»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2011 ජුනි 26 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 19 දින
* 2011 ජුනි 12 දින
* 2011 ජුනි 05 දින
* 2011 මැයි 29 දින
* 2011 මැයි 22 දින
* 2011 මැයි 15 දින
* 2011 මැයි 08 දින
* 2011 මැයි 01 දින
* 2011 අප්‍රේල් 24 දින
* 2011 අප්‍රේල් 17 දින
* 2011 අප්‍රේල් 10 දින
* 2011 අප්‍රේල් 03 දින
* 2011 මාර්තු 27 දින
* 2011 මාර්තු 20 දින
* 2011 මාර්තු 13 දින
* 2011 මාර්තු 06 දින
* 2011 පෙබරවාරි 27 දින
* 2011 පෙබරවාරි 20 දින
 
 
   
දොස් - නිදොස් විශ්ලේෂණය
 

දොස් - නිදොස් විශ්ලේෂණය

 


 

ඩී. එෆ්. කාරියකරවන

දොස් දැකීම

අක්ෂර වින්‍යාසය, පද සාධනය හා වාක්‍යකරණය යන ආදිය පිළිබඳ ව පුවත්පත් වලත් පුංචි තිරයෙහිත් දකින්නට ලැබෙන වැරැදි විශ්ලේෂණය කැරෙන මේ තීරු ලිපියෙන් කොතරම් දුරට වැඩක් වේද?

මෙය තමන්ට ඉතා ප‍්‍රයෝජනවත් යැයි පවසන්නවුන් ගෙන් ඉතා වැඩි දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති. එසේ මෙවැන්නකින් වත් වැඩක් නො ගන්නා සිසු සිසුවියන් ද බොහෝ විය හැකි ය. අප විසින් කරන ලද සෙවුම් - බැලුම්වලදී පෙනී ගියේ දැන් සිංහල හෝඩියේ අකුරු ගණන කීය දැයි හරි හැටි පවසන්නට බැරියවුන් ද ඉන්නා බවෙකි.

මිශ‍්‍ර සිංහල හෝඩියේ අකුරු ගණන වරින් වර වෙනස් වූ බව ඇත්තකි. එහෙත් අප අද පිළිගත යුත්තේ අධ්‍යාපන කාර්යාංශයේ ද පිළිගැනුණු අකුරු හැට (60) ය. හරි නම් හැම සිසුවකුට ම මේ හැට කටපාඩම් තිබිය යුතු ය. එසේ ම ඒ ඒ අකුර ලියන හැටි දැනගත යුතු ය. එසේ ම ඒ ඒ අකුරේ නම දැනගත යුතු ය. එසේ ම ඒ ඒ අකුර උසුරුවන අන්දම දැනගත යුතු ය.

අද මේ අකුරු හැටක් වන හෝඩිය නො ව ඊට අඩුවෙන් වූ කාලේ ද අකුරු ටික හරි හැටි දැන හැඳින ගත් සිසුහු කීදෙනෙක් නම් වූවෝ ද? ඔවුන් ඇතැමකු සිංහල හෝඩියේ ප‍්‍රාණාක්ෂර හැඳින්වූයේ කැපිටල් (Capital) යන නමිනි. ගාත‍්‍රාක්ෂර ඔවුනට සිම්පල් Simple) විය. තව ඇතැමකුට මූර්ධජ ණ හා ළ කැපිටල් විය. න හා ල දන්තජ විය.

සයන්න ඔවුනට නිකම් ස යන්න විය. මූර්ධජ ‘ෂ’ යන්න ප යනු ස යන්න විය. තාලුජ ‘ශ’ යන්න ගයනු සයන්න ය. ඒ ඒ අකුර උච්චාරණය කරන හැටි නම් කොහෙත් ම නො දත්හ. න - ණ හා ල - ළ දෙකන් උසුරු වන ලද්දේ කිසි ම වෙනසක් නැතිව ය. එසේ ම ස - ෂ - ශ යන අකුරු උසුරුවන ලද්දේ ද එකම ආකාරයකිනි.

මේ තත්ත්වය නැති කිරීම පාසලේදී සිදුවිය යුතු ය. ප‍්‍රශ්නය නම් අද ඉන්නා ගුරුවරුන් හැම දෙනාට ම මේ වැඩේ කරනු හැකි ද යන්නයි.

සිරසක හැටි

“චැනල් ෆෝ වීඩියෝ පටිය

ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කරයි”

ගිය සතියේ පත්තර සිරසෙකි. මේ කියන්නේ කිමෙක් ද? මේ කියන්නේ කිමෙක් දැයි තේරෙන්නේ වීඩියෝ පටයකට ලංකාව ප‍්‍රතික්ෂේප කරන්නට බැරි නිසා ය.

එහෙත් මෙය කිය යුතුව තුබුණේ, ශ‍්‍රී ලංකාව චැනල් ෆෝ වීඩියෝ පටිය ප‍්‍රතික්ෂේප කරන බව ය. අකුරුවල ප‍්‍රමාණය හා තීරු ගණන අනුව එය දුෂ්කර කරුණක් විය හැකි බව සැබැවි. එහෙත් දක්ෂ උප කතුවරයකුට වෙනත් වචනවලින් වෙනත් අන්දමකට කිය හැකි ය.

ඒ නැතිව මේ වචන ටිකෙන් ම වුව ද ඇද නැතිව සිරස යෙදිය හැකි ක‍්‍රමයක් තිබේ. ඒ මෙසේ ය.

“චැනල් ෆෝ වීඩියෝ පටය ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රතික්ෂේප වේ”

වීඩියෝ පටයත්, ශ‍්‍රී ලංකාවත් පුද්ගල නාම දෙකක් නො වන නිසා මුල් සිරස ඒ තරම්ම අවුලක් නො වූයේ.

හතළිහ

“ජගත් කී‍්‍රඩා උළෙලට කෝටි හතලිස් දාහක්

වැය කරන්න සූදානම්”

සති අන්ත පත‍්‍රයෙක සිරස් තලයෙකි. මේ රටේ මේ තරම් දැවෙන ප‍්‍රශ්න තිබියදී කී‍්‍රඩා උත්සවයකට කෝටි හතළිස් දාහක් වැය කිරීම වැරැදි බව සැබැවි.

‘හතලිස්’ යන වචනය ද වැරැදියි. මෙය නිවැරැදි වන්නේ ‘හතළිස්’ යනුවෙන් යෙදුණු කල්හි ය. ඒ වචනයේ තුන් වැනි අකුර මූර්ධජ විය යුතු ය.

අමාත්‍යවරු

“කොළඹ හෝර්ටන් පෙදෙසේ අධිසුඛෝපභෝගී නිවෙසක් මාසික කුලී පදනමක් යටතේ ලබාගෙන එහි ජීවත් වන එක්තරා අධීක්ෂණ මන්තී‍්‍රවරයකු පිළිබඳ ව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අතර විශාල කසු කුසුවක් පවතින බව දැනගන්නට තිබේ.”

මෙහි අමාත්‍යවරු අතර යන්න වැරැදි යෙදුමෙකි. ‘වරු’ යන්න උක්ත රූපයෙකි. එහෙත් එය මෙහි උක්ත නොවේ. උක්ත නො වන බැවින් එතැන විය යුත්තේ අමාත්‍යවරුන් යන වචනයයි.

නම් ‘නං’

“අපට ගුරුවරු නං නෑ”

මේ පසුගිය සතියේ අපට දකින්නට ලැබුණු පුවත්පත් සිරසෙකි.

මෙහි මේ ‘නං’ කියන්නේ ‘නම්’ යනුවෙන් යෙදිය යුතු තැනට ය. ‘මම’ යන අදහස දෙන ‘මම්’ යන්නෙහි ‘ම්’ වෙනුවට ‘ං’ යොදන්නාක් මෙනි.

පසුබැසීම

“එංගලන්ත පන්දු යවන්නන් හමුවේ - ශ‍්‍රී ලංකාව පසු බසිති”

මෙය ද පුවත්පත් සිරසෙකි. “ලංකාව පසු බසිති” යි කියන්නේ, දැන් ‘බහු වෙලා’ ඇති හෙයින් ද? ‘ලංකාව පසු බසී’ හෝ ‘බසියි’ යනුවෙන් නො කියා ‘බසිති’ යි කීම බහු බූතයක් නො වේද?

පදිකවේදිකා

තවත් පත‍්‍රයෙක ‘පේවුමන්ට් කාරයෝ’ යන්න අලි අකුරෙන් දකින්නට ලැබිණි.

‘පේවුමන්ට්’ යන්නට ‘පදික වේදිකා’ යනුවෙන් අපූරු වචනයක් තිබේ. ඒ නිසා එය කිය යුතුව තුබුණේ පදික වේදිකා කාරයෝ’ කියා ය. එය වූයේ වෙළෙඳුන් ගැන නම් කිය යුතුව තුබුණේ ‘පදික වෙළෙන්දෝ’ හෝ යෙදෙන තැන අනුව ‘පදික වෙළෙඳුන්’ හෝ කියා ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා