»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
තිලකය
 

තිලකය

 

පරිණාමා

දහඩිය පෙරාගෙන මහදහවල ගින්නේ

වැලිබත් උයන අවදියෙ ගෙයි පිළිකන්නේ

මා ඇය දුටුව බව ඇය කොහොම ද දන්නේ

හඳ වාගෙයි එ දා ඈ බැබළුණු පින්නේ

 

ඇගෙ නෙත අහිංසක රසයට උල්පත ය

ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල් වෙත ය

සඳ හිරු පළමු බැලුවේ ඇගෙ පැල්පත ය

එහි හැම තැන ම මිහිරිගෙ සුරතල් වත ය

 

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට හැරේ

තොල් පැහැ පෙනේ ගම අහසේ බහින ඉරේ

පවතී මිහිරි බව ඇගෙ පරිසරය කෙරේ

ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර පොරේ

 

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි වෙලුණූ

රන් තරුවක් වගෙයි කිරි මුහුදෙයි ගිලුණූ

ඇගෙ යටි පතුලෙ වැද යන එන තැන තැලුණූ

වැලි කැට තිබේ හිරියල් පාටට දිලුණූ

 

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද පිපුණූ

වන මල් ගැන කීහ ගම සමහර ගැහැනූ

ඇගෙ කටහඩින් ඉපනැලි තුළ ගොනු ගැසුණූ

සුමිහිරි තාල කවදාවත් නැත නැසෙනු

 

පරිනත යොවුන් වයසේ විළි බර ව සිටී

ඇය මම දිටිමි මුළු ගම බබළවන හැටී

හැසිරෙනු දිටිමි රන් රස ආලයක වැටී

ඇය දැන් තනි ව විසු දවසට වැඩිය වටී

 

කලකට පසුව යළි මම ඇය දිටිමි එදා

ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු හදා

හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට මුදා

ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු දදා

 

අවසන් වරට මවිසින් ඇය දුටු දවස

ඇය පිරිවරා වැලපුණි හිත ඇති පිරිස

සුව සේ වෙසේවයි දුරු කරගෙන වෙහෙස

සොහොනක් කෙළෙමි මගෙ හදවත ඇය පිණිස

සාගර පලන්සූරිය

(විසිවුණු තරු)

මේ කවිය.....

මිනිස් ජීවිතය සැප දුක හා සොම්නස දොම්නස අතර දෝලනය වෙමින් පරිණාමයට පත්වන අයුරු එක් දැරියකගේ ජීවිතයෙහි බාල, තරුණ, මහළු යන අවදි තුන ඇසුරින් නිරූපණය කරමින් සාගර පලන්සූරිය කිවිඳුන් විසින් රචිත ‘පරිණාමා’ පහන් සංවේගය දනවන සුමිහිරි පද්‍ය රචනයකි. සමස්ත ජීවිතයෙන් තෝරාගත් සිද්ධි කිහිපයක් පාදක කර ගනිමින් කාව්‍යමය කෙටිකතාවක ස්වරූපයෙන් පරිකල්පිත මෙම නිර්මාණයෙන් කවියාගේ උචිතානුචිත විවේකී බුද්ධිය හෙවත් ව්‍යුත්පත්තිඥානය ප‍්‍රදර්ශනය වේ.

උපයුක්ත කාව්‍ය සන්දර්භයට අනුව ඔහු පළමු වරට ඇය දකින්නේ වැලිබත් උයන අවදියේ ය. මහ දහවල ගින්නේ දහදිය පෙරාගෙන සිටි නමුදු ඈ එදා ඔහුට දිස්වන්නේ පින්නේ බැබළුණු සඳක් මෙනි. දහදිය පිනි ලෙසත් ඇය සඳක් ලෙස නිරූපණය කරන නමුදු ‘දහදිය පෙරාගෙන’ යන යෙදුම රසික මනසෙහි ප‍්‍රතිරෝදයක් ඇති කිරීමට ද හේතු විය හැකිය. එහෙත් කථකයා ඇය කෙරෙහි දක්වන වත්සලතාව නිසා මෙම හැඟීම සමනය වී සඳක ශෝභාවෙන් ඇගේ සුන්දරත්වය දැකීමට හැකිවේ. කවියා ඇගේ රූසිරි අතිශයෝක්තියට නඟා වර්ණනා කරයි.

ඇගේ නෙත අහිංසක රසයට උල්පතකි. මල්වල ඈගේ මොළකැටි ගතිය රැඳී ඇත. සඳ හිරු පළමුවෙන් බලන්නේ ඇගේ පැල්පත ය. පැල්පත පුරාම දිස්වන්නේ ‘මිහිරියගේ සුරතල් මුහුණය’ කවියා යොදාගන්නා මේ කාව්‍යෝක්ති විරිත හා රිද්මය සංයෝග වීමෙන් ඇතිවන ආනන්දනීය හැඟුම් නිසා රසිකයා ද ඇයට සමීප වේ. ඇගේ රූසිරි මනසින් දකී. කෙමෙන් ඇය නව යොවුන් වියට පත් වූ අයුරු ඇගේ රූසිරිත් පරිසරයත් සුසංයෝග කරමින් සිදු කරන සෞන්දර්ය නිරූපණය චමත්කාර ජනකය.

‘රත්පැහැති නා දලු ඇගේ නෙත් පහර වැද නිල් පැහැ ගන්නේ ඇගේ සුනිල දෑසේ කාන්තියෙනි. ‘ගම අහසේ බසින හිරෙන් ඇගේ තොල්වල පැහැය දිස්වේ. ඒ සුරත් දෙතොලේ නිමල පැහැය වැනු අයුරු ය. ඇගේ ලිහිල් බව පරිසරයේ රැඳී පවතී. ඇය පරිසරය මෙන් සුමිහිරි ය. “ඇය ඇති තැන දි වැඩි මීමැසි බඹර පොරේ” යනුවෙන් ඇගේ ආකර්ශණීය යෞවනයේ සෞභාග්‍ය නිරුපිතය. එය විවිධ ධ්වනිතාර්ථ නගන යෙදුමකි.

ඔහු ඉන්පසු නව යොවුන් වියෙහි වෙළුණු ඇය දුටු බව පවසයි. ‘වේළුණු’ යන්න සංකල්ප රූප දනවන යෙදුමකි. එදා ඔහුට ඈ දිස්වන්නේ “කිරි මුහුදේ ගිළුණු රන් තරුවක් ලෙසිනි” ඇගේ වර්ණ සෞන්දර්ය කෙතරම් ද කිවහොත් ඇගේ පයට පෑගෙන වැලිකැට හිරියල් පාට ගෙන තිබේ. එයින් ගම්‍ය කරන්නේ ඇගේ දෙපතුලෙහි වූ පැහැපත් රත් පැහැයෙහි සොඳුරු බවයි. දැන් ඇය කාගෙත් කතා බහට ලක්ව සිටී. සමහර ගැහැනු ඇගේ නෙත් කොනින් ආ මදලස වැද පිපුණු වනමල් ගැන කීහ. ඇගේ රූ සපුව දුටුවන් පොලඹවන සුලු ය.

ඇය කෙතේ දි ගැයූ ගොයම් කවිවල මිහිරි තාල ඉපනැලි තුළ ද සදාකාලිකව රැඳී පවතී. මෙම අපූරු කියමන් වල සමස්තාර්ථය ඇගේ සුන්දරත්වය සහ ප‍්‍රියශීලි භාවය පිළිබඳ හැඟීම් සන්තතියක් ඇති කිරීමට සමත් වේ. කවියා අනතුරුව දකින්නේ පරිණත යොවුන් බවට පැමිණි විළිබරව සිටි ඇය මුලු ගමම බබළවන ආකාරයයි. දැන් ඇය සොඳුරු පෙමක බැඳී සිටින්නීය. ‘රන්රස ආලයක’ යන්නෙන් ඒ බව ගම්‍ය වේ. ද්විත සංයෝගය ලොව වඩාත් සුන්දර කරවයි. ඈ විවාපත් වූ බව අඟවන්නේ “ඇය දැන් තනිව සිටි දවසට වැඩිය වටී” යන යෙදුමෙනි. තවත් කලකට පසුව කථකයා ඈ දකින විට ඇය දරු සිව් දෙනකු හදා ඇති ගැහැනියකි. කවියා ඇයට ‘මවකි’ නොකියා ගැහැනියක යැයි යෙදීම නිසා ඇගෙන් සමස්ත ජීවිතය සංකේතවත් කෙරෙයි.

අවසන් වරට කථකයා දකින්නේ ඇගේ අභාවය හෙවත් මරණයයි. ඇය පිරිවරා සිට ඇති පිරිස වැලපුණ බව පැවැසීමෙන් ඒ බව ගම්‍ය කෙරේ.
 

“සුවසේ වෙසේවයි දුරු කරගෙන වෙහෙස

සොහොනක් කළෙමි මගෙ හදවත ඇය පිණිස”

කවියා ඇය වෙනුවෙන් උපදවන හැඟීම් දයාබරය. ඇයට සැතපෙන පිණිස සිය හදවත සොහොනක් කරයි. අනුක‍්‍රමයෙන් පරිණාමයට හා විපරිණාමයට පත්වන ජීවිතය අනියත වේ. මරණය නියත වේ. එහි නිරන්තර මරණානුස්මෘතිය සිතින් බැහැර නොයන බව “සොහොනක් කළෙමි යන යෙදුමෙන් ධ්වනිත කෙරේ. මෙම නිර්මාණය රස විඳින සහෘදයන්ට පෙර පර දෙදිග සෞන්දර්යවාදි කවීන් ගේ මෙවන් නිර්මාණ පිළිබඳ සිහිපත් වනු ඇත. එහෙත් ඒ අතුරෙන් ‘පරිණාමා’ නිර්මාණයෙන් බෞද්ධ සෞන්දර්යවාදය පිළිබඳ සංකල්පය ඉතා මැනැවින් පිළිබිඹු කෙරේ. ලෝකය හා ජීවිතය පිළිබඳ ආස්වාදයක් එහි ගැබ්වී ඇති අතර නිරානන්දයක් අනිත්‍යතාව පිළිබඳ පහන් සංවේගයක් සහෘදයා තුළ ජනිත කරවන්නට සමත් වෙයි. එහෙයින් කිවියර සාගර පලන්සූරියගේ පරිණාමා නම් නිර්මාණය සහෘදයා ආනන්දයෙන් ප‍්‍රඥාව වෙත රැගෙන යන අපූර්ව නිර්මාණයක් ලෙස අගය කළ හැකි ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා