දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»

සිබිල්ගේ කුඩ හොරා හැට වසකදී ලෝ පුරා යයි

සිබිල්ගේ කුඩ හොරා හැට වසකදී ලෝ පුරා යයි

ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ චිත්‍ර ශිල්පි‚ සිබිල් වෙත්තසිංහගේ "කුඩ හොරා" ග්‍රන්ථයට වසර 60ක් පිරීම නිමිත්තෙන් අප්‍රේල් මස 7 දින සිට 10 දින දක්වා කොළඹ කලා භවනේදී පැවැත්වීමට නියමිත "කුඩ හොරාට 60යි" නම් වු කලා උලෙළ නිමිති කොට මෙම ලිපිය ලියැවේ.

1956 වසරේ එච්.ඩී. සුගතපාලගේ නව මඟ පාසල් පොත් පෙළෙහි පළමු වැනි අතිරේක කියවීමී පොත වශයෙන් සීමාසහිත කොළඹ ඇපොතිකරිස් සමාගම මඟින් ප්‍රකාශිත වුවද, මෙම මාහැඟි නිර්මාණය බිහිවුයේ ඊට වසර 3කට පෙර "ජනතා" පුවත් පතෙහි ළමා පිටුව අතිරේකයෙනි.

"කුඩ හොරා" කතාව සහ චිත්‍ර සිබිල් වෙත්තසිංහයන්ගේ වන අතර මෙම අතිරේක කියවීම් පොත පිළියෙල කරන ලද්දේ "නවමග" පොත් පෙළෙහි සංස්කාරක එවකට කොළඹ රාජකීය ප්‍රාථමික විදුහල්පතිව සිටි එච්. ඩී. සුගතපාලගේ මෙහෙයවීමෙනි. එම ග්‍රන්ථයෙහි ප්‍රථම මුද්‍රණයෙහි සඳහන් පරිදිම එහි ඇති චිත්‍ර ශිෂ්‍යයන්ට පාට කිරීමට හැකි වන පරිදි විශේෂයෙන් තෝරාගත් කඩදාසියක මුද්‍රණය කර තිබිණි "කීයවීමට අලුතින් ඉගෙනගන්නා වැඩිහිටියන්ගේ පරිහරණයටත් සුදුසුය" යනුවෙන් එහි සඳහන් වී තිබීමද විශේෂයකි.

මෙම පොතෙහි ඇතුළත සිතුවම් සහිත පෙළ කළු සුදු වර්ණයෙන්ද, පිට කවරය ඝන කඩදාසියක අලංකාර ලෙස බහුවර්ණයෙන් මුද්‍රණය කර ඇත්තේ පිටරටින් එන ළමා පොත්වල පෙනුමට සමීප වන අයුරිනි. "කුඩ හොරා" පොත මුලින්ම 1956දි ඉදිරිපත් කරන විට ශ්‍රී ලංකාවේ ළමයින්ගේ සාහිත්‍ය දැනුම වැඩෙන අවදියක තිබිණි. එකල මිලදි ගත්තේද පාසල විසින් නියම කරන ලද අවශ්‍ය පොත් පමණක් බව "කුඩ හොරා "පොත පිළිබඳ විචාරයක් කළ රෙජි සිරිවර්ධයන් සඳහන් කර ඇත. පාසල් පොත්පත් වලට අමතරව අතිරේක කීයවීම් පොත් පෙළක අවශ්‍යතාව එච්. ඩී. සුගතපාලයන්ට එකල අවබෝධ වී තිබිණි "කුඩ හොරා" ප්‍රථම මුද්‍රණය මිල කර තිබුණේ සත 50කටය. සුගතපාලයන්ගේ නවමඟ පොත් පෙළ මිලදී ගන්නා ගැනුම්කරුවන්ට සුදුසු පරිදි හොඳ නිමාවකින් යුතුව මෙය පොත් සාප්පුවල ප්‍රදර්ශනය කර තිබූු බවද රෙජී සිරිවර්ධනයන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කුඩ හොරා සිංහල ළමා සාහිත්‍යයට නව ඇරඹුමක් විය.

පසුගිය වසරේ 88 වැනි වියට පා තැබු සිබිල් වෙත්තසිංහ, එසේත් නැති නම් සිබිල් නැන්දා පිළිබඳ සිංහල පාඨකයාට හෝ රටේ ජනතාවට යළි යළිත් හඳූන්වාදීම අනවශ්‍යය. අපේ රටේ කුඩා දරුවන් පමණක් නොව ජපානය, කොරියාව, ඩෙන්මාර්කය, චීනය, එක්සත් ජනපදය වැනි ඈත විදෙස් රටවල දු දරුවන් පවා සිබිල් නැන්දා ගැන අද දන්නා හෙයිනි.

1946 දී නවමග පාසල් පෙළ පොතට සිතුවම් ඇඳීම සිබිල්ගේ ජීවිතයම නවමඟකට යොමු කිරීමට හේතු විය. මෙම පොතට සිබිල් නිර්මාණය කළ අපුරු වර්ණ නිදර්ශන චිත්‍ර ශෛලිය එකල මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු බොහෝ විද්වතුන්ගේ ප්‍රසාදයට හේතු විය. ඒ නිසා තරුණ අවදියේදීම වෘත්තිය චිත්‍ර ශිල්පිනියක වශයෙන් ලංකාදීප පුවත්පතට බැඳී සේවය කිරීමට ද ඇයට අවස්ථාව ලැබිණ. ඇයගේ සහජ හැකියාව ලංකාදීප පත්‍රයට ඇය "ජන කවි" සඳහා නිර්මාණය කළ චිත්‍ර මඟින් වේගයෙන් ඉදිරියට ගලා ගිය අයුරු පෙනි යයි. තම ළමා කාලය ගත කළ ගැමි පරිසරයද ඇයට පුරුදු ගැමි චරිත මඟින්ද නව ශෛලිය තුලින් ඉදිරිපත් කිරීමට ඇයට හැකි විය.

එකල පාසල් පෙළ පොත් අතරට පැමිණ තිබුණු ඩී. එස්. සී. පනාගොඩ සහ කේ. ජී. පෙරේරා සංස්කරණය කල "පද්‍ය රසය" පොත් පෙළට සහ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "අපේ ගම" වැනි පොත් සඳහා නිදර්ශන චිත්‍ර්‍ර හා පොත් පිටකවර ආදිය නිර්මාණය කිරීමේ අවස්ථාව සිබිල්ට ලැබිණ.

1952 වන විට ලේක්හවුස් ආයතනයේ සේවයට එන ඇයට එහි පළ වන සියලුම ප්‍රකාශනවලටත් "සන්ඩේ ඔබ්සර්වර් වාර්ෂික සඟරාව" ආදියටත් චිත්‍ර ඉදිරිපත් කිරීමට හැකි විය. මේ සිතුවම් අධ්‍යයනය කිරීමේදි පෙනෙන්නේ ඇය එකල සිටි ප්‍රවීණ ශිල්පීන් භාවිතා කළ ග්‍රැෆික් ක්‍රමවේදයේ සියල්ලම ඉතා දක්‍ෂ ලෙස භාවිතා කර ඇති බවය.

පාසල් අධ්‍යාපනය හැර කිසිම ආයතනයකින් චිත්‍ර කලාව හදාරා නොතිබුණු ඇය තම පෑන් තුඩින්, පින්සලෙන් පමණක් නොව විවිධ පසුතල ලබාගැනීමට අවශ්‍ය වන පරිදි ටින්ට් කඩදාසි භාවිතා කිරීමෙන් ද නිපුණතාවක් පෙන්වූවාය.

කුමාර මණ්ඩපය, ළපටි පෙළ, සිළුමිණ ළමා පිටුව, කමලා ළමා සමාජය ආදී පිටු සැරසීම සඳහා ඇය නිර්මාණය කර ඇති චිත්‍ර සංඛාව අතිවිශාල වේ.

1953 දී ජනතා පත්‍රයෙන් ප්‍රථම වරට තමාගේ කථාවක් චිත්‍ර සමග ඉදිරිපත් කරන්නට ඇයට අවස්ථාව ලැබිණි. ඒ වාසනාව ඇයට ලැබෙන්නේ එකල ජනතා පත්‍රයේ උප ප්‍රධාන කර්තෘ ධර්මපාල වෙත්තසිංහයන්ගේ ඇරයුමෙනි. ඒ අනුව සිබිල් ඉදිරිපත් කළ "සිතුවම් සහිත කුඩ හොරා" කථාව 1953 දී ජනතා පත්‍රයේ පළ විය. සිබිල්ට සකල ලෝකවාසීන්ගේ බුහුමන් ලැබීමට වාසනාව ගෙන දුන් "කුඩ හොරා" උපත ලැබුවේ එසේය.

1956 දී "කුඩ හොරා" කථාව පොතක් වශයෙන් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කෙරිණ. ජනප්‍රිය පාසල් පොතක් වු "නවමග" කතෘ එච් ඩී සුගතපාලයන්ගේ මෙහෙයවීමෙන් ප්‍රථම වරට අතිරේක කියවීම් පොතක් ලෙස මුද්‍රණය වන විට එය එතෙක් පැවති සිංහල ළමා පොත්වලින් වෙනස්විම විශේෂයකි. පෙර යුගයේ සිංහල ළමා පොත්වල පැවතියේ දිග පෙළක් සහිත වු සිතුවම් කීපයක එකතුවකි. පොත්වල වැඩිපුර තිබුණේ අකුරු මුද්‍රිත පිටුය. එහෙත් "කුඩ හොරා" පොත සිබිල් විසින් විස්මිත ලෙස සැලසුම් කර තිබිණ. දක්‍ෂ පොත් රටාකරුවෙකු තුළ පිහිටිය යුතු දැනුම දක්‍ෂකම, සංයමය යනාදිය සිබිල් තුළ ද පිහිටා තිබිණි. විවිධ පුවත්පත්වල කටයුතු කිරීමෙන් ඇයට එම දැනුම ලැබී තිබුණ බව නිසැකය.

බොහෝ ළමා පොත්වල රචකයා සහ චිත්‍ර ශිල්පියා දෙදෙනෙකි. එහෙත් "කුඩ හොරා"පොතේ මේ දෙකම කරන්නේ සිබිල්මය. සිබිල්ගේ එම නිර්මාණ හැකියාව මෙහි සාර්ථකත්වයට බෙහෙවින් හේතු වී ඇත. පොතක පෙළ තේරුම්ගැනීමට නිදර්ශන චිත්‍ර උපකාරී වේ. මෙහි පිටුවෙන් පිටුව පොත සැලසුම් කර ඇත්තේ චිත්‍ර සමඟ වචන එකට ගලා යන පරිදිය. පොත දිග හැරෙන විට පිටු දෙකම එකක් ලෙස සලකා සැලසුම් කිරීම නිසා එකල තිබූ අනෙක් පොත් සමඟ සසඳා බැලීමේදී මෙහි ඇති නිර්මාණාත්මක ගුණය පැහැදිලි වේ. කළු සුදු රේඛා චිත්‍ර වුවද විවිධ චරිතවලට අදාල පරිදි ඇඳුම් පැලඳුම් විසිතුරු ලෙස ඉදිරිපත් කර තිබේ.

"කුඩ හොරා" සිබිල්ගේ ජනප්‍රියම කථාව වන අතර එයට ජාත්‍යන්තර සම්මාන සහ ත්‍යාග කීපයක්ම ලැබිණි. කුඩ හොරා ජපන් භාෂාවට පරිවර්තනය කිරීම සඳහා ජපානයේ ෆුකුතාකේ පොත් සමාගම විසින් සිබිල්ගෙන් ප්‍රකාශන අයිතිය ගන්නා ලදී. මෙම ප්‍රකාශනයේදී ප්‍රථම වතාවට වර්ණවත් චිත්‍රවලින් ඉතා ප්‍රාණවත් ලෙස මෙම පොත සැලසුම් කිරීමට සිබිල්ට අවස්ථාව ලැබිණ. එය අද ජපානයේ ජනප්‍රිය පොතක් වී ඇත එම වසරේදීම ජපානයේ ළමා පුස්තකාල සංගමය විසින් පවත්වනු ලැබු ජපන් ළමයින්ගේ ඡන්දයෙන් ජනප්‍රියම ළමා පොත වශයෙන් තෝරා ගනු ලැබුවේද කුඩ හොරාය. 1987 දි සිබිල්ට එම සම්මානයද ලැබිණ මෙම පොතේ අඩංගු එක් චිත්‍රයක් ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රිත දින දර්ශනයේ කවරය සඳහා යොදා ගන්නා ලදි.

මේ වන විට කුඩ හොරා භාෂා 12කට පරිවර්තනය කර ඇත. කොරියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය, චීනය, සහ එක්සත් ජනපදය වැනි විවිධ රටවල දරුවන් සඳහා ප්‍රකාශයට පත්කර ඇත.

ලෝකයේ විශිෂ්ට කලාකරුවන්ගේ නිර්මාණ තුළ පවතින ස්වායත්ත අගය ඉක්මවා යන විට වාණිජකරණයට නැඹුරු වේ එය ව්‍යවහාරික කලාවේ ස්වභාවයයි Merchandising යනුවෙන් හැඳින්වෙන මෙම ප්‍රවණතාව අද්‍යතන යුගයට ද පොදුය.

1942 දී "බිඳුණු කැඩපත තුළින් මුහුණු" සිතුවම The face through broken mirror ලංකා සංගමයේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමෙන් චිත්‍ර ශිල්පිනියක වශයෙන් සිබිල් විචාරක පැසසුම් ලැබුවාය. එහෙත් ඒ වන විටත් ඇය නිදර්ශන චිත්‍ර ශිල්පිනියක ලෙස "නවමග" 5 වැනි ප්‍රමාණයේ කියවීම් පොතට සිතුවම් ඇඳීමෙන් ලද උසස් ප්‍රතිචාර නිසා ව්‍යවහාරික චිත්‍ර ශිල්පිනියක ලෙස Applied Artist ක්ෂේත්‍රයට පිවිස සිටියාය. නිදර්ශන චිත්‍ර ශිල්පියා (Illustrator) පොත් සැලසුම් ශිල්පය හා බැඳී සිටි පොත් සැලසුම් ශිල්පියා (Book designer) පොත් ප්‍රකාශකයා සමඟ බැදී සිටි. කෙසේ වෙතත් සිබිල් වෙත්තසිංහ අද ලෝක ප්‍රකට නිදර්ශන චිත්‍රකරුවන් හා සමතැන් ගෙන සිටි.

1938 දී ජෙරී සීගල්ගේ කථාවකට අනුව ජෝ ෂුස්ටර් විසින් සුපර් මෑන් චරිතය නිර්මාණය කරන ලදින් චිත්‍ර කථා පොතක් වශයෙන් එදා මෙදා තුර විවිධ රටවල ශිල්පීන් විසින් එම චරිතයේ අනන්‍යතාව නොබිඳ නොයෙකුත් ග්‍රැෆික් සැලසුම් වර්ග භාවිතා කර ප්‍රචාරණය කෙරෙයි. මේ ආකාරයෙන් ස්ටෑන් ලී ගේ කතා ඇතුළත් විවිධ චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද චිත්‍ර කථා පොත්වල එන විවිධ චරිත ඇතුළත් චිත්‍රද වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇත.

Spider man -1962, Hulk -1962, Fantastic Four -1961, Iron Man - 1963, Thor - 1962, X-man - 1963, Teenage Mutant Ninja Turtles වැනි නිර්මාණද ඉහත ආකාරයේ ග්‍රැෆික් සැලසුම් සඳහා භාවිතා කරමින් පවතින බව පෙනේ.

එංගලන්තයේ රෝල් ඩාල් විසින් ළමයින් මෙන්ම වැඩිහිටියන්ද උදෙසා ලියු සුප්‍රසිද්ධ පොත් පෙළ සඳහා නිදර්ශන චිත්‍ර නිර්මාණය කළේ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වන ක්වෙන්ටින් බ්ලේක් විසිනි. එම පොත් පෙළද විවිධ භාෂාවලට පරිවර්තනය වී ලෝකය පුරා පැතිරී ගියේය. එම පොත් පෙළෙහි පිටකවරය සහ නිදර්ශන චිත්‍රයන්හී වර්ණ වෙනස් නොකර විවිධ මාධ්‍ය හා ක්‍රම මඟින් විවිධ ග්‍රැෆික් සැලසුම් ඉදිරිපත් කිරීමට රෝල් ඩාල් පදනම විසින් අනුමත කර ඇත.

මේ හැරුණු විට ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් ලෙස සැලකෙන වින්සන්ට් වැන්ගෝ සහ පැබ්ලෝ පිකාසෝගේ සුප්‍රසිද්ධ සිතුවම්ද දිස්න ගැන්වු සෙරමික් (පිඟන් භාණ්ඩ) මත මුද්‍රණය කර දැන් වෙළෙඳ පොළට පැමිණ ඇත.

ඒ අතර පිකාසෝ විසින් පිඟන් මත සිතුවම් කළ කෘතින්ද ප්‍රචාරයට පැමිණ තිබේ. බොහෝ විට මෙවැනි සිතුවම් අතර ඇසුරුම්, සැලසුම් භාණ්ඩ සහ බිත්ති සැරසිලි ආදිය ද වේ. ඒවා මිලදී ගැනීමටත් ළඟ තබා

ගැනීමටත් කැමැත්තක් දක්වන්නේ එම සිතුවම්වල අගය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් තිබෙන රසික පිරිසය.

මෙම රසික පිරිස නිසා එම කෘතීන්හි අගය පිළිබඳව දැනුම, අවබෝධය ලැබීම මෙන්ම සංරක්‍ෂණයද සිදු වේ.

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පිනි සිබිල් වෙත්තසිංහගේ කෘතින්ද මේ ආකාරයෙන් ජනතාව අතට පත් කිරීමට දැන් අවස්ථාව උදා වී ඇත. විශේෂයෙන් සිබිල්ගේ "කුඩ හොරා" ග්‍රන්ථයට වසර 60ක් පිරෙන මේ අවස්ථාවේ ඇය නිර්මාණය කළ "කුඩ හොරා" ඇතුළු වෙනත් කථාවල සුවිශේෂ චරිත සහ සිදුවීම් ඇතුළත් සිතුවම් මෙසේ ප්‍රචලිත වීම සිබිල් නැන්දාගේ ආදරණීය දරු දැරියන්ගෙත් සහෘද පාඨකයන්ගේත් භාග්‍යයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්