසිද්ධ ගම්ය.”

වෘක්ෂලතා ලෝකයට අයිති දෑවලින් නම් හැදෙන හැටි ද අපූරු ය. අල- අලදෙණිය, කොස්-කොස්ලන්ද, දෙල් - දෙල්ගොඩ, පොල්- පොල්පිටිමූකලාන, වරකා - වරකාපොල, ජම්බු - ජම්බුගස්පිටිය, පුවක් –පුවක්මොටේ, යනාදී ඕනෑතරම් නම් ලංකාවෙන් සොයාගැනීම අපහසු නැත.

මෙරටට පැමිණි විවිධ මට්ටමේ විදේශිකයෝ ද අපේ රටේ නම්ගම් ගැන සෙවූහ. 1895 මෙරටට පැමිණි මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සිය (Ceylon Tagebuchblatter and Reiseerinner Ungen (ගයිගර් දුටු ලංකාව - පරිවර්තනය සුදන්තක පී.විජේතුංග) නමැති කෘතියේ එවැනි නම් ගම් ගැන වරින් වර සඳහන් කර තිබේ.

කුරුණෑගල “ඇතාගල” පිළිබඳව ඔහු තබා ඇති සටහන මෙබඳුය.

”නගරය ආසන්නයේම ඊට නැඟෙනහිර දෙසින් මීටර් තුන්සියයක් පමණ උස හුදෙකලා පර්වතයක් වෙයි. මේ පර්වතය හැරුණු විට අවට වටපිටාව සාරවත් වෘක්ෂ ලතාවන්ගේ් රජදහනකි. ප‍්‍රදේශවාසීන් විසින් මේ ගල ඇතාගල වශයෙන් හඳුන්වන අතර එහි තේරුම “අලියකුගේ හැඩය ගත්” යන්නයි. මේ ගල්පර්වතය දෙස අවධානයෙන් බලන විට තැනිතලාවක් මැද සිටින අලියකුගේ හැඩය සිතේ් මවා ගත හැකි නිසා මේ නම නිර්මාණය වී ඇතැයි සිතා ගැනීම අසීරු නොවේ.”

ඇතාගල හැරුණුවිට ඊට උතුරු දෙසින් එක පෙළට දිවෙන තවත් කුඩා පර්වත කීපයකට නම් වැටුණ ආකාරයත් ගයිගර් සිය කෘතියේ විස්තර කර ඇති හැටි අපූරු ය. මේ පර්වතවල ඇති සුවිශේෂත්වය ලෙස ඔහු දකින්නේ ඒවායෙහි ස්වාභාවික හැඩය අනුව උපකල්පනය කළ විවිධ සතුන්ගේ ”නම්” වලින් මේ පර්වත හැඳින්වීමයි. ගයිගර් ඒ පිළිබඳ තබා ඇත්තේ මෙවැනි සටහනකි.

”මේ අනුව ඇතාගලට සමීපයෙන් ඇති පර්වතය, ”ඉබ්බාගලයි” ඊට එහායින් ”කුරුමිණියාගල” වන අතර ඊටත් එපිටින් ගල්වැටි අතර ලොකු පරතරයකින් පසු හමුවන්නේ ”ආඳ්‍රගලයි”. මේ සියල්ලම එපිටින් අවසානයේ නැවතත් හුදෙකලාවූ මී වදයක හැඩය ගත් ගලක් වේ. එය නමින් ”යක්දෙස්සාගල” වේ.

”යක්දෙස්සාගලට” නම වැටීම මෙරට ඉතිහාසයේ ආරම්භක සන්ධිස්ථානයක් කරා අප ගෙන යයි. එනම් විජය රජුගේ ආගමනයත්, ඔහු හා විවාහ වූ කුවේණියගේ ඉරණමත් ගැනය. විජය කුමරා විසින් කුවේණිය හා දරුවන් පළවා හරිනු ලැබීමෙන් පසු තමන්ට හා දරුවන්ට විරුද්ධ විජය කුමරාට දෙස්දෙවොල් තැබීමට ඇය මේ ගල මුදුන යොදා ගත් බවට ජනප‍්‍රවාදයේ වේ.

මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් අපේ රටේ නොයෙක් තැන්වලට නම් වැටුණ ආකාරය ගැන ඉහත කී අයුරින් කළ විස්තරය අපට ආගන්තුක නොවන්නේ ඒවා ඔහු වැනි පිටරැටියන් නොව අපේම මුතුන්මිත්තන් ගේ නිර්මාණශීලී නම් තැබීම් නිසාය. වෙනෙකක් තබා අපට ඔවුන් වැනි පිටරැටියන්ගේ නම් ද ආගන්තුක නොවන තරමට සමීප වී ඇත්තේ වසර සිය ගණනක් අප විදේශිකයන්ගේ යටත් වැසියන් වූ නිසා ය.

බාර්න්ස් පෙදෙස වෝඩ් පෙදෙස, ටොරින්ටන් චතුරශ‍්‍රය, හෝර්ටන් තැන්න, මැනිං වෙළෙඳපළ, මැකලම් පාර, වේල්ස් කුමාර වීදිය යනාදී නම් අපට නුහුරු බවක් හෝ ආගන්තුක බවක් නොදැනෙන තරමට සමීපය. මේ බොහෝ වීදි හා ස්ථානවලට දේශීය නාමයන් යොදා තිබුණ ද නව පරපුර පවා ඒවා හඳුන්වන්නේ පැරැණි විදේශිකයන්ගේ නම්වලිනි. නිදහස් චතුරශ‍්‍රයේ බස් නැවතුමේ දී බසයෙන් බසින මඟියා තවමත් කොන්දොස්තරට කියන්නේ “ටොරින්ටන් බහිනවා” යන්නෙනි. කොන්දොස්තර කෑ මොර දෙන්නේ් ද ටොරින්ටන් බසින උදවියට ඉදිරියට යන ලෙසය.

සැබෑම කතන්දරය නම් ලංකාවේ ස්ථාන, වීදි, ආදිය හැඳින්වීමට වර්තමානයේ යොදන දේශීය “නම්” අපේ බොහෝ ස්වදේශිකයන් නොදැන සිටීමය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා