දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»

ගුවන්විදුලි නාට්‍ය දහසක් විතර ලිව්වත් තාත්තා ඒ එකක්වත් ඇසුවේ නෑ

ගුවන්විදුලි නාට්‍ය දහසක් විතර ලිව්වත් තාත්තා ඒ එකක්වත් ඇසුවේ නෑ

ඒ.පී.ගුණරත්නගේ පුතු ඉන්දුමාලින් කියයි

මීට වසර 40කට පමණ ඉහත නුගේගොඩ පරණ කැස්බෑව පාර අද්දර පිහිටි විශාල නිවසක පදිංචි වී සිටි සද්දන්ත පුරුෂයකු පාපැදියක නැඟී රාජකාරි ස්ථානය වූ කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂ කාර්යාලයට ආවා ගියේය.

මේ තරබාරු පුද්ගලයාගේ බර බයිසිකලයේ රෝද දෙකට ඔරොත්තු දෙයිදෝ විමතියෙන් බලා සිටි පිරිසක් ද වූහ.

“ඔය මහත්තයා, ඔහොම බයිසිකලයක ගියාට උගතෙක්ලු. පොත් ලියන මහත්තයෙක්.” වැඩිහිටි අයෙකු කියන විට, තරුණ වියේ අයෙක් “නෑ එයා හොඳ චිත්‍රපට නළුවෙක්. මම දැකලා තියෙනව ‘රෑන ගිරව්’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා එක්ක ෆයිට් කරනවා.” කීවේය.

ඒ කාරණා සියල්ලම ඇත්තය.

වරෙක ඔහු වේදිකා නළුවෙකි; තවත් වරෙක චිත්‍රපට නළුවෙකි; තවත් වරෙක වේදිකා නාට්‍යවල අංග රචනා ශිල්පියෙකි; වරෙක ග්‍රන්ථ පරිවර්තකයෙකි; තවත් වරෙක දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙකි. ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකි.

මීට වසර 70කට පමණ පෙර (1945) මහාචාර්ය ඊ. ඇෆ්. සී. ලුඩොවයික් නිෂ්පාදනය කළ “කපුවා කපෝති” නාට්‍යයේ ඔහු සුදු බණ්ඩා හේරත් නම් යුද්ධ හමුදා භටයකුගේ චරිතය මුල් වරට රඟපෑවේය. එහි නළු නිළියන්ගේ වෙස් ගැන්වූයේ ද ඔහුය. ඉන්පසු රහස් කොමසාරිස්, මැටි කරත්තය, කාමරේ පොරේ, ගිනි කඳු වේදිකා නාට්‍යවලත්, රන්සළු, ගොළු හදවත, රෑන ගිරව්, බිනරමලී, තුංමං හන්දිය, තෙවත, ලොකුම හිනාව, ලක්සෙට කොඩිය, වැලිකතර චිත්‍රපටවලත් රඟපෑවේය.

ඒ. පී. ගුණරත්න නම් මේ අපූරු කලාකරුවා, අමුඩයක් ගසාගෙන ගෙදර වත්ත පිටිය සුද්ද කොට බුලත් පාත්තියට, සාත්තු කොට අනතුරුව ඔහු නිවසන නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ද කානු සුද්ද කරනු දැක ගත හැකිය. එහිදී ඔහු පාරේ යන හඳුනන අය සමඟ ද වචනයක් දෙකක් කතාබහ කිරීමට අමතක නොකරයි.

1910 සැප්තැම්බර් 10 වැනිදා වෙන්නප්පුවට කිට්ටු සඳලංකාව ප්‍රදේශයේ පිහිටි මා ඔයට මායිම් වූ සුන්දර ගමක උපන් අධිකාරි මුදියන්සේලාගේ පුංචි අප්පුහාමි ගුණරත්නගේ පියා වෙදකමත්, ගම්මුලාදැනිකමත් කළ මිනිසුන්ට ආදරෙන් සැලකූ මිනිසෙකි. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කුඩාවිල දික්වෙල රජයේ පාසලෙනි. ඉන්පසු මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව පාලි, සංස්කෘත ඉගෙන, ගුරුවරයකු ලෙස ජීවන වෘත්තිය පටන් ගත්තේය.

ඒ. පී. ගුණරත්නයන්ගේ ජීවිතයේ වැඩි කොටසක් ගත වූයේ කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් හි පිහිටි ශබ්ද කෝෂ කාර්යාලයේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියූ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියේ ගුණරත්න - සරච්චන්ද්‍ර ඇසුර ගැන මෙසේ සඳහන් වෙයි.

“ශබ්දකෝෂයෙහි වැඩ කරද්දී මා සමඟ කර්තෘ මණ්ඩලයට බැඳුණු ඩී. ජේ. විජයරත්න (මහාචාර්ය) මහතා ද කලින් එහි සිටි ඒ. පී. ගුණරත්න මහතා ද මම ද අප අපගේ සමාගම ප්‍රිය කරන්නට වීමු. ඔහුට වන්නි පෙදෙසෙහි කට වහර ඉතා හුරු විය. ඔහු සාහිත්‍යයේ බස් වහර ද මැනවින් දත්තෙකි. එවැනි පුළුල් වාංමාලාවක් හසුරුවාගත හැකි වූ කෙනෙකුගෙන් සාහිත්‍ය සේවයක් ඉටු විය යුතු යැයි සිතූ මම, ඔහුගේ සහාය ඇතිව ප්‍රංස ගත්කරුවන්ගේ කෘති (ප්‍රංස කෙටිකතා නමින් පළ විය) හා රුසියන් ගත්කරුවන්ගේ කෘති කීපයක් (රුසියන් කෙටිකතා නමින් පළ විය) සිංහලයට පරිවර්තනය කරන්ට අදහස් කළෙමි. ගුණරත්නගේ වාග්මාලාව වූ කලී සිංහල කට වහරේ තිබෙන, එතරම් ප්‍රකට නොවූ එහෙත් බෙහෙවින් ව්‍යක්ත වූ යෙදුම් නමැති මැණික්වලින් පිරි ඉල්ලමක් සේ විය. “කපුවා කපෝති” යනුවෙන් නම් කරන ලද අපේ අනුවර්තනයේ ප්‍රබල අංගය එහි බස විය. ගුණරත්න වැනි කෙනෙකු මේ කටයුත්තට සහභාගි කරගත හැකි වීම මහත් භාග්‍යයක් බව අප දෙදෙනාට පෙනිණි.

1913 වසරේ ලෙනාඩ් වුල්ෆ් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද The Village in the Jungle නවකතාවෙහි විශිෂ්ට සිංහල පරිවර්තනය ඒ. පී. ගුණරත්නයන් විසින් 1949 වසරේ දී පළ කරන ලදී. 1960 වසරේ දී ලංකාවට අසීමිත ලෙස ආදරය කළ ලෙනාඩ් වුල්ෆ් ලංකාවට පැමිණියේය. ඔහු මුලින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ගොස් ඔහුට හුරු පුරුදු පරිසරය හා ජීවත් වන්නවුන් දැක බලා ගැනීමට ගිය බව විජේසිංහ බෙලිගල්ල ලියූ “ලෙනාඩ් වුල්ෆ්ගේ මහනුවර භූමිකාව” කෘතියේ සඳහන් වෙයි. තංගල්ල ප්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙස සේවය කළ එල්. පී. විතානච්චි සමඟ වුල්ෆ් ගිය මේ ගමනට බෙලිගල්ල ද සහභාගි වී ඇත.

මේ ගමනේ දී 1949 වසරේ ‘බැද්දේගම’ කෘතිය පරිවර්තනය කළ ඒ. පී. ගුණරත්නත්, පොත ප්‍රකාශයට පත් කළ ඇම්. ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇම්. ඩී. සිරිසේනත් හවුල් වූහ. ඒ වන විට ‘බැද්දේගම’ කෘතියේ මුද්‍රණ දෙකක් ප්‍රකාශයට පත් කර තිබුණු නිසා සිරිසේන මහතා වුල‍්ෆ්ට මුදල් පරිත්‍යාග කර ඇත.

1956 වසරේ දී පමණ ලංකා ගුවන් විදුලියේ සිංහලාංශයේ ‘විශ්ව සාහිත්‍යයෙන්’ යන මාතෘකාවෙන් ඉදිරිපත් කිරීමට පොත් කිහිපයක් එකල ගුවන් විදුලියේ අධ්‍යක්ෂව සිටි ඇම්. ජේ. පෙරේරා මහතා, ඒ. පී. ගුණරත්නට පැවැරීය. ඒ අතර ආතර් වේල් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා පරිවර්තනය කළ චෙං එන් නම් චීන ජාතික ලේඛකයා ලියූ The Monkey නම් කෘතිය විය. එය කොටස් 15කින් යුතුව ගුණරත්න විසින් පරිවර්තනය කොට පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක් විය. 1959 සමන් ප්‍රකාශකයන් විසින් ‘වානරයා’ සම්පුර්ණ කතාව ගුණරත්නයන් අතින් පරිවර්තනය කොට ප්‍රකාශයට පත්කළ අතර 1960 වසරේ හොඳම පරිවර්තනයට හිමි සාහිත්‍ය ත්‍යාගය ද හිමි කරගත්තේ ‘වානරයා’ ය.

ඒ. පී. ගුණරත්නයන් කැලෑවට වඩාත් ඇලුම් කළේය. ඒ නිසා ආර්. එල්. ස්පිටල්ගේ කැලෑ පරිසරය පසුබිම් කර ලියූ ‘වන සරණ’ (Savage sanctuary) කෘතිය ද, මැකී ගිය දඩමං, සුදු ගෝනා කෘති ද පරිවර්තනය කළේය.

මීට වසර 35කට පමණ ඉහත ඔහු මිය යාමට දෙසතියකට පමණ පෙර 1980 අප්‍රේල් මාසයේ දිනක ‘නවයුගය’ නියෝජ්‍ය කර්තෘ සෝමවීර සේනානායකත්, මාත් ගුණරත්නයන් හමුවීමට ගියේ, ‘චරිත හමුව’ විශේෂාංගය ලිවීමටය. එහිදී ගුණරත්නයන් ‘වන සරණ’ කෘතිය ගැන මෙසේ අදහස් දැක්වීය.

“මම ‘වන සරණ’ පරිවර්තනය කළේ 1949 දී පමණ. මෙහි එන්නේ නැසී ගිය හේලිකේ වන්නකු තිසාහාමි පිළිබඳ කතාව. භයානක මිනීමරුවකු ලෙස ලංකාව පුරාම පැතිර ගිය නමක් ඇතිව පොලීසියේ උපක්‍රම හැම එකක්ම දක්ෂ ලෙස වළක්වා ගෙන 15 වසරක් වන ගතව සිටි තිසාහාමි ගැන තොරතුරු සොයා බැලීමට මම ඔහු සිටි අඩවියට ගියා. මේ ගමනට මගේ මිත්‍ර සැමුවෙල් ද ලැනරෝල් (ඇස්. ඩී. ද ලැනරෝල්) ද සහභාගි වුණා.” ඔහු එදා කීවේය.

1952 තිසාහාමි සමඟ ගුණරත්නයන් කළ ගුවන් විදුලි සාකච්ඡාවක් කොටස් වශයෙන් ප්‍රචාරය වී ඇත. ඒ අතරම ගුණරත්නයන් ගුවන් විදුලි නාට්‍යවල ද රඟපෑහ. කොටස් වශයෙන් ප්‍රචාරය වූ ‘කුරුලු බැද්ද’ සහ නෙලුම්ගම ගමන් හාමි ඉන් ප්‍රධාන තැනක් ගනී.

ගුණරත්නයන්ගේ වැඩිමහල් පුතු ඉන්දුමාලිත් කියන්නේ තම පියා ගුවන්විදුලි නාට්‍ය, විශේෂයෙන් ගුවන්විදුලි රඟමඬල සඳහා පිටපත් සිය ගණනක් ලියා ඇතත් ඒ එකක්වත් ගුවන්විදුලියෙන් නෑසූ බවය.

“ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදක පී. වැලිකල මාමා ඇතැම් උදය කාලයක කලබලයෙන් තාත්තා හොයා ගෙන එනවා. ‘ඒ. පී. මට නාට්‍ය පිටපතක් දවස් දෙක තුනකින් ඕනෑ.’ කියනවා. තාත්තා ඒ ඉල්ලීම ඉටු කළත්, ඒ නාට්‍ය ඇහැව්වේ නෑ. ඒ කාලයේ දිනපතා පුවත්පත්වල ගුවන්විදුලියට ලොකු තැනක් දුන්නා. තාත්තා ලිව්ව නාට්‍යයක් අද රාත්‍රී 7.30ට ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන බව පළ වන්නේ තාත්තාගේ පුංචි පින්තූරයකුත් එක්ක. මමත්, නංගිත්, කල් තියා පාඩම් කරලා හඬ අඩු කරලා තාත්තගේ නාට්‍යය අහනවා. තාත්තා ලොකු වැඩක්. මේසය වටේ පොත් ගොඩක්. අවධානය ලියන දේට පමණයි.

“මේ ළමයින්ට ඕක අහනවට වැඩිය පොතක් පතක් බැලුවානම් හොඳ නැද්ද?”

අපි හිමින් ගුවන්විදුලිය නතර කරලා පොත්පත් බලනවා.”

ස්වභාවයෙන්ම තාත්තා නිහඬ තමාගේ පාඩුවේ රාත්‍රී වන තුරු ලියන, කියවන චරිතයක් බවයි පුතා පවසන්නේ. තාත්තා උදේම නැගිට, තේ බීලා තමාවත්, නංගීවත් කාර් එකෙන් නුගේගොඩ හයිලන්ඩ් විද්‍යාලයට දාලා ගෙදර ඇවිත්, බයිසිකලයකින් කාර්යාලයට ගිය කාලය ඉතා සුන්දර යයි පවසන පුතා, හවස ගෙදර එන තාත්තා ඇසුරු කළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් මතක් කළේය.

“තාත්තා ළඟින්ම ඇසුරු කළේ ඩී. ඇම්. පී. දසනායක මහතා (හිටපු පරිපාලන නිලධාරි) හා පී. වැලිකල මහතා. පොත් පරිවර්තකයකු වූ කළුබෝවිල සිරිල් සී. පෙරේරා මහතා ඇවිත් පරිවර්තන කලාවේ ගැටලු තැන් කතා කරනවා. සිරිල් මාමා ලියූ ‘එමා බෝවාරි’ කෘතිය ගැන ප්‍රශංසා කරල තාත්තා විචාරයක් ලිව්වා.

සරච්චන්ද්‍ර මහත්තයත් නුගේගොඩ හිටිය නිසා ආවා ගියා. තාත්තාගේ පොත් මුද්‍රණය කළාම නිශ්ශංක ජයවර්ධන මහතා පොත් පාර්සලයක් අරන් එනවා. මටත් පිටපතක් ලැබෙනවා. තාත්තාට ලැබෙන පොත්වලින් මුල්ම පිටපත දෙන්නේ අම්මට. 1959 ජුලි 07 වැනිදා තාත්තා ‘රන්කැකිරි හා තවත් කතා’ ප්‍රථම පිටපත අම්මාට දෙමින් මෙහෙම ලියලා තියෙන පොතක් නංගී ගාව තියෙනවා.

“මගේ සොඳුරගේ පළමුවැනි කොපිය - ඒ. පී. ගුණරත්න

සිංහල ජන කතාවට ඇලුම් කළ ගුණරත්න මහතා රන් කැකිර නඟුල් මුත්තා, සිංහල කටන්දර, රන්මුතු දූව, කපුටු බේත් ආදි කෘති ලියූ අතර රොඩ්නි ජොන්ක්ලාස් ගේ ‘වාලම්පූරි’ නවකතාව ද පරිවර්තනය කළේය.

“තාත්තා, රන්සළු චිත්‍රපටයේ සහාය නිෂ්පාදකයෙක්. ඒ චිත්‍රපටයේ නිෂ්පාදක වෛද්‍ය එල්. එම්. සයිමන් මහතා හා කතා රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා නිසා තාත්තා සල්ලි ටිකක් දැම්මා. ලෙස්ටර් මහත්තයා අපේ ගෙදර ඒ දවස්වල ආවා ගියා.” ඉන්දුමාලි කියයි.

ඒ. පී. ගුණරත්න මහතාගේ මේසය මත ලීවලින් තනන ලද සුරුට්ටු පෙට්ටියක් තිබූ බවත් වැලිකල මහතා හා ඔහු සුරුට්ටු බොමින්, විවිධ විෂයයන් පිළිබඳව, රෑ බෝවන තුරු සාකච්ඡා කළ බවත් චිත්‍රා සූරසේන මහත්මියගෙන් දැනගත් බන්දුල විතානගේ 2013 අප්‍රේල් - ජුනි “හඬ” සඟරාවට ලියා තිබිණි.

ගුණරත්න මහතාගේ පුතා තාත්තාගේ ගති සොබා මෙසේ විස්තර කළේය.

“තාත්තා මටත්, නංගීටත් කිසිදා දඬුවම් කළේ නෑ. අපේ ඉගෙනීම ගැන බැලුවේ අම්මා. මම තර්ස්ටන් විද්‍යාලයට යන කාලේ ඩබ්ල් මැත්ස්වලට දක්ෂයි. තාත්තා හිතුව මම ඒ පැත්තෙන් ඉහළට යාවි කියලා. ඡායාරූප කලාවට පෙම් බැඳි මම පාසල් යන කාලෙත් මඟුල් ගෙවල්වල පින්තුර ගත්තා. විභාගයට පෙනී නොසිට මා ඡායාරූප ගන්න ගිය බව දැනගත්ත තාත්තා, ඒ දිහා බැලුවේ උපේක්ෂාවෙන්.

“ඉගෙන ගන්න දේට මුල් තැන දුන්න නම් නේද හොඳ?” කිව්ව මිසක් තාත්තා ඒකට බල කළේ නෑ.

“තාත්ත නාට්‍යවල, චිත්‍රපටවල රඟපෑවට ඒ ගැන ගෙදර වචනයක්වත් කතා කළේ නෑ. දයානන්ද ගුණවර්ධන මහත්තයා තමාගේ බග් ෆියට් කාර් එකෙන් ආවාම පුංචි අපි ඒකේ නැඟලා සෙල්ලම් කළා. අපි පොඩි කාලේ තාත්තා කාර්යාලයේ මිතුරන් එක්ක මහියංගණයේ සොරබොර වැව බලන්න චාරිකාවක් ගියා. තාත්තා වැද්දන් බලන්න ගිහින් වැදි භාෂාවෙන් කතා කළා. වැදි ජනතාව තාත්තාට ආදරෙයි. තාත්තා වැදි චාරිත්‍ර වාරිත්‍ර ගැන ඉගෙනගත්තා. පර්යේෂණ කළා.

තාත්තාට ලොකු කාර් එකක් තිබුණා ඇමෙරිකන් ‘ස්ටුඩි බේකර්’ වර්ගයේ. මේ විශාල කාර් එක පාවිච්චි කළේ අපිව ඉස්කෝලෙට ඇරලවන්න විතරයි. ඒ ඇවිත් තාත්තා බස් එකේ කාර්යාලයට යනවා. දවල් කෑම පැයේ තාත්තා කොලේජ් හවුස් එකේ ඉඳලා පයින්ම බම්බලපිටියේ සරස්වතී ලොජ් එක ගාව තිබුණ ලැනරෝල් මහත්තයාගේ අසෝක පොත් සාප්පුවට යනවා. අසෝක ලැනරෝල් මහත්තයා එක්ක කතා කර කර ඉන්නවා. බැද්දේගම, වන සරණ මුල්ම පොත් පළ කළේ ලැනරෝල් මහත්තයලු. අන්තිම කාලේ තාත්තගේ යාළුවන් වුණේ මහගම සේකර, සුමිත්ත අමරසිංහ, ඊ. ඒ. පී. එදිරිසිංහ.”

ඒ. පී. ගුණරත්නයන්ගේ දියණිය කනකලතා ගුණරත්න අබේවර්ධන පවසන්නේ තම පියාගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකු සිටි බවය. එසේම පියා ගමට ගොස් ඇත්තේ ඉතාම කලාතුරකින් බවයි. එහෙත් තාත්තාගේ ලොකු අක්කා රසකැවිලි සාදාගෙන මල්ලී බැලීමට පැමිණි බවයි.

“ඔන්න මං මල්ලිට පැණි යහමින් දාල කොණ්ඩ කැවුම් හදන් ආවා” ලොකු නැන්දා තාත්තාට රසකැවිලි හදා එන හැටි කනකලතාට මතකය.

හිටපු අමාත්‍යවරුන් වූ සඳලංකාවේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල හා ටී. බී. සුබසිංහ, ගුණරත්න මහතාගේ සමීප ඥාතීහුය.

“තාත්තා, අම්මා හදල දුන්න ඕනෑම කෑමක් කෑවා මිස කෑම තෝර තෝරා කෑවේ නෑ. ගෙදර වත්තේ තාත්තා එළවළු වැව්වා. බුලත් පාත්තියක් දාල සාත්තු කළා. ගංගොඩවිල පොළට ගිහින් පුංචි ඉන්නල, කිරි අල, ගොටුකොළ, බතල, ගහල, මඤ්ඤොක්කා, දඹල, අඟුණකොළ අරන් එනවා. තාත්තා කාර්යාලයෙන් එන ගමන් සතියකට වරක් ගෙනෙන මේ එළවළු සහිත මල්ල ගැනීමට මමත්, අයියත් ගේට්ටුව ගාවට වෙලා බලා ඉන්නවා. ‍මොකද මේ මල්ලේ අනිවාර්යයෙන්ම ලොසින්ජර මුලක් තියෙනවා.

ගේට්ටුව ගාව ඉඳලා ගෙදරට දුරයි. අපේ ගේ ගාව පුංචි ළමයින් සහිත පවුලක් හිටියා. තාත්තා ලොකු කාර් එකෙන් ඒ ගාවට යන හැම වේලාවෙම ටිකක් නවත්තනවලු. පුංචි ළමයි ‘ලොකු තාත්තා’ කියමින් තාත්තා ළඟට දුවගෙන එනවලු. ගෙදර එන තාත්තා අම්මා ලවා කිරි ටොෆී හදලා යන කොට ඒ ළමයින්ට දීලා යනවා. තාත්තා වැඩ ඇරිලා ගෙදර ඇවිත් තේ එකක් බීලා ව්‍යායාමයටත් එක්ක වත්තේ වැඩ කරනවා. ඊට පස්සේ නාලා ඇවිත් මේසය ගාව ඉඳ ගන්නවා. රාත්‍රී කෑම කන්නේත් පොතක් කියවන ගමන්. රෑ 12 ට විතර නිදන්නේ. පැය හතරයි තාත්තා නිදා ගත්තේ.”

ඒ. පී. ගුණරත්නයන් සුරුට්ටු බීමට රුසියෙකි. ඇතැම් විට බීඩි ද බී ඇත. හාන්සි පුටුවට වී කල්පනා කර කර දුම් පයිප්පය ද උරා ඇත.

“තාත්තා දවසක් මාව කපුවා කපෝති නාට්‍යයේ මෙහෙකාරයා වූ තෙපානිස් ලෙස රඟපෑමට වෙස් ගැන්නුවා. නාට්‍යයේ පෙළ කියවන්න පුරුදු කළා. අම්මා කිව්වා, “දුව ඉගෙනීමට බාධාවක් කර ගනී ද මන්ද?” කියලා. ඊට පස්සේ තාත්තා මාව එක්ක ගියේ නෑ. තාත්තා නුගේගොඩ තරුණ බෞද්ධ සමිතියේ දහම් පාසලේ විදුහල්පති හැටියට කටයුතු කළා. අපිවත් දහම් පාසලට ‍ෙගන ගියා. තාත්තා අභිධර්මය ළමයින්ට ඉගැන්වීමෙන් විශාල සතුටක් ලැබුවා. සල්ලි ගැන හිතුවෙම නෑ. ලැබුණු දෙයක් ගත්තා. තාත්තා කිසිසේත් කාලය නාස්ති කළේ නෑ. භාෂා 7ක් තාත්තා දැන හිටියා. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, වැදි, ප්‍රකෘත මේ අතර ප්‍රධානයි. තාත්තා විශ්‍රාම ගියාට පස්සේ අංශභාග රෝගයෙන් පීඩා වින්දා. මිනුවන්ගොඩ යටියන වෙද මහතාගෙන් සිංහල වෙදකම කළා.” කනකලතා කීවාය.

පියා ලියූ පොත්වල නව මුද්‍රණ පළ කිරීමට කනකලතා දියණිය, සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතා හා එක්ව සිටී. තම මව වූ නන්දා ගුණරත්න මහත්මිය මේ පොත් පළ කිරීමේ අයිතිය සූරිය ප්‍රකාශකයින්ට පවරා තිබේ. ගුණරත්නයන් ලියූ අන්තිම පරිවර්තනය වූ ෂහිදුල්ලා කාසිසෙර් ගේ ‘නැවියාගේ බිරිඳ’ ඔවුන් පළ කර ඇත.

ඒ. පී. ගුණරත්නයන් සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය ලැබූ ගුවන් විදුලි ශිල්පියෙකි කරුණාරත්න අමරසිංහ. ඔහු කියන ආකාරයට කොතරම් ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටිය ද ගුණරත්නයන් ඒ පිළිබඳව බින්දු මාත්‍රයක්වත්, නොසිතූ නිරහංකාර, අව්‍යාජ, චාම්, සැහැල්ලු පුද්ගලයෙකි.

ඔහු තරුණයන් සමඟ ගත කළේ තරුණයෙක් මෙනි. ‘මනමේ’ නිෂ්පාදනයක නළුවන් වූ අපට ඒ. පී. ගුණරත්නයන් වෙස් දැමු සැටි මට මෙවේලේ සිහියට නැ‍ඟේ. සුවිසල් තරබාරු සිරුර නිසා දෝ ගුණරත්නයන් හුස්ම ඉහළ පහළ යවන විට ඔහුගේ නැහැයෙන් විසිල් හඬක් පිට වෙයි. නෙපථ්‍යාගාරයේ දී ඔහු ලවා වෙස් ගන්නා ගත් අපට මුල දී ඒ නලා හඬ කොහෙන් පිටවන්නක්දැයි සොයාගත නොහැකි විය. එය පිටවන තැන ගුණරත්නයන්ගේ නැහැය බව සොයාගත්තේ පසුවයි.”

ගුණරත්නයන්ගේ චරිතයේ පිහිටි මමත්වය නැසූවෙක් වැනි උපේක්ෂා ගුණය ඔප්පු කරන අපූරු සිද්ධියක් කරුණාරත්න අමරසිංහ මතක් කළේය.

“හැට ගණන්වල දිනක මම අසෝක කොළඹගේ සහ දයාරත්න රණතුංගයන් සමඟ බොරැල්ලේ සිට බසයෙන් නුගේගොඩ බලා එමින් සිටියෙමි. නුගේගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාව අසලට පැමිණෙන විට පාර දෙපැත්තේම මහා වාහන තදබදයක් පැවැති බව පෙනිණි. සෑහෙන වේලාවක් තදබදය එසේම පැවතිණි. දෙපැත්තේම නවතා තිබුණ වාහනවලින් කන් පැළෙන තරමට නළා හඬ පිටවුණේ ඒක නින්නාද දෙමිනි.

හිටි හැටියේ බසයේ අසුනින් නැඟී සිටි දයාරත්න රණතුංගයෝ මහා හඬින් සිනාසෙමින් ද “අර බලපල්ලකෝ අර කවුද කියල” යැයි කීහ. මමත්, අසෝක‍ත් නැගිට එදෙස බැලුවෙමු. නුගේගොඩ වයි. ඇම්. බී. ඒ. ශාලාව පිහිටි තැනට ඉදිරියෙන් පාර දිගේ යෝධ මිනිසෙකු වැසිකිළි බාල්දි කරත්තයක් තල්ලු කරගෙන යනු අපට පෙනිණ. ඒ අන් කවරෙකුත් නොව ඒ. පී. ගුණරත්නයෝය. ඒ දර්ශනය දැක සිනා පහළ නොවන්නේ කාට ද?

සිදු වී ඇත්තේ කුමක් ද? වැසිකිළි බාල්දි කරත්තකරුවා තම කරත්තය පාරේ නවතා මළපහ බාල්දි එකතු කර ගෙන ඒමට ගෙවල්වලට ගොස් ඇත. (එකල බොහෝ ගෙවල වූයේ බාල්දි වැසිකිළිය) පාර දෙපැත්තේ වාහන තදබදයට හේතු වී තිබුණේ අර කරත්තයයි. කරත්තකරුවා ළඟපාතක නොසිටියෙන් වාහන තදබදය උග්‍ර විය. වාහනවල සිටියවුන් කළේ නළා හඬවමින් ඝෝෂා කිරීම පමණි.

එවේලේ වාහන තදබදයට හසුව සිටි ඒ. පී. ගුණරත්නයෝ තම ප්‍රසිද්ධිය තුට්ටුවකටවත් නොසලකා වහා තම යෝධ කාරයෙන් එළියට බැස වැසිකිළි බාල්දි කරත්තය නවතා තිබුණු තැනට ගොස් එය පාර අයිනට තල්ලු කර නවතා යළි කාරයට නැඟුණේය. එතෙක් දෙපැත්තේ හිර වී තදබද වී නළා ළතෝනි දෙමින් සිටි වාහන දෙපේළිය දෙපසකට ඇදී ගියේ ඉබේය.”

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් කියන ආකාරයට ගුණරත්නයන් ලියූ ගුවන් විදුලි නාට්‍ය සංඛ්‍යාව එක් දහස ඉක්මවයි. ඔහු ගුවන්විදුලි නාට්‍ය රචනයෙන් කොතරම් පරිචයක් ලැබී ද කිවහොත් කලින් කල්පනා කරමින් හුන් තේමාවක් අනුව දවසක් ඇතුළත දී නාට්‍ය පිටපතක් ලියා පසුව දා උදෑසන වැලිකල මහතාට බාර දීම සිරිතක් කොට ගත් බව පවසයි. මහාචාර්යවරයා “වීමංසා සාහිත්‍ය අතිරේකය”ට ලියූ ලිපියක මෙසේ සඳහන් වී තිබේ.

“ඒ. පී. ගුණරත්න මහතා හමුවීමට දිගාමඬුල්ලෙන් පැමිණි පුද්ගලයා නම් වටිනා පොත් ගණනාවක් ලියූ සිංහල ගුරු මහතෙකු වූ මායා රංජන් නමැති ආරූඪ නාමයෙන් පෙනී සිටි රාජපක්ෂ නමැති මහත්මයෙකි. දෙදෙනා අතර සිදු වූ ඇතැම් සංවාද අසා සිටීමේ වාසනාව වතාවක් දෙකක් මට ද හිමි වූයේ ගුණරත්න මහතා පදිංචිව හුන් එතුමාගේ නිවසේදීය.

හැන්දෑවේ පහට පමණ ඇරැඹෙන ඔවුන්ගේ කතාබහ රෑ කෑමට ගුණරත්න මහත්මිය ඇරියුම් කරන තුරු පැවැත් වේ. මායා රංජන් අතින් මගේ රාජ්‍යය, දිඟමඩුල්ලේ ආශ්චර්යය, පිටිසර මිනිස්සු, සිහිනෙන් ගෑ සුවඳ වැනි කෘති බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි මම සිතමි. ජනශ්‍රැතිය විද්‍යාවක් වශයෙන් එතරම් ප්‍රසිද්ධියට නොපත් කලෙක ඒ. පී. ගුණරත්න මහතා අපේ ජනකතා නමින් ජනකතා පොත් මාලාවක් ලිව්වේය. පරිවර්තන කාර්යයේදී ඔහු අතින් සිදුවන එක් ක්‍රියාදාමයක් මට පහදා දුන්නේය.

පොතක් පරිවර්තනය කරගෙන යන කොට අතුරු කතා රාශියක් හමු වෙනවා. මම කරන්නේ ඒ අතුරු කතා වෙනත් කඩදාසියක සටහන් කර ගන්නවා. එහෙම කරලා, ගුවන්විදුලි නාට්‍යයක් එහෙම ලියන්නට ඒවා පාදක කර ගන්නවා.”

තම ජීවිතයේ අන්තිම දවස් ගුණරත්නයන් ගත කර ඇත්තේ කළුබෝවිල රෝහලේය. පුතු ඉන්දුමාලින් පියා අවසන් හුස්ම හෙළන තුරුම අසලම සිටියේය. තම දරුවන් දෙදෙනා පාසල් වියේ සිටීම ගැන ගුණරත්නයන් තුළ දුකක් ඇති වූ බව පුතු සංවේගයෙන් කීවේය. ඒ. පී. ගුණරත්නයන් 1980 අප්‍රේල් 25 වැනිදා මරණයේ තොටුමුණෙන් පිට වී ගියේය.

1980 මැයි 04 වැනිදා ‘රිවිරැස’ පුවත්පතට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ලියූ ලිපිය අවසන් කර තිබුණේ මෙසේ ය.

“මුඛරි බසින් නිතර මිතුරන් පිනවමින්, තමා වෙතට පැමිණියවුන්ගේ මනදොළ පුරවමින්, ගුණ කඳක් සේ විසූ ගුණරත්න එක් දිනක් කපා හෙළන ලද මහ ගසක් සේ ඔත්පළ වී වැටුණේ ය. ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කිරීමෙන් මිස අන් කවර අයුරකින් ද අප සැනසෙන්නේ. මුහුකුරා ගිය වයසෙහි දී ගුණරත්නගෙන් රටට ලැබෙන්නට තිබුණ සේවය නොලැබුණේ අපේ ම අභාග්‍යය නිසා ය. අප රටට සේවය සඳහා ඔහුට නැවත මෙහි ම උත්පත්තිය ලැබේවායි අපි පතමු”

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්